වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
වීණාවි සුලක්ඛනා රිය අනතුරකින් ජීවිතක්ෂයට

වෙලාව පැමිණි විට කොයි කවුරුත් මේ කෙටි නවාතැන් පොළෙන් පිටත් විය යුතුය. එයට තරාතිරම, වයස, දුප්පත් පොහොසත්භාවය, කුලය, ජාතිය යන එකී මෙකී නොකී කිසිත් අදාළ වන්නේ නැත. ඒ සිතුවිල්ල සිතට නැඟුණේ වීණාවි සුලක්ඛනා මාපිටිගම නමැති සොයුරියගේ අකල් වියෝවහි පුවත කන වැටුණ මොහොතේදීය. මාපිටිගම නාමය කලා ලොවට සුපුරුදුය. එය ඇසූ සැණින් අපට මතක් වන්නේ චන්ද්‍රරත්න මාපිටිගම නැමැති නිර්මාණකරුවාය. රිදී තිරයට මලට නොඑන බඹරු, සුරබිදෙන ආදී සිනමාපටයන් මෙන්ම සකිසඳ එලියස්, ඉරට හඬන මල්, ඉර පායා, දල රළ පෙළ, සබඳ පබිලිස්, සැරද සුගතන් වැනි නාට්‍ය පෙළක් ඔහුගේ නිර්මාණ ගොන්නට ඇතුළත්ය. වීණාවි සුලක්ඛනා චන්ද්‍රරත්න මාපිටිගමගේ එකම දියණියයි. කොළඹ සුජාතා විදුහලෙන් සිප් සතර හැදෑරූ ඇය ගුවන් සේවිකාවක් ලෙසින් සේවය කළාය. ඊටත් වඩා ඔබට ඇය සමීප ළමා නිළියක වශයෙනි. ඉරට හඬන මල් ටෙලි සිතුවමේ ලකී ඩයස් සහ සනෝජා බිබිලේගේ දියණිය හැටියට රංගනයෙන් දායක වූයේ වීණාවිය. එහි ඇය කළ රංගනය අදටත් ප්‍රේක්ෂකයන්ට ඉතාම හොඳින් මතකය. එමෙන් සුරබිදෙන සිනමාපටයෙහි ද වීණාවි රංගනයෙන් දායක වූවාය. එම නිර්මාණයන් ද්විත්වයම මාපිටිගමගේ අධ්යක්ෂණයන්ය. තමන්ගේ සුරතල් දියණිය තමාගේ නිර්මාණයන්හි පෙළහර පානා අන්දම දැක මාපිටිගම ඉමහත් සතුටට පත් වන්නට ඇත. එහෙත් අද මාපිටිගම සිටින්නේ වාවාගත නොහැකි ශෝකයෙනි.
ඉකුත් සඳුදා උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් වීණාවි සදහටම දෙනෙත් පියා ගත්තාය. එම වාහනය පදවමින් සිටි ඇගේ සැමියා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.