වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
සුළඟේ හඬට සවන් දෙන්න...

ප්‍රවීණ රූපණවේදිනී චාන්දනී සෙනෙවිරත්නගේ රැඟුම් පිළිබඳ විමසීමේදී 2009 වසරේ මා නැරැඹූ වෙසෙස් නාට්‍යයක් සිහිපත් වේ. "සුළඟ මට කතා කරයි" නම් වූ මේ නාට්‍යය ජනක කුඹුකගේ හා අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කළහ. මේ වූ කලී වේදිකා නාට්‍ය කලාව සමඟ සිනමාව හා රූපවාහිනී මාධ්‍යයන්ද සහසංකලනය කිරීමට වෙර දැරූ නිර්මාණයකි. 1986 දී වේදිකාගත වූ ඩග්ලස් සිරිවර්ධනයන්ගේ "හිට්ලර්", වේදිකා නාට්‍ය කලාව හා සිනමා මාධ්‍යය එකිනෙකට සහසංකලනය කොට නිර්මාණය වුණු ප්‍රථම ලාංකේය වේදිකා නාට්‍යය වේ. මෙහිදී ප්‍රස්තුතයට අදාළව හිට්ලර්ගේ සැබෑ චිත්‍රපට දර්ශන රීල් තුනක් අවස්ථා තුනකදී භාවිත කෙරිණි. ආචාර්ය අශෝක ද සොයිසාගේ "වොයිසෙක්"(2002) , චිත්‍රපට දර්ශන වේදිකා නාට්‍යයක උපයුක්ත කොට ගත් දෙවැනි නාට්‍යය ලෙස ඉතිහාස ගත වේ. සහන් රන්වලගේ "වෙලාව කීයද" (2009) නාට්‍යයේ කථකයාගේ වාර්තා වැඩසටහනක් පෙන්වනු පිණිස රූපවාහිනී තාක්ෂණය යන්තමින් උපයුක්ත කොට ගත් බව මා සිහියට නැඟෙයි. පසුකාලීනව එම්. සෆීර්ගේ නාට්‍ය ගණනාවකද මේ කලා මාධ්‍ය සහසංකලනය දක්නට ලැබිණ.ජපානයේ ෂිම්පා නාට්‍ය ක්රමයේ විකාශනයක් වූ "රෙන්සාගෙකි" ක්රමයේ ජීවමාන රංගනයත් රූප ප්‍රක්ෂේපණයත් අතර සුසංයෝගය වර්ධනය විය. මෙහිදී වේදිකාව මත නළු, නිළියන් රඟදක්වන අතර නාට්‍යයේ උද්වේගකර ජවනිකා තීව්ර කරනු පිණිස බාහිර පසුබිමක චිත්‍රපට දර්ශන තිරගත කෙරේ.
"සුළඟ මට කතා කරයි" හී භූමිකා සතරක් දක්නා ලැබෙතත් එයිනිදු ඉස්මතු වන මුඛ්‍ය භූමිකා ද්වයක් වටා එය සංකේන්ද්‍ර ගත වේ.
රොෂාන් (ජනක කුඹුකගේ රැඟු) රාත්‍රී සමාජ ශාලාවල ගීත ගායනා කිරීම ජීවන වෘත්තිය කොට ගත්තෙකි. ඔහුගේ බිරිය මෝක්ෂාගේ භුමිකාව මෙහි චාන්දනී සෙනෙවිරත්න නිරූපණය කළාය. මෝක්ෂා පෞද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියකි. රොෂාන් සංගීතයට ප්‍රිය කරමින් සැහැල්ලු දිවියක් ගෙවූවත් ඔහු ආදරය, මිනිස් ජීවිතය, මානව සබඳතා හා අවට සමාජය ගැඹුරින් නිරීක්ෂණය කරන්නකු බැව් පෙනේ.එහෙයින් ඔහුගේ ජීවන දැක්ම ස්වකීය කුටුම්භය ඉක්මවා මුළු මහත් සමාජ සන්දර්භය වෙතම විහිදී ඇත. තමා අවට සමාජ සත්තාව, මිනිස් ජීවිතවල ඉරණම පිළිබඳ යථා අවබෝධය ලැබීම ජීවිතය සැබෑ ලෙස වටහා ගැනීමක් සේ ඔහු දකී. මෝක්ෂා ඊට ප්‍රතිවිරුද්ධ චරිත ස්වභාවයන් පළ කරන්නියකි. ඇයගේ ජීවන දෘෂ්ටිය තම කුටුම්භයේ සුන්දරත්වය, ප්‍රේමය ඉක්මවා විහිදී නොමැත. මේ ඔස්සේ ගොඩනඟා ගත් කල්පනා ලොවක ඇය හුදෙකලා වී ජීවත් වන්නීය. පිය පදවිය ලැබීමේ ආශාවක් රොෂාන්ට තිබුණත් මෝක්ෂා එතරම් ඉක්මනින් මවක බවට පත්වී වගකීම් දැරීමට කැමැති නැත. හදිස්සියේ ඇඳීරි නීතිය පැනවූ විටදී පසුදින ආහාරයට ගැනීම සඳහා කිසිවක් නිවස තුළ නොමැති වීමෙන් ගෘහිණියක ලෙස ඈ කිසිදු සැලැස්මකින් තොරව ජීවත් වන්නියක බව හැඟ වේ. මෝක්ෂා හෙටක් ගැන නොසිතා අද කා බී විනෝදයෙන් ජීවත්වීමේ ආශාවෙන් මඩනා ලද්දකි. අපරදිග ජීවන ආකල්ප අවිචාරයෙන් වැලඳගත් ඕ බාහිර සමාජයේ කටුක යථාර්ථය තම ඇතුළු මනසට ප්‍රවේශ වීමට ඉඩ නොදෙයි. රොෂාන් හා මෝක්ෂා අතර තිබෙන අන්‍යෝන්‍ය වශයෙන් පරස්පර වූ මෙකී ආකල්පවල ඝට්ටනය ඔස්සේ මේ නාට්‍යය ඉදිරියට විකාශනය වේ.
රූපවාහිනි තිරය වේදිකාවේ පසුතලයට අයත් භාණ්ඩයකට වඩා මෙහි එක් භූමිකාවක් බවට පත්ව ඇතැයි මට සිතේ. විටෙක එය රොෂාන් හා මෝක්ෂා දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර තවත් වරෙක එහි ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීය බවක් උසුලයි. බාහිර සමාජ යථාර්ථය සේම මායාවද පෙන්වන කැඩපතක් සේ නාට්‍යකරුවෝ මේ රූපවාහිනී තිරය යුක්ත කොට ගත්හ.
මේ නාට්‍යය උදෙසාම රූගත කළ දර්ශන මෙන්ම බටහිර චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්වලින් උපුටාගත් දර්ශනද මේ රූපවාහිනී තිරයේ දිස් වේ. මේ දර්ශන ඔස්සේ නාට්‍යකරුවෝ අරමුණු ද්වයක් ඉෂ්ට කොට ගනිති. රොෂාන්,මෝක්ෂා යුවළට සමාජ යථාර්ථය පෙන්වීම එකකි. අනෙක් අතට අද්‍යතන ජනමාධ්‍ය ක්රියාවලියෙහි යථාර්ථය පෙන්වීමටද මෙය ප්‍රබල ලෙස උපස්තම්භක වේ. ප්රවෘත්ති ප්‍රකාශ කරන නිවේදිකාව අසල "පාල ටී" යනුවෙන් සඳහන් වන තේ කෝප්පයක් තැබීමෙන් ප්‍රේක්ෂකයාට දනවනුයේ කර්කශ උපහාසයකි. එක්තරා යුගයකදී ප්රවෘත්ති නිවේදක හෝ නිවේදිකාව අසල මෙබඳු කෝප්පයක් දක්නට ලැබුණු අතර කොට සායවලින් සැරසී ප්රවෘත්ති ප්‍රකාශය ගෙන ආ නිවේදිකාවෝද එකල සිටියහ. අනෙක් අතට බොහෝ නාළිකාවල බහුලව විකාශය වනුයේ සුපිරි තරු තෝරන ග්‍රාම්‍ය වැඩසටහන් බව රොෂාන්, මෝක්ෂා දුරස්ථ පාලකයෙන් වරින් වර මාරු කරන නාළිකාවලින් පිළිබිඹු වෙයි. ත්රස්තවාදයේ කුරිරු ක්‍රියාවලින් මුළු මහත් ලාංකිකයන් බැට කෑ යුගය "සුළඟ මට කතා කරයි" නාට්‍යයට පසුබිම් වී ඇත. කොළඹ නගරයේ නිවාස සංකීර්ණයක ඉහළ මහලයේ වෙසෙමින් ඔවුන්ගේම ලෝකයක හුදෙකලා වීමට වෙර දරන මේ යුවළට වැඩිවේලාවක් ඒ සිහින ලොව තුළ විසිය නොහැකි වේ. ඊට හේතුව ත්රස්තවාදීන්ගේ ප්රචණ්ඩ ක්‍රියාවලින් නිවාස සංකීර්ණය අවට ප්‍රදේශය තන්හි තන්හි වැටුණු මළ සිරුරුවලින් යුතු ලේ විලක් බවට පත් වීම නිසාවෙනි.මෝක්ෂාගේ විරෝධතාව නොතකා රොෂාන් මේ ඛේදවාචකය බැලීමට මාවතට පිවිසෙයි. එම දර්ශන ප්‍රේක්ෂකයා දකිනුයේ රූපවාහිනී තිරයෙනි. වේදිකා පසුතල මාරු කිරීමෙන් තොරව නාට්‍යකරුවන් මේ අධ්‍යාශය ඉටු කොට ගන්නේ සිනමා මාධ්‍යයේ පිහිට පැතීමෙනි. මෙරටට ආගන්තුක වුවත් යුරෝපීය රටවල නාට්‍ය කලාවේ කොතෙකුත් මෙවැනි අත්හදා බැලීම් සිදු කෙරේ.
දුරකථනයෙන් මෝක්‍ෂාට කතා කරන ඇගේ යෙහෙළියගේ (රුක්ෂාණා මිස්කින් රැඟු) රුවද රූපවාහිනී තිරයේ දිස් වේ. ඕ ශාරුක් ඛාන් සහ හින්දි චිත්‍රපට පිළිබඳ උමතුවෙන් පෙළෙන, සිහින ලෝකයක පාවෙන අනුරාගී යුවතියක බව ඇගේ මුවට නංවන දෙබස්වලින් පෙනේ. රොෂාන් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දැරිය තම නිවෙසට ගෙන ඒමෙන් පසු ඇය තම මියගිය මවුපියන් පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව රොෂාන් හා මෝක්ෂා සමඟ කුලුපග වීම අස්වාභාවිකය. ත්රස්තවාදයේ කුරිරුකම්වලින් අනාථ වූ දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරනු පිණිස අප වෙත පැවරෙන බැරෑරුම් වගකීමත් ජාති, කුල, ආගම් භේදවලින් තොරව ඔවුන් වෙත මානව දයාව, ආදරය ලබා දීමේ අවශ්‍යතාවත් මේ නාට්‍යයෙහි ව්‍යංග්‍යයෙන් පළ වේ. නාට්‍යය අවසානයේ රූපවාහිනී තිරය මත දිස්වන කුඩා දූ දරුවන්ගේ රූප පෙළ මඟින් මෙය මෙරටට පමණක් සීමා වූවක් නොව මුළු මහත් විශ්වයටම පොදු වූ ගැටලුවක් බව හැඟවෙයි. රොෂාන් තමාට අහඹු ලෙස ලැබුණු දියණියට "විශ්ව" ලෙස නම් තබනුයේ මේ යථාර්ථය සංකේතවත් කිරීමට නොවේද ?
චාන්දනී සෙනෙවිරත්න පමණක් නොව ජනක කුඹුකගේද සෝමලතා සුබසිංහ ඇදුරුතුමියගේ නාට්‍ය ගුරුකුලයෙන් රංග කුසලතා මුවහත් කොට ගත් බැව් මෙහිදී සිහිපත් කරනු වටී.
ඉතිරි කොටස ලබන සතියේ...