නළු, නිළි 5 යි, කතා 3 යි, බැරල් 8 යි

ජුනි 24, 2021
“බෝම්බයක් ඉතුරුයි” නාට්‍යයේ උමයංගනා වික්‍රමසිංහ

 

 

චාමික හත්ලහවත්තගේ මෑත කාලීන නාට්‍ය නිර්මාණවල තෙරුණි පීරිස් හැරුණු විට වඩාත් ඉස්මතු වූ රංගන ශිල්පිනිය උමයංගනා වික්‍රමසිංහය. ඔහු රචනා කොට අධ්‍යක්ෂණය කළ "බෝම්බයක් ඉතුරුයි" (2019) නාට්‍යයෙහි යකැදුරු කාන්තාවක ලෙස උමයංගනා නිරූපණය කළ භූමිකාව මෙහිදී මා සිහියට නැඟෙයි. මේ වූ කලී මානසික රෝගයකට ගොදුරු වූ හමුදා නිලධාරියකු වස්තු විෂය කොට ගත් ස්වතන්ත්‍ර නාට්‍යයකි. යුද බිමෙහි තමා මුහුණ පෑ බිහිසුණු අත්දැකීම් හේතුකොට මතු නොව පෞද්ගලික ජීවිතය හා සබැඳී අමිහිරි සිදුවීම්ද එක් වීමෙන් ක්‍රමිකව ඔහු මානසික ව්‍යාධියකට ලක් වන අයුරු මෙහි නිරූපිතය. ස්වකීය බිරිඳ අනියම් පෙමක පැටලීමෙන් ඔහුගේ පවුල් ජීවිතය බිඳ වැටේ. තමා හමුදාවෙන් ඉවත් වී කලක් ගත වී තිබුණත් ඔහු සිතනුයේ තමාගේ හිසෙහි බෝම්බයක් ඉතිරි වී තිබෙන බවය. ඔහු නිතරම මේ බෝම්බය පුපුරා යනු ඇතැයි සිතමින් කල් ගෙවයි. බෝම්බය සැබැවින්ම පවතිනුයේ ඔහුගේ හිසෙහි නොව සිතෙහි බව ඔහුට නොවැටහේ. මෙහිදී යකැදුරු කාන්තාව ඔහුට අතීතය සිහිපත් කොට භාව විශෝධනය (ඛ්චබඩචපඵඪඵ - නභපඨචබඪධද) කරමින් ශිථිලකරණයට (අඥතචයචබඪධද) ලක් කරනු දක්නට ලැබේ. චාමිකගේ මේ නාට්‍යයෙහි දිස් වන සමාජ, ආර්ථික ,දේශපාලනික විවරණයේදී යුරෝපයේ පශ්චාත් නව්‍යවාදී (ර්‍ථධඵබ ථධඤඥපදඪඵථ) චින්තනයෙහි ඇසුර ඔහුට ලැබී තිබෙන බැව් පසක් වේ.

යකැදුරු කාන්තා භූමිකාවක් මේ නාට්‍යයෙහි නිරූපණය වීමෙන් ප්‍රේක්ෂකයා වෙත ගෙන ආවේ නැවුම් අනුභූතියකි. උමයංගනාගේ රංග කුසලතා එළිපෙහෙළි කළ චරිතයක් ලෙස මෙය කැපී පෙනිණ. මෙහි හමුදා නිලධාරියාගේ ප්‍රධාන චරිතය රඟපෑවේ සරත් කරුණාරත්නය.

ගිහාන් ප්‍රනාන්දු , සරත් කරුණාරත්න, උමයංගනා වික්‍රමසිංහ, ප්‍රදීප් රාමවික්‍රම, ජිතේන්ද්‍ර විද්‍යාපති (රවිබන්දු විද්‍යාපතිගේ පුත්), සිලිඳු රන්වල (වසන්ති රන්වලගේ දියණිය) යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. නිරෝෂ් කවිරත්න නිෂ්පාදනය කළ මේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය ළහිරු මාඩියාවලගෙනි. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ රංග කුසලතා සහතිකයක් මේ උදෙසා ප්‍රදීප් රාමවික්‍රමට ලැබිණ.

චාමික හත්ලහවත්ත රචනා කොට අධ්‍යක්ෂණය කළ "රජා මං වහලා"(2016) නාට්‍යයේ උමයංගනා වික්‍රමසිංහ සේම තෙරුණි පීරිස්ද එකිනෙකාට නොදෙවෙනි චරිත නිරූපණයක යෙදෙමින් හොඳම නිළිය ලෙස සම සම්මානවලට පාත්‍ර වූහ. එකම නාට්‍යයක් උදෙසා මෙබඳු සම සම්මාන හිමි වීම රාජ්‍ය නාට්‍ය උත්සව ඉතිහාසයෙහිද ඓතිහාසික සිදුවීමකි. හොඳම නළුවා සම්මානයද එලෙසම මේ නාට්‍යය උදෙසා සම සේ බෙදීයාම තවත් වාර්තාවකි. මෙහි රංගනය වෙනුවෙන් සනත් විමලසිරි සහ සරත් කරුණාරත්න හොඳම නළුවන් ලෙස සම සම්මාන ලැබූහ. එපමණකුදු නොව වසරේ හොඳම නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය (චාමික හත්ලහවත්ත), හොඳම රචනය (චාමික හත්ලහවත්ත), හොඳම රංග වින්‍යාසය (සනත් විමලසිරි, සරත් කරුණාරත්න, චාමික හත්ලහවත්ත), හොඳම රංග වස්ත්‍ර නිර්මාණය (සුවිනීතා පෙරේරා) , හොඳම සංගීත අධ්‍යක්ෂණය (තිලංක ගමගේ) යන සම්මාන 10 ක් "රජා මං වහලා" නාට්‍යයට හිමි විය. මේ නාට්‍යය අරභයා රාජ්‍ය නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩල වාර්තාවල මෙසේ සඳහන් වේ.

 

"සියලු ආනුෂංගයන් මනාව කළමනාකරණය කරගෙන සමස්ත නිර්මාණය සැලසුම් කොට ගොඩනැංවීමේත් තම ආධිපත්‍ය අවසන් රංගනයෙන් පවා ගිලිහෙන්නට නොදී පවත්වා ගැනීමේත් අසීරු කාර්යය ප්‍රශස්තව ඉටුකළ අධ්‍යක්ෂණයක්. නළු නිළි සංඛ්‍යාව ඉතා අඩු වුවද , වේදිකා අවකාශය රංග කාර්යය සඳහා මනා වූ කළමනාකරණයක්. සාම්ප්‍රදායික අරුතෙන් හොඳම නළුවා සහ නිළිය තෝරා ගැනීමේදී අපට සාම්ප්‍රදායික නොවන තීරණයක් ගැනීමට සිදු වීම නොවැළැක්විය හැකි වුණි."

 

අපූර්වා නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ මේ නාට්‍යයේ සනත් විමලසිරි (කථකයා 1), සරත් කරුණාරත්න (කථකයා 2), තෙරුණි පීරිස් (කථකයා 3), උමයංගනා වික්‍රමසිංහ (කථකයා 4), තිලංක ගමගේ (කථකයා 5) යනාදීහු රංගනයෙන් දායක වූහ. පසුතල නිර්මාණයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරිද සංගීත අධ්‍යක්ෂණයෙන් තිලංක ගමගේද රංගාලෝක නිර්මාණයෙන් ආචාර්ය චන්දන අලුත්ගේද ලබා දුන් දායකත්වය ප්‍රේක්ෂක, විචාරක උභය පාර්ශ්වයේ ඇගැයුමට ලක් විය. තිලංක ගමගේ නාට්‍යයේ සංගීතයද අධ්‍යක්ෂණය කරමින් රඟපෑම විශේෂත්වයකි. සනත් විමලසිරි, සරත් කරුණාරත්න, චාමික හත්ලහවත්ත රංග රංගවින්‍යාසයට සම දායකත්වය ලබා දුන්හ. 19 වැනි භරත රංග මහෝත්සවය උදෙසා ලංකාව නියෝජනය කිරීමට "රජා මං වහලා" ට හැකියාව ලැබිණ. මේ වූ කලී පර්යේෂණාත්මක ආකෘතියකින් හා අන්තර්ගතයකින් සමලංකෘත වූ නාට්‍යයකි. භූමිකා 5 ක් , පසුතලයෙහි ප්‍රමුඛතම සංකේතය වූ බැරල් 8 ක් උපයුක්ත කොට ගෙන කතන්දර 3 ක් කියන අයුරෙන් නාට්‍යයෙහි සන්දර්භය ගොඩනැඟී ඇත. මේ නළු නිළියෝ පස්දෙනාම නාට්‍යයේ ගායක , ගායිකාවන් හා වාද්‍යය වෘන්දය බවටද පත් වෙත්. ඔවුහු මැ බැරල් හුවමාරු කරමින් වරින්වර පසුතල වෙනස් කරති. විටෙක බැරල් මත හිඳ ගනිති ; වරෙක බැරල් ඇතුළතින් මතු වෙති; තවත් විටෙක බැරල් පෙරළති.

මෙහි පළමුවැන්න සුරංගනා කතාවකි. මෙය මාළිගාවක සිටින අවලස්සන යැයි සම්මත වහලකු පසුව ලස්සන රාජ කුමාරයකු බවට පත්වන්නා වූ කතාවකි. එක් ජවනිකාවකදී මේ වහලා විලකට බසිනා අතර ඉන් ගොඩට එනුයේ රාජ කුමාරයකුගේ විලාසයෙනි. අද්භූතවාදය (අධථචදබඪජඪඵථ) හා අපරූපවාදය ( ජ්චදබචඵර) පළමු කතාවෙහි ආත්මය බවට පත් වේ.

දෙවැන්න ඓතිහාසික (ඩ්ඪඵබධපඪජචත) කතාවකි. මෙහිලා පාදක වනුයේ අප කවුරුත් දන්නා දුටුගැමුණු රජුගේ කතාවය. එහෙත් චාමික මෙහිදී දුටුගැමුණු රජු දෙස නැවුම් දෘෂ්ටි කෝණයකින් බලන අයුරු දැක්ක හැකිය. රජුගේ මානසික පීඩනය , රණශූරත්වය මතු නොව මෙතෙක් දුටුගැමුණු රජුගේ භූමිකාව ඇසුරෙන් විවිධ කලා මාධ්‍ය ඔස්සේ නිර්මාණ බිහි කළ මෙරට කිසිදු නිර්මාණකරුවකුට හසු නොවූ , ඔහුගේ මනෝවිද්‍යාත්මක පැතිකඩක් අරභයා චාමික සහෘද අවධානය යොමු කොට ඇත. එනම් දුටුගැමුණු මාතෘ ආසක්තභාවයෙන් (ර්‍ණඥඤඪනභඵ ජධථනතඥය) යුත් රජකු ලෙස මෙහි ඉඟි කොට තිබීමය. විහාර මහා දේවිය, ගැමුණු රජු අතර මවක සහ පුතකු ලෙස පැවැති අසීමිත බැඳීම චාමික ඉසියුම් ලෙස මෙහිදී විවරණය කිරීමට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ "ධ්දබඥපනපඥබචබඪධද ධට ච්පඥචථඵ"(1899) කෘතියෙහි දක්නා ලැබෙන යථෝක්ත සංකල්පය උපයුක්ත කොට ගනී. රජුගේ පෙර භවය වූ සුමන සාමණේර හිමියන් වෙත ගොස් "රට බේරා ගැනීම පිණිස විමුක්තිය කල් දමා තම කුසෙහි උපදින ලෙස" විහාර මහා දේවිය නමස්කාර පූර්වකව ඇරයුම් කර සිටීම දක්වාම ඉතිහාසයේ මේ බැඳීම දිවයයි. ගැමුණු රජු තම පියාණන් වූ කාවන්තිස්ස රජුට දුර සිට ආදරය කළත් ඔවුන් දෙදෙනා අතර රාජ්‍ය පාලනය අරභයා නිතර ගැටුම් හට ගත් බැව් පෙනේ. වරෙක පියාගෙන් බේරී පලා ගොස් සැඟවීමටද ඔහුට සිදු වේ. ගැමුණු රජු මෙල්ල වූයේ තම මවු විහාර මහා දේවියට පමණි. ගැමුණු රජු මවුට තිබූ අසීමිත බැඳීමත් කාවන්තිස්ස රජු හා නිතර ගැටුම් ඇති කොට ගෙන පලා යෑමත් යන සිදුවීම් පිටුපස සියුම් හුයක් සේ දිවෙනුයේ ඔහුගේ මාතෘ ආසක්තභාවය බව චාමික මෙහිදී ඉඟි කොට තිබෙන අයුරු අපූර්වය. "රජා මං වහලා" හී එන මේ දෙබස් ඛණ්ඩය බලනු මැනවි.

කථකයා 3 (දේවි) - ඇයි පුතේ මේ වකුටු වෙලා ?

කථකයා 5 - ගිටාරය වයමින් කතන්දරය වර්ණවත් කරයි.

කථකයා 5 (ගීතාත්මකව) - දකුණෙන් ගොළු මුහුද උතුරින් එළාර.

කථකයා 2 (ගැමුණු) - නැගෙනහිරින් තාත්තා. බටහිරින් මල්ලි. මං කොහොමද අම්මට තුරුල් වෙලා නිදාගන්නෙ ?

කථකයා 3 (දේවි) - දේවි කුමාරියට පුංචි එකාගේ මේ පණ්ඩිත කතාවට හොඳටම හිනා ගියා."

 

අද්භූතවාදයෙන් , අපරූපවාදයෙන් ඉතිහාසයටද පැමිණ ඉක්බිතිව චාමික පිවිසෙන්නේ සමකාලීන සත්‍ය සිදුවීමක් වෙතය. මෙහි 3 වැනි කතාවට ඇසුරු වනුයේ සත්‍ය සිදුවීමකි. ප්‍රේමතිලක නමැති පාසල් ශිෂ්‍යයකු හා නිල්මිණි නම් ශිෂ්‍යාවක අතර ඇති වන්නා වූ ප්‍රේමය ඉක්බිතිව වෛරයකට පෙරළීමෙන් ඛේදාන්තයක් බවට පත්වූ අයුරු ඉන් නිරූපිතය. ප්‍රේමතිලක අවලස්සන යැයි සම්මත කාලවර්ණ, විනයගරුක ශිෂ්‍යයෙකි. ඔහු විශිෂ්ට සාමර්ථ්‍ය 8 ක් සමඟ සාමාන්‍ය පෙළ සමත් වීමට තරම් ඉගෙනුමට දක්ෂයෙකි. එසේම ඔහු දහම් පාසලේ ශිෂ්‍ය නායකයාද වේ. ප්‍රේමතිලක, නිල්මිණි නමැති ශිෂ්‍යයාවට පෙම් කරයි. ප්‍රේමතිලක කලා අංශයේත් නිල්මිණි විද්‍යා අංශයේත් උසස් පෙළ හදාරති. ඇය ඔහුගේ ප්‍රේමය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් දොස් නඟන්නීය. විභාගය අවසන් දිනයේ දී ඇය දිවා ආහාරය ගෙන හමාර කරමින් සිටිද්දී ජලය පානයටවත් ඉඩ නොතබා ඔහු ගොස් ඇගෙන් කැමැත්ත අයැද සිටී. මෙහිදී සිදුවන ප්‍රතික්ෂේප වීම් හා බහින්බස් වීම්වලින් කෝපාවිෂ්ට වූ ප්‍රේමතිලක ඇගේ සිරුරෙහි තිස්තුන් පොළකට පිහියෙන් ඇන, කෲර ලෙස මරා දමයි. ඊට දඬුවම් ලබන ප්‍රේමතිලක හට ජලය දකින්නට ලැබෙන සෑම මොහොතකම නිල්මිණි සිහිපත් වේ.

දවල් කෑම ගැනීමෙන් පසු වතුරවත් බොන්නට ඉඩ නොතබා තමා ඇය ඝාතනය කළ බව ඔහුගේ සිතෙහි දැඩි ව තැන්පත් වී තිබේ. මේ නාට්‍යයේ කතා තුනෙහිම ජලය සියුම් හුයක් සේ සංකේතානුරූපීව සම්බන්ධ වන අයුරු දැක්ක හැකිය. පිහියද මේ කතා තුනෙහි වහලාගේද ගැමුණු රජුගේද ප්‍රේමතිලකගේද අතෙහි තිබෙනු දක්නා ලැබේ. කතා තුන අවසානයෙහි දක්නා ලැබෙන සමෝධානයේදී වීරයා වහලාද ? ගැමුණු රජුද? ප්‍රේමතිලකද ? යන ප්‍රශ්නාර්ථය නාට්‍යවේදියා සහෘදයා වෙත යොමු කරනු පෙනේ. අවසන වීරයා බවට පත් වනුයේ වහලා , ගැමුණු රජු හෝ ප්‍රේමතිලක නොව ඔවුන් තිදෙනාම අවසන ගොදුරු වූ පශ්චාත්තාපය නොවේද ?

"රජා මං වහලා" නාට්‍යයෙහි රඟන නළු නිළියෝ පස් දෙනා මෙහි එන සියලු චරිත වරින්වර හුවමාරු කොටගෙන රඟති. එහෙයින් මේ කිසිදු චරිතයක් සමඟ ප්‍රේක්ෂකයෝ තදාත්ම්‍යයක් , බැඳීමක් ඇති කොට නොගනිති. චාමික මේ රංග උපක්‍රමය ඔස්සේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථීකරණය හෙවත් තදාත්ම්‍ය විඝටන (ඒතඪඥදචබඪධද ඥටටඥජබ) සංකල්පය අනුදත් බැව් පෙනේ. "උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා", “සීත අරණේ සුපුල් නාමල", "රුචිරාණෙනි අහන්න...එක පාර මා මරන්න" වැනි සුප්‍රකට ගීත අවස්ථෝචිතව නාට්‍යවේදියා මෙහිදී භාවිතයට ගනී. අද්භූතවාදය, ඉතිහාසය, සත්‍යය මූර්තිමත් කළ කතා ත්‍රිත්වයක සමෝධානාත්මක සන්දර්භයක් සහිත "රජා මං වහලා" නාට්‍යය විමසීමේදී චිත්‍රපට ද්වයක් මා සිහියට නැඟිණ. සොෆියා ලොරේන් සහ මාර්සෙල්ලෝ මාස්ට්‍රොයියනි රඟපෑ, විටෝරියෝ ඩි සිකාගේ "රඥඵබඥපඤචර, ඊධඤචර චදඤ ඊධථධපපධඹ (1963) නමැති ඉතාලියානු චිත්‍රපටය ඉන් එකකි. මෙහි ඇතුළත් වූයේ ඊයේ , අද සහ හෙට නියෝජනය කළ එකිනෙකට වෙනස් අරුමැසිවාදී හාස්‍යෝත්පාදක (අධථචදබඪජ ජධථඥඤර) කතා තුනක එකතුවකි. අනෙක රිශිකේෂ් මුඛර්ජි මුල්වරට අධ්‍යක්ෂණය කළ, රිශිකේෂ් මුඛර්ජි සහ රිත්වික් ඝටක් තිරරචනය ලියූ, දිලිප් කුමාර්, කිෂෝර් කුමාර්, සුචිත්‍රා සෙන්, ඌෂා කිරන්, නිරූපා රෝයි රඟපෑ "ර්භඵචටඪප"(1957) නමැති ඉන්දියානු චිත්‍රපටය වේ. මෙහි ඇතුළත් වූයේ උපත, විවාහය හා මරණය නියෝජනය කළ එකිනෙකට වෙනස් කතා ත්‍රයක සමෝධානයකි. චාමික හත්ලහවත්ත මෙතෙක් නිර්මාණය කළ හොඳම නාට්‍යය "රජා මං වහලා" යැයි කීමට මම මැළි නොවෙමි

ඉතිරි කොටස ලබන සතියේ...