හාස්‍ය රසය යනු...

ජූලි 1, 2021
නොංචි

 

රස භාව විග්‍රහය පිළිබඳ භරතමුණි විග්‍රහයට අනුව විභාව, අනුභාව, ව්‍යභිචාරී භාව සංයෝග වීමෙන් රසය නිපදවනු ලැබේ. (‘‘විභාවානුභාවව්‍යභිචාරිභාව සංයෝගා ද් රස නිෂ්පත්ති“ නාට්‍ය ශාස්ත්‍ර මඪ 33) රසවාදය සියලු සාහිත්‍ය විචාරයේ මූලික සිද්ධාන්තයකි. රස භාව සංයෝගය සකස් ව ඇත්තේ මිනිස් සිතෙහි ජනිත වන සිතිවිලි හා හැඟීම් භෞතික වශයෙන් ද මානසික වශයෙන්ද විග්‍රහ කිරීමෙනි. වචන හා හැඟීම් උපයෝගි කොටගෙන නාට්‍යකරුවා ප්‍රේක්ෂක සිත් සතන් හි භාවයන් අවුස්සා එක ස්ථිර භාවයක් ඔස්සේ රසයක් දනවනු ලබන බව රසවාදයේ විස්තර කෙරේ. රසය යන සංකල්පයෙන් ධ්වනිත කරනුයේ උපරිම වූත් ස්ථාවර වූත් ආස්වාදයකි. රසය ප්‍රේක්ෂකයා තුළ ජනිත වනුයේ නළු රූපණයේ භාව ප්‍රකාශන මාර්ගයෙන් ප්‍රේක්ෂකයා (රසිකයා) තුළ ඇතිවන ආස්වාදය හේතුවෙනි. ආහාර රස කිරීමේදී කුළුබඩු ආදිය එළවළු හා මිශ්‍ර කිරීමෙන් මිහිරි, කටුක සහ ඇඔුල් ආදී රසය හයක් ජනිතවන්නාක් මෙන් විවිධ භාවයෝ ස්ථායි භාව බවට පත්වීමෙන් රසයට පරිවර්තනය වේ. රසවත් ආහාර නිසා ජනයා ඒවා රස විඳ ප්‍රීතිය හා සතුට ලබනුයේ යම් සේද විචාරසම්පන්න ජනයා වචන (වාචිකාභිනය) හැඟීම් හා පැවතුම් (ආංගික, සාත්වික සහ ආහාර්ය අභිනයෝ) පවසන භාවයන් නිරූපණය කරන ස්ථායි භාවයෝ රස විද තුටු පහටු වන බව භරතමුනි නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර කරති. එසේ වන ස්ථායි භාවයෝ රති, හාස, ශෝක, ක්‍රෝධ, උත්සාහ, භය, ජුගුප්සා, විස්මය සහ ශම ආදී නවයක් වෙති. මෙම ස්ථායි භාවයෝ ආලම්බන හා උද්දීපන නම් ද්විප්‍රකාර විභවයන් ගෙන් පෝෂණය වෙති. බාහිර ලක්ෂණ වලින් අභ්‍යන්තර හැඟීම් කෙබඳුදැයි ප්‍රේක්ෂකයන්ට පහදා දීමට ඉවහල් වන භාව “අනුභාව“ නම් වේ. මෙම ස්ථායි භාවයෝ 33 ක් වූ ව්‍යභිචාරීභාවයන්ගෙන් ද පෝෂණය වේ. ඒවා රසයන් බවට පත් වූ විට ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත සහ ශාන්ත නම් වූ රස නවයක් නිපදවේ. ඉන් ශෘංගාර, හාස්‍ය, කරුණ රස ඉතා වැදගත් තැනක් ගනියි. රසය ජනිත වන ආකාරය පිළිබඳ විවිධ විචාරක මත පෙරදිග අපරදිග දී පවතී.

 

හාස්‍ය රසය කෙබදු දැයි හඳුනාගැනීම ට මෙම විචාරක අදහස් වැදගත් වේ. ලොල්ලට නම් විචාරකයාගේ මතය රසය නාට්‍ය යේ චරිත තුළ ඇතිවන බවත්, චරිතවල භාවාවස්ථාව ප්‍රේක්ෂකයාට අරෝපණය වනුයේ නළුවාගේ දක්ෂ චරිත නිරූපණය නිසා බවත්ය. චරිත සර්වප්‍රකාරයෙන් අනුකරණය කොට දක්වන නළුවා නැරඹීමෙන් ප්‍රේක්ෂකයා ලබන ආස්වාදය රසයක් බවට පත්වේ. ශංකුක නම් විචාරකයාට අනුව ප්‍රේක්ෂකයා අනුමාන වශයෙන් නොව ප්‍රත්‍යක්ෂ වශයෙන් රසාස්වාදය අත්කරගන්නා බවයි. භට්ටනායක නම් විචාරකයාට අනුව රස විඳීමේ දී අභිධා, භාවනා සහ රසචර්වණා ත්‍රිවිධ කාර්යයන් මඟින් රස ඇතිවේ. නාට්‍යයක සංවාදවල එන වචනවල ගැබ්ව ඇති මූලික වාච්‍ය ශක්තිය අභිධා නම් වේ. භාවනා යනු භාවනා ශක්තිය හෙවත් භවකත්වයයි. එනිසා පෞද්ගලිකත්වයක් නොමැති ව සාධාරණ ස්වරූපයකින් විභාවයන් ප්‍රේක්ෂකයන් වෙතට පැමිණවීමෙන් ඔවුන්ගේ සිත් ආස්වාදයට පත්වීමයි. රසචර්වණා නම් එසේ ලබන ආස්වාදය තමන් විසින් ස්වයංව විඳීය යුතු එකක් නිසා ප්‍රස්තූත චරිතය සමඟ සම්පූර්ණයෙන්ම එකඟ වීම ය. අභිනව ගුප්ත නම් විචාරකයා රසය “ධ්වනිවාදයට“ සම්බන්ධ කොට විවරණයක් සපයයි. ඔහු පවසන්නේ රසය ධ්වනිවාදයට සම්බන්ධ බවයි. ඔහුට අනුව “රසව්‍යඤ්ජනා“ ව්‍යාපාරයෙන් ලැබෙන රසාස්වාදය පමණක් රස නිෂ්පත්ති කාර්යයෙහිලා වැදගත් වන බවයි. කාව්‍ය යේ ද නාට්‍ය යේ ද වචනවලින් පැවසෙනන මුඛය වාච්‍යාර්ථය හෙවත් මතුපිට අර්ථයට වඩා ඉන් ධ්වනිත ව්‍යංගාර්ථය රසයට විෂය වන හරය බව ඔහුගේ අදහසයි. රසය අවබෝධයකි. ව්‍යාඤ්ජනා ‍ව්‍යාපාරයේ අභිව්‍යක්තී බලයෙන් එය ජනිත වේ. ප්‍රේක්ෂකයන් හා නළුවන් අතර රස වින්දනය අතින් අවශ්‍ය සම්බන්ධයක් තිබිය යුතුය. පූර්ණ රසාස්වාදයක් විඳගනු පිණිස රසිකයා හෙවත් රසය විඳීනු ලබන තැනැත්තා සාහිත්‍යාදි කලාවන් පිළිබඳව මනා දැනුමක් හා අත්දැකීමක් ඇති, උගත් සහ බුද්ධිමත් සහෘදයෙකු හෙවත් සානුකම්පී සිත් ඇත්තෙකු විය යුතුය. ශෝකෝත්පාදකයෙන් ලබන කරුණ රසය ට ද සුඛෝත්පාදකයෙන් හා ප්‍රහසනයෙන් ලබන හාස්‍ය රසය ද පූර්ණව විඳීය හැක්කේ එවන් ප්‍රේක්ෂකයෙකු හට පමණි. රස ආස්වාදනය කිරීමේ දී සිත ක්‍රියා කරන ආකාරය වැදගත් වේ. එනම් මනසෙහි හෙවත් අනාවරණය, විස්තාර හෙවත් ව්‍යාප්ත වීම, ක්ෂෝහ හෙවත් කැළඹීම. වික්ෂේප හෙවත් සෙලවීම යන ලක්ෂණ ක්‍රියාකාරී වීම එහිලා වැදගත් වේ.

හාස්‍ය රසය උත්පාදනය කරන මුඛ්‍ය භාවය හාස නම් වේ. සංස්කෘත නාට්‍යවල එන විදුෂක හෝ විට යන චරිත හාස්‍ය රස මැවීමෙහි ලා බාහිරින් ද ඇතුළාන්තයෙන් ද ඊට උචිත ලෙස සකස් වේ. ඔහුගේ වේශය, කථාව හා හැසිරීම් යන තුන් ආකාරයෙන් ම ඔහු සිනහ උපද වන්නේය. බොහෝ විට මෙම විහිළු සහගත චරිතය මිටි, කුදු ගැසුණු, හිසකෙස් නොමැති, දත් ඇද වූ, විකෘති මුහුණක් ඇත්තෙකි. කෝලම් වල එන ජසයා, නොංචි කෝළම, යක්කම් වල එන මහල්ලා සොකරි වල එන චරිත (පිරිමි) මේ හා සමාන ඇත්තෝය. පැරණි ලාංකීය ඉන්දීය චිත්‍රපටවල එන විකට චරිත බොහෝ විට උක්ත ලක්ෂණ කිහිපයක් සහිත වේ. විදූෂක, විට චරිතය නිසරු බස් කියන කෑමට ගිජු පුද්ගලයෙකි. ඔහු පැලදි වස්ත්‍ර ඉරුණු ඒවා හෝ පැහැයක් නැති වර්ණ සහිතය. ඔහු අන්‍යන්ට විහිළු කරයි. එම විහිලු වලින් ඔහුම ලැජ්ජාවට පත් වේ. වට්ටෝරු ගත සම්ප්‍රදායේ කතානායකයාගේ ලඟම මිතුරා ඔහුය. කතානායකයා මෙන් පියකරු නොමැත. දුටුවනට සිනහ උපදවන රුවක් ඇත්තෙකි. පැරණි සංස්කෘත නාට්‍ය රචකයෝ කතානායකයාගේ අරමුණ සඵල කර ගැනීමට ඔහුගේ උපායන් භාවිත කරයි. තවත් නාට්‍ය රචකයෝ මෙවන් හාස්‍යමය චරිත උසස් සමාජයේ පැවති ඇතැම් දුබල චරිත ලක්ෂණ උපහාසයට ලක් කිරීමට මෙම චරිත මගින් උත්සාහ ගනු ලැබීය. අපරදිග නාට්‍ය කලාවේ ඇරිස්ටොෆනීස් වැන්නෝ සමාජ විචාරය උදෙසා හාසෝත්පාදනය බරපතළ ලෙස භාවිත කළ අතර ගැමි නාට්‍යකරුවාගේ සමාජ විචාරය හා පහර ගැසීමේ ප්‍රභලතම අවිය වූයේ හාස්‍යයයි. හාස්‍ය රසයක් ම පමණක් නොව අතීතයේ සිට අනාගතය දක්වා ම සමාජ විචාරයේ ප්‍රබලතම අවියක්ද වන්නේය. වර්තමාන දියුණු පුවත්පත් කලාවේ ද, අන්තර්ජාලයේ ද හාස්යෝත්පාදක කාටුන් හා කාටූන් චරිත සමකාලීන සමාජ දේශපාලන විචාරයෙහි ලා ප්‍රබල ලෙස භාවිත කරනු ලබයි.