ලොරීටාගේ කටාක්ෂ නිරීක්ෂණය...

දෙසැම්බර් 16, 2021

නිළියක ලෙස මතු නොව ගායන ශිල්පිනියක ලෙසද ස්වීය අනන්‍යතාව පළට කිරීමට අනුලා බුලත්සිංහල සමත් වූවාය. ඇයගේ වේදිකා ගැයුම් සේම ගුවන් විදුලි සරල ගීතද ඊට දෙස් දෙයි.වේදිකා නාට්‍ය වූ කලී තත්ෂණ ජීව කලාවකි. වේදිකා නාට්‍ය ගීතයක් සහ සරල ගීතයක් අතර පවත්නා වෙනස අනුලා මැනවින් වටහාගෙන සිටියාය. සරල ගීතයකට වඩා වේදිකා නාට්‍ය ගීතයක සජීවි සංවාදාත්මක ස්වරූපය වඩා ඉස්මතු වේ. වේදිකා නාට්‍ය ගීතයක් ගැයීමේදී ඈත සිටින ප්‍රේක්ෂකයාටත් ඇසෙන පරිද්දෙන් තීව්‍ර ලෙස හඬ ප්‍රක්ෂේපණය කිරීම (Voice projection) ඉතා ඇවැසිය.මයික්‍රෆෝනය ඉදිරියේ සරල ගීතයක් ගැයීමේදී එය එසේ සිදු කළ යුතු නැත. විශාරද ගුණදාස කපුගේ , විශාරද මාලිනි බුලත්සිංහල ගායන යමකය ගයා අතිශයින් ජනප්‍රිය වූ "දම්පාටින් ළා සඳ බැස යනවා" ගීතය (ගේය කාව්‍ය - ලූෂන් බුලත්සිංහල) පළමුව ගැයුවෝ එය සංගීතවත් කළ ඔස්ටින් මුණසිංහ සහ අනුලා බුලත්සිංහලය. "සුදු ඔසරිය ඇඳලා", "රඟහල දැන් ඇත අඩ අඳුරේ" ( විජේරත්න වරකාගොඩ සමඟ), බුදුන් වඳීන මේ දෑතින්" (ඉන්ද්‍රචාපා බුලත්සිංහල සමඟ),"පන්සල පාමුල"(ගුණදාස කපුගේ සමඟ) ඈ ගීත අනුලා ගැයූ සරල ගී සඳහා දෘෂ්ටාන්තයෝ වෙත්. ඇගේ රැඟුමෙන් නර්තනයෙන් ඔපවැටුණු නාට්‍යවල ඇගේ සුගායනයද මැනවින් මුසු විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මහාසාර" හී සමස්තාර්ථයෙහි , භාෂා උප විඤ්ඤාණයෙහි කුළුගැන්වෙන උපහාස රසය ඇගේ ගැයුමෙන්ද සහෘදයාට සූචනය කෙරිණ. 

බිසවගේ මහාසාර පලඳනාව සොයා ගත නොහැකිව රජකම හැරදමා තමා තපසට යන බව රජු ඇයට පවසන ජවනිකාවේ බිසව ගයන ගීතය මීට එක් නිදර්ශනයකි.

"එතකොට මගෙ පලඳනාව 
මම කොහොමද 
සොයා ගන්නෙ 
ඒක නැතුව කොහොමද මම 
මඟට බැහැල යන්නෙ එන්නෙ 
පරම්පරා ගණනාවක් 
ඇන්ද පලඳනාවක් නේ 
මව් බිසවට ඒක ලැබුණෙ 
ඇගෙ මව් බිසවගෙ අතින්" 

ලූෂන් බුලත්සිංහලයන්ගේ "තාරාවෝ ඉගිළෙති" (1981) ලූෂන් - අනුලා සුසංයෝගය සැබෑ ජීවිතයෙන් ඔබ්බට ගෙන ගිය මංසලකුණකි. සරල සුගම රසාස්වාදයත් ජීවිතේ ගැඹුරු අරුත් විමසීමත් යන දෙඅන්තයම එක සේ ජය ගනිමින් දීර්ඝ කාලයක් පුරා ප්‍රේක්ෂකයා අතර නොමැකෙන සේ ජනාදරයට පාත්‍ර වූ නාට්‍යයක් නිර්මාණය කිරීමට මේ ඔස්සේ ලූෂන් බුලත්සිංහලයෝ සමත් වූහ. රෝම නාට්‍යයක් අනුවර්තනයෙන් බිහිවූ ප්‍රථම සිංහල නාට්‍යය ලෙස මෙය ඉතිහාසගත වේ. මේ වූ කලී සුප්‍රකට රෝමානු නාට්‍යවේදී ප්ලෝටස්ගේ ප්‍රශස්ත නාට්‍යය ලෙස සැලකෙන "Menaechmi" (The Brothers Menaechmus" / The Two Menaechmuses") හී අනුවර්තනයකි (Adaptation). "තාරාවෝ ඉගිළෙති" දීර්ඝ කාලයක් එනම් දශක ගණනාවක් පුරා දර්ශන වාර 1500 කට අධික සංඛ්‍යාවක් රඟදක්වමින් ජනතාව රංජනය කළ ප්‍රහසන නාට්‍යයකි.

තිස්ස සහ විජය නිවුන් සොහොයුරෝ වෙති. ළමා කාලයේදී නුවර පෙරහැර බලමින් සිටිද්දී ඔවුහු අතරමං වෙත්. තිස්ස සහ විජය බාහිර ස්වරූපයෙන් එක හා සමාන වන අතර ඔවුන් දිගු කාලයකට පසුව යළිත් හමු වනුයේ සිංගප්පූරුවේදීය. දෙදෙනාගේ බාහිර රූපකායෙහි මෙකී සමානත්වය හේතු කොට භාර්යාවන්ට සහ මිතුරු මිතුරියන්ට ඔවුන් හඳුනාගැනීමට අපහසු වීමෙන් ගැටලු රාශියක් පැන නැඟේ. සමස්ත නාට්‍යය පුරාම ප්‍රේක්ෂකයා ග්‍රහණය කොට ගනුයේ නිවුන් සොහොයුරන් දෙදෙනා වරදවා හඳුනා ගැනීමෙන් මතුවන හාස්‍ය , උත්ප්‍රාසය, කුතුහලය ඔස්සේ ජනිත වූ රසයයි. ප්‍රාණවත් සංවාද ඔස්සේ හාස්‍ය කුළුගන්වන නාට්‍යවේදියා ව්‍යංග්‍යාර්ථ දනවන බස් වහරක් එහිලා උපයුක්ත කොට ගනී. මේ වූ කලී සංයමය, ස්වයංවාරණය ආත්ම කොට ගත් බස් වහරකි.ස්ත්‍රී පුරුෂ සබඳතා , හාස්‍ය දැනවීමේදී නාට්‍යවේදියා කිසිලෙසකින් හෝ අසැබි වදන් භාවිතයට නොගනී. මෙවැනි ප්‍රස්තුත ඔස්සේ නාට්‍ය නිර්මාණය කිරීමේදී අනුප්‍රාප්තික නාට්‍යවේදීන් හට ලූෂන් බුලත්සිංහලයන් පරමාදර්ශයක් වනුයේ එහෙයිනි.

"තාරාවෝ ඉගිළෙති" මෙරට වේදිකා නාට්‍ය සංගීතයෙහි , ගීත සාහිත්‍යයෙහි සන්ධිස්ථානයකි. ලූෂන් බුලත්සිංහලයන්ගේ ඖචිත්‍යපූර්වක සජීවී ස්වරූපයේ ගේය කාව්‍යයෙන් සහ විශාරද ගුණදාස කපුගේ සූරීන්ගේ කර්ණරසායන සංගීතයෙන් බිහිවූ සදානුස්මරණීය , මෙකලද එක ලෙස ජනකාන්ත ගීතාවලියක් මීට අන්තර්ගත විය.ගීත 11ක් මේ නාට්‍යයට ඇතුළත් වූ අතර "සෝබාව දේ", "මඩේ ලගින තාරාවන්", "කඩේට පලයන් චූන් චෑන්", "බෑ බෑ ගෙදර යන්න බෑ", "යාළුවො මාළුවො", "තට්ටු කරන්න හෙමින්" යන ගීත ඉන් වෙසෙසින් කැපී පෙනිණ.

නීල් අලස්, අනුලා බුලත්සිංහල, ජය ශ්‍රී චන්ද්‍රජිත්,ජයලත් මනෝරත්න, විජය නන්දසිරි, පද්මිණී දිවිතුරුගම, දේවිකා මිහිරාණි, නිශ්ශංක දිද්දෙණිය, නන්ද වික්‍රමගේ, ලාල් කුලරත්න යනාදීන් මෙහි ප්‍රථම නිෂ්පාදනය සඳහා රංගනයෙන් දායක වූ අතර දෙවැනි නිෂ්පාදනයේ යූ.ආරියවිමල්, ගාමිණි සමරකෝන්, ලූෂන් බුලත්සිංහල, අනුලා බුලත්සිංහල, ජැක්සන් ඇන්තනි, මර්සි එදිරිසිංහ, සමන් බොකලවෙල, රොඩ්නි වර්ණකුල, නන්දසේන හේවගේ, අශෝක අතාවුදහෙට්ටි, ලයනල් වැන්සන් යනාදීහු රඟපෑහ.

භූමිකාව ගැමි ලියකගේ වුවත් නාගරික කාන්තාවකගේ වුවත්, නාට්‍යය ශෛලිගත වුවත් තාත්වික වුවත් ඖචිත්‍යපූර්වකව ඊට අනුවර්තනය වීමට අනුලා සමත් වූවාය."තාරාවෝ ඉගිළෙති" හී විජය නමැති තරුණයාගේ පෙම්වතිය වූ ලොරීටාගේ භූමිකාව ඇගේ රූපණ දිවියේ කඩඉමකි. සාත්වික අභිනයේ දී තමාටමැ ආවේණික වූ හාව භාව ලීලා (අනුරාගී රැඟුම්) සේම කටාක්ෂ නිරීක්ෂණය (ඇස් කොනින් බැලීම) ලොරීටාගේ චරිතය නිරූපණයේදී ශූර ලෙස ඇය උපයුක්ත කොට ගනී. පූර්වයෙහිද ම විසින් ලියන ලද පරිදි වේදිකාවේ මා දුටු අනුරාගී රංග ශිල්පිනිය අනුලා බැව් සමර්ථනය කිරීමට දිය හැකි හොඳම නිදර්ශනයද ලොරීටාය. ලෝරීටා සිංගප්පූරුවේ වාසය කරන ලාංකික කාන්තාවකි. එක හා සමාන බාහිර රූපකායෙන් යුක්ත වූ නිවුන් සොහොයුරන්ට රැවටෙන ලොරීටාගේ චරිතය සැහැල්ලු දඟකාර ප්‍රේමාන්විත, අනුරාගී ස්වභාවයෙන් ක්‍රමිකව සංකීර්ණ මුහුණුවරකට පරිවර්තනය වේ. ඇගේ සිතැඟි හෙළිකරමින් වරෙක මෙසේ ගයන්නීය. 

සුළඟින් බිත්ති තැනූ 
සුවඳීන් පිරියම් වූ 
මාලිගයකි මගෙ 
හද දොරගුළු නැති 
පිරීතිරී තදබද වී ආදරේ

අහසකි මගෙ සිත 
සියොතුන් හැසිරෙන 
සැමරුම් මේ කුළු අතර 
නිරන්තර

නිදහස ඇත කාටත් 
පිවිසෙන්නට 
ඉන්න එපා එළිපත්තේ ආදරේ 
මුවවිත තෙක් හද 
ඔබෙන් පිරී ඇත 
එනමුදු සැමදෙන 
තව එක් අයෙකුට 
පිවිසිය හැකි ලෙස 
දොරක් වැසී දොරක් 
හැරේ ආදරේ

පළමුව ඇය විජය පිළිගැනීමේදී සහ පසුව ඔහුව ප්‍රතික්ෂේප කිරීමේදී ඇගේ මනෝභාවයන්ගේ වෙනස් වීම රැඟුමෙන්ද ගැයුමෙන්ද මැනවින් කුළුගැන්වීමට අනුලා සමත් වූවාය.එහිලා සනිදර්ශිත මුල් ගීය මේය.

තට්ටු කරන්න හෙමින්  
තට්ටු කරන්න හෙමින් 
මගේ විමානේ 
දොරටුව ඔබගෙයි 
තට්ටු කරන්න හෙමින් 
තට්ටු කරන්න හෙමින්

දෙපා තබන්න හෙමින් 
දෙපා තබන්න හෙමින් 
මගේ බුමුතුරුණේ 
සුපහස ඔබටයි 
දෙපා තබන්න හෙමින් 
දෙපා තබන්න හෙමින්

මා වෙත එන්න පෙමින් 
මා වෙත එන්න පෙමින් 
මගේ මී බඳුනේ 
මධුරස ඔබටයි 
මා වෙත එන්න පෙමින් 
මා වෙත එන්න පෙමින්

දෙවැනි ගීය මෙසේය. 

ඉගිළ යන්න ඇයි බැරි 
ඉගිළ යන්න ඇයි බැරි 
මගෙ තාරාවෝ 
කූඩුවේ දොර හැර දැම්මා මා 
අහස තියේ ඔබහට සීමා 
විසල් ලොවට මඟ 
ඉඩ දෙම්මා 
ඉතින් ඉගිළියන් තාරාවා 
ඉගිළි පල කළු තාරාවා

මේ ලිපිය උදෙසා ඇතැම් සේයාරූ මා හට ලබාදුන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී කුමාර එදිරිසූරිය මහතාට මගේ කෘතඥතාව හිමි වේ.