වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
මේ වනයට මම පතිනිය වන්නේ...
ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 85 ලිපිය
ජනවාරි 6, 2022

බන්දුල ජයවර්ධන සූරීන්ගේ නාට්‍ය නිර්මාණ අතර ප්රශස්ත කෘතිය වූයේ "බෙරහඬ" (1961) යැයි කීමෙහි වරදක් නැත.ඔහුගේ දෙවැනි නාට්‍ය නිෂ්පාදනය මෙය විය.ග්‍රීක නාට්‍ය කලාවට බන්දුල ජයවර්ධනයෝ බෙහෙවින් ඇලුම් කළහ.ඔහු ඒ අරභයා ගැඹුරින් හදාළේය."බෙරහඬ" වූ කලී ග්‍රීක නාට්‍ය සේවනයෙන් බන්දුල ලත් මාහැඟි ඵලයකි. පෙර අපර දෙදිග නාට්‍ය සම්ප්රදායන්හි මනා මුසුවක් සනිටුහන් කිරීමට ඔහුට මේ නාට්‍යය ඔස්සේ හැකියාව ලැබිණ. මේ වූ කලී සම්භාව්‍ය ග්‍රීක ශෝකෝත්පාදක නාට්‍යවේදී සොෆොර්ක්ලීස්ගේ "ඉක්නෙව්ටායි" නම් වූ ප්‍රහසන (Satyr) නාට්‍යයේ අනුවර්තනයකි. "ඉක්නෙව්ටායි" යන ග්‍රීක වදයෙහි අරුත "දඩයක්කරු" යන්නය. ග්‍රීක නාට්‍යයෙහි පෙළ එලෙසින්ම අනුවර්තනය නොකොට මෙහි ආකෘතියෙන් හා අන්තර්ගතයෙන් දේශීය ලක්ෂණ කුළුගැන්වීමට නාට්‍යවේදියා උත්සුක වූයේය. ඉන් ජනිත වූයේ පෙර කී ලෙස පෙර අපර දෙදිග නාට්‍ය සම්ප්‍රදායන් හි සහසංකලනයකි. 1961 මහනුවර පුෂ්පදාන විද්‍යාලයීය ශාලාවේ මෙහි ප්‍රථම දර්ශනය පැවැත්විණ.එය නිර්මාණය වූයේ පේරාදෙණිය ගොවිකම් දෙපාර්තමේන්තුවේ සිංහල සාහිත්‍ය සංගමය වෙනුවෙනි. 

දේශීය නාට්‍ය සම්ප්රදායෙහි ගැමිවහරෙහිත් සම්භාව්‍ය සාහිත්‍යයෙන් සුපෝෂිත කාව්‍යාත්මක බස්වහරෙහිත් මුසුවක් "බෙරහඬ" හි දක්නා ලැබේ.දේශීය නාට්‍ය සම්ප්රදායෙහි දිස්වන සංගීත හා නර්තන ශෛලීන් මෙන්ම පැරණි ඇදැහිලි, විශ්වාස නාට්‍යෝචිත අයුරින් මෙහිදී උපයුක්ත කොට ගෙන ඇත. අපරදිග ග්‍රීක නාට්‍යයක සාරය මෙලෙස පෙරදිග නාට්‍ය සම්ප්රදාය ඇතුළත බහාලමින් අපේක්ෂකයාට නවමු අනුභූතියක් ලබා දුන් පුරෝගාමී ප්රයත්නයක් ලෙස "බෙරහඬ" සැලකිය නොහැකිද ? එහෙත් ග්‍රීක නාට්‍යයක ඇසුර ලබා නිර්මාණය වූ ප්‍රථම සිංහල නාට්‍යය "බෙරහඬ" නොවේ. ආචාර්ය හෙන්රි ජයසේනයෝ මෙහිලා පුරෝගාමී වූහ.
ඔහු "ඇත්ත කුමක්ද ?" (1955) නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ග්‍රීක නාට්‍යවේදී ඇරිස්ටොෆනීස්ගේ "The Clouds" නම් වූ සුප්‍රකට හාස්‍යෝත්පාදක නාට්‍යයේ ඇසුරෙනි. “බෙරහඬ” ආරම්භයේ පෙරදිග සක්‍ර දෙවියන් සහ ග්‍රීසියේ සියුස් දෙවියන් තුලනාත්මක විමසනු දක්නා ලැබේ. මුල් ග්‍රීක නාට්‍යයේ ගවයන්ට අධිපති ඇපලෝ දෙවියන්ගේ හරක්, හර්මීස් දෙවියන් සොරකම් කොට සංගීත භාණ්ඩයක් තැනූ හැටි කියැවෙයි. එනම් "බෙරහඬ" හි තේමාවෙන් කුළුගැන්වෙනුයේ බෙරයේ උත්පත්ති කතාවය."බෙරහඬ" හිදී අපරදිග ඇපලෝ දෙවියන් වෙනුවට පෙරදිග හිරු දෙවියන්ද හර්මීස් දෙවියන් වෙනුවට පංචසිඛ ගාන්ධර්වයාද දක්නට ලැබීමෙන් බන්දුල ජයවර්ධනයන්ගේ පෙරදිග ඥාතීත්වය හෙළිවෙයි. දෙවිවරුන් සහ යක්ෂයන් මෙහි ප්‍රධාන භූමිකා බවට පත්වන අයුරු දැක්ක හැකිය. මෙරට ජනශ්රැතියෙහි එන ගොපලු යකා සහ ඔහුගේ යක් සමූහය මෙහිදී වෙසෙසින් කැපී පෙනෙති.
ලාංකේය නාට්‍ය කලාවේ අග්‍රගණ්‍ය කෘතිය වූ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" මුල්වරට වේදිකාගත වූයේ "බෙරහඬ" වේදිකාගත වූ 1961 වසරේදීය. එච්.එච්.බණ්ඩාරයෝ මේ ප්රශස්ත නාට්‍ය ද්වයෙහිම සංගීතය අධ්‍යක්ෂණය කළහ. "බෙරහඬ" මුල් නිෂ්පාදනයට දායක වූවන් අතර අද දිවමන්ව සිටින අල්පය අතර කලාභූෂණ විමලධර්ම දියසේන ප්රමුඛයෙකි. එහි අංගරචනා කළ දියසේනයෝ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යයේ රංග වස්ත්‍ර නිර්මාණයට මහාචාර්ය සිරි ගුනසිංහයන්ට සහාය වූ අතර "සිංහබාහු" නාට්‍යයේ අංග රචනා කළහ.
පසුකලෙක එනම් 80 දශකයේ මැද භාගයේ දී ලූෂන් බුලත්සිංහලයෝ, බන්දුල ජයවර්ධනයන්ගේ පිටපතට අනුව "බෙරහඬ" නාට්‍යය යළිත් අධ්‍යක්ෂණය කළහ. එය ධම්ම ජාගොඩ සූරීන්ගේ සංකල්පයකට අනුව මැදිරියක රඟදක්වා ලූෂන්ගේ අධ්‍යක්ෂණය යටතේ එය රූපවාහිනී මාධ්‍යයට නැඟී ජාතික රූපවාහිනියේ විකාශය කෙරිණ. ඉන් සිදු වූ මහඟු මෙහෙවර නම් මේ "බෙරහඬ" නිෂ්පාදනය රූපවාහිනි මාධ්‍යයෙන් සංරක්ෂණය වීමය. මේ නිෂ්පාදනයේ හිරු දෙවියන් ලෙස ගාමිණි සමරකෝන්ද පංචසිඛ ගාන්ධර්වයා ලෙස ග්‍රැන්විල් රොඩ්රිගෝද වනයේ පතිනිය ලෙස අනුලා බුලත්සිංහලද ගොපලු යකා ලෙස ජැක්සන් ඇන්තනිද රංගනයෙන් දායක වූහ. ඒ හැරුණු විට සරත් පීරිස්,රොඩ්නි වර්ණකුල,වැන්සන් ලයනල්, උදේනි චන්ද්‍රසිරි, ක්ලයින් පෝල් ආදීහු ගොපලු යක් පැටවුන් ලෙස රංගනයෙන් එක් වූහ.
වනයේ පතිනිය ලෙස රඟන අනුලා බුලත්සිංහල, ගොපලු යක් පැටවුන්ගේ හඬ ඇසී ගල් ගුහාවෙන් එළියට පැමිණ, නර්තනයෙන්ද හැඩගැන්වුණු ගැයුමක් මෙලෙස ගයන්නීය. එහිදී එච්.එච්.බණ්ඩාර මුල් නිෂ්පාදනය සඳහා නිර්මාණය කළ ස්වර සංරචනා සහ සුමධුර ගීතවලට ඔස්ටින් මුණසිංහයන්ගේ සංගීතයෙන් කලානුරූපී නව්‍ය වර්ණයක් එක් කෙරිණ. "බෙරහඬ" හී මතු දැක්වෙන ගීතයෙන් ශාන්තිකර්මයක ස්වරූපය සහෘදයාට සිහිපත් කරවයි.
කවුද බොලන්නේ 

මේ පෙරළි කරන්නේ
වනය දෙකඩ කර
මොර හඬ දෙන්නේ
ගොපලු යකාගේ
යක්ෂ පැටවුනේ
මොකද මුන්ට
අද වෙලා තියෙන්නේ
ඉස්සර නම් මුන්
මෙහෙම නොවෙයිනේ
විනයක් දහමක්
කියුවම අහනවා
ඉස්සර නම් මුන්
මෙහෙම නෙවෙයිනේ
බෙරයක් ගැහුවම
අවනත වෙනවා
බලියක් ඇරියම
පැනලා දුවනවා
හිටින් තොපිට
දෙහි කපන්න
ඇයිද යකුනි තොපි
පෙරළි කරන්නේ
කෑකෝ ගසමින්
බෙරි හඬ දෙන්නේ
නිසංසලේ අපි
මෙතැන සිටින්නේ
එහෙව් අපිට ඇයි
තොපි ඉන්ඩ නොදෙන්නේ
හොරා හොරා කියමින්
හඬ දෙන්නේ
ඒ ඇහිලයි මම එළියට පැන්නේ
දනිවු යකුනි තොපි
මම කවුද කියන්නේ
මේ වනයට මම
පතිනිය වන්නේ
ජන නාද රටාවෙන් , තොවිල් සම්ප්‍රදායෙන් උකහා ගත්, එච්.එච්.බණ්ඩාරයන්ගේ සංගීත නිර්මාණයෙන් හැඩ වූ "බෙරහඬ" හී වඩාත් සුප්‍රකට ගීය මේය. හොරා ගත් හරක් සෙවීමට හිරු දෙවියෝ ගොපලු යකා ප්රමුඛ යක් සමූහයට පවරති.ගොපලු යකා ලෙස රඟපෑ ජැක්සන් ඇන්තනි සූරීහු ඇතුළු පිරිස මෙසේ ගයත්.
හනික වරෙව් කොල්ලනේ
මෙන්න මෙහෙ වරෙව්
මෙන්න මෙහෙ වරෙව්
කොල්ලනේ
නට නටා වරෙව්
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්
යකෝ
තොපිට හරිම
වාසියක් නට නටා වරෙව්
වැඩේ අමාරුත් නැතේ
තෑගි ටිකත් අපි අතේ
රත්තරනින් ගෙවන්නේ
හිරු දෙවියොයි කියන්නේ
සාදු සාදු කියල්ලා
ප්‍රීති ඝෝෂා කරල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද උඩින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද යටින් වරෙල්ලා
ලෝකෙ වටේ ගොහිල්ලා
හරක් හොරා සොයල්ලා
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා සොයල්ලා
වනන්තරේ සොයාපියෝ
ගල් අරඹේ සොයාපියෝ
මරුකතරේ සොයාපියෝ
මිනිස් වාසේ සොයාපියෝ
කඳු මුදුනේ ගං ඉවුරේ
වනන්තරේ සොයාපියෝ
හිරු දෙවිඳුගෙ
ගොපල්ලෝ අපි
අපිට දෙවියෝ බලාපියෝ
රන් අභරණ පැලඳ ගත්ත
මහපොළොවේ රන් වපුරන
හිරු දෙවියෝ බලා පියෝ
හරක් සොයා ගන්න
සියලු දෙවියෝ පිහිටවෙයෝ
බඹුනි බඹ ලොව සිටින
දෙවියනි තිලෝ පාලන
මාත් මගේ කොල්ලන
යදින මෙයැදුම අසාලනු මැන
හොරා ගිය ගවයින
සොයා දෙනුමැන
ඇහැකි විගසින
බලා ඔබේ දිවැසින
හිරු දෙවිඳුගේ බාරන
අපේ ගමන කෙටි වේවා
මහන්සිය අඩු වේවා
ලෝ සියලු දේවා
හරක් සෙවුමට පිහිට වේවා
මෑත කාලයේ ප්‍රවීණ නාට්‍යවේදී, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, බන්දුල ජයවර්ධනයන් ගේ පිටපතට අනුව "බෙරහඬ" (2018) යළිත් අධ්‍යක්ෂණය කළේය. එය එවර රාජ්‍ය නාට්‍ය උලෙළහිද ආරාධිත නාට්‍යයක් විය. ජයනාත් බණ්ඩාර හා මාධනී මල්වත්තගේ මෙහි ප්‍රධාන චරිත රඟපෑ අතර සෙසු චරිත ටවර් රඟහල පදනමෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රඟපෑහ.
මතු සම්බන්ධයි...