පණ අදින ලෝකයක මවකගේ දිරිය

මැයි 12, 2022

 

සෝමලතා සුබසිංහ නම් වූ කෘතහස්ත රංගවේදිනියගේ වේදිකා නළු රූපණ ප්‍රතිභා ප්‍රභා අධ්‍යයනයේදී ආචාර්ය හෙන්රි ජයසේනගේ "දිරිය මව හා ඇගේ දරුවෝ" හී දිරිය මව, රංජිත් ධර්මකීර්තිගේ "හිරු නැති ලොව" හී වැසිලිසා, චූලා කාරියවසම්ගේ "සිරිත් විරිත්" හී ගෝල්ඩා , රංජිත් ධර්මකීර්තිගේ "චෙරි උයන" හී රැනවෙස්කයා, රංජිනි ඔබේසේකරගේ "බර්නාඩාගේ සිපිරිගෙය" හී බර්නාඩා ඇල්බා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ "කදා වළලු" හී සිටු දේවිය, "පබාවතී" හී කුදී , දයානන්ද ගුණවර්ධනගේ "නරිබෑනා" හී ගම මහගේ, සිදත් ශ්‍රී නන්දලෝචනගේ "අත්තක මල් පරව ගියා" හී දුව, ධම්ම ජාගොඩගේ "වෙස්මුහුණු" හී කුමාරි උඩුවෙල, රංජිත් ධර්මකීර්තිගේ "අංගාරා ගඟ ගලා බසී" හී ලැරීසා, ෆ්‍රිට්ස් බෙනවිට්ස්ගේ "ආඬි රැලේ නාඩගම" හී පීචම් මහත්මිය, කෞශල්‍යා ප්‍රනාන්දුගේ "සඳ ළඟ මරණය" හී මව යනාදී එකිනෙකට වෙනස් භූමිකා මා හට සිහිපත් වේ.

ආචාර්ය හෙන්රි ජයසේන විසින් සිංහලට අනුවර්තනය කොට නිෂ්පාදනය කරන ලද "දිරිය මව සහ ඇගේ දරුවෝ" නාට්‍යයේ මංගල දර්ශනය 1972 වසරේ අප්‍රේල් 20 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී පැවැත්විණ. මේ වූ කලී ජර්මානු ජාතික ප්‍රකට නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "Mother courage and her children" (1941) නාට්‍යයෙහි සිංහල අනුවර්තනයකි. සැබැවින්ම "දිරිය මව" යන සිංහල යෙදුම වඩාත් සමාජගත වූයේ මේ නාට්‍යයෙන් පසුව බැව් සත්‍යයකි. මේ වනාහී මනුෂ්‍යත්වය පිළිබඳ ඉසියුම් විග්‍රහයක් අන්තර්ගත 17 වැනි සියවසේ ආගමික යුද්ධයක් පසුබිම් කොට ගෙන රචනා වූ නාට්‍යයකි. යුද්ධයෙන් ක්ෂණභංගුර වූ සමාජ, දේශපාලන, ආර්ථික සන්දර්භයක දිරියෙන් නැඟී සිටිමින් ජීවිකාව ගෙන යන ගැහැනියකගේ, මවකගේ භුමිකාව මෙහි කේන්ද්‍රීය චරිතය බවට පත් වේ. "දිරිය මව හා ඇගේ දරුවෝ" හී අන්තර්ගතය වරක් එඩ්මන්ඩ් ජයසූරිය මහතා සංක්ෂේපයෙන් මෙසේ විවරණය කළේය.

"දිරිය මව කරත්තයක බඩු පටවාගෙන සිය පුතුන් දෙදෙනාත්, ගොළු දියණියත් සමඟ යුද ඇවිළුණු සටන් බිම හරහා වෙළඳාමේ යයි. එය ඇගේ වෘත්තීයයි. යුද්ධයෙන් වැනසී ගිය මානව ගුණාංගයන් අතර වල්මත් වූ ඇය ඉබාගාතේ පාවෙන පරඬැල් පතක් වැන්න. මවගේ අකැමැත්ත යටතේ වුවත් පුතුන් දෙදෙනා යුද්ධයට බඳවා ගනු ලැබෙත්. එකෙක් අවසනාවන්ත ඉරණමකට ගොදුරු වේ. අනිකා මරා දමනු ලැබේ. අවසානයේදී ඉතිරි වන්නේ මවත් ගොළු දියණියත් පමණි. සතුරු සේනාංකයන් පැමිණි බව බෙරයක් වයා සංඥා කරන්නට ගොස් ගොළු දියණිය වෙඩි කා නසී. දිරිය මව විසිරී ගිය ජීවිතය යළිත් හසුරුවා ගෙන පුරුදු පරිදි කරත්තය ඇදගෙන වෙළඳාමේ යයි."

මෙහි දිරිය මවගේ සංකීර්ණ භූමිකාව සෝමලතා සුබසිංහ හා මානෙල් ජයසේන රඟපෑහ. ඔවුහු මේ භුමිකාවට තමන්ට ආවේණික අර්ථකථනය ලබා දෙමින් කරට කර රඟපෑහ. ආචාර්ය හෙන්රි මේ නාට්‍යයේ සෑම චරිතයක් සඳහාම නළු, නිළියන් දෙදෙනකු බැගින් පුහුණු කළේය. ප්‍රසන්නජිත් අබේසූරිය විසින් රචිත "සෝමලතා සුබසිංහ රංග කලා කාර්ය සාධනය" ග්‍රන්ථයෙහි (පිට 50) දක්නා ලැබෙන පරිදි 1998 වසරේ "මවකගේ සංග්‍රාමය" නමින් සෝමලතා සුබසිංහ නිෂ්පාදනය කළ නාට්‍යයේ මවගේ චරිතය රඟපාන ලද්දේද ඇය විසිනි.

"දිරිය මව හා ඇගේ දරුවෝ" නාට්‍යයේ වෙඩි තබා මියගිය තම පුතාගේ මළකඳ දෙස බලා "ඔහු හඳුනන්නේ නෑ" යැයි ඇඟවීමට මව හිස සලන ජවනිකාව ප්‍රේක්ෂකයාට අමතක නොවේ.

 

දිරිය මව (සෝමලතා සුබසිංහ) - මගෙ හොඳ කමිස ටික ඔක්කොම ඉරන්ඩ එපා ! ( දෙවැනි සොල්දාදුවා ඇයට යා නොදී අල්වයි. කැත්රින් දරුවකු ඔසවාගෙන එයි.) කරේ එල්ලගෙන යන්ඩ තවත් දරුවෙක්. බොහොම සන්තෝස ඇති උඹට! අර ඉන්නෙ අම්ම. දෙන්ඩ කිව්වෙ වහාම. නැත්තං මම උදුරල දෙනව ඇහුණද ? උඹේ කන ඇහෙන්නේ නැද්ද ? (දෙවැනි සොල්දාදුවාට) ඔතන ගල් බීත වෙලා ඉන්නෙ නැතුව අහරෙට ගිහින් කියනව අර උලව් සංගීතෙ නතර කරන්ඩ කියල. අපට පෙනෙනව උන්දලගේ ජයග්‍රහණෙ සංගීතෙ නැතුවට ! උඹලගෙ ජයග්‍රහණයෙන් මට වෙන්නෙ පාඩුවක්මයි !"

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "The caucasian chalk circle"  ඇසුරෙන් ආචාර්ය හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ "හුණුවටයේ කතාව" හිදී ඔහු එහි මුඛ්‍ය අදහස මෙලෙස සිංහලට පරිවර්තනය කළේය.

"දෙයක් වේ නම් යම් - සුදුස්සාටම අයිති විය යුතු "

එසේම "දිරිය මව සහ ඇගේ දරුවෝ" නාට්‍යයේ මුඛ්‍ය අදහස එහි එක් චරිතයකගේ මුවින් මෙසේ පළ වේ.

"මුළු ලෝකයම පණ අදිනව ! , ලෝකය වෙනස් විය යුතුයි....වෙනස් කළ යුතුයි...."

ප්‍රේක්ෂකයා තමන් නැරැඹූ නාට්‍ය කෙරෙහි හදවතින් බැඳීම නොරිස්සූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් දුරස්ථීකරණය හෙවත් තදාත්ම්‍ය විඝටනය (Alienation effect theory)  සංකල්පය හඳුන්වා දුන්නේය.ඔහු ඉන් පළ කළේ මෙවැනි මතයකි.

"මෙය සැබෑ ජීවිතය නොවෙයි. මෙය නාට්‍යයකි. නරඹන ඔබටද දුරස්ථ වූ සිදුවීම් වැලකි. මෙහි සිදුවීම් හා සිතින් , කයින් බැඳීම අනවශ්‍යය. කල්පනාවෙන් හා විමසිල්ලෙන් යුතුව ඔබ දෙස බැලිය යුතුය. එහි හොඳ, නරක, හරි, වැරැදි පිළිබඳව ඔබෙන්ම ප්‍රශ්න කළ යුතුය."

බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය ආචාර්ය හෙන්රි ජයසේන විසින් අනුවර්තනය කොට නිෂ්පාදනය කරනු ලැබුවත් එතුමෝ මේ මතවාදය අවිචාරයෙන් කරපින්නා නොගත්හ. එහෙයින් හෙන්රිගේ නිෂ්පාදනවල චරිත හා ප්‍රේක්ෂකයෝ බැඳුණාහ.

රංජිත් ධර්මකීර්ති විසින් නිෂ්පාදනය කරන ලද "හිරු නැති ලොව" වූ කලී මැක්සීම් ගෝර්කිගේ "The Lower depths"  හී (1902) පරිවර්තනයකි. 1974 නොවැම්බර් 28 වැනිදා ලුම්බිණි රඟහලේ දී මෙහි මංගල දර්ශනය පැවැත්විණ. වසරේ හොඳම පරිවර්තනය, හොඳම නිෂ්පාදනය ,හොඳම පසුතල නිර්මාණය හා රංගන කුසලතා සඳහා සම්මාන මේ නාට්‍යය උදෙසා රාජ්‍ය නාට්‍ය උලෙළේදී හිමිවිය. එසේම ජනතා සම්මානයක්ද මේ නාට්‍යය වෙනුවෙන් රන්ජිත් ධර්මකීර්ති හට දිනාගත හැකි විය. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ රූපණ විධි ක්‍රමය අරභයා හස්තසාර ග්‍රන්ථයක් රචනා කළ රංජිත් ධර්මකීර්ති මේ න්‍යායට අනුගත වෙමින් එහිදී නළු, නිළියන් මෙහෙය වූ බැව් පෙනේ. ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යායට  (Theory of method acting) අනුව තම නාට්‍යවල නළු, නිළියන් හැසිර වූ ප්‍රමුඛ ලාංකේය නාට්‍යවේදීන් ලෙස ගුණසේන ගලප්පත්ති, ධම්ම ජාගොඩ හා රංජිත් ධර්මකීර්ති යන ත්‍රිත්වය මුලින්ම මා හට සිහිපත් වේ. මාර්ටින් වික්‍රමසිංහ සූරීහු වරක් "හිරු නැති ලොව" නාට්‍යය අරභයා මෙසේ ලියූහ.

"රංජිත් ධර්මකීර්ති විසින් "හිරු නැති ලොව" නමින් සිංහලට නඟන ලද මැක්සිම් ගෝර්කිගේ (Lower depths)  (පාතාලය) නාටකය ලංකාවේ ගම්වලත් නගරවලත් රඟහල්වල කරළියට නඟන ලදුව පොදු ජනකායගේ සිත් ගත්තේය....පොදු සිංහල ජනයා එය අගය කරන්නට වූයේ බෞද්ධ සංස්කෘතිය ඔවුනට අනුබල දුන් බැවිනැයි සිතමි. රුසියන් නාටකයෙහි හා කෙටිකතා වලද අපගේ ජාතක කතාවලින් හා ථෙර ථෙරී ගාථාවලින් නිරූපණය කෙරෙන චරිතයන්ට සමාන චරිත ඇත. සකු සාහිත්‍යය පිදූ බමුණන් කාව්‍ය නාටක ආදිය සඳහා නොගත යුතු චරිත මෙන් සැලකූ චරිත ථෙර ථෙරි ගාථා, ජාතක කථා ආදියට පිවිස ඇත. එවන් ග්‍රාම්‍ය චරිත මැක්සිම් ගෝර්කිගේ හිරු නැති ලොව නාටකයට පිවිස ඇති බව පෙනී යයි."

ශ්‍රේෂ්ඨ ජපන් සිනමාවේදී අකිර කුරසොව විසින් "Donzoko" ( (1957) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ මැක්සීම් ගෝර්කිගේ "The Lower depths" නාට්‍යය ඇසුරෙනි.

මතු සම්බන්ධයි...