දරුවන්ට ජීවිතය කියා දෙමු

ප්‍රවීණ නාට්‍ය‍ෙව්දී චාමික හත්ලහවත්ත
ඔක්තෝබර් 20, 2022

 

නාට්‍යකලාවේ වෙනස්ම ගමනක් යන චාමික හත්ලහවත්ත අලුත් වැඩක් කරන්න යනවා එළැඹෙන 28 වැනිදා. මේක කරන්නේ අපේ රටේ නාට්‍යය කලාවට දක්ෂ දූ පුතුන් එකතු කරගෙන කියලයි ආරංචිය.

මේ ගැන වගේම කථිකාචාර්යවරයෙක් වූ චාමික ගැනත් කතා කරන්න සරසවිය අපි හිතුවා.

 

මොකද්ද මේ කරන්න යන්නේ?

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරන්නේ. මගේ ආචාර්ය උපාධියේ විෂය ක්ෂේත්‍රය ළමා නාට්‍ය කලාව. එහි කාර්යමූල පර්යේෂණයක් විදිහටයි 'හත්පෙතිමල' ළමා නාට්‍ය සැණකෙළිය ඔක්තෝබර් 28 වෙනිදා හවස 3.30 සහ 6.30 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලට ගේන්නේ. මෙහි සුවිශේෂත්වය මේ නාට්‍ය හතරම කරන්නේ හත්පෙතිමල කියන රුසියානු ළමා කතාව පදනම් කරගෙන. මෙහිදී මම මේ නාට්‍ය කරන්න රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ප්‍රථම ස්ථානය ගත් ළමා නාට්‍යකරුවෝ අට දෙනෙක් එකතු කරගෙනයි. අවුරුදු 2 සිට 7 වයස් කාණ්ඩයට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය මූලික කරගෙන ළමානාට්‍යයක් කරනවා. මේ නාට්‍යයේ රඟපාන්නෙත් මේ වයස් කාණ්ඩයේම දරුවෝ. ඒ නාට්‍යය මෙහෙයවන්නේ හර්ෂණි රත්නායක හා තුෂාර ජාගොඩ ළමා නාට්‍යකරුවෝ දෙන්නා. 8 සිට 11 වයස් කාණ්ඩය කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය මූලික කරගෙනයි නාට්‍යය කරන්නේ. එහි රඟපාන්නෙත් ඒ වයස් කාණ්ඩයේ දරුවෝ. එය මෙහෙය වන්නේ ප්‍රියංවදා ගොඩගේ සහ විමුක්ති බඳුගොඩ ළමා නාට්‍යකරුවෝ දෙන්නා. 12 සිට 16 වයස් කාණ්ඩයට ඒ වයස් කාණ්ඩයේම දරුවෝ නාට්‍යයක් කරනවා. එය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය මූලික කරගෙන කරන්නේ. ඒ නාට්‍යය මෙහෙය වන්නේ ධනුෂිකා නයන කුමාරි සහ නිලංක නාමල් උඩුමුල්ල. 17 සහ 18 වයස් කාණ්ඩයට ළමා නාට්‍යයක් කරනවා ඒ වයසේ දරුවෝම. එය මෙහෙය වන්නේ සචිත්‍ර රාහුබද්ධ සහ සුදර්ශන බණ්ඩාර යන නාට්‍යකරුවෝ දෙදෙනා. එකම වස්තු බීජයෙන් වයස් කාණ්ඩ හතර නාට්‍යය හතරක් කරනවා.

 

මේ හරහා සමාජ ගත කරන පණිවුඩය මොකද්ද?

මෙහිදි මම කියන්න උත්සාහා කරන්නේ ළමයින්ට ළමා නාට්‍ය කරන්න පුළුවන් කියලා. බොහෝවිට මේ දක්වා ළමානාට්‍ය කරලා තියෙන්නෙව් වැඩිහිටි දෘෂ්ඨිකෝණයෙන් බලලා. නමුත් මේ නාට්‍යවල කතාව හදන්නේ පිටපත ලියන්නේ ලයිට් මේකප් කොස්ටියුම් ඩිසයින්ග් කරන්නේ සහ මේ සමස්ත උළෙලම සංවිධානය කරන්නෙත් ළමයිමයි. මම මෙයින් කියන්න උත්සාහ කරන්නේ අපි මෙහෙයවූවොත් දරුවොන්ට ළමා නාට්‍ය කරන්න පුළුවන්.

මේ වෙනුවෙන් දරුවන්ව තෝරාගැනීම සිදුකළේ කොහොමද?

හැම විද්‍යාලයේදී ම ඒ අදාළ නට්‍යකරුවෝ දෙදෙනා දරුවන්ව ප්‍රායෝගික පරීක්ෂණයකට ලක් කරලා ඒ අතරින් දක්ෂම සහ නාට්‍ය කලාවට රුචිය ඇති, නිර්මාණශීලී හැකියාවෙන් හෙබි දරුවන් තෝරාගෙනයි මෙය සිදු කරන්නේ.

 

සෞන්දර්ය අධ්‍යාපනය දරුවෙකුට කොයිතරම් වැදගත්ද?

දරුවෙකුට සමබර පෞරුෂයක් ගොඩනැඟෙන්න නම් දැනුම, ආකල්ප, කුසලතා කියන මේ තුනම සංවර්ධනය වෙන්න ඕන. දැනුම පමණක් ලැබිලා මදි. මම හිතන්නේ පාසලේදී ඉගෙන ගන්න බොහෝ විෂයන්ගෙන් අපිට ලැබෙන්නේ දැනුම පමණයි. ආකල්ප කුසලතා සංවර්ධනය වෙන්නේ නැහැ. මේ නාට්‍යකලාව ඇතුළු සෞන්දර්ය විෂයන්ගෙන් පමණයි පුළුවන් දැනුම ආකල්ප කුසලතා සමබරව සංවර්ධනය කරන්න. එවිටයි සමබර පෞරුෂයක් සහිත දරුවෙක් බිහිවෙන්නේ. අපේ අධ්‍යාපනය එක්ක ඔළුගෙඩි පිරුණු දරුවෝනේ සමාජගත වෙන්නේ. ඒ අය අනෙකා ගැන හිතන්නේ නැහැ. රට ගැන හිතන්නේ නැහැ. හැකියාව යටපත්වෙලා. ඔළුගෙඩි පමණක් දැනුමින් පිරිලා. දරුවෙක්ව සමබර කරන්න පුළුවන් සෞන්දර්ය අධ්‍යාපනයට පමණයි. වෛද්‍යවරයෙක් වෙලා වැඩක්ද ඒ වෛද්‍යවරයාට යහපත් ආකල්ප නැතිනම්. දරුවෙක් හදවතක් සහිත දරුවෙක් වෙන්න නම් සෞන්දර්ය සාහිත්‍යය දරුවෝ ඉගෙනගන්න ඕන. මම මේ පර්යේෂණය හරහා බලාපොරොත්තු වෙන්නෙත් මේ නාට්‍ය නිෂ්පාදනය තුළින් ඒ දරුවන්ට ලැබෙන පරිචය විශාලයි. න්‍යායාත්මක දැනුමට වඩා ප්‍රායෝගික දැනුම ඔස්සේ දරුවන්ට ජීවීතය කියාදිය හැකියි.

 

මේ වගේ වැඩක් තනිවම කරන්න අපහසුයිනේ. කවුද පිටිපස්සෙන් ඉන්නේ?

ලංකාවේ ළමා නාට්‍යකරුවෝ විවෘත අංශයෙන් විස්සයි සීමිත අංශයෙන් විස්සයි ළමා නළු නිළියෝ පහළොස්දෙනයි විවෘත අංශයේ නළුවෝ පහළොස් දෙනයි. ළමා ප්‍රේක්ෂකයෝ දස දෙනයි වැඩිහිටි ප්‍රේක්ෂකයෝ දස දෙනයි විනිශ්චය මණ්ඩයලයක් විසින් තෝරාගෙනයි මේ කාර්යය කරන්නේ. මෙතැන අමිතා රත්පිටිය මහත්මියගේ සිට නව නාට්‍යකරුවෙකු වූ විමුක්ති බඳුගොඩ දක්වාම ඉන්නවා. මේ සිටලුදෙනාම ළමා නාට්‍ය කලාව පිළිබඳ පළල් පරිචයක් ඇති අය. මම විශ්වීය ළමා නාට්‍ය කලාව පිළිබඳ අවුරුදු දෙකක් පමණ කියෙව්වා. ඒ දැනුමත් ඒ අයට දෙනවා.මට ඕනකරන්නේ මේ තිබෙන ළමා නාට්‍ය කලාව වෙනම තැනකට ගේන්න. ඒ තුළ ළමයාට නියැළෙන්න දීමෙන් ළමයා සංවර්ධනය කරන්න.

 

පාසලේදී වුණත් ඉන් පරිභාහිරව වුණත් දරුවන්ට ඉගෙනගන්න තියෙන්නේම වැඩිහිටියන් විසින් නිර්මාණය කළ රඟ දක්වා පෙන්වන නාට්‍යකලාවක්. මෙය ළමයාට අලුත් අත්දැකීමක්?

විෂයේදී යම් න්‍යායාත්මක දැනුමක් අවශ්‍යයයි. එය බැහැර කළ නොහැකියි. ශාන්තිකර්ම කෝලම් සොකරි නාට්‍යකරුවාගේ සිට සරච්චන්ද්‍ර දක්වාත් එතැනින් අද තිබෙන නාට්‍ය දක්වාත් නාට්‍ය කලාවට කළ කී දෑ ඉගෙන ගන්න එක හොඳයි. ලෝකයේ නාට්‍ය කලාවන් පිළිබඳවත් ඉගෙන ගන්න එක හොඳයි. නමුත් ළමා නාට්‍ය කියන්නේ ළමයාට තිබෙන ප්‍රකාශන මාධ්‍යයක්. මේ කාලයේ ළමයින්ට මුහුණ දෙන්නට වන ප්‍රශ්න ගැටලු අපිට ළමයින් හරහා ඉදිරිපත් කරන්නට පුළුවන්. රංගනය, වගේම දරුවන් මේ තුළ නියැළීම හරහා ශිල්පීය ඥානය ප්‍රගුණවනවා. ඒ විතරක් නොවෙයි මේ නාට්‍ය බලන දරුවාට දැනුමෙන් වගේම රසවින්දනයෙන් පොහොසත්වනවා. අනෙකාගේ ප්‍රශ්න දකින ජනේලයක් වනවා නාට්‍ය. ළමා නාට්‍ය තුළ නියැළෙන දරුවන්ට තමන්ගේ ප්‍රශ්න දකින්න පුළුවන් කණ්ණාඩියක් වනවා ළමා නාට්‍ය. මේකනේ වඩා වැදගත් වෙන්නේ. අධ්‍යාපනයේ මූලික අරමුණ වූ පරිකල්පනය අවදි කරන්න අලුත් ලෝකයක ජීවත්වෙන්න හැකි වෙන්නේ හිතන කෙනෙක් ප්‍රශ්න කරන කෙනෙක් විතරයි. පරණ දැනුම මතම යැපෙන දරුවෙක් වුණොත් ඉදිරියට යන්න බෑ. ඒ පරිකල්පන ශක්තිය අවදිවෙනවා මෙවැනි දෑ දරුවන් විසින්ම නිර්මාණය කරන්න දීමෙන්.

 

ඔය කියන කාරණා නාට්‍යකලාවෙන් පරිපූර්ණ කරන්න පුළුවන්ද?

නාට්‍ය කියන්නේ කතිකාවතක්. ඒ තුළ ළමයට ඉඩක් තිබෙනවානම් ළමයා ඉගෙන ගන්නවා. චරිත හදනවිට, කතා ගොඩනඟනවිට ඉගෙනගන්නවා. නාට්‍ය බලන ළමයාත් ඉගෙන ගන්නවා. එවිට පුළුවන් ඒ අයට නාට්‍ය ජීවිතය සමඟ ගළපගන්න. මම මේ කරන්න හදන්නේ ඒ කාරණය.

 

මොකද්ද අරමුණ?

අපේ ළමානාට්‍යය හැදෙන්නේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ මුල් කරගෙන. ඊට පිටින් තිබෙන්නේ සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා හා යොවුන් රංග පීඨය පමණයි. අනෙක් නාට්‍යකරුවෝ හුදු උලෙළකට සීමාවෙලා පමණයි වැඩ කරන්නේ. අපි ඔක්කොම ඉන්නේ තරගෙක.අපි මේ පවත්වන්නේ සැණකෙළියක් තරග මානසිකත්වය ගලවලා සතුටුවෙන්න පුළුවන් අවස්ථාවක් මේ ඔස්සේ උදාකිරිමයි අරමුණ. අනෙක් අතට විවෘත අංශය හා පාසල් විදිහට නාට්‍ය කළාට මේ දෙක එකතු වෙන්නේ නෑ. මේ රිසර්ච් එක ඇතුළෙදි හැම පාසලකම පාසල් නාට්‍යකරුවයි විවෘත අංශයේ නාට්‍යකරුවයි වැඩකරනවා. එවිට පාසලේ ගුරුවරයාගේ වගේම එළියේ දැනුමත් පාසලට ලැබෙනවා. ලෝකයේ මෙහෙම දේවල් තියෙනවා. ඊළඟට අපි ළමා නාට්‍ය කරද්දි වයස් කාණ්ඩයක් නොහිතා පොදුවේ පොදු ප්‍රේක්ෂකයාට ළමා නාට්‍ය කරන්නේ. මේ වයස් කාණ්ඩවල සුවිශේෂී ලක්ෂණ හඳුනා ගෙනයි ඒ ඒ වයස්වලට නාට්‍ය කරන්නේ. අනෙක් අතට මේ තාක් ළමා නාට්‍ය කළේ වැඩිහිටියෝ අපේ ඔළුවේ ළමයා කිව්වාම ඇඳීලා තිබෙන චිත්‍රයක් තියෙනවානේ. මුකුත් කරන්න බැරි දුර්වල අසරණයෙක් වගේ හැඟීමක්. අපි වැඩිහිටි ඔළුවෙන් දකින ළමා නාට්‍ය වෙනුවට ළමයි තුළින් දකින ළමා නාට්‍ය කලාවක් මේ ඔස්සේ ගේන්න උත්සහ කරනවා. තවත් සුවිශේෂී දෙයක් තමයි මේ දරුවෝ එක්ක මේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් වැඩ කරනවා. ඒ ඔස්සේ දරුවන්ට ප්‍රායෝගික දැනුම වඩාත් හොඳීන් ග්‍රහණය කරගන්න වගේම මේ ප්‍රවීණයින්ගේ දැනුම බෙදාගන්නත් පුළුවන්.

 

ගොඩක් වෙලාවට අපි දකිනවා දරුවන්ව යම්කිසි තැනකට ගෙනත් එහෙමම අතාරිනවා. ඒ දරුවෝ ඉන් එහාට ඔවුන්ගේ මාවත හදාගන්නේ කොහොමද?

මෙතැනින් එහාට මේ දරුවෝ අසරණ වෙන්නෙත් නෑ අතඇරෙන්නෙත් නෑ. මොකද මේ අතපත ගෑම තුළින් ජීවිතයයි ලබෙන්නේ. වෙනත් විෂයක් වුණත් අධ්‍යයනයට හරි පහසුයි නාට්‍ය ඉගෙන ගැනීම. අපි හිතන්නයි පුරුදු කරන්නේ. ඉගෙන ගන්න ඕන කියන දේ ඒ විදිහටම පිළිගන්න නෙවෙයි අලුතින් හිතන්න. හැම දෙයක්ම ප්‍රශ්න කරන්න. නුවණින් විමසා බලන්න. සමාජයේ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද ඒ හා ගනුදෙනු කරන්නේ කොහොමද කියන දේ ඉගෙන ගන්න නාට්‍යකලාව හෝ සෞන්දර්ය ඉගෙනීම වැදගත්. මේ අතපත ගෑමෙන් ලබාගන්න පරිචය අදට වගේම මතුවටත් වැදගත්.

 

ඔබේ ගමන පටන් ගන්නේ කොහොමද?

මට පාසල් ශිෂ්‍යයෙක් විදිහට නාට්‍ය කරන්න ලැබුණේ නැහැ. මම මුලින් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා. පාසල් කාලයේ කථික, සහිත්‍ය සමිතිවල වගේ කලා වැඩවලට සම්බන්ධ වුණාට නාට්‍යයට සම්බන්ධව කටයුතු කළේ නැහැ. අධ්‍යාපනයේදීත් මම මහා ඉහළින් ඉගෙනගත්තා නොවෙයි. සාමාන්‍ය පෙළ උසස්පෙළ ඉතා සාමාන්‍ය ප්‍රතිඵල ලබාගත්තේ. මට මාව හමුවුණේ නාට්‍යවලින් තමයි. සරසවිපාය නාට්‍ය පාසලයි මාව වෙනස් කරන්නේ. ඊටපසුව මම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව විශේෂවේදී උපාධිය කරනවා. එහිදීත් මට ලොකු බලපෑමක් ආවා නාට්‍ය කරන්න. එහිදි හමුවුණු ගුරුවරු මිත්‍ර ආශ්‍රය මට නාට්‍යයට තව තවත් උනන්දුව වැඩි කළා.

 

චාමික ඔබ නිෂ්පාදනය කළ නාට්‍ය කතා බහට ලක් වූ නාට්‍ය. ඒ ගැන කිව්වොත්?

මම දිග නාට්‍ය පහක් කරලා තියෙනවා. 2003 වර්ෂයේදී හයිනා නාට්‍යය කළා. 2008 වසරේදි හරි අපූරු දවසක් 2013 වසරේදී මකරට නාට්‍යය 2016 දී රජා මං වහලා 2019 දී බෝම්බයක් පිපිරේ වගේ නාට්‍ය කළා. මම ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි පාසලේ උගන්වන කාලයේ නාට්‍ය 16 පමණ කළා. කෙටි නාට්‍ය හා ළමා නාට්‍ය. මට පාසලේදී නාට්‍ය කරන්න බැරි වීමම තමයි මේ රිසර්ච් එකට බලපෑවේ. මොකද මම හිතනවා පාසල් කාලයේදී සෞන්දර්ය අධ්‍යාපනය ළමයෙකුට අවශ්‍යමයි. නැති වුණොත් ඒක ලොකු අඩුවක්. මගේ පසුබිමත් බලපෑවා මේ රිසර්ච් එක කරන්න.

 

ඔබේ පවුල ගැන කිව්වොත්?

මම විවාහකයි. මගේ බිරිඳත් නාට්‍ය හා රංගකලාව උගන්වන ගුරුවරියක්. මට දුවලා දෙන්නෙක් ඉන්නේ ඒ දෙදෙනා තවම පාසල් යනවා.

 

 

සේයාරූ - පසිඳු රංග ඖචිත්‍ය