වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
මේ නිර්මාණය ඇතුළේ තවත් නාට්‍යයක් තමයි දකින්න ලැබෙන්නේ

උදයසිරි වික්‍රමරත්නගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය කොරෝනාවලට කලින් පටන් ගත්තත් කොරෝනා නිසා එක දිගටම වේදිකා ගත කරන්න වුණේ නැහැ. ඒ විතරක් නොවෙයි එහි ප්‍රධාන නළුවා වුණු ජයලාල් රෝහණත් සමුගත්තා. මෙවැනි ඇබැද්දි ගොඩක් වුණත් උදයසිරි ඔහු නවතම වේදිකා නාට්‍යය ‘ගරු කටානායකතුමනි’ යළිත් කරළියට ගෙනැත්. පසුගිය 27 වැනිදා බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවිය. ඔහු ඒ ඇති වුණු තත්ත්වය පිළිබඳත් අලුත් වෙනස්කම් පිළිබඳත් කළ කතාබහකින් මේ ලිපිය සැකසිණි.
‘ගරු කටානායකතුමනි’
කවුද මේ කටානායකතුමා?
“වචනවලින් මේ රට හදන්න පුළුවන් වචනවලින් ප්‍රශ්න විසඳන්න පුළුවන් වචනවලින් හැම දෙක්ම කරන්න පුළුවන් කියලා හිතන රටේ ප්‍රශ්නයක් ගැනයි කතා කරන්නේ. කටානායකතුමා කිව්වම වෙනත් පදවියකුත් මතක් වෙනවා. ඒ වගේ ම වෙනත් තැනක්. ඒ සියලු දේ මතක් කරමින් අපට අවශ්‍ය නාට්‍යයකුයි කටානායකතුමනි කියන්නේ.”
මේ සියලු කාරණා ලඝු කරමින් කටානායකතුමා ඔබ වේදිකාවට අරගෙන ආවා.
“ප්‍රේක්ෂකයා වේදිකාවට යන්නේ මෙතක් නැරැඹූ නැති නාට්‍යයක් නරඹන්නයි. ඒ මඟින් අපූර්ව අත්දැකීමක් ලබන්න. ඒක මේ නාට්‍යය ඇතුළේ තියෙනවා කියලා මා හිතනවා. ඔවුන්ට හිතාගන්න බැරි දෙයක් නාට්‍යය ඇතුළේ තියෙනවා. ඔබට කවදාවත් දකින්න නොලැබුණු කටානායකතුමෙක් මේ නාට්‍යයෙදි දකින්න පුළුවන්. සෙසු චරිතත් ඔබට දකින්න ලැබුණු චරිත වගේම දකින්න නොලැබුණු චරිත. ඒ වගේම එහි ප්‍රේක්ෂකයා අහන්නේ කවදාවත් අහන්න ලැබුණු කතා ඇසුරෙන් අහන්න නොලැබුණු කතා. ඒ වගේ දෙයක් ‘ගරු කටානායකතුමනි’ මඟින් දකින්න පුළුවන්. වෙන කොහෙවත් දකින්න නොලැබුණු අර්ථවත් හා වින්දනීය අත්දැකීමක් මේ නාට්‍යය මඟින් දකින්න ලැබේවි.”
ඒ කියන්නේ මෙහි තියෙන්නේ දේශපාලනය?
“දේශපාලන පසුතලයක් යොදාගෙන දේශපාලනමය නොවන නාට්‍යයක්. දේශපාලන පසුතලයක් තිබුණාට මෙතැන තියෙන්නේ දේශපාලනය නොවෙයි. නාට්‍යයක්. එහෙම නැත්නම් කලාව. අපි මෙතැන අපේ දේශපාලන කතන්දරය නාට්‍යමය අනන්‍යතාව ඇතුළට ගේනවා. ඒ නිසා මේ නිර්මාණය ඇතුළේ තවත් නාට්‍යයක් තමයි දකින්න ලැබෙන්නේ.”
ඔබ නිතරම නාට්‍යයක ආකෘතිය ගැන වැඩි සැලකිල්ලක් දක්වන අධ්‍යක්ෂවරයෙක්.
“විවිධ ආකෘති රැගත් විවිධ නාට්‍ය තිබෙනවා. ආකෘතිය හරහායි මා එහි අර්ථය සොයාගෙන යන්නේ. එහි තිබෙන ආකෘතියයි එහි අර්ථය වන්නේ. මගේ අනෙකුත් නාට්‍යවලත් එහෙමයි. තුන්සිය හැට එක, සුද්දෙක් ඔබ අමතයි, වගේ ඒ නිර්මාණවවලදිත්. මේ නාට්‍යයෙදිදිත් පාර්ලිමේන්තුව හරි යම්කිසි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවක් හරි කියන ඒ ආකෘතිය මඟින් නාට්‍ය ආකෘතියක්, නාට්‍ය අත්දැකීමක් සොයාගෙන තියෙන බවක් හැඟෙනවා. ඒක ප්‍රේක්ෂකයාට විඳීන්න පුළුවන්. ”
ඒත් ප්‍රේක්ෂකයා නාට්‍ය විඳීමේදි දේශපාලනය ඉස්මතු වීම නාට්‍ය රසයට බාධාවක් ඇති කරනවා නේද?
“ ඒක වැදගත් දෙයක්. හැමෝටම එක එක දේශපාලන අදහස් තියෙනවා. ඒත් නාට්‍යයක් නරඹන කොට ඒවා අමතක වෙන්න ඕන. අපට වුණත් එකම පක්ෂයක මතයකට කොටු වෙන්න බැහැ. මේ නිර්මාණ මඟින් බලන කෙනා කැමැතිම නායකයාට හරි, මතවාදයකට හරි යම්කිසි පහරක් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් කියන මතවාදය නොවන මතවාදයක් හරි අදහසක් හරි ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙත් එය නාට්‍යය විඳීන්න බාධාවක් නොවෙයි.”
මෙහි රඟපාන නළු නිළියන්ටත් යම් දේශපාලනමය මතවාදයක් තිබිය හැකියි. එය රඟපෑමට යම් බලපෑමක් එල්ල කළා ද?
එහෙම එකිනෙකට වෙනස් අදහස් තිබෙන අයයි මෙහි රඟපාන්නේ. පොදුවේ මේ නාට්‍යය රඟපාන්නත්, ඒ අදහස් බාධාවක් වෙලා නැහැ. ඒත් මුල් කාලය ගැන හිතුවොත් එහෙම වුණු අවස්ථාත් තියෙනවා. මොකද සමහර විට ඔවුන් තමන්ගේ පක්ෂයට වදින අදහස් තියෙන දෙබස් තිබුණොත් ඒවා මඟ හරින විදියක් තිබුණා. එතකොට ඒ අදහසට විරුද්ධව සිටින අනෙක් රංගන ශිල්පියා එතන දෙබස අඩුයි කියලා ඔහුට කියනවා. එතකොට ඒ දෙබස් ඔහුට නොකියා ඉන්න බැරි වෙනවා. මේක සිද්ධ වුණේ පුහුණුවීම්වලදි. වේදිකාවෙදි නොවෙයි. මේ විදියට හැමෙදයක්ම ඉවසා ගනිමින් සියලු දෙබස් කියන්න ඔවුන් පුරුදු වුණා. ඒ මඟින් නාට්‍යයට අලුත් ආලෝකයක් ආවා. ”
මේ දේශපාලන කතාවලට වේදිකාවෙදි ප්‍රේක්ෂකයාගෙන් යම් ගැහැට ඉදිරිපත් වෙලා නැද්ද?
“එහෙම නැහැ. එහි තිබෙන ස්වභාවය නිසා ප්‍රේක්ෂකයා වැඩිපුර මේ නාට්‍යයට ඇදිලා ආවා. වරක් මට මතකයි රජරට විශ්වවිද්‍යාලෙයදි වේදිකා ගත කළ අවස්ථාවක එදා හරියටම ඒ වෙලාවේ ඔස්ට්‍රේලියානු සෙමි ෆයිනල් මැච් එකක් තිබුණා. මේ වගේ දෙයක් තිබෙන කොට කොළඹ වුණත් අපි නාට්‍යයක් දාගන්නේ නැහැ. එතකොට ප්‍රේක්ෂකයො අඩු වෙනවා. ඒත් එදා වුණේ වෙනම දෙයක්. එදා 3.30ට ළමයි ටිකක් හිටියා. ඒත් එදා මැච් එක තිබුණු වෙලාවෙම 6.30 දර්ශනයට හිතපු නැති විදියට මුළු හෝල් එක පිරෙන්නම ප්‍රේක්ෂකයො ආවා. මැච් එක නිසා එදා නාට්‍යයට ගැටලුවක් මතු වුණේ නැහැ. මොකද කලින් නාට්‍යය නැරැඹූ අය ඒ ගැන අනෙක් අයට කියලා තිබුණා. ඒක හොඳ පිවිසුමක් වුණා.”
මෙවැනි දේශපාලන චරිත වේදිකාවට පිවිසීමට මූලබීජය ඔබගේ සිතට පිවිසෙන්නේ කොහොමද?
මම මේක ලියන්න පාදක කර ගන්නේ පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිදු වුණු පසුබිමක්. ඒ සිදු වීමටත් කලින් මම මේ නාට්‍යයේ සමහර දේ ලියලා තිබුණා. ඒ කියන්නේ එක එක දේශපාලන චරිත කතා කරන විදිය පිළිබඳ දෙබස් ටිකක්. මේ සිදු වීමත් එක්ක ඒ සියලු දේ ඒකරාශි වුණා. ඒ වගේ ම ඒ කාලයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කතා බොහොම ජනප්‍රිය වුණා. ඔහු පැවසුව ‘හිටන්’ කියන වචනයත් එහෙම වචනයක්. ඒක පොළොන්නරුවේ වචනයක් නොවෙයි. ඒක එහෙට ගියේ ඔය ගම්පහ පැත්තෙන්. එහෙම බලන කොට ඒ වචනය සම්බන්ධ කරගනිමින් මා නාට්‍යය ඇතුළේ යමක් කතා කළා. එහෙම වෙන්න හේතු වුණේ දවසක් මම ‘සොඳුරු ලොවට මල්වැහලා’ කියන සින්දුව අහන කොට ඔන්න ඒකේ හිටන් කියන වචනය ඇහුණා. මම හොඳට ඒ ගීතය ඇහුවා. ඒකේ තියෙන්නේ ‘ඈත හිටන්’ කියන වචනය. ඒ වගේම අපේ ජනගීවලත් ඒ වචනය එනවා. ‘උදේ හිටන් වකුටු කොන්ද’ කියන ජන ගීතය ඒකට හොඳම උදාහරණයක්. ඒ නිසා මේ වචනය අපේ සිංහලයන් අතර භාවිත වන වචනයක්. ඒ වචනය අල්ලගෙන මම දෙබස් කිහිපයක්ම නිර්මාණය කළා. ඒ මෙහෙම. “හිටන් පටන් ගත්තේ මම නොවෙයි. ජෝති මහත්තයයි සුජාතා නෝනයි කියලා ඔන්න මම දෙබස් ආරම්භ කළා. ඒක අවසානයේ වෙනස්ම කතා ගොන්නක ආරම්භය දක්වා දිගුවෙනවා.”
මේ සියලු දේ ගැන අහන්න නම් ඔබට ‘ගරු කටානායකතුමනි’ නරඹන්න වෙනවා.