ශාකුන්තලය, ජුලියස් සීසර් හා ඊඩිපස් ගෙනාවේ විෂය හදාරන සිසු පරපුර වෙනුවෙන්

නාට්‍යවේදී අඛිල සපුමල්
ජනවාරි 19, 2023

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට යමක් කිරීමට සැරැසෙන තරුණයන් අතර ට ගැනෙන අඛිල සපුමල්ගේ වේදිකා නාට්‍ය ත්‍රිත්වයක් පසුගියදා බොරැල්ල නාමෙල් - මාලිනී පුංචිතියටර් එකේදි වේදිකාවට නැඟුණා. ඒ ‘ජුලියට් සීසර්’, ‘ඊඩිපස්’, ‘ශාකුන්තලය’. මේ නාට්‍ය අතුරින් ඔහු අතින් නවතම නාට්‍යයක් ලෙස වේදිකාවට නැඟුණේ ශේක්ස්පියර්ගේ ‘ජුලියට් සීසර්’. එය සිය මංගල දැක්මයි මේ ගමන් ඇරැඹුවේ. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වුණත් වේදිකාවට ලොබ බැඳගෙන සිටින අඛිලගේ මේ නවමු පිවිසීම පිළිබඳත්, ඔහු අපේ වේදිකාවට ගෙනෙන ලෝක නාට්‍ය කලාවේ නාට්‍ය ත්‍රිත්වය පිළිබඳ කතා කරන්නටත් ලැබුණු පුංචි විවේකයේ අප ඉඩහසර වෙන් කර ගත්තා.

“මා වේදිකාවට ගෙනාවේ ලෝක නාට්‍ය සාහිත්‍යයේ විශිෂ්ට නාට්‍ය තුනක්. ශ්‍රීක නාට්‍ය සාහිත්‍යයෙන් ‘ඊඩිපස්’ නාට්‍යයත්, එංගලන්ත නාට්‍ය සාහිත්‍යයෙන් විලියම් ශේක්ෂ්පියර්ගේ ‘ජූලියට් සීසර්’ නාට්‍යයත්, ඉන්දියානු සාහිත්‍යයෙන් සංස්කෘත නාට්‍යයක් වන මහා කවිකාලිදාසයන්ගේ ‘ශාකුන්තලය’ නාට්‍යයත්. මේ නාට්‍ය තුනම 13 වැනිදා ‘ජුලියට් සීසර්’ නාට්‍යයත්. 14 වැනිදා ‘ඊඩිපස්’ නාට්‍යයත්. 15 වැනිදා ‘ශාකුන්තලය’ නාට්‍යයත් වේදිකා ගත වුණා.”

මේ නාට්‍ය නිර්මාණ කාලයක ඉඳලයි විෂය නිර්දේශයේ තිබෙන්නේ. එවැනි නිර්මාණ කිහිපයක් වේදිකාවට රැගෙන පැමිණෙන අදහස අඛිල සපුමල්ගේ සිතේ පිළිසිඳෙන්නේ පසුගිය කාලයේයි. ඒ සඳහා හේතු කාරණා රැසක් ද මුල් වුණා.

“මේ වනවිට නාට්‍ය හා රංගකලාව කියන විෂයය විෂය මාලාවට ඇතුළත් කරලා වසර විසි පහක් වෙනවා. ඒ කියන්නේ 1997 වසරේ. අපි ඒ ලෙවල් කරන කාලයේ ඒ පැරැණි සිලබස් එකයි අපට තිබුණේ. අපි ඒ සිලබස් එකේ අන්තිම පුරුක. අපෙන් පස්සේ ඒ සිලබස් එක වෙනස් වුණා. ඒ කලින් සිලබස් එකේ ‘ජුලියට් සීසර්’, ‘ඊඩිපස්’, ‘ශාකුන්තලය’ වගේ නාට්‍ය තිබුණා. ඒත් මේ නාට්‍යවල නිෂ්පාදන අපට දකින්න තිබුණේ නැහැ. පොත කියවලයි අපි ලිව්වේ. අවුරුදු 25ක් වෙලත් තාම ඒ සම්ප්‍රදාය රකිමින්, දරුවන්ට උගන්වන්න මේ විෂය මාලවේ තියෙන නාට්‍ය ප්‍රායෝගිකව අදටත් දකින්න නැහැ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි වැඩපිළිවෙළක් ඇත්තේත් නැහැ. ඒ වගේ ම විශ්වවිද්‍යාලවලත් වැඩපිළිවෙළක් නැහැ. මෙහෙම පසුබිමක් තියෙද්දි මට පසුගිය අවුරුදු දෙකක කොරෝනා කාලයේ නිවසට වී සිටි අතරතුර සිතුණු දෙයකුයි මේ වේදිකාවට නැඟෙන්නේ. නැත්නම් ස්වීය ස්වතන්ත්‍ර නාට්‍යකරුවකු විදියට මා මගේම නාට්‍ය රචනාවලට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්. එහෙම තියෙද්දිත් ඇත්තටම මේ නාට්‍ය කෘති තුන එළිදක්වන්න හේතුවක් වුණේ ඉහත කියන ලද කාරණායි. ඒ අනුව මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ‘ශාකුන්තලය’ කරන්න අදහස ආවා. කොරෝනා කාලයේදී ඔන්ලයින් රීඩින් සහ පිටපත සාකච්ඡා කරමින් ‘ජුලියට් සීසර්’ හා ‘ඊඩිපස්’ නාට්‍යයට සූදානම් වුණා. එහි ප්‍රතිඵලයක් විදියටයි මේ සංස්කෘතික කටයුත්ත කෙරුණේ.”

විවිධ ශෛලියේ නාට්‍ය තුනක්. මෙවන් නිර්මාණ වේදිකාවට අරගෙන එන එක පහසු කාර්යයක් නොවෙයි.

“මගේ නාට්‍ය නිසා කියන එකක් නොවෙයි. මේක අතිශය සංකීර්ණ වැඩක්. එංගලන්තයේ ශේක්ස්පියර්ගේ ග්ලෝබ් රංග ශාලාවේ වගේ ම ඒ වගේ තිබෙන අනෙකුත් රංගශාලා කිහිපයකම නාට්‍ය පෙන්වූයේ දවල්. ඒවයේ සඳලුතලවල වගේ ම හිටගෙනත් ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. තල කිහිපයකයි වේදිකාවේ ස්ථාන මැවෙන්නේ. එහි රංග ශෛලිය වෙනස්. ඒ වගේ ම සංස්කෘත නාට්‍යයෙත් පසුතල මුකුත් නැහැ. පුංචි තැනක අභිනය හා මුද්‍රා භාවිතයෙන් කෙරෙන, ගමන්තාල තියෙන, සංගීතමය රංගයකුයි තියෙන්නේ. ‘ඊඩිපස්’ නාට්‍යයේ වෙස්මුහුණු පැලඳගෙන කරන, අධි විලම්භිතව සිදු කරන, වාචික අභිනයට ප්‍රමුඛත්වයක් දෙන නාට්‍යයක්. ඒක වෙනම ස්ටයිල් එකක්. මේ නාට්‍ය තුන සංස්කෘති තුනක් නියෝජනය කරන නිසා මේ ස්ටයිල් තුනේ ඇඳුම් වෙනස්. අංගරචනය වෙනස්. ඒ නිසා මේ සංස්කෘති තුන ලාංකේය වේදිකාවට අරගෙන එන එක බොහොම අභියෝගයක් වුණා. වියදම වැඩියි. ශිල්පීන් ප්‍රමාණය වැඩියි. මේ වගේ ආර්ථික අර්බුදයක් පවතින කාලයක මෙවැනි නාට්‍ය නිර්මාණ වේදිකාවට අරගෙන පැමිණීම ඇතුළේ අප දැවැන්ත ආයෝජනයකුයි කරන්නේ. ඒ නිසා ඉදිරියේදිත් ආදරයෙන් ආරාධනා කරන්නේ පාසල් ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල දරුවන්ට හා පාසල් දරුවන්ට සහ ලෝක නාට්‍ය සාහිත්‍යයට ඇලුම් කරන රසික ප්‍රජාවටයි. එන්න, මේ නාට්‍ය රස විඳීන්න කියලා. මේ නාට්‍ය ඉතා හොඳ තේමා තියෙන නාට්‍ය. එහෙත් අපි දැකලා නුපුරුදු රංග ශෛලියකින්, රසාලිප්ත කරලයි වේදිකා ගත කරන්නේ.”

එක දිගට දින තුනක කෙරෙන මේ රංග කාර්ය සඳහා වියදම අධික සේම ඒ සඳහා යොදා ගැනෙන රංගන ශිල්පීන් ප්‍රමාණය පිළිබඳත් නොවිමසුවොත් අඩුවක්.

“මේ සඳහා මා යොදා ගැනුණේ කණ්ඩායම් තුනක්. මගේ අසමා රූපණ සරසවියේ 2021 කණ්ඩායම තමයි ‘ඊඩිපස්’ නාට්‍යයේ ඉන්නේ. 2022 කණ්ඩායම තමයි ‘ජුලියට් සීසර්’ නාට්‍යයේ ඉන්නේ. ඒ අය අතුරින් ගොඩක් අය වෘත්තීන් කරන අය. ඒ අතර නීතිඥ වෘත්තිය හදාරන අය ඉන්නවා. ඒ වගේ විවිධ තලවල අය එතැන ඉන්නවා. ඒ අය ජීවිතයේ විවිධ අත්දැකීම් ලැබුව අය. ඒ වගේ ම පරණ අය ඒ කියන්නේ මගේ නාට්‍යවල වැඩ කරපු අය එකතු කරලා තමයි ‘ශාකුන්තලය’ නාට්‍යය හදලා තියෙන්නේ. එහි මගේ ශිෂ්‍යයන් සහ මගේ ක්ෂේත්‍රයේ වැඩ කරන හිතවතුන් කියන දෙගොල්ලම ඉන්නවා. ඒ වගේ ම මේ නිර්මාණ ඇතුළේ පාසල් මට්ටමින් හා වෙන වෙන නාට්‍යවල වැඩ කළ අයත් ගොඩක් ඉන්නවා. ඒ අයට පුහුණුවක් ලබාදෙමින් කරන ලද කර්තව්‍යකට අනුවයි මේ නාට්‍ය උලෙළ බිහි වුණේ.”

ඒ පුහුණුව ලබා දීම සඳහා අඛිලට බොහෝ වෙහෙස මහන්සි වීමට සිදු වෙන්නට ඇති බව අපට රහසක් නොවෙයි. ඒ පුහුණු වීම් සඳහා දිගු කාලයක් ගත වන්නට ඇති බවයි සිතෙන්නේ.

“මම පුහුණු වීම් කරන්නේ සෙනසුරාදා විතරයි. එතකොට පසුගිය මාස පහක් පුරාවටම සෙනසුරාදා දවස උදේ සිට රෑ වනතුරුම පුහුණු වීම් කෙරුණා. ඊට අමතර දවස්වල පුහුණු වීම් දැම්මේ නැහැ. මොක ද මෙහි හිටියේ යම් වෘත්තීයක් කරන අය. ඒ නිසා ඒ වෘත්තියට හානි කරමින් නාට්‍ය කලාවේ නියැළෙන්න මා කැමැති නැහැ. මා සෙනසුරාදා පමණක් පුහුණු වීම් කරලයි මේ නාට්‍ය හදලා තියෙන්නේ. ඒ වගේ ම මට ඒ කාලය ප්‍රමාණවත් වුණා. කරන්නේ මොකක්ද? කළ යුත්තේ මොකක්ද කියන සැලසුම හදාගෙනයි මා කටයුතු කළේ. ඒ කියන්නේ කාලය හරියට වටිනවා. ඒ නිසා නාට්‍ය තුනක වුණත් කාලය කළමනාකරණය කර ගනිමින් පුහුණුවීම් කර ගන්න පුළුවන්. මම ඒ විදියට සැලසුම හදාගෙනයි තිබුණේ. ඒ වගේ ම ගුරු භූමිකාවේ වැඩ කරද්දි ඒ ශිල්පීන් මට දක්වන අවංකභාවය හා ගරුත්වය වැඩියි. ඒ නිසා මට මේ වැඩේ කරන්න ටිකක් පහසු වුණා. මෙහි තිබුණු අභියෝගය තමයි මෙහි සියයට හැත්තෑවක් විතර සිටියේ වේදිකාවේ ප්‍රවීණත්වයට පත් වුණු අය නොවෙයි. ඒ කියන්නේ අත්දැකීම් ගොඩක් තිබුණු අය නොවෙයි. ඒ නිසා පුහුණුව කළත් නිරන්තරයෙන් ම සූම් තාක්ෂණය මඟින් ඔවුන් සමඟ රීඩින් යන එක, ඔවුන්ට මේවා ඒත්තු ගන්වන එක, ඔවුන්ට මෙහි තේමාව ඇතුළු අනෙකුත් දේ ගැන කතාබහ කරන එක නොකඩවාම කෙරුණා. ඒ කියන්නේ මා පුහුණු වීම් කළේ සජීවව සෙනසුරාදා වුණාට ඒ පිරිස ඔන්ලයින් හමු වුණා. සාකච්ඡා කෙරුණා. එහෙම කළේ නැත්නම් මේ නිර්මාණ කිරීම පහසු නැහැ.”

ඉදිරියේදී වේදිකා ගත වන නාට්‍ය කිහිපයක් මීට පෙර ද වේදිකාවට නැඟුණු ඒවායි. ඒත් මේ දර්ශනය ඒ වේදිකා නාට්‍යවලටත් විශේෂ බවකින් යුක්තයි.

“ඊඩිපස්’ සහ ‘ශාකුන්තලය’ කියන නාට්‍ය දෙක අපි වේදිකා ගත කළ නාට්‍යය. ඒවා සාර්ථකව වේදිකා ගතවුණු නාට්‍ය. එහෙම වුණත් මේ නිර්මාණවල නිෂ්පාදන එකට යන වියදම දරා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ඒවා ටික ටික තමයි සම්පූර්ණ කළේ. මංගල දර්ශනයේදි සම්පූර්ණ කරන්න බැරි වුණු ටික අපි දෙවැනි ෂෝ එකේ දි සම්පූර්ණ කළා. ඒ විදියට ගත්තොත් ‘ඊඩිපස්’ නාට්‍යයේ වෙස්මුහුණු ටික හදන්න කලින් දර්ශනයේදි අපට බැරි වුණා. වෙස්මුහුණක් හදන්න පවා සෑහෙන්න මුදලක් යනවා. ඒත් මේ පසුගිය දවස්වල තිබුණු දර්ශනයේදි අපි වෙස්මුහුණු දැම්මා. ඒ වගේ සියයට සීයක් සමහර දේවල් සම්පූර්ණ කරගන්න බැරි වුණු අවස්ථා තිබුණා. ඒවා ටික ටිකයි සම්පූර්ණ වුණේ. ‘ජුලියට් සීසර්’ නාට්‍යයේ මංගල දර්ශනයයි පසුගිය 13 තිබුණේ. ඒකේ පුහුණු වීම් තමයි පසුගිය සෙනසුරාදාවල මාස පහ පුරාවටම කෙරුණේ. අනෙක් නාට්‍යවල පුහුණු වීම් කෙරුණේ ඉඳහිට.”

‘ජුලියට් සීසර්’, ‘ඊඩිපස්’, ‘ශාකුන්තලය’ වගේ නාට්‍ය පාසල්වල හා අනෙකුත් අධ්‍යාපනය ලබන අයගේ විෂය නිර්දේශය සඳහා ඉලක්ක ගත වූ වේදිකා නාට්‍යයි. ඔවුන් සඳහා ම අඛිල සපුමල් මේ නාට්‍ය කළේ ද යන්නත් අපට හැඟී යන කාරණයක්.

“මගේ ළඟ මිනිස්සුත් ආස කරන මමත් ආස කරන වෙනත් නාට්‍ය රැසක් ම තිබෙනවා. ‘හිනාවෙලා මිනිත්තුවක්’, ‘රතු මඟුල් කපුවා’, ‘පුළුවන් අල්ලගන්න’, ‘විකාරම හැන්දෑව’, ‘ගිරිකූඨ කාශ්‍යප’ වගේ නාට්‍ය නිර්මාණ. දැන් ඒවා බලන්න මිනිස්සු එන්නේ නැහැ. මේ වනවිට සමහර රංග ශාලාවක් රුපියල් හැටදාහක් පමණ වෙනවා. ඊටත් වැඩි ඒවාත් තියෙනවා. එහෙම බලන විට ලක්ෂයක් රංග ශාලාවට ගෙවලා ඒ නිර්මාණ නරඹන්න තරම් ප්‍රේක්ෂකාගාරයක් තිබේවි ද? කියන ප්‍රශ්නය අපට පැන නැඟෙනවා. මේ නිසා කොරෝනා කාලයේ දැක්ක දෙයක් තමයි ඉලක්ක ගත ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්න ඕන කියන කාරණය. කොමඩි ප්ලේ එකක් බලන්න කොමඩි බලන්න කැමැති ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. ඒ වගේ අනෙකුත් නිර්මාණවලටත් වේදිකාව ඉක්මවන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්න ඕන. අන්න ඒ නිසා තමයි මම අධ්‍යාපනය කියන කාරණය මේකේදි ඉලක්ක ගත කරන්නේ. ඉල්ලක්ක ගත කළාට පස්සේ ඒලෙවල් සහ විශ්වවිද්‍යාලවල දරුවෝ කණ්ඩායමක් නියත වශයෙන්ම නාට්‍යයක් බලන්න එනවා. ඒ විදියට මට ඕන කරන පොඩි ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වුණාට පස්සේ නාට්‍යයට යන්න පුළුවන් මාවතක් පෙන්වනවා. එහෙම නැති වුණොත් මේ වේලාවේ නාට්‍ය ඇතෑරලා යන්න තරම් ආර්ථික අර්බුදයකයි අප ඉන්නේ. කලින් නම් අපට පාඩුවක් වුණා ම දරා ගන්න පුළුවන්. ඒත් දැන් පාඩුවක් වුණාම ඔළුව උස්සගන්න බැහැ. ඒ නිසාමයි මෙහෙම කරන්නේ. එහෙම නැතිව නාට්‍ය කියන එක මා අධ්‍යාපනය වෙනුවෙන් කොටු කිරීමක් නොවෙයි මේ කරන්නේ. මෙහිදි මා අපේ වේදිකාවේ සුරක්ෂිත භාවය ගැනයි අපේක්ෂා කළේ. අනෙක් කාරණය තමයි ගුරුවරු ‘ජුලියට් සීසර්’, ‘ඊඩිපස්’, ‘ශාකුන්තලය’ කියලා උගන්වන්නේ බොරු. ළමයට ඒ පොත් කියවද්දි බොහොම කම්මැළියි. ගුරුවරුන්ට ඒක තේරෙන්නේ නැහැ. අපේ රටේ පාසල් කීයක් තියෙනවා ද? ඒවා උගන්වන ගුරුවරු කීදෙනෙකු ඉන්නවා ද? ඒ නිසා මේ වැඩේට හැමෝ ම ආර්ථික අනුග්‍රහයක් ලබාදෙන්න ඕන; ඒ වගේ ම හැමෝම ආශිර්වාද කරන්න ඕන වැඩක්.”

වර්තමානය වනවිට මේ කෘති උගැන්ම සඳහා ඇතත් එහි ඉගැන්වීම තීරණය වන්නේ ඒ උගන්වන ගුරුවරයාගේ දක්ෂතාව මත. එවැනි පසුබිමක ඒ කෘති නිර්මාණ ලෙස නැරැඹීමට ලැබීමම කවදාවත් නොලැබෙන අවස්ථාවක්.

“මමත් නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරයෙක්. විශ්වවිද්‍යාලවල උගැන්වුව ගුරුවරයෙක්. ඒ වගේ ම ක්ෂේත්‍රයේ කලාකරුවකු විදියට වේදිකාවට මගේ හිතේ තියෙන මේ ඇල්ම නිසා ම මා මේ නාට්‍ය නිර්මාණ කළා. ඒ නිසා මා හැම ගුරුවරයකුටම කියන්නේ ඔබේ දරුවාට ඔබ උගන්වන්නට පෙර මේ නාට්‍ය පෙන්වන්න. එහෙම පෙන්වුවාට පස්සේ මේ විෂයය උගන්වන්න ලේසියි. ඒ නිසා ළමුන්ව දැනුම්වත් කරන්න මේ නාට්‍ය නරඹන්න එන්න. නැරැඹුවාට පස්සේ ඔබට ළමයාට සමීප වෙන්න ලේසියි. විචාරය කරන්න ලේසියි. අලුත් දෙයක් කරන්න ලේසියි.”

අපේ රටේ මීට පෙර ද ‘ඊඩිපස්’ වැනි නාට්‍යයක් නිර්මාණය වී ඇති බව ම‌ගේ මතකයේ තිබෙන කාරණයක්.

“‘අපේ රටේ ‘ඊඩිපස්’ නාට්‍යයේ නිර්මාණ කිහිපයක් ම තියෙනවා. ඒවා ඔක්කොම වෙන පරිවර්තන. ආචාර්ය ආරිවංශ රණවීරයන්ගේ පරිවර්තනයයි විෂය නිර්දේශයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ කෘතියයි මා ආචාර්ය ආරිවංශ රණවීරයන්ගේ අනුමැතිය සහිතව වේදිකාවට රැගෙන ආවේ. මහාචාර්ය මංගලිකා ජයතුංගගේ පරිවර්තනයයි විෂය නිර්දේශයේ තියෙන්නේ. එතුමියගේ ආශිර්වාදය සහිතවයි ‘ජුලියට් සීසර්’ මා අධ්‍යක්ෂණය කළේ. මීට පෙරත් ‘ශාකුන්තලය’ වේදිකාවට නැඟුණත් ඒවා අසාර්ථක වුණා. මොකද ‘ශාකුන්තලය’ කියන්නේ කරන්න බොහොම අතිශය අසීරු නාට්‍යයක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවා කියලා තිබුණේ එවැනි නාට්‍යයකට අත නොගසන බවයි. එවැනි නිර්මාණයක් කිරීමට තමයි අප යොමු වුණේ. ඒ නිර්මාණය සඳහා යොදා ගැනුණේ පියදාස නිශ්ශංක සූරින්ගේ පරිවර්තනයයි. එයත් අධ්‍යක්ෂණය වුණේ ඔවුන්ගේ අනුමැතිය සහිතවයි. ඒ නිසා මේ විෂය නිර්දේශයේ තිබෙන නාට්‍යයි මා අධ්‍යක්ෂණය කළේ. ඒ නිසා දරුවෝ විෂය නිර්දේශය ආවරණය කරන්න ඕන නම් නරඹන්න එන්න ඕන මේ නාට්‍ය ත්‍රිත්වයයි. ”

වේදිකා නාට්‍යකරුවකු සිය නිර්මාණය වේදිකාවට රැගෙන ඒමට දරන ප්‍රයත්නය ලේසි පහසු කර්තව්‍යක් යැයි කිව නොහැකියි. වර්තමානය වනවිට ඒ තත්ත්වය වඩාත් අසීරු කාර්යයක් බවට පත් වී ඇති බව රහසක් නොවෙයි.

“අපි වෙනම වෘත්තියකින් හම්බ කරන මුදලුයි මේ නිර්මාණවලට වැය කරන්නේ. මා අධ්‍යක්ෂණය කියන භූමිකාවට ඇවිත් වසර පහළොවක් වෙනවා. ඒ කාලය ඇතුළේ මම නාට්‍ය කලාවෙන් හම්බ කරලා නැහැ. එතකොට එහෙමනම් මේවා කරන්නේ ඇයි කියලා කවුරු හරි ඇහුවොතින් කියන්න තියෙන්නේ නාට්‍ය හා සිනමාව තමයි මුල් කාලයේ පරිණත වුණේ කියලා. සිනමාවට මට තවම යන්න බැරි වුණා. මේ වනවිට මම නිර්මාණවලින් නාට්‍ය කලාවේ යම් කිසි ස්ථාවර තැනකට ඇවිල්ලා තියෙනවා. නිර්මාණවලින් ස්ථාවර වෙන්න බැහැ ආර්ථිකව ශක්තිමත් වෙන්නේ නැතිව. ඒ වගේ ම සිතට එක් සංතෝෂයක් තියෙන්නේ ඇත්ත ප්‍රකාශ කරන්න පුළුවන්, පර්යේෂණ කරන්න පුළුවන් එකම තැන වේදිකාව පමණක් බවයි. ඒ නිසා වේදිකාව මුදලින් ස්වයංපෝෂිත වෙයි කියලා මා හිත හිත ඉන්නේ නැහැ. මා හිතන් ඉන්නේ වේදිකාව මගේ ආශාව; මගේ වෘත්තිය නොවෙයි; මගේ විනෝදාස්වාදය; මගේ දැනුම නව පරම්පරාවට ලබාදෙන තැන; මට ඕන දෙයක් කතා කරන්න පුළුවන් තැන; ඒ නිසා ඒක මම විනෝදාස්වාදයක් විදියට භාවිත කරනවා. ඒ වගේ ම එය වෘත්තියක් විදියට පවත්වාගෙන යන්න මගේ අදහසක් නැහැ.”

අඛිල සපුමල් අප හඳුනාගන්නේ ස්වතන්ත්‍ර නිර්මාණකරුවකු විදියටයි. එහෙත් ඔහු පරිවර්තනවලටත් අත ගසලා. කාට වුණත් එහෙම හිතෙන්න පුළුවන්.

“කලින් මා පැවසුව දේත් මේ සඳහා හේතු වුණා. ඒ වගේ ම මට නම් පරිවර්තනයක් අධ්‍යක්ෂණය කරන්න බොහොම පහසුයි. අපට අලුත් ලෝකයක්, ශෛලියක් දීලා තියෙන්නේ. අපට තියෙන්නේ ෆලෝ කරන්න විතරයි. ඒත් ස්වතන්ත්‍ර නාට්‍යයක් ලියන්න දවසක් දෙකක් නොවෙයි අවුරුද්දක් නොවෙයි අවුරුදු දෙක තුනක් යනවා. ඒක හැමදාම අලුත් වෙනවා. පිටපත් රචකයකු විදියට මම හිතනවා වගේ ම මහන්සි වන දෙයක් තමයි නාට්‍යයක් ලියමින් අධ්‍යක්ෂණය කිරීම. ඒ නිර්මාණ නැවත නැවතත් නිෂ්පාදනය කරද්දි හැදෙනවා. ඒක දෛනික අභ්‍යාසයක්. ‘හිනවෙලා මනිත්තුවක්’ මා කරන්න පටන් ගන්නේ 2015දි. මේ 23ත් දර්ශනයක් වේදිකා ගත වෙනවා. අවුරුදු 08ක් ගත වෙලත් තවමත් පිටපත හැදෙනවා. තවමත් තව තවත් තේමාව ප්‍රබල වෙනවා. ඒ නිර්මාණ කරනවා කියන්නේ ම ඔළුව වැඩ කරනවා කොහොමද තව තේමාව ප්‍රබල කරන්නේ කියලා. ඒත් ශාකුන්තලය වගේ නාට්‍ය හදද්දි රචකයා මට හිතන්න පාර දීලා තියෙන්නේ. මට අයිති නැහැ මගේ වචන දදා මගේ අදහස් පුරවන්න. සංක්ෂිප්ත කරන්න මට අයිතිය තියෙනවා. ඒ කාලය කළමනාකරණය කරගන්න. ඒ ඇරෙන්න මට හිතන්න දෙයක් නැහැ. මට හිතන්න තියෙන්නේ ඒක ප්‍රබල කරන්නේ කොහොමද කියලා; මට හිතන්න තියෙන්නේ ඒකට ගැළපෙන විදියට රංග ශෛලිය හදන්නේ කොහොමද කියලා; ඒ නිසා මට ඒක රෑ නිදා මරාගෙන කල්පනා කරන්න දෙයක් නොවෙයි. නළුවා ආවට පස්සේ ඒක කරන්න පුළුවන්. හැබැයි වෙනත් නිර්මාණයක් පරිවර්තනය කරන්න අපහසුයි. මම කියන්නේ පරිවර්තන කෘතියක් අධ්‍යක්ෂණය කරන එකට වඩා ස්වතන්ත්‍ර නාට්‍යයක් ලියමින් අධ්‍යක්ෂණය කිරිම අතිශය අපහසු බවයි. එය බැරෑරුම් කාර්යයක්. ඒ සඳහා විශාල කාලයක් යනවා.”

මෙවැනි වාද විවාද හමුවේ අපේ කතාබහ ගලාගෙන ගියා. ඒ අතර ඔහුගේ නාට්‍ය ඉදිරියේදිත් වේදිකා ගතවේවි. එන්න ඔබත් නොබැලුවා නම් ඉදිරියේදි ‘ජුලියට් සීසර්’ ඇතුළු අනෙක් වේදිකා නාට්‍ය කිහිපයත් නරඹන්න. අපි ඔබට ආරාධනා කරන්නේ බොහොම ආදරයෙන්.

 

 

[email protected]