ඔහුට ඇය හිමිවුණා වේ

“මොනරතැන්න”
සැප්තැම්බර් 10, 2020

මහ වැස්සක් ඇද හැළුණු ඒ මූසල රාත්‍රියේ එක් රූමත් ගැහැනියක් පුංචි දරුවකුත් තුරුළු කරගෙන බියෙන් ත්‍රස්තව ඉක්මන් ගමනින් නිනව්වක් නැතිව ඉදිරියට යන්නට විය. ඇය පසුපසින් සල්ලාලයන් යැයි සිතිය හැකි, මිනිසුන් දෙදෙනකු ඇයව හඹා එන්නට වූ අතර, කිසිවක් කර කියා ගැන්මට නොහැකි වූ ඇය අසල තිබූ කුඩා ලෑලි නිවසක වසා තිබූ දොරකට තට්ටු කරන්නට විය. 

ටික වෙලාවකින් දොර විවෘත වූ අතර, ඒ තුළින් හිස පෙව්වේ මැදි වයසේ ගැහැනියකි. වැස්සේ තෙමෙමින් සිටි, දරුවා තුරුළු කරගත් තරුණිය දුටු ඇය, කුඩා දරුවා නිසා තම නිවස ඇතුළට ඇය හා දරුවාව ගෙන දොර වසා ගත්තාය. වංහුං අසන විට, තමා මාතර සිට පැමිණි ඇති බවත්, සිය සැමියාව සොයා ආ බවත්, ඒ එන අතරේදී අතරමං වූ  අතර, තමා පසුපස සල්ලාලයන් දෙදෙනකු පැමිණි නිසා ගෙදර තට්ටු කළ බවත් ඈ කීවාය.

මේ, 'තුෂාරා' වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ යසපාලිත නානායක්කාරගේ 'මොණරතැන්න' චිත්‍රපටය ආරම්භ කළ හැටිය. 

ධර්මශ්‍රී මුණසිංහ විසින්  හැටේ දශකයේ අවසන් භාගයේදී ගුවන්විදුලියට රචනා  කළ 'මොණරතැන්න' නාටකය, එකල ගුවන්විදුලි ශ්‍රාවකයන් ඉමහත් රුචිකත්වයෙන් ශ්‍රවණය කළ නිර්මාණයක් වූ අතර, එය ලද ජනප්‍රියත්වයෙන් දෙවැනි වූයේ 'මුවන්පැලැස්ස' ගුවන්විදුලි නාටකයට පමණි. එකී ජනප්‍රියත්වය නිසාමය යසපාලිත, තම සිනමාපට වූ 'තුෂාරා', 'සහයට ඩැනී', 'ඇගේ ආදර කතාව', 'ප්‍රදීපේ මා වේවා', වැනි නිර්මාණවලට ඉඳුරාම පටහැනි කතා වස්තුවක් වූ 'මොණරතැන්න', තම සුපුරුදු සිනමා ශෛලියෙන් මිදී, ඉදිරිපත් කරන්නට සැරසුණේ.

මොණරතැන්නේ කතාව, දෙබස් හා තිරනාටකය ලියූ ධර්මශ්‍රී මුණසිංහ, මෙම කථාන්තරය කියන්නට චරිත ගණනාවක් එකතු කරගති. ඒ හැම චරිතයක්ම ගුවන්විදුලි නාටකය තුළින් ශ්‍රාවකයන් හට දැනෙන්නට වූ අතර, ඒවා සියල්ලම ඔවුන් තම මතකය තුළ රඳවාගෙන තිබිණි. එහෙයින්, යසපාලිතට, තම සිනමා නිර්මාණය තුළදී, ඒ චරිත කිසිවක් බැහැර කිරීමට නොහැකි විය.

පියසෝම, සඳා, රජ්ජුරුවො, බිසෝ, සුරංජි, සිඩ්නි, හතා, සුරතලා මාමා, මුදලාලි, ශ්‍රියා, වැනි චරිත මොණරතැන්න ගුවන්විදුලි නාටකය තුළින් හැම රැයකදීම ජීවමාන වී ශ්‍රාවකයන්ගේ හද ගැබ පුරා රැඳී තිබූ හෙයින්, සිනමා පටය තුළින්ද, ඒ චරිත එලෙස ජීවමානව දැකගැන්මට, එකී ශ්‍රාවකයන් පුල පුලා බලා සිටියහ. එහෙයින්, යසපාලිතට  ඔහු කෙරූ අනෙක් නිර්මාණවලට වඩා වැඩි වගකීමක්, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විට දරන්නට සිදුවිය.

සඳාට, පියසෝමව යළිත් මුණ ගැසුණේ පාසලේ විවිධ ප්‍රසංගයක් හා ත්‍යාග ප්‍රදානෝත්සවයකදීය. එහි ප්‍රධාන අමුත්තන් වූයේ, සඳාගේ පියා වූ, රජ්ජුරුවෝ ,මව වූ බිසෝ හා  හිච්චි මැණිකේ නොහොත් සඳාය. විශිෂ්ටත්වයට පත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ත්‍යාග ප්‍රදානය කිරීමට ආරාධනා කළේ සඳාට ය. එහිදී විශිෂ්ට සම්මාන රැසක් ලැබුණේ පියසෝමටය. ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් පසු සඳාට ගීතයක් ගැයීමට ද සිදු වූයේ, ඇය පාසලේ දක්ෂ ගායිකාවක් බවට ඉඟියක් ද දෙමිනි. ඇය වේදිකාවට නඟින විට, එහි සිතාර් වාදකයා හා සහාය ගායකයා වූයේ පියසෝමය. ඔවුන් දෙදෙනා මීට පෙරත් ගී ගායනා කර ඇති බවක් ද, එතැනින් යාන්තමට දිස් විය.

“ සෙවනේ කුඹුක් සෙවනේ

 ගං තෙරේ හමන පවනේ

 මියුරු ගී වැල් පා කෙරේ

 සියුම් තත් බිඳ, හදවතේ

කුමරියක සිත සලිත වී ඇත

ඔහුට ඇය හිමි වුණාවේ

නෙතට නෙත ළං වුණාවේ” 

ගීතය, ඔවුන්ගේ ප්‍රේමයේ ඇරඹුම විය. එහෙත් ඔවුනතර තිබූ පරතරය විශාලය. පියසෝමම කියන පරිදි, සඳා ගමේ රජ්ජුරුවෝ යැයි හඳුන්වන කෙනාගේ දියණියය. ඇයගේ මව බිසෝය. තමා නිකම්ම නිකම් පියසෝමය. මේ වනවිටත් බිසෝ පුපුර පුපුර සිටින්නේ සඳා පියසෝම සමඟ එදා, ප්‍රසංගයදා, ගී ගැයූ එකටය. ඇය සඳාට දොස් කියන්නේ නැත. පියසෝමට, සඳා සමඟ ගීත ගැයීමට තිබෙන හයිය මොකක් දැයි කියමින් බිසෝ දොස් කීවේ, පියසෝමටමය.

එදා 'තුෂාරා' හි සිටි විනෝදකාමි, සැහැල්ලු පෙම්වතුන් යුවළ, මෙවර සිනමා ප්‍රේක්ෂකයන් දකින්නේ, තරමක් 'සීරියස්' අන්දමටය. යසපාලිතට ද, මෙය අපූරු අත්දැකීමක් විය. පී.එල්.ඒ. සෝමපාල වැනි සංගීත අධ්‍යක්ෂකවරුන් සමඟ හින්දි ගීත කොපි කර තම චිත්‍රපටවලට ඇතුළත් කරමින් සිටි, යසපාලිත, මොණරතැන්නේ සංගීතය ප්‍රේමසිරි කේමදාසට භාර කර, එකී සංගීතයට ටී.එම්. ජයරත්න, නන්දා මාලනී, නිරංජලා සරෝජිනි පීරිස් , නිහාල් ජයවර්ධන වැනි 'ස්ටැන්ඩඩ්' ගනයේ ගායක ගායිකාවන් ලවා ගීත ගැයවීය. ඒ තුළින් චිත්‍රපටය තරමක් සම්භාවනීය තත්ත්වයකට පත් විය.

මොණරතැන්න ගුවන්විදුලි නාටකයක් නිසාදෝ, එහී තුළ විවිධාකාර හැල හැප්පීම් තිබුණි. ධර්මශ්‍රී මුණසිංහ මෙය මුලින්ම ලීවේ, ගුවන්විදුලි ශ්‍රාවකයන්ගේ රසයට සරිලන සේය.  එහෙත් එය දෘශ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් වන විට, තරමක නොගැලපෙන තැන් තිබෙන බවක් ප්‍රේක්ෂකයන් හට දැනිණි. කතාන්දර කීමේ කලාව යසපාලිතලාට අලුත් දෙයක් නොවු හෙයින්, මොණරතැන්න චිත්‍රපටයද එකී ශෛලයට අනුගත වූවද, ඇතැම් ජවනිකා තුළ සිනමාත්මක බවක් නොතිබුණාම නොවේ. එහෙත්, එවන් දර්ශන නම් චිත්‍රපටය තුළ තිබුණේ ඉතාමත් අවමවය.

මාතර මුහුදු වෙරළේ පියසෝම, සඳාව මුණ ගැසුණු සිදුවීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දෙන්නට විය. අහම්බෙන් එය දුටුවේ, හදිසි කාරණයකට මාතරට ආ හුරතලා මාමාය. ඔහු එය එසැණින්ම රජ්ජුරුවන්ගේ හා බිසෝගේ කණේ තිබ්බේ, පියසෝමටද හොඳ හැටි දොස් කියමිනි. පියසෝම ගමට පැමිණි පසු ඔහු එක්ක පැටලුණේ හතාය. ඔවුන් දෙදෙනා නාන තොටුපොළේදී ගුටිබැට හුවමාරු කරගත් අතර, පියසෝම හතාව වතුර යට ගිල්වා දැම්මේ වතුර යට බෙල්ල හිර කරමිනි. හතා මියගිය අතර, පියසෝම බෝට්ටුවක නැඟී එය හබල් ගසමින් ගමෙන් පලා ගියේය.

ඉන්පසු චිත්‍රපටය තරමක 'ඇඩ්වෙන්චර්' ගනයට වැටිණි. පියසෝම තැන තැන කරක් ගසා මුදලාලි කෙනෙක්ගේ කඩයක කුස්සියක වැඩට ගියේ, ඔහුට අකුරු කියන්නට, ලියන්නට බැරි නූගතකු ලෙස අඟවමිනි. එහෙත්, දිනක් පියසෝම පත්තරයක් කියවනවා මුදලාලිට අසු විය. එයින් පියසෝම යනු ඉගෙනගත් කෙනෙක් බව මුදලාලි අවබෝධ කර ගත් අතර, ඔහු පියසෝමව තම කන්තෝරු කාමරයේ පොත් ලියන්නකු ලෙසට පත් කළේය.

දැන් මොණරතැන්න කතාව යන්නේ වෙනස් ආකාරයකටය. මුදලාලි, මැදි වියේ පුද්ගලයෙකි. ඔහුගේ නිවසේ ශ්‍රියා නම් ලාබාල තරුණියක් සිටී. ඔවුනොවුන් හඳුන්වා ගන්නේ මාමා සහ දියණිය කියාය. එහෙත් ඇත්ත වශයෙන්ම එතන සිදු වනුයේ ඔවුන් දෙදෙනා අඹු සැමියන්සේ හැසිරීමයි. ශ්‍රියා එයට මුලින් කැමතිව සිටියද, දැන් ඇය ඔහුව පිළිකුල් කරයි. ඔහු පියසෝමව ගේ තුළට දාගත්තේ ශ්‍රියාව පියසෝමට විවාහ කරදී, තමන්ටත් අවශ්‍ය වෙලාවට ශ්‍රියා ළඟට යාමටය.

මේ අතර පියසෝමට ඩී.ආර්.ඕ. තනතුරක් ලැබෙයි. පත් වීම ගමටය. ඔහු ගමට යන්නේ නැවත පැමිණ ශ්‍රියාව විවාහ කරගන්නා බවට පොරොන්දු වීය. 

පියසෝම දැන් සඳාව සිතෙන් අයින් කළේ ඒ විවාහය කිසි දිනෙක සිදු නොවෙන නිසාය. පියසෝම ගමට යන්නට ප්‍රථම, හතා මැරී නැති බව දැන ගති. එයින් ඔහු මිනිමරුවෙක් යන ටැග් එක ගැලවෙයි. ඩී.ආර්.ඕ වැඩ භාර ගත් පසු, එක් සති අන්තයක, මුදලාලිගේ නිවසට යන විට ශ්‍රියා මුදලාලිට වෙඩි තබා මරා-දමා ඇයත් දිවි නසා-ගනී. මේ මිනිමැරුම් දෙකටම සැක පිට ගන්නේ පියසෝමවය. ඒ පොලිසිය එන විට ඔහු එතන සිටිය නිසාය. එහෙත්, පසුව ඔහුව නිදහස් වේ. නමුදු ඔහුව ඩී.ආර්.ඕ තනතුරෙන් පහ කර, රැකියාවෙනුත් ඉවත් කරයි. ඔහු ඉබා ගාතේ යයි.

මේ අතර සඳා තම මාපියන්ව සනසවන්නට සිඩ්නි නම් සූදු අන්තුවකු සමඟ විවාහ වෙයි.

“අලුත ගෙනා මනමාලි කොහෙන් ගෙනාවෝ

කුඩේ යටින් මල් වරුසා මැදින් ගෙනාවෝ

මොණරතැන්න රජ ගෙදරින් කැන්දන් ආවෝ.....ඕ කැන්දන් ආවෝ ”

සඳාගේ ඒ විවාහය ඉතාමත් දුක් සහගත විය. ඒ වන විට ඇයට සිඩ්නිට දාව කුඩා දරුවකු ද සිටියේය. සූදුවට ගොස් සියලු දෙයම නැති කරගත් සිඩ්නි ඉබාගාතේ ඇවිදිමින් සිටියේ තමා අතින් සිදු වූ වැරදි ආවර්ජනය කරමිනි.

“අම්බරේ දිලී දිලී

තාරුකා මිලාන වී

හද රුවන් තොරන් බඳී

පැතු පැතුම් ගරා වැටි” 

චිත්‍රපටය යළි මුලට පැමිණේ. සඳා අර මැදිවියේ කාන්තාව ළඟ නවතියි. පසුව ඇයට අනාථ කුඩා දරුවන් සිටින අනාථ මඩමක පාලිකාවක් ලෙස රැකියාවක් ලැබෙයි.

“හඳ හාවුන් හදේ

 පැන යාදෙන් ඔහේ

දඟ නෑ ඒ වගේ

කිරි දරුවන් මගේ

කිරි දරුවන් මගේ......” 

 මේ අතර පියසෝම, මැණික් ගැරීමට එකතු වී පසුව ලොකු ව්‍යාපාරිකයෙක් වෙයි. දැන් පියසෝම පින් අතේ වැඩ කරමින් සිටියි. එලෙසම හැම මසකම ඔහු අර කුඩා දරුවන් සිටින අනාථ මඩමට දානයක් දෙයි. එතන දී යළි පියසෝම හා සඳා මුණගැසෙයි.

සිඩ්නි ⁣දුම්රියට පැන දිවි නසා-ගනී. පියසෝම සඳාව හා සඳාගේ දරුවාව භාර ගනී. යසපාලිත නානායක්කාර, තම මොණරතැන්න එලෙස සම්ප්‍රදායානූකූලව නිමා කරයි.

පියසෝම හා සඳාව එක් කිරීමට කතාව හා තිරනාටක රචක ධර්මශ්‍රී මුණසිංහ මොන මොන උප්පරවැට්ටි කළා දැයි සිතන විට, බලා සිටින අප ඔල්මොරොන්දම් වේ.

විජය කුමාරණතුංග පියසෝම ලෙසත්, මාලනී ෆොන්සේකා සඳා ලෙසත්, ඩොමි ජයවර්ධන සිඩ්නි ලෙසත් ප්‍රධාන චරිතවලට පණ පොවයි.  රජ්ජුරුවෝ  රෙක්ස් කොඩිප්පිලිය. රුක්මණි දේවි  බිසෝ වූ අතර, ධර්මශ්‍රී මුණසිංහ මුදලාලි විය.

සෝනියා දිසා ශ්‍රියා ලෙසත්, සුනිල්සෝම පීරිස් හතා ලෙසත්, පියදාස විජේකෝන් සුරතලා මාමා ලෙසත් එකී චරිතවලට පෙනී සිටි අතර, සුරංජී ලෙස අනෝජා වීරසිංහ රිදී තීරයට හඳුන්වා දුන්නේ මොණරතැන්න චිත්‍රපටය තුළිනි. රත්නාවලී කැකුණුවෙල, වින්සන්ට් වාස් සෙසු චරිත රඟපෑහ.

යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ, ධර්මශ්‍රී මුණසිංහ කතාව දෙබස් තිර රචනය ලියූ 'මොණරතැන්න' නිෂ්පාදනය කළේ ඩබ්ලියු ජයතිස්ස හා පියසිලී ජයතිස්ස ය. මෙය 1979  ජුලි මස 14 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළේය.