ලලනා ලෝලයේ ආලෝලනය...

ජූලි 1, 2021
ප්‍රේමරංජිත් තිලකරත්න

 

 

නාරි මෛථුනය හෙවත් ස්ත්‍රී සමරිසි සබඳතා වස්තු විෂය කොට ගත් නිර්මාණ මෙරට නාට්‍ය වංශයෙහි සුලභ නොවීය. එහෙත් ඉඳහිට හෝ එවැනි ප්‍රස්තුතයක් අන්තර්ගත වූ නාට්‍ය නොතිබුණා නොවේ. මේ වූ කලී ලාංකේය වේදිකාවේ නිරූපිත ස්ත්‍රී භූමිකා සම්මර්ශනයේ දී බැහැර කළ නොහැක්කකි. ප්‍රතිභාපූර්ණ නාට්‍යවේදී බුද්ධික දමයන්තගේ "පුංචි ආදර බලකිරීමක්" (2006) මෙහිලා දැක්විය හැකි පුරෝගාමී දෘෂ්ටාන්තයකි. මේ වූ කලී සුප්‍රකට ඉන්දියානු නාට්‍යවේදී , තිරකතා රචක විජේ තෙන්ඩුල්කාර්ගේ "ර්ඪබපචජඩඪ ට්ධඵඩබච : ඒ ටපඪඥදඤ'ඵ ඵබධපර"(1981) නමැති නාට්‍යයෙහි පරිවර්තනයකි. ප්‍රවීණ නාට්‍යවේදී එස්.කරුණාරත්නයෝ මෙය සිංහලයට නැඟූහ. විජේ තෙන්දුල්කාර්ගේ නාට්‍ය කෘති, තිරකතා පිටපත් ඔස්සේ ඔහු ඉන්දියානු සමාජ ,ආර්ථික ,දේශපාලනික විෂමතාව,සමාජ ගැටලු හා ස්ත්‍රීත්වය අරභයා මැනවින් විවරණය කළේය. ඒවා මුළුමනින්ම ඉන්දියානු සමාජයට මැ පමණක් සීමා වූවක් නොවුණි. විශ්ව සාධාරණ සමාජ සත්තාවන්ද ඒ තුළ ගැබ් විය. විජේ තෙන්දුල්කාර්ගේ තිරරචනා ආශ්‍රයෙන් බිහි වූ, එකල මා ආශාවෙන් නැරඹූ කලාත්මක ධාරාවේ ඉන්දියානු චිත්‍රපට කිහිපයක්ම මා සිහියට නැඟෙයි. ශ්‍යාම් බෙනගල්ගේ "ව්ඪඵඩචදබ"(1974), ගෝවින්ද් නිහලානිගේ "ඒඬපධඵඩ"(1980), ගෝවින්ද් නිහලානිගේ "ඒපඤඩ ඵචබරච"(1984) ඉන් කිහිපයකි. විජේගේ නාට්‍යයක් මුල්වරට සිංහලට නැඟුවේද එස්.කරුණාරත්නයන්ය. "ඉචඬඩචපචථ ඕඪදඤඥප" (1972) ඇසුරෙන් "දාස මල්ලිගේ බංගලාව" (2004) නාට්‍යය බිහිවූයේ එලෙසිනි. රාජ්‍ය නාට්‍ය සම්මාන රැසක් දිනූ මේ නාට්‍යය රුවන් මලිත් පීරිස් සහ කලණ ගුණසේකර අධ්‍යක්ෂණය කළහ.

පූර්වයෙහි කී ලෙසින් බුද්ධික දමයන්තගේ "පුංචි ආදර බලකිරීමක්" ස්ත්‍රී සමලිංගිකත්වය වස්තු විෂය කොට ගත් නාට්‍යයකි. සම්මත සංස්කෘතික සමාජ සන්දර්භයක් තුළ යථෝක්ත මානව සබඳතාව හේතු කොට මතු වූ සමාජ කැලඹිල්ල මෙහිදී මැනවින් විවරණය කෙරිණ. මේ නාට්‍යයෙහි චිත්‍රා නමැති ප්‍රධාන චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක, විචාරක උභය පාර්ශ්වයෙහි ඇගැයුමට ලක් වූ රංග ශිල්පිනිය සේමිණි ඉද්දමල්ගොඩය. වේදිකාවේ ඇතැම් නළු නිළියන් එහි බහුලව රඟපෑවේ නැතත් තමන් නිරූපිත චරිත එකකින් හෝ දෙකකින් පමණක් සහෘද මනසෙහි රැඳී සිටින අයුරු දැක්ක හැකිය. මෙහි චිත්‍රාගේ භූමිකාවෙන් සේමිණිද එලෙස මංසලකුණක් තැබුවාය.

"පුංචි ආදර බලකිරීමක්" හි චිත්‍රා අවශේෂ කාන්තාවන්ට වඩා වෙනස් ගති පැවතුම් ඇති තරුණියකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශාස්ත්‍ර හදාරන ඇය දෙස මුළු විශ්වවිද්‍යාලයෙහිම අවධානය යොමු වේ. එසේම බොහෝ සරසවි තරුණයෝ ඇයගේ ප්‍රේමය පතා සිටිති. මේ නාට්‍යය එක් අතකින් චිත්‍රාගේ ප්‍රේම කතාව ලෙස හැඳීන්විය හැකිය. නාට්‍යවේදියා මේ නිර්මාණයේ අඛ්‍යානවේදය (ව්චපපචබධතධඨර) ඉදිරිපත් කරනුයේ සුමන ආලෝක බණ්ඩාර නම් වූ සරසවි සිසුවාගේ දෘෂ්ටිකෝණයෙනි. සුමිත් රත්නායක මේ චරිතය මැනවින් රඟපෑවේය. "සුමන ආලෝක බණ්ඩාර" යන මේ භූමිකා නාමකරණය මා හට සිහිපත් කළේ මෙරට ප්‍රවීණ නාට්‍යවේදී සුමන ආලෝක බණ්ඩාරයන්ය. එහි කිසිදු අරුමයක් නැත. "පුංචි ආදර බල කිරීමක්" පිටපත පරිවර්තනය කරන ලද්දේ ප්‍රවීණ නාට්‍යවේදී එස්. කරුණාරත්න විසිනි. එස්. කරුණාරත්න සහ සුමන ආලෝක බණ්ඩාර එකම කණ්ඩායමකට අයත් දිගුකාලීන මිත්‍ර, නාට්‍යවේදීහු වෙත්. ඔවුහු සයිමන් නවගත්තේගමයන්ද එක්කොට ගෙන "ඉ තුනේ" කණ්ඩායම නමින් නාට්‍ය කණ්ඩායමක්ද 60 දශකයේ බිහි කිරීමට උත්සුක වූවෝය. කරුණාරත්නයන් මේ සරසවි සිසුවාගේ භූමිකාව නාමකරණයේදී එකී මිත්‍රත්වයෙහි සංකේතයක් ලෙස සුමන ආලෝක බණ්ඩාර යන නම භාවිත කළ බැව් පෙනේ. සුමනගේ (සුමිත් රත්නායක රඟපෑ) ආඛ්‍යානයෙන් මෙහි චිත්‍රාගේ (සේමිණි ඉද්දමල්ගොඩ) ගති ස්වභාවය නාට්‍යය ආරම්භයෙහිදීම විවරණය කෙරෙනුයේ මෙලෙසිනි.

"ආදර කතාවක් කවදාකවත් කලකිරුණු ස්වරයකින් කියන්න බෑ. කියාගෙන යද්දි දන්නෙම නැතිව වාගෙ ඒක තමන්ගෙම කතාවක් බවට පත්වෙනවා. කොහොමද එහෙම වෙන්නෙ ? අපි කොහොමද තවත් කෙනෙකුගේ ආදර කතාවක් ඇතුළට රිංගන්නේ. කෙනෙක්ගෙ කතාවක් අපේම කතාවක් වගෙ දැනෙන්නේ කොහොමද ?මේක චිත්‍රාගේ ආදර කතාව.... චිත්‍රා.. චිත්‍රානි... චිත්‍රානි වංශපුර....චිත්‍රා මගේ මිතුරියක්. මිතුරියක් ? ඇයි ගෑනු ළමයකුට මිතුරියක් වෙන්න බැරිද ? චිත්‍රා මගේ මිතුරියක්...එච්චරයි. මම කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්න කොට..... එයා වෙන එකක ඉඳලා කෙළින්ම මෙහාට ආවෙ සෙකන්ඩ් ඉයර් එකට. ඕ.ඒ ඩිග්‍රිය ගන්න. චිත්‍රා අනිත් කෙල්ලන්ට වඩා හුඟක් වෙනස්. සමහරවිට මට පෙනුණේ එහෙම වෙන්න ඇති. කෙල්ලන්ට තිබුණ ලාලිත්‍ය වෙනුවට එයාට තිබුණේ එක්තරා හැඩිදැඩි ගතියක්. එයාගේ කතාව, ගමනබිමන, හරියට පිරිමියෙක්ගෙ වගෙ. කිසි දෙයක් ගණනකට නොගත්ත චිත්‍රා හිනා උණේ හඬ නඟලා. එයාගේ පළල් නළල බුද්ධිය විදහා දැක්වූවා. එක්තරා ආක්‍රමණශීලී පෞරුෂයක් එයාට තිබුණා. එසේම එයාට තිබුණේ කොල්ලන්ගෙ සිත් පොලඹවනසුලු පෙනුමක්. ඒ නිසාදෝ එයාව නිතර කොල්ලන්ගෙ කතාබහට ලක්වුණා. උන් තැන්තැන්වල කල්ලි ගැහිලා එයාට විහිළු කළා. අවලං කතා හැදුවා. මම කැම්පස් එකේ ඇතුළේ එච්චර ජනප්‍රිය චරිතයක් නෙමෙයි. ඉගෙනීමට වගේම ස්පෝට්ස්වලටත් දක්ෂයෙක් නෙමෙයි. මට වාචාලයෙක් වගේ කතා කරන්න ගටක් තිබුණෙත් නැහැ. ඇත්තෙන්ම මට දේශපාලනය ගැන උනන්දුවක් තිබුණෙත් නැහැ. කොටින්ම ලෙක්චර්ස්ලා පවා මගෙ නම දැනගෙන හිටියේ නැහැ. යාළුවෝ කිව්වෙ මං ලැජ්ජා කාරයෙක් කියලා. ඉතින් කොහොමද මම චිත්‍රාට ළංවෙන්නෙ....එයාට කතා කරන්නෙ...එක දවසක් මාර වැඩක් උණා. මං ලේඩීස් කොමන් රූම් එක පහු කරනකොට මෙන්න මේක බිම වැටිලා තිබුණා. හරි පුදුමයි. ඒක චිත්‍රානිගෙ ෆොටෝ එකක්. මගෙ ඇස් අදහගන්නත් බෑ. මම පොතක් අස්සෙ ඒක දාගත්තා. හෙමිහිට එතනින් මාරු වුණා. මම මගෙ බෝඩිම අස්සට ගිහින් කොච්චර වෙලා මේක දිහා බලන් හිටියද ?... ඇඳුමේ හැටි. හරියට කොල්ලෙක් වගෙ. කවුද ? මේ වටේ ඉන්න අනිත් උන්.. ඇඟේ බැනියමක් වත් නැහැ. පපුව පුරා මයිල්. හැම එකාගෙම කටේ සිගරට්... මේ වගෙ ජරා ෆොටෝ එකක් ගන්න තරම් චිත්‍රානිට පුළුවන් වුණු හැටි. අනික මේ වගෙ ෆොටෝ එකක් මෙහෙම බිම හලලා යන එක... ඊට පස්සේ දවස් කීපයක් මට චිත්‍රානි මුණගැහුණා. ෆොටෝ එක නැති වුණ එක ගැන එයාට අවුල් ඇති. තවත් මම මේක ළඟ තියන් ඉන්න හොඳ නෑ. ඒක දෙන්න දවස් කීපයක්ම මම එයාව ෆලෝ කළා. අන්තිමට අර වින්කලේ ගාව තියෙන වංගුවෙදී මට එයාව මුණ ගැහුණා. ඒ වෙලාවෙ ඒ ළඟපාත කවුරුත් පේන්න හිටියෙත් නෑ. මම ගත්තා හොඳ ගටක්...."

යථෝක්ත ප්‍රාණවත් ආඛ්‍යානය හේතු කොට චිත්‍රා පිළිබඳ මනා සිතුවමක් සහෘද මනසෙහි මැවේ. සේමිණි ඉද්දමල්ගොඩ, සුමිත් රත්නායක, බුද්ධික දමයන්ත, සංජීව උපේන්ද්‍ර, මහේන්ද්‍ර වීරරත්න, අනුරුද්ධිකා පාදුක්කගේ යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. නාරි මෛථුනයට නැඹුරු වූ චිත්‍රා තමා පසුපස හඹා එන කිසිදු තරුණයකු නොතැකුවාය. සරසවි සිසුවියක වූ නාලිනී (අනුරුද්ධිකා පාදුක්කගේ රඟපෑ) හට ඇය පෙම් කළාය. එහෙත් නාලිනීගේ පෙම්වතා වූයේ රංජි (බුද්ධික දමයන්ත) ය. වීරේ නමැති තරුණයා (සංජීව උපේන්ද්‍ර) මේ නාට්‍යය පුරාම සැරිසැරූ භුමිකාව වේ.

ආසියානු සමාජ, සංස්කෘතික සන්දර්භය තුළ ස්ත්‍රී හෝ පුරුෂ වේවා සමරිසි ප්‍රේමයක පැවැත්ම බොහෝවිට අවසන් වනුයේ ඛේදවාචකයකිනි. යුරෝපීය රටවල මෙබඳු ඛේදවාචක ආසියානු කලාපයේ තරම් බහුල නොවන්නට පිළිවන. ස්ත්‍රී හෝ පුරුෂ සමරිසි සබඳතාවේ අයිතිවාසිකම් ගැන මෙරට හඬ නැඟූ ඇතැම්හු තම පුත්‍රයකුගේ හෝ දියණියකගේ මෙබඳු සබඳතාවක් ගැන ඇසූ කල්හි කුපිත නොවී සිටිත්ද ?

ආසියානු සමාජ ව්‍යුහය තුළ එකී ඛේදවාචකය ධ්වනිත කරමින් නාට්‍යය අවසන චිත්‍රා සිය දිවි නසා ගන්නා අයුරු නිරූපිතය.

එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සේමිණි ඉද්දමල්ගොඩත් හොඳම නළුවා ලෙස සුමිත් රත්නායකත් මේ නාට්‍යය උදෙසා සම්මානයට පාත්‍ර වූ බව අපට අමතක නොවේ. එසේම හොඳම පරිවර්තන පිටපත උදෙසා එස්. කරුණාරත්නයන්ද සම්මානයට පාත්‍ර විය. නාරි මෛථුනය තේමා කොටගෙන බිහිවූ නාට්‍යයක් වුවත් "පුංචි ආදර බලකිරීමක්" හි මේ ලිංගිකත්වය ඉස්මතු කරන කිසිදු ජවනිකාවක් දක්නට නොලැබිණ.මින් පිළිබිඹු වනුයේ බුද්ධික දමයන්ත නමැති නාට්‍යවේදියාගේ ශික්ෂණය නොවේද ? මෙබඳු කවර වර්ගයක හෝ මානව ලිංගික සබඳතා පිළිබඳ ප්‍රස්තුත රැගත් නිර්මාණ හැසිරවීමේදී නූතනයේ බොහෝ තරුණ සිනමාවේදීන් හට මේ ශික්ෂණය දක්නට නොමැති බව මම සෘජුවම පවසමි. කවර කලා මාධ්‍යයක වුවත් මානව සමාජයේ සංස්කෘතික මිනිසා සුපෝෂණය කිරීමේ උදාර අරමුණෙන් නිර්මාණකරණයෙහි නියැළෙන සෑම නිර්මාණකරුවකුම පෙර කී ශික්ෂණය ආත්මය කොටගත්තෙකි. ව්‍යංග්‍යාර්ථ නංවනසුලු දෙපිට කැපෙන දෙබස් මෙහි නැත්තේ නොවේ.එහෙත් නාට්‍යවේදියා මනා වූ සංයමයෙන් මේ ප්‍රස්තුතය හසුරුවන අයුරු නාට්‍යය පුරාම දක්නා ලැබේ. මෙය රාජ්‍ය නාට්‍ය උලෙළේ වේදිකා ගත කළ අවස්ථාවේ ශාලාව පිරී ඉතිරී ගිය (ඩ්ධභඵඥ ටභතත) බව බොහෝ දෙනෙකුට මතක ඇත.

2002 වසරේ බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ "ඹඹඹ.ජධථ" ටෙලි නාට්‍යයේ බුද්ධික දමයන්ත සහ සේමිණි ඉද්දමල්ගොඩ රඟපෑහ. "පුංචි ආදර බලකිරීමක්" නාට්‍යයේ චිත්‍රාගේ ප්‍රධාන භූමිකාව සඳහා ඇය තෝරා ගැනීමට බුද්ධිකට සිතුණේ මේ අවස්ථාවේදීය. මෙය සැබැවින්ම සේමිණි හට අභියෝගාත්මක චරිතයක් වූ බව මා අමුතුවෙන් කිව යුතු නැත.ඇය මේ අරභයා වරක් මා සමඟ මෙසේ පැවසුවාය.

"චිත්‍රාගේ චරිතය සැබැවින්ම මට අභියෝගයක් වුණා. මෙය නිරූපණය කිරීමට පෙර කිසි දවසක සමලිංගික චර්යාවන්ට පෙලඹුණු ගැහැනියක් මං දැකලාවත් තිබුණේ නැහැ. එහෙත් මෙය හොඳීන් රඟපෑමට නම් එබඳු රුචිකත්වයක් ඇති ගැහැනියකගේ හැසිරීම් රටා මං අධ්‍යයනය කළ යුතු යැයි සිතුවා. බාහිර ස්වරූපයෙන් ඔවුන්ගෙන් දිස්වන විශේෂතා වගේම ඔවුන්ගේ හැසිරීම් රටා,ගමන බිමන සියුම්ව නිරීක්ෂණය කරන්න මට හිතුණා. මාසයක කාලයක් පුරා මේ අධ්‍යයනය සඳහා එබඳු කාන්තාවක් මට උපකාර කළා. ඇය පොඩි දේටත් ඉතා නොසන්සුන්, හරි කලබලයි, ඒ වගේම ඉක්මනින් කේන්ති යනවා, නිතරම ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා, ගැහැනු ගති වලට වඩා පිරිමි ගති ඉස්මතු වෙනවා. ඇගේ මේ ලක්ෂණ මම චිත්‍රාගේ චරිතය රඟපෑමේදී භාවිත කළා. මෙහි මංගල දර්ශනයදා අමතක නොවන සිදුවීමක් සිදුවුණා. මේ නාට්‍යයේ මං වේදිකාවට පිවිසෙන්නේ බයිසිකලයක් පැදගෙන. ඇවිත් බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගහල වේදිකාවේ එය නවත්තන්න ඕනෑ. ඉතින් මං එහෙම ඇවිත් බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගහනවා ගහනවා එය වේදිකාව මත රැඳීලා නවත්ව ගන්න බැහැ. ස්ටෑන්ඩ් එකේ අවුලක්. දැන් මට ඒ ආසන්නයේ පෙනෙනවා, බුද්ධික දමයන්ත ඇතුළු පිරිස කලබල වෙලා එහාට මෙහාට යනවා, මං මොනවා කර ගනීද කියලා.මට එවලෙහි මතක් වුණා, මේ චරිතය අධ්‍යයනය කරන්නට උදව් කළ ගැහැනිය. දවසක් මා ඇය සමඟ කාරයේ ගමන් කළා. අනෙක් වාහන ඇය ඉස්සර කළහොත් ඇයට තමන්ගේම වාහනේ සමඟ කේන්තියි. මට මේ සිදුවීම මතක් වුණා. ස්ටෑන්ඩ් එක ගහල වේදිකාවේ නවත්ත ගන්න බැරි වුණු බයිසිකලයට මං කේන්තියෙන් පහරක් ගහලා වේදිකාවේ පෙරළා දැම්මා. ප්‍රේක්ෂකයෝ සිතුවේ මෙය නාට්‍යයෙහිම ජවනිකාවක් කියලයි. එතනින් පසු බුද්ධික දමයන්ත සන්සුන් වෙනවා මම දැක්කා".

මා දන්නා තරමින් ලාංකේය වේදිකාවේ ස්ත්‍රී සමරිසි සබඳතාව මුල්වරට ප්‍රස්තුත කොට ගත් නාට්‍යය "පුංචි ආදර බලකිරීමක්" ය. ඉන්දියානු කෘතිය ඔස්සේ එය සිංහලට පරිවර්තනය කළ එස්. කරුණාරත්නයන් මින් ඉහත නිෂ්පාදනය කළ නාට්‍යයක් වෙත මා සිත යොමු විය. විශ්ව සාහිත්‍යයේ සුප්‍රකට භවසත්තාවාදී (ඡ්යඪඵබඥදබඪචතඪඵථ) ලේඛකයකු, නාට්‍යවේදියකු වූ ෂාන් ජෙනේගේ "ඊඩඥ ර්චඪඤඵ" (1947) 60 දශකයේ අගභාගයේ සිංහලට නැඟූ එස්. කරුණාරත්නයෝ එය "ටික්කි ටිකිරි ටිකිරිලියා" නමින් නිෂ්පාදනය කළහ. නලීන් විජේසේකර මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළේය. මෙහි ලියෝනි කොතලාවල සහ මර්සි එදිරිසිංහ රඟපෑ ගෘහ සේවිකාවෝ දෙදෙනා පරපීඩන කාමයෙන් මතුනොව ස්ව පීඩන කාමයෙන්ද (ඵචඤධථචඵධජඩඪඵථ) මඩනා ලද්දියෝ වූහ. මේ නාට්‍යය පිළිබඳව මේ ලිපි පෙළහි එක් ලිපියක මවිසින් විග්‍රහ කරන ලද බව සහෘද ඔබට මතක ඇත. සමලිංගිකත්වයෙහි (ඩ්ධථධඵඥයභචතඪබර)

ස්ත්‍රී මෛථුනය පිළිබඳ තේමාවක් මෙරට වේදිකාවට පිවිසීමට පමා වුවත් පුරුෂ මෛථුනය පිළිබඳ තේමාවක් ඊට ප්‍රවිෂ්ට වූයේ බොහෝ කලකට ඉහතදීය. එනම් ප්‍රේමරංජිත් තිලකරත්න සූරීන්ගේ "තොත්ත බබා"(1966) නාට්‍යයෙනි. මේ වූ කලී ජෝ ඕර්ටන්ගේ "ඡ්දබඥපබචඪදඪදඨ ර්ප ඉතධචදඥ" (1963) නාට්‍යයෙහි පරිවර්තනයකි. මේ ඉංග්‍රීසි නාට්‍යය එංගලන්තයේදී තහනමට ලක් වූ අතර සිංහල නාට්‍යයද මුලින් මෙරට වාරණය වී පසුව තහනම ඉවත් කෙරිණ. විජේරත්න වරකාගොඩ ,ෆ්‍රෙඩී සිල්වා, චන්ද්‍රා කළුආරච්චි, නවනන්දන විජේසිංහ, චම්පා ලියනගේ යනාදීහු මෙහි රඟපෑහ.

පුරුෂ සමලිංගිකත්වය හඳුන්වනු පිණිස "ඉධඤධථර", "ට්චර'" යන යෙදුම්ද පුරුෂ සමලිංගිකයා හඳුන්වනු පිණිස "ඉධඤධථඪබඥ"," "ට්චර" යන යෙදුම්ද ඉංග්‍රීසි භාෂාවෙහි බහුලව ව්‍යවහාර කෙරේ. එසේම ස්ත්‍රී සමලිංගිකත්වය "ඹ්ඥඵඡඪචදඪඵථ" ලෙසත් සමලිංගික කත "ඹ්ඥඵඡඪචද" ලෙසත් එහි හැඳීන්වේ. "ඹ්ඥඵඡඪචදඪඵථ"යන ඉංග්‍රීසි යෙදුම ප්‍රභවය ලැබුවේ දුරාතීතයේ ග්‍රීසියේ සුප්‍රසිද්ධ භාව ගීත ලියූ සැෆෝ කිවිඳීය නිසාවෙනි. ඇය විසූවේ මහිලාවන් පමණක් වාසය කළ ලෙස්බෝස් (ඹ්ඥඵඡධඵ) දූපතෙහිය. ලාලනා ලෝලයෙන් රසාවේශිතව ඕ භාව ගීත රචනා කළාය. සැෆෝ කිවිඳීයගේ නිර්මාණවලින් උජ්වලිත නාරි සමරිසි ප්‍රේමය හේතු කොට ඇය විසූ "ඹ්ඥඵඡධඵ" දූපතේ නාමයෙන් බිඳී පසුකලෙක මේ සබඳතාව අර්ථ දැක්වීමට "ඹ්ඥඵඡඪචදඪඵථ", "ඹ්ඥඵඡඪචද" යන ඉංග්‍රීසි වාගුක්ති පහළ විය. මේ අරභයා වැඩිදුර හදාරනු කැමැත්තෝ ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පී, සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහ සූරීන් විසින් විරචිත "ලිංගික ගැටලු - විද්‍යාත්මක සංවාදයක්" නම් මාහැඟි කෘතිය කියවත්වා. ස්ත්‍රී හෝ පුරුෂ සමරිසි ප්‍රේමය අරභයා මානසික රුචිකත්වය මතු නොව විද්‍යාත්මක කායික පක්ෂයක්ද තිබෙන බැව් අප අමතක නොකළ යුතුය. ජීව විද්‍යාත්මකව බැලූ කල්හි "ඊඥඵබධඵඵබපඥපධද" යනු පුරුෂයාගේ ලිංගිකත්වය සඳහා බලපාන ප්‍රමුඛතම හෝමෝනය වන බවත් "ඡ්ඵබපධඨඥද" යනු එහිලා ස්ත්‍රිය විෂයෙහි බලපාන ප්‍රමුඛතම හෝමෝනය බවත් අපි දනිමු. යම් හෙයකින් පුරුෂයකුගේ සිරුරෙහි "ඊඥඵබධඵඵබපඥපධද" හෝමෝනය අඩු වුවහොත් ඔහු කෙරෙහි ස්ත්‍රී ලක්ෂණ ඉස්මතු වීමෙන් ඔහුගේ ලිංගික ආකර්ෂණය තමාගේම වර්ගය එනම් පුරුෂයා කෙරෙහිම යොමු වෙයි. පුරුෂ සමලිංගිකත්වයෙහි විද්‍යාත්මක පදනම මෙය වේ. එසේම යම්හෙයකින් ස්ත්‍රියකගේ සිරුරෙහි "ඡ්ඵබපධඨඥද" හෝමෝනය අඩු වුවහොත් ඇය කෙරෙහි පුරුෂ ලක්ෂණ ඉස්මතු වීමෙන් ඇයගේ ලිංගික ආකර්ෂණය තමාගේම වර්ගය එනම් ස්ත්‍රිය කෙරෙහිම යොමු වෙයි. නාරි සමරිසි බවෙහි විද්‍යාත්මක පදනම මෙය වේ. මගේ මතකය නිවැරැදි නම් මා මේ ගැන මුලින්ම කියැවූයේ ඇලන් පීස් සහ බාර්බරා පීස් යුවළ ලියූ "එඩර ථඥද ඤධද'බ තඪඵබඥද චදඤ ඹධථඥද ජචද'බ පඥචඤ ථචනඵ"යන කෘතියෙනි. සියවස් ගණනාවක් බෞද්ධ දර්ශනයෙන් සුපෝෂිත මෙරට සංස්කෘතික සභ්‍යත්වයෙන් ස්ථාපිත සම්මත අනුව ගැඹුරින් විමැසූ කල්හි පුරුෂ හෝ ස්ත්‍රී සමරිසි සබඳතා මම අනුමත නොකරමි. අනෙක් අතට එය ස්වභාව ධර්මයටද පටහැණි වීමකි.එහෙත් එබඳු සබඳතා කෙරෙහි බලපාන මානසික හා ජීව විද්‍යාත්මක හේතු ඵල දහම ගැඹුරින් අන්වේෂණය කළ කල්හි ඊට ගර්හා නොකොට ,මානුෂිකත්වයෙන් ,මානව දයාවෙන් ඔවුන් දෙස සානුකම්පිතව බැලීමට අනුබලය ලබාදෙනුයේ මෙරට සභ්‍යත්වය අපට කාවැද්දූ නිදහස් සසුන්පතෙන්ම හැර ලොව අන් කවරකින්ද ?

ඉතිරි කොටස ලබන සතියේ...