විසල් අහස යට කඳුහෙල් බෝමා

පී. බී. අබේකෝන් - ස්වයං ලිඛිත චරිතාපදානය
ජූලි 15, 2021

 

අවුරුදු 17ක පමණ ගැටවර වියේදී පාසලෙන් ඉවත් කරන දඩබ්බර කොල්ලකු, සමූපකාර තොග ගබඩාවේ සුළු රැකියාවක් කරමින් චමරියේ පිරිස සමඟ මත් වී බූරු ගැසූවකු දිනෙක ටයි කෝට් ඇඳ දිසාපතිවරයකුගේ ස්වරූපයෙන් හෝ ආගමන විගමන කොමසාරිස්වරයකු, අමාත්‍යාංශ ලේකම්වරයකු මතු නොව ජනාධිපති ලේකම්වරයකු ලෙස දකින්නට ලැබුණොත් ඔබ විශ්වාස කරනවාද? නොකරනවා නම් කියවිය යුතු හොඳම සාක්ෂ්‍යය හිටපු ජනාධිපති ලේකම්වරයකු වන පී. බී. අබේකෝන් මහතා විසින් රචිත ස්වයං චරිතාපදානය වන 'විසල් අහස යට කඳුහෙල් බෝමා' නම් කෘතියයි. "සියල්ල වන්නේ හොඳටය" කියා සිතන ආත්ම විශ්වාසය, අප්‍රතිහත ධෛර්යය මෙන්ම ආත්ම අභිමානය ඇත්තකුට, ජීවිතයේ අපල සපල කරගන්නා හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වන නිමිත්ත පහළ වූ පසු යන ගමන වළකාලන්නට සමතකු මේ විශ්වයේ නැත. එය අපි දෛවය, පින, වාසනාව වැනි විවිධ නම්වලින් හඳුන්වමු. පී. බී. අබේකෝන් මහතාගේ ඒ අපූරු ගමන්මඟ ද යා යුතුව තිබුණේ දෙපා පමණක් නොව සිතද රිදවන තරම් වූ බොහෝ කඳුහෙල් තරණය කර මිස සුවපහසුව අධිවේගී මාර්ගයක යන අයුරින් නොවේ. පොතක් ලියන්නට තරම් වටිනා අත්දැකීම් එකතු වන්නේ ඒ මඟෙහි දුෂ්කරතා, බාධක වැඩි වූ තරමටය.

 

මේ කතාව ඇරඹෙන්නේ 1950 දශකයේ මැද භාගයේ ත්‍රිකුණාමලය ගන්තලාව ප්‍රදේශයේ ඔකඳගල නම් සුන්දර එහෙත් දුෂ්කර ගම්මානයේ වෙල් විදානේ කෙනෙකු මෙන්ම ගම්සභා නියෝජිතයකු සිය පස්වැනි දරුවා ලෙස උපන් පුතුගේ වේලාපත්කඩය බලන්නට යන ගමනෙනි.

"මැම්බර් උන්නැහේ, පොඩි එකාගේ හඳහන කාටවත් පෙන්නනවා එහෙම නෙවෙයි" යනුවෙන් අවවාද කළෝ සුප්‍රසිද්ධ කොණ්ඩදෙණියේ හිමියෝය.

මේ දරුවා ගන්තලාව මධ්‍ය මහා විදුහලට ඇතුළත් කෙරුණේ දෙසැම්බර් නිවාඩුව ආසන්නයේය. යහළුවන් ඉහළ බාලාංශයට සමත් වද්දී පහළ බාලාංශයේ සිටීමට අකමැති වූ පොඩි එකා බලෙන්ම ඉහළ පන්තියේ වාඩි වී සිටියේය. කෙසේ වෙතත් 'ඩබල් ප්‍රොමෝෂන්' ලබන්නට තරම් දස්කම් පෑ ඔහු දිගින් දිගටම පන්තියේ පළමුවැනියා වන විට මද්දු මාමා සිතුවේ පන්ති භාර ගුරුවරයා 'අබේ පුතාට' විභාගෙදි උදවු කරනවා ඇත කියාය. ඩබල් ප්‍රොමෝෂන් නිසාම හයවැනි පන්තියේදී ශිෂ්‍යත්වයට පෙනී සිටි අබේකෝන් ඒ පාසලෙන් පළමුවරට ශිෂ්‍යත්වය සමත් වූ සිසුවා විය. එහෙත් පියා සමඟ තිබූ ආරෝවක් නිසා ප්‍රතිඵල දැනුම් දීම විදුහල්පතිවරයා ප්‍රමාද කිරීමෙන් සිසුවා කැකිරාව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් කෙරුණේ හත්වැනි පන්තියේ පළමු වාර විභාගයට ඔන්න මෙන්න තිබියදීය. නව පාසලේදී සාහිත්‍ය, ක්‍රීඩා, වාද විවාද ආදියේ දස්කම් පෑවද නේවාසිකාගාරයේ මිතුරන් සමඟ කළ දඩබ්බරකම්ද එමටය.

"ඔබේ පුතා ගැන සාකච්ඡා කිරීමට විදුහල්පතිවරයා මුණ ගැසෙන්න" නේවාසික පාලකයාගේ දැන්වීමට පැමිණි පියාට විදුහල්පති කීවේ "අනෙක් ළමයින් හදාගන්න නම් මේ ළමයා ගැන තීරණයක් ගන්න වෙනවා" කියාය.

"අපි යමු පුතේ, උඹ බය වෙන්න එපා" යැයි හිස සිඹ කී අප්පච්චී සමඟ ගමට පැමිණි ඔහුගේ පාසල් ගමන එතැනින් හමාර විය. ඒ 17වැනි උපන්දිනයට ද පෙරය.

ලොකු අය්යා තාවකාලික ලිපිකරු රැකියාවකට කුණ්ඩසාලේ එන ලෙස විදුලි පණිවිඩයක් එවන්නේ මේ අතරය.

 

'...මේ වන විට පාසල් ගමන නිමාවෙන් පසු ගමෙන් ඈත්ව කුමන හෝ රැකියාවක යෙදීම සඳහා මගේ මනස සකස් වී තිබුණි. එහෙත් මේ අයුරින් මා තුළ තාවකාලික ලිපිකරු රැකියාවක් ගැන බලාපොරොත්තු ඇති කර කම්බි බැඳීමේ රැකියාවට මා යෙදවීම මට දරාගත නොහැකි තරම්ය.

මේ අතර මා සමඟ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සහෝදර සිසුන් දෙදෙනකු බයිසිකල් දෙකකින් මා වැඩකරන ස්ථානය පසුකර යනු දැක මම වසන් වූයෙමි. පසුව දැනගන්නට ලැබුණේ ඔවුන් ඒ වනවිට කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බවයි.'

කුණ්ඩසාලේ ප්‍රායෝගික කෘෂිකර්ම විද්‍යාල සඳහා ලොකු අය්යා ඔහු යොමු කළේය. 1971 වන විට ඔහුට එහි දෙවැනි පෙළ සාමාර්ථ්‍යයක් ලබන්නට හැකි විය.

සමඟි පෙරමුණු රජයෙන් දේශීය ආහාර ප්‍රවර්ධනය කරන සමය වනවිට ත්‍රිකුණාමලයේ ආහාර ගබඩාවේ සිට තොග ගබඩාවට සහල් ප්‍රවාහනය කරන චන්දරේගේ සහායකයා වූයේ තරුණ අබේය. ඒ සමඟ කොළඹට ආ පළමු දින හතරවැනි හරස් වීදියේ ලොරියට බඩු පටවන තුරු 'ගීත්' චිත්‍රපටය නැරඹීමට චන්දරේ මොහු කැටුව ගියේය. එහෙත් හදිසි අවශ්‍යතාවකට චන්දරේ එළියට ගියෙන් පාර අමතකව යළි පැමිණි ආකාරය එකල කොළඹ පිළිබඳ ගම්බද පිරිසගේ ආකල්පය මොනවට පැහැදිලි කරයි. එසේම නාට්ටාමිලාගේ විශ්වාසවන්තබව වසර හතළිහක් පණහක් පුරා එක ලෙස පවතින බව ඔහු මෙහිදී තහවුරු කරයි. වසර හැටක පමණ මෙරට දේශපාලන ගමනේ හරස්කඩක් ගෙන ඒමට ද කතුවරයා සිය අත්දැකීම් පාදක කරගත් රස කතා සියුම්ව යොදාගෙන ඇත.

'සමූපකාරයේ සේවය කළ වසර කිහිපය තුළ වමේ දේශපාලනය පිළිබඳ මා තුළ පැවැති සහජ නැඹුරුවට ප්‍රායෝගිකභාවයක් ඇතුළු කළ බව මගේ විශ්වාසයයි. සමූපකාරයේ සභාපතිවරයා පමණක් නොව තොග ගබඩාවේ කළමනාකරු සිරිසේන මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයන්ය..... අපට දේශපාලනයට සම්බන්ධ වීමට බල නොකළත් ඔවුන් දෙදෙනා තුළ පැවැති ජනතාවාදී අදහස් නිසා මා ඔවුන් පිළිබඳ පමණක් නොව ඔවුන් අදහන දේශපාලන මතවාද ගැනද සිටියේ පැහැදීමෙනි. මේ අතර සමූපකාරයේ සේවයට පැමිණ කෙටි කලකින් තොග ගබඩාවේ චමරියේ මම ද කොටස්කරුවකු වීමි.'

එහි ජීවිතය විවිධ අයුරින් විවරණය කරන ඔහුගේ හැරවුම් ලක්ෂ්‍යය වූයේද එහි වූ සිදු වීමකි.

'...දිනක් හවස අප සමඟ නවාතැනේ සිටි හිතවතෙකු ලේගියම් දෙකක් කෑම නිසා මත්වීම හාස්‍යයට හේතු විය. අප චමරියේ සිටි සගයෙකු වූ පොඩි විජේ "අබේ මල්ලි අපි ලේගියම් 5ක් කාලා කෙළින් ඉඳීමු"දැයි මගෙන් විමසීය... බරපතළකම දැනුණේ පැයක් පමණ ගතවන විටය. මට ඇස්පියා ගත නොහැකි විය. ඇස් පියාගන්නා විට අහසේ පාවීමට පටන්ගන්නා බැවිනි. පොඩි විජේගේ ඉල්ලීම වූයේ "අබේ මල්ලි කාක්කො කනවා අනේ උන් එළවපන්" යන්නය මදුරුවන් කාක්කෝ බවට පත්ව තිබුණි... සුළුවෙන් පටන්ගත් විනෝද කටයුතු විශාලවන්න වැඩිකල් ගත නොවීය.... දිනක් එහි පැමිණි ලොකු විජේ "මචං අපි බූරුවා ගහමුදැයි" යෝජනා කළේය. රුපියල් 2ට 5ට ඔටුටු ඇල්ලීමෙන් පටන් ගන්නා බූරුවා සෙල්ලම ජය ගන්නා ලද්දේ මාය.

"අබේ මල්ලි උඹේ පක්ෂියා රජ වෙලා තියෙන්නේ.... ඒ හින්දා ටිකක් වැඩිපුර දිනන්න රාළහාමි අය්යාගේ පිටියට යමු"

... මේ වනවිට සමූපකාරයට ආහාර ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ත්‍රිකුණාමලයට යාමේ වගකීම පැවරී තිබුණේ මටය. පසුදා උදෑසනින්ම යෑමට ගණකාධීකාරීවරයා රුපියල් 5000/- ක මුදලක් මා හට ලබා දී තිබුණි. 1974 වසරේ රුපියල් පන්දහසක් යනු අගයෙන් විශාල වටිනාකමකි...මුලින් දිනුම් පැමිණියත් 'අබේ මහත්තයාගේ' අවාසනාව අරම්භ වීමට පටන්ගත්තේය... සියලු ඔට්ටු පරාද විය. මා ළඟ තිබූ මුදලින් හරි අඩක් ද අවසන් වී වෙරිමත හිඳී යමින් තිබුණි...මියෙම්වා රැකෙම්වා යි සිතමින් අවසාන ඔට්ටුව ඇල්ලුවෙමි. ජයගතිමි... හොඳටම වෙරි බව පෙන්වා බූරු පිටියෙන් කඩිනමින් ඉවත්ව බෝඩිමට පැමිණියේ සිඳීගිය මත සමඟිනි... පරාද වූයේ නම් මට සිදු වන්නේ කුමක්ද?... මේ සිදුවීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළේය'

 

එවර නිවෙසට එන විට මල්ලී විශ්වවිද්‍යාලයට සමත් වී තිබුණි. ඥාතීන් අබේ පුතා ගැන විමසන්නට විය. මේ සියල්ල දරාගෙන ඔහු උසස් පෙළ විභාගය ලීවේය. "මගේ ඉලක්කය වූයේ 1975 නොව 1976 දී විභාගය සමත්වීමයි"

විශ්වවිද්‍යාල සමයේ නොයෙක් අකරතැබ්බයන්ට මුහුණ දී නොකළ වරදවලට පන්ති තහනම් වී අවසානයේ උපාධිය සම්පූර්ණ කරන අබේකෝන් විද්‍යාර්ථියාගේ පුරුද්දක් වූයේ අතට හසුවන ඕනෑම පත්තර කෑල්ලක් පවා කියවීමයි. ඒ කියවීමේ ආශාව දුටු කන්තලේ මහජන පුස්තකාලයාධිපතිද ඔහුට අන් සාමාජිකයන්ට වඩා පොත් රැගෙන යෑමට අවසර දුන්නේය. ඔහු උසස් පෙළ මෙන්ම පරිපාලන සේවා විභාගය ලීවේද මේ දැනුම භාවිතයෙනි.

සියල්ල වන්නේ යහපතටය කියා නැවත වරක් පී.බී. අබේකෝන් මහතා පවසන්නේ පමා වී සරසවියට යෑම නිසා ඔහුට සිය ආදර බිරිඳ හමු වීමේ වාසනාව උදා වූ බව සිහි කරමිනි.

උප දිසාපති, දිසාපතිධුර දැරූවද කෝච්චියේ සහ බසයේ ගමනාගමනයේ යෙදුණු අබේකෝන් මහතා ජූලි කලබල, ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ රාජ්‍ය සේවයේ යෙදුණු ත්‍රාසජනක මෙන්ම ජනතාවාදී සිදුවීම් රැසක් සමඟ මෙරට මෑත කාලීන ඉතිහාසය පිළිබඳ පෙළ ගැස්මක්ද මෙහි වෙයි. රාජ්‍ය සේවයේ නිලධාරීවාදය, ජනතා සේවය හඳුනා නොගන්නා රජයේ සේවකයන්ගෙන් සිදුවන හානි ආදිය නොබියව දැක්වූවද ඇතැම්වි‌ට කෙනකුගේ ප්‍රතිරූපයට හානි නොවන අයුරින් ඒවායේ සැර බාල කිරීමටද ඔහු වගබලාගෙන ඇත.

වරක් ගමේ චණ්ඩියකු අසරණ පවුලක ඉඩම අයිති කරගෙන තිබුණේ තමන් හිට්ලර් යැයි කියමිනි. රජයේ සේවකයා සැර දැමිය යුත්තේ කෙසේදැයි ව්‍යංග්‍යාර්ථයෙන් දක්වන අබේකොන් මහතා ඒ ඉඩම බලන්නට අසරණ පවුල සමඟ ගිය ඉඩම් කොමසාරිස් තුවක්කුවක් අතේ දරාගෙන වත්තේ ඉඳගෙන සිටි හිට්ලර් වෙත ගොස් තමුසේ හිට්ලර් නම් මම මුසොලිනී කියා චණ්ඩියා මෙල්ල කර අසරණ පවුලට සාධාරණය කළ අවස්ථාව නාට්‍යානුසාරයෙන් දක්වයි.

රජයේ වගකිව යුතු තනතුරු රැසක් දැරූ ඔහුට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ මොහොතේ සිහියට නැඟෙන්නේ සාමාන්‍ය පෙළ සඳහා හැඳුණුම්පතට තමාගේ වර්ණය කළු ලෙස යොදන්නැයි ගුරුවරයා කී ආකාරයයි.

ආගමන විගමන පාලක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ලේකම්ධුර මෙන්ම ජනාධිපති ලේකම් දක්වා සිය ගමනේ නවනළු රසයන් මුසු සිද්ධි මනාව ගළපා ඇති විසල් අහස යට කඳුහෙල් බෝමා කෘතිය තම අත්දැකීම් තරම්ම විශාල වූ බැවින් එය පළමුව සංක්ෂිප්ත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක වන සිය බිරියටත්, අවසන ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක පියරත්නටත් බාර දී ඇත.

සිය පළමු කෘතියට ලද ජනප්‍රසාදයත් සමඟ ලේඛනයට උත්තේජනයක් ලද පී. බී. අබේකෝන් මහතා පවසන්නේ "මට ලියන්න පුළුවන් කියලා යාළුවො කියන නිසා කෙටි කතා පොතක් සහ ජීවන අත්දැකීම් ඇසුරින් තවත් පොතක් ලියමින් ඉන්නවා. මට ඕනේ අවුරුදු හතළිහකටත් වැඩි මගේ රාජ්‍ය හා පරිපාලන සේවයේ අත්දැකීම් අන් අයත් එක්ක බෙදා ගන්න.

අපට බැහැ දරුවන්ට බලෙන් දේවල් උගන්වන්න. අප කළ යුත්තේ ඒ අයට බාධා නොකර ඉඳීමයි. සොබාදහමට විරුද්ධ වීම නිසා අද අපට මේ වසංගතයට මුහුණ දෙන්න වෙලා. හරියට හිතුවොත් අපට ඵලදායී විදිහට මේ අවස්ථාවත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. කිසිම දේකින් කඩා වැටෙන්න හොඳ නෑ. අද අප කරන කාර්යය කුමක් වුවත් එය නිවැරැදිව අවංකව කිරීමයි අවශ්‍ය. රාජ්‍ය සේවයේ වුණත් විශාල ආකල්පමය වෙනසකට යන්න පුළුවන් අවස්ථාවක් මෙය. රජයේ සේවය සාංඝික දෙපළක් වගේ. වැරැදියට භුක්ති වින්දොත් විපාක දෙනවා. අප කරන දේ උඩ ඉඳන් බලා ඉන්නවා. එය සොබාදහම, දෙවියන්, කර්මය මේ කුමක් හෝ විය හැකියි. මම අත්දැකීමෙන් කියන්නේ අවංකව සේවය කළොත් වරදින්නේ නෑ, අපි දේවල් පස්සේ යනවාට වඩා අපව සොයාගෙන හොඳ දේවල් ඒවි."