මඟ දැන ගමන යන රෝඩ් මූවි

ජූලි 22, 2021
ඊසී රයිඩර්

 

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ පළමු රැල්ල මෙරටදී ඇරඹෙන්නේ ගෙවුණු මාර්තුවේ අග හරියේදී ය. නිරෝධායනය, විෂබීජහරණය, මීටරයේ දුරස්ථභාවය ,පළමු දෙවැනි හා තෙවැනි පෙළ ආශ්‍රිතයන් ආදී වදන් ජනවහරට එකතුවන්නට පටන් ගන්නේ එතැන් සිටයි. එසේම ජන ජීවිතය සෞඛ්‍යාරක්ෂිතව පවත්වා ගැනීමේ පිළිවෙත් සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන් විසින් අනිවාර්ය කරනු ලැබුවේ ඇත්ත වශයෙන්ම විකල්ප ද නොමැති නිසාවෙනි.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිනමාශාලා වසා දැමෙන්නේ මේ පසුබිම මධ්‍යයේ යි. ඒ වන විටත් මෙරට සිනමා ශාලා පද්ධතිය පවත්වා ගෙන ආවේ අසීරුවෙන්ය යන්න පැහැදිලිය. පවුලේ සාමාජිකයන්ගේ හෝ පෙම්වතුන්ගේ සහභාගීත්වය හැරුණු කොට මීටරයේ පරතරය හැම විටෙකම පාහේ සිනමා ශාලා තුළ දක්නට ලැබිණ.

මෙසේ සිනමා ශාලා වසා දමන විට ප්‍රදර්ශනය වෙමින් තිබූ අලුත්ම ලාංකේය සිනමාපටය වූයේ චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ ‘ඇවිළෙන සුලුයි‘ය. සිනමා විචාරකයකු හා සිනමා ලේඛකයකු වශයෙන් ද ප්‍රකට චින්තන , සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘ඇවිළෙන සුලුයි‘ ප්‍රේක්ෂකයා කරා රැගෙන ආවේ ආධුනික ලක්ෂණ බොහෝ දුරට බැහැර කරමිනි. සිනමා කතිකා පෝෂණය කරන සංවාද හා විසංවාද පතුරුවා හරිමින් ප්‍රකාශිත විචාර ප්‍රතිචාර ගණනාවක්ම ඊට හිමි විය.

විචාරක පොදු මතය වූයේ ‘ඇවිළෙන සුලුයි‘, සිනමාව විෂයයෙහි පවත්නා එක් මාදිලියකට ඇද දැමිය හැකි බව ය. එනම් ‘ඇවිළෙන සුලුයි‘ , ‘රෝඩ් මූවි‘ ගණයේ සිනමාපටයක් ය යන්නය. ඉන් අදහස් කෙරෙන්නේ සිනමා පටය මුළුමනින්ම හෝ වැඩි වශයෙන් දීර්ඝ චාරිකාවක් හා බැඳී පැවතීමයි. මෙය හුදෙක් මහා මාර්ගයකම සිදු විය යුතු නැත. ගුවනේ ද, සාගරයේ ද මෙයට අදාළ අවස්ථා පවතී. පසුගිය 2019 වර්ෂයේදී හොඳම සිනමා පටයට හිමි ඇකඩමි සම්මානය දිනා ගත් පීටෙර් ෆෙරලි අධ්‍යක්ෂණය කළ ‘ ග්‍රීන් බුක්‘ ද මෙතැනදී සිහිපත් වේ.

‘රෝඩ් මූවි‘ ගණයේ සිනමාපට ලෝකයේ හැම සිනමා කලාපයකදීම දැක ගත හැකි ය. ඊට ඇති ඉතිහාසය ද කෙටි වූවක් නොවේ. තවමත් ලෝක සිනමාව තුළ මේ සිනමාපට මාදිලියට ඇති අවකාශය සීමා වන සෙයක් නොපෙනේ. ඇතැම් සිනමාපට මාදිලි කිසිසේත්ම කල් ඉකුත් නොවන වග ද ඉන් ඉඟි කෙරේ. කලානුරූප පරිවර්තන ද, සිනමා තාක්ෂණයේ වර්ධනීය අවස්ථා සමඟින් ද පෝෂණය වන ‘රෝඩ් මූවි‘ මාදිලිය අද දවසේදී සේම හෙට දවසේදී ද හඳුනාගත හැක්කේ නූතන පිවිසුම් ද සමඟ ය.

මෙසේ ‘රෝඩ් මූවි‘ සිනමාපට මාදිලිය අරභයා තියුණු සාකච්ඡාවක් ගොඩ නැංවීමට චින්තන ධර්මදාස සෘජුව හා වක්‍රව පෙනී සිටි වග පැහැදිලි ය. ලංකේය සිනමාව විවිධත්වයකින් සමන්විත කරලනු පිණිස චින්තනගේ මේ ප්‍රවිෂ්ටය අතිශයින්ම වැදගත් ය. ඇත්ත වශයෙන්ම බොහෝ සිනමා අර්බුද හා ප්‍රවණතා පසුපස පවතින්නේ විවිධත්වය යන සුවිශේෂ කාරණාව යි.

මෙහිලා වහාම සිහිපත් වන ඇමරිකානු සිනමාපට ද්විත්වයකි. ඒවා අඩසිය වසරක් පමණ පැරණිය. ඉන් ඩෙනිස් හොපර් අධ්‍යක්ෂණය කළ ‘ඊසි රයිඩර්‘ වර්ෂ 1969 දී සිනමා ශාලා කරා පැමිණ තිබිණ. ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ඩුවල්‘ සිනමා ශාලා කරා පැමිණියේ වර්ෂ 1971 දී ය.

‘ඇවිළෙන සුලුයි‘ සේම ‘ඊසි රයිඩර්‘ ද ‘ඩුවල්‘ ද කෙළවර වන්නේ ඛේදවාචක ඉස්මතු කරමිනි. නමුත් ‘රෝඩ් මූවි‘ හැම විටම ඛේදාන්ත නොවන වග සැලකුව මනා ය. පෙර සඳහන් කළ ‘ ග්‍රීන් බුක්‘ හොඳම නිදසුනකි. ‘ ග්‍රීන් බුක්‘ කෙළවර වන්නේ සියලු පාත්‍ර වර්ගයාට සැනසුමක් ගෙන දෙමිනි. නොහොඳ නෝක්කාඩු අහවර කර දමමිනි.

චින්තන ‘ඇවිළෙන සුලුයි‘ හිදී ප්‍රමුඛ චරිත ද්විත්වයක් මත රැඳෙයි. පළමු කොටම සිය බිරිඳ ඝාතනය කොට ඇගේ සිරුර සිය මෝටර් රථයේ ඩිකිය තුළ බහාලන, ඉනික්බිතිව පාළු පෙදෙසක් කරා එය ධාවනය කරන පුද්ගලයෙකි. අවසන ගෙල කපා ඔහුව මරා දමන බව රූප රාමු පවස යි. මොහුගේ මෝටර් රථයට අතරමඟදී ගොඩ වදින සුරූපිනිය ද මිය යයි. ඒ ඉන්ධන සහිත පසුබිමක දුම් වැටියක් දල්වා ගන්නට තැත් කරද්දී ය. කෙසේ වෙතත් චින්තන මෙවැනි දෘශ්‍ය රූප ඉක්මවන බව පැහැදිලි ය.

‘ඊසි රයිඩර්‘ හි එන ඇමරිකානු දෙමිතුරන්ට ජීවිත අහිමි වන්නේ පාළු පෙදෙසක දී ලොරි රථයක ගමන් කරන තැනැත්තකු නිශ්චිත හේතුවකින් තොරව ගෙන එන ප්‍රචණ්ඩත්වය නිසා ය. එතෙක් දත හැක්කේ මත් ද්‍රව්‍ය වෙළෙඳාමකින් සරි කරගත් මුදලක් රැගෙන ලොස් ඇන්ජලිස්හි සිට ලුසියානා දක්වා යතුරු පැදි ඔස්සේ ඇදෙන තරුණ දෙමිතුරන්ගේ අත්දැකීම් ය. ඉමක් කොනක් නැතිව ඈතට දිවෙන මාර්ගය හා ඒ දෙපස භූ විෂමතා ‘ඊසි රයිඩර්‘ හි අලංකාර බව තීව්‍ර කර යි.

‘ඊසි රයිඩර්‘ 1960 දශකයේ ඇමරිකානු විනෝදකාමී තරුණයන් පිළිබඳ කියැවීමකට ද සානුබල සපය යි. ජව සම්පන්න යතුරු පැදි, එළි මහනේ වුව රැය පහන් කිරීම, අහඹු ස්ත්‍රී ඇසුර ආදී දෑ සිනමාකරු සිනමාපටයට එක් කරන්නේ ජීවන ගමනේදී හමුවන නිවාඩු නිකේතන සිහිගන්වමිනි. මේ තරුණයන් දෙදෙනාගේ චරිත ප්‍රතිනිර්මාණය කරද්දී අධ්‍යක්ෂ පීටර් ෆොන්ඩා සැහැල්ලුව යන ගුණාංගයට ලබා දෙන ප්‍රමුඛත්වය ඉමහත්ය. එක ප්‍රධාන චරිතයක් නිෂ්පාදක පීටර් ෆොන්ඩා විසින්ම නිරූපණය කරනු ලැබීම සිනමාපටයට අගතියක් වී නොමැත. අනෙක් ප්‍රධාන චරිතයට පැමිණෙන ඩෙනිස් හොපර් ද සිනමාපටයේ ‘රෝඩ් මූවි‘ ලක්ෂණය සූක්ෂ්මව වටහා ගෙන ඇත්තේ තමා එහි අධ්‍යක්ෂවරයාය යන්න අමතක නො කරමිනි.

ඇවිළෙන සුළුයි

චින්තනගේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපිතව ඇත්තේ බිය, සැක, සන්ත්‍රාසය හා ප්‍රචණ්ඩත්වය සමඟ නිරන්තරයෙන් ගනු දෙනු කරන විලාසයකිනි. ශ්‍යාම් ප්‍රනාන්දු හා සමනලී ෆොන්සේකා එකිනෙකට පස මිතුරු හා වරෙක අති සමීප එම චරිත ද්විත්වය සිනමාපටයේ දීර්ඝ චාරිකාව තුළ ගිල්වන්නේ සිනමාරූපී පිළිවෙතකිනි.

කීර්තිමත් ඇමෙරිකානු සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘ඩුවල්‘ය. එහි තේමාව ද, එය ප්‍රකාශිත ආකාරය ද රූපවාහිනී තිරයට ඔරොත්තු නො දෙන වග නිසැක ය. එහෙයින්ම ‘ඩුවල් ‘ සිනමා තිරයක් අබියසදී ම දත යුතු මාදිලියේ සිනමාපටයක් වෙයි.

‘ඩුවල්‘ කිසියම් දාර්ශනික කියවීමකට ආ සිනමාපටයක් සේ හඳුනා ගැනීම යුක්ති යුක්ත ය. මැදිවියේ පුද්ගලයකු කිසිවකු සම්මුඛ වනු පිණිස මිනිස් පුළුටක් නැති පෙදෙස් හරහා මොටර් රථය පදවන්නේ ජනාකීර්ණ නගරයක සිටය. අතරමඟදී ඔහු හා මාරාන්තික ගැටුමකට එන්නේ දැවැන්ත ට්‍රක් රථයකි. ට්‍රක් රථයේ අභිප්‍රාය මොහුව නසාලීමයි. ස්පීල්බර්ග්ගේ දාර්ශනික කියවීම පෙරට එන්නේ මෙතැනදීය. එනම් භෞතිකව කුඩා වූ මිනිසා හා භෞතිකව දැවැන්ත වූ යන්ත්‍ර සූත්‍ර අතර නොනවතින ගැටුමයි. කෙදිනක හෝ මිනිසාගේම නිෂ්පාදන වන යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරනු ඇත්තේ මෙසේය යන අදහස ප්‍රේක්ෂකයා වටහා ගන්නේ සිනමාපටයේ පළමු මිනිත්තු පහළොව ගත වීමටත් පෙරාතුවය.

මෙහිලා සඳහන් කළ ‘ඇවිළෙන සුලුයි‘, ‘ද ග්‍රීන් බුක්‘ , ‘ඊසි රයිඩර්‘ හා ‘ඩුවල්‘ යන ‘රෝඩ් මූවි‘ මාදිලියේ සිනමාපට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නේ ඒවායේ මතුපිට ඒකාකාර බවට යටින් ගෙන එන අපේක්ෂිත හා අනපේක්ෂිත එකතු කිරීම් කිහිපයක් නිසාවෙනි. චින්තන ‘ඇවිළෙන සුලුයි‘ හිදී පූර්ව නිගමන පුපුරුවා හරින සුරූපිනිය සේම සී.ටී.ප්‍රනාන්දු කලකට ඉහත ගැයූ තවමත් මතකයේ රැදී ඇති ‘මැණිකෙ මම ආයේ ගෙදර එනවා‘ කියමින් ඇරඹෙන ගීතය එසේ උපයෝගී කොට ගනියි. මේ ගීතය එන්නේ නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ වර්ෂ 1970 දී මුල් වරට ප්‍රදර්ශිත ‘දැන් මතකද‘ සිනමාපටයේයි. එහෙත් සිනමාපටයේ විලාසය අර්බුදයකට යාමක් එනිසා සිදු නොවීම චින්තනගේ වාසනාවක් ම නොවේ. ඔහු උපයාගත් සිනමා දැනුමේ ප්‍රතිඵලයකි.

පීටර් ෆොන්ද ද උද්වේගකර ගීත කිහිපයක් ‘ඊසි රයිඩර්‘ හි සිනමාරූපී බව ඔප් නංවනු පිණිස උපයෝගී කොට ගනියි.

‘ඩුවල්‘ හිදී ස්ටීවන් ස්පීල්බර්ග් ගුවන්විදුළි නාළිකාවක සහාය ලබා ගනියි. මැදිවියේ පුද්ගලයා නගරයේ සිට මෝටර් රථයෙන් ගමන ආරම්භ කරන්නේ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරමිනි. ඉන් නැඟෙන්නේ ගීත රාවයක් නොවේ. සාකච්ඡාමය වැඩසටහනකි. එක මොහොතක තේමාව කුටුම්භ ගැටලුය. මැදි වියේ පුද්ගලයා ද බිරිඳ සමඟ යම් ගැටුමක් ඇතිකරගත් අයෙකි. මෙසේ යම් මැදිහත් වීමක් සිදු නොකෙරුණේ නම් ‘ඩුවල්‘ නීරස සිනමාපටයක් වන්නට ද ඉඩ තිබිණ.

මයින් හැඟෙන්නේ ‘රෝඩ් මූවි‘ ගණයේ සිනමා පට ඒවායේ උපන්ගෙයි ලක්ෂණයක් බඳු ඒකාකාර බව පලව හැරීම පිණිස අනුචිත ආභරණ පැලැන්දීමකට හෝ නොගැළපෙන ආලේප තැවරීමකට උත්සුක නොවීම වැඩදායී වන බව යි.