කම්මුල් පාරකින් ජනප්‍රිය නළුවකුගේ හද දිනූ

ශ්‍යාමලී නන්දා ලීලනායක
ඔක්තෝබර් 21, 2021

 

“මගෙ සිත සිනමා රඟපෑම වෙත යොමු වුණේ ලංකාවේ ප්‍රථම (කතානාද) චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ බැලුවට පස්සේ

‘පුදුම ලේළි චිත්‍රපටයෙහි රඟපෑමට අත්සන් කළ කොන්තුරාත්තුව නිසා මගේ ජීවිතය අතිශයින්ම තීරණාත්මක සන්ධිස්ථානයකට ගෙන එනු ලැබුවේය.

මට ගසන ලද කම්මුල් පහර නිසා මට දැන වුණ වේදනාව ඇයට ඉසිලිය නොහෙන වේදනාවක්ම වූයේය.

මියුසියස් විද්‍යාලයේ නන්දා සමඟ එකම පන්තියේ ඉගෙන ගත් විවියන් ද සිල්වා (බොරලැස්ස) සමඟ ඇය ගීත ගයමින් පන්තියේ විනෝදයෙන් ගත කළාය.

ලංකාවේ ඉඳීකළ ප්‍රථම වාණිජ චිත්‍රාගාරය වූ කඳනේ සුන්දර සවුන්ඩ් ස්ටුඩියෝ වෙනුවෙන් ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට සමාගම (ඉ.ර්.ව්) නිපද වන චිත්‍රපටයකට නවක නිළියක් අවශ්‍ය බව 1951 පළ වූ පුවත්පතක පුංචි දැන්වීමක් පළ විය. මේ සඳහා එවකට 17 හැවිරිදි තරුණියක් ඉල්ලුපතක් යොමු කළාය. සිනමාවේ නියම තත්ත්වය කුමක් හෝ වේවා දෙමව්පියන් බලවත් විරෝධය පෑහ. කට කතා හා කුලමානයන යන දෙකෙන්ම ආඩම්බරයෙන් සිටි දෙමාපියන්, නෑයන් ගේ බලවත් විරෝධය නොතකා කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටි නන්දා තනි කැමැත්තට මේ පරීක්ෂණයට ගියාය. කුඩා කල සිට හිතුවක්කාර, මුරණ්ඩු දැරියක වූ ඕ එම චිත්‍රාගාරයෙන් නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය වූ බණ්ඩා නගරයට පැමිණීම හී ප්‍රධාන චරිතයට තෝරා ගැනීමට වාසනාවන්ත වූවාය.

“මගෙ සිත සිනමා රඟපෑම වෙත යොමු වුණේ ලංකාවේ ප්‍රථම (කතානාද) චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ බැලුවට පස්සේ. ඒ චිත්‍රපටයේ නිෂ්පාදක එස්.එම්.නායගම් මහතාට මාව සිය දෙවන චිත්‍රපටයට තෝරා ගැනීම ගැන ස්තුතිය හිමි විය යුතුයි. එදා සිනමා රඟපෑමට අත්පොත කියා දුන්නේ හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් ජෝසප් සෙනෙවිරත්න බර්නාඩ් පෙරේරා යන මහත්වරු.“ ශ්‍යාමා1953 වසරේ (අගෝස්තු මුල් දෙසතිය) නිකුත් වු ශ්‍රී ලාල් ගුණරත්න සංස්කරණය කළ “වීණාව“ සිනමා පුවතපතේ ලේඛක පනාපිටියේ ඇම්.සේනාරත්නට කියා තිබුණි.

එහි එන තොරතුරු අනුව නීතිඥ ජෝන් ද සිල්වා මහතුන්ගේ ‘විජයරංග නාට්‍ය සභාවේ‘ ගීත රචකයාව සිටියේ ශ්‍යාමලීගේ පියා වූ පී.ඒ.ජේ.ලීලානායකය. පියා ගේ සෙවණේ සංගීත රසයෙහි නැහැවෙමින් වැඩුණු නන්දා සංගීතයට හිත දී රසවත් ගායනයෙහි හැකියාව ලබා ඒ අනුව ඉගෙනීම කඩාකප්පල් කර ගනිමින් සිනමා පිස්සුව ද වැලඳගෙන ජන්ම නාමය ඉවත ලා ‘ශ්‍යාමලී‘ යන නමින් තිරයේ විද්‍යාමාන වූවාය.

පොල්ගහන් ආරච්චිගේ නන්දා ලීලනායක 1933 ජනවාරි 26 වැනිදා ජන්ම ලාභය ලැබුවාය. ඇගේ පියා වූ ජෝන් ලියනොට් ලීලනායක මහනුවර ඉපිද, කොළඹ විදුලි බල දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කළ කලාවට කැමති රසවතෙකු විය. ගාල්ලේ උපන් රොසලින් කලාසූරිය නන්දගේ මව වූවාය.

නන්දා මූලික අධ්‍යාපනය ලැබුවේ මරදානේ රජයේ මධ්‍ය විද්‍යලයේය. ඉන්පසු මියුසියස් බාලිකා විද්‍යාලයට ද්විතිය අධ්‍යාපනය හදාරන කාලයේ රුක්මණී දේවිය රඟ පෑ ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටය බලා ගෙදර දී රඟ පෑමටත් ගී ගැයීමටත් පටන් ගත් විට ‘එන පොට හොඳ නැති‘ බව දෙමව්පියෝ දැන ගත්හ. මියුසියස් විද්‍යාලයේ නන්දා සමඟ එකම පන්තියේ ඉගෙන ගත් විවියයන් ද සිල්වා (බොරලැස්ස) සමඟ ඇය ගීත ගයමින් පන්තියේ විනෝදයෙන් ගත කළාය.

1952 මැයි 04 වෙනිදා තිරගත වූ ‘බණ්ඩා නගරයට පැමිණීම‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වුයේ ඉන්දීය ජාතික රාජා වහාබ් හා ඒ.බී.රාජ්ය. ඒ.බී.ටී.ඩී.පියදාස ගේ ‘තුම්පනේ බණ්ඩා සහ කොළඹ අප්පුහාමි යන නාට්‍ය තම දෙමාපියන් දැක තිබූ අතර පියා දියණියට කලක් ඇවෑමෙන් එහි තොරතුර කියා දුන්නේය. දෙමාපියන් දියණියගේ රඟපෑමේ ආසාවට ඉඩ දුන්නේ ඉන්දියාවට නොගොස් මේ චිත්‍රපටය සියට සියයක්ම දර්ශන ලංකාවේ රූගත වීම නිසාය.

‘බණ්ඩා නගරයට පැමිණීම‘ චිත්‍රපටයේ නන්දා රඟපෑවේ අපුරු චරිතයකි.

‘මා රඟ පෑ මාලිනිගේ චරිතය ගැන මට අදත් හිනා යනවා. මාලිනීගේ හිසේ එක කෙස් ගහක් නැහැ. ඇය පැලඳ සිටින්නේ බොරු කොණ්ඩයක්. මේ කෙස් නැති තරුණියව විවාහ කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැහැ. එහෙත් ඇයට පෙම් කරන ලියෝ නම් තරුණයෙක් (එන්.ආර්.ඩයස්) සිටියත් මාලිනී ඊට අකමැතියි. මේ අතර පිටිසර තුම්පණේ ගමකින් එන බණ්ඩාට (බර්නාඩ් පෙරේරා) මාලිනිගේ හිත යන්නේ ලියෝ වෙනත් තරුණියක හා අයථා සම්බන්ධයක් තිබෙන නිසායි. මාලිනි බණ්ඩාට පෙම් කරන සැටි කියා දෙනවා. ‘හලෝ මයි ඩාලින් මාලිනී‘ කියා මාලිනී කියා දෙන එක බණ්ඩා කියන්නේ ‘හලෝ මයි සාඩින්‘ කියායි. කෙසේ හෝ මාලිනී හා බණ්ඩා අතර විවාහය රහසේම සිදු වෙනවා. කොටින්ම පිටිසර බණ්ඩා රවටා කොළඹ ගෙන එන අප්පුහාමි (ජෝසප් සෙනෙවිරත්න) වත් එය දන්නේ නෑ. බණ්ඩාගේ දෙම්පියන් රවටා ඔහුව කොළඹ රට හඳුන්වා දෙන අප්පුහාමි ගේ සටකපට වැඩ සිල්වා (සිසිර කුමාර මානික්කආරච්චි) හෙළි කරනවා. දෙමාපියන් කොළඹ එන විට බණ්ඩා හා මාලිනි විවාහ වී අවසන්. දෙමාපියන් හඬා වැලපෙමින් මහ පෙරළියක් කරන විට අප්පුහාමි ද එයි. පොලිසිය අප්පුහාමිට සොරකමක් නිසා අත්අඩංගුවට ගන්නවා. අවසානයේ බණ්ඩාගේ හා මාලිනිගේ විවාහයට දෙමව්පියන් කැමති වෙනවා.“

නන්දා හෙවත් ශ්‍යාමලී තම චරිතය ගැන බොහෝ කලකට පෙර අපට කීවේ වරින්වර සිනාසෙමිනි.

ඇය රඟ පෑ දෙවන චිත්‍රපටය වුයේ 1953 දෙසැම්බර් 04 වැනිදා තිරගත වූ ‘පුදුම ලේළි‘ චිත්‍රපටයයි. ඇගේ ජීවිතයේ පෙරළියක් සිදුවන්නේ ද මේ චිත්‍රපටයෙනි. ඉන්දීය ජාතික ඒ.එස්.නාගරාජන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ඇය රඟපෑවේ චන්ද්‍රිකා නම් චරිතයයි. කුලතුංග නම් ධනවත් මුදලිලාගේ වැඩිමහල් පුතා රාජාතිලක් (ප්‍රේම් ජයන්ත්) තම පියා අයත් වත්තක ලියන මහත්තයාගේ දියණිය වූ චන්ද්‍රිකාට ආදරය කරයි. ආරියසේන සතු ලොකුම ධනය මේ රූමත් දියණියයි. මේ සබඳතාවට කුලතුංග මුදලාලි එරෙහි වූව ද සියලු බාධක තිබිය දී මේ දෙදෙනා විවාහ වෙති. මුදලිලිගේ බාල පුතා සෝමබන්දු (ධර්ම ශ්‍රී රණතුංග) පියාගේ අභිමත පරිදි ලතා (ක්ලැරිස් ද සිල්වා) විවාහ කර ගති. ලතා විනෝදයට කැමති රේස් යාම විනෝදය කරගත් සැමියාගේ ධනය විනාශ කරන තරුණියකි. පියාගෙන් වෙන් වූ රාජාතිලක හා චන්ද්‍රිකා දුක සේ ජීවත් වන අතර සුළු රැකියාවක් කර අවංක කරමින් කරමි ඉහළ තනතුරක් ලබා ගනී. තම බාල පුතා වූ සෝමබන්දු හා ලේලිය ලතා ගෙන් සැඩ පරුෂ බස් අසා ධනයෙන් අන්තයට පිරිහී ගිය කුලතුංග මුදලාලි මහ මඟ බැස සුළු රැකියාවක් ලබා ගනී. තම ලොකු පුතා වූ රාජාතිලක යටතේ පාලනය වන වත්තක මුරකාරයකු වැඩකරයි. පුතා ඒ බව නොදනි. ධනවත් ජිවිතයක් ගත කරන චන්ද්‍රිකා‍ගේ මෝටර් රථයට ධනයෙන් හීනව අසරණව සිටි ලතා යට වෙයි. චන්ද්‍රිකා ඇය තම නෑනා බව නොදැන නිවසට ගෙන ගොස් ප්‍රතිකාර කරන්නීය. පසුව රාජාතිලකට හා චන්ද්‍රිකාට තම පියා හමුවෙති. චන්ද්‍රිකා කුලතුංගට පියෙකුට මෙන් සලකයි. චන්ද්‍රිකාගේ දුර දක්නා ඥානය නිසා පවුල් දෙක එකමුතු වෙති.

‘පුදුම ලේළි‘ චිත්‍රපටයේ නන්දා ලීලනායක රඟපෑවේ එවකට ‘සුජාතා‘ චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයෙන් ඉහළටම පැමිණ සිටි ප්‍රේම් ජයන්ත් සමඟය. එහෙත් ප්‍රේම්ට කලින් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑවේ ශ්‍යාමලි නන්දා ලීලනායකය. තම ජීවිතයේ සිදු වූ තීරණාත්මක අවස්ථාවක් ප්‍රේම්ජයන්ත් විසින් ‘දිනමිණ‘ පුවත්පතට (1956 ජනවාරි 03 වැනි අඟහරුවාදා ලියූ ‘ප්‍රේම් ජයනත්ගේ කතාවේ‘ මෙසේ සටහන් කර තිබුණි.

‘පුදුම ලේළි චිත්‍රපටයෙහි රඟපෑමට අත්සන් කළ කොන්තුරාත්තුව නිසා මගේ ජීවිතය අතිශයින්ම තීරණාත්මක සන්ධිස්ථානයකට ගෙන එනු ලැබුවේය. මගේත් ශ්‍යමාලීගේත් විවාහය පිළිබඳ කපුකම මෙම චිත්‍රපටය කළ බැවිනි. ශ්‍යමාලී ස්වකීය කොටස ඉටු කිරීමේ දී මට කම්මුල් පහරක් දිය යුතු විය. ඇය විහිළුවට මෙන් ඉතා වැරෙන් කම්මුල් පහරක් දුන්නාය. මට ගසන ලද කම්මුල් පහර නිසා මට දැනවුන වේදනාව ඇයට ඉසිලිය නොගෙන වේදනාවක්ම වූයේය. ඉදින් රඟපෑම අවසානයේ ඇය අඬන්නට වූවාය. ශ්‍යාමලීගේ නෙතඟින් එදා කඩා හැළුණු ඒ උණු කඳුළු බිඳ තුළ දෙහදක් දෛවය විසින් එක් කරනු ලබන හැටි මට පැහැදිලිව දුටුවෙමි.‘ දූසමාන ආරංචියක් පැතිර ගොස් තිබූ බව රහසක් නොවේ. මේ සම්බන්ධයෙන් විමසා ප්‍රේම්ට තැපැල්පත්, ලිපි මලු ගණනින් ඒවා ඇත.

‘මා ශ්‍යමාලී හා විවාහ ගිවිසගත් බව පළ කරනු ලැබිමෙන් මගේ නැදෑ හිත මිතුරන් ඇතුළු හැම දෙනාම මවිතයටත් බලාපොරොත්තු කඩවීමටත් පත් වූ බව මට පැහැදිලි විය. මා කළ තීරණය වැරදි සහගත බවත්, එය මගේ අනාගතය සම්බන්ධයෙන් විපුල විපාකදැයි ලෙස බලපෑ හැකි බවත් කියමින් බොහෝ දෙන ලියුම් මට අවවාද අනුශාසනා කරන්නට වූහ. මේ කිසිවකින් මගේ තීරණය වෙනස් නොවුයෙන් දෙමාපියන් ගේ හා වැඩිහිටියන් ගේ අප්‍රසාදයත් දහසකුත් එකක් කරදරත් මධ්‍යයේ 1954 ජනවාරි 24 වෙනිදා මම ශ්‍යමලී සමඟ විවාහවීමට සිතුවෙමි.‘ ප්‍රේම් ජයන්ත් ‘දිනමිණ‘ට කියා ඇත.

‘පුදුම ලේළි‘ චිත්‍රපටයේ අවසාන දර්ශනය වූයේ ශ්‍යාමලී හා ප්‍රේම් ජයන්ත ගේ විවාහ දර්ශනයයි. මංගල ඇඳුමෙන් චිත්‍රාගාරයට ගිය ශ්‍යමලී හා ප්‍රේම් ඒ දර්ශනය අවසන් වූ පසු ඇඳ සිටි ඇඳුම පිටින් කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව් මැඳුරේදී විවාහ වූහ. ඒ සමඟම ශ්‍යාමලී සිනමාවෙන් සමු ගත්තාය. එහෙත් ප්‍රේම් ජයන්ත් චිත්‍රපට කිහිපයක රඟපෑවේය. ‘වරද කාගේද? (1954) : සැඩ සුළඟ (1955); සල්ලි මල්ලි සල්ලි (1958) ; අවිස්වාසය (1959) හෙට ප්‍රමාද වැඩියි; (1964) සුබසරණ සැපසිතේ සිතක මහිම (1964) ; සරණ (1967); (‘වහල් දුපත‘ හා දෙවියනි ඔබ කොහිද චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණය පමණය) රඟපෑවේය. සිනමාවෙන් සමුගත් ප්‍රේම් ජයන්ත් යෝධ චිත්‍රපට දැන්වීම පුවරු ඇදීමට මුළු කාලයම ගත කළේය. එල්ෆින්ස්ටන් සිනමා අසළ මේ දැවැන්ත දැන්වීම් කලක් විරාජමානව තිබුණේය.

ප්‍රේම් හා ශ්‍යමාලිට දරුවන් 7 දෙනෙක් වූහ. සුනිලා, සන්ධ්‍ය, අනුෂා, ජගත්, ජනත්, නිර්මා, නිශාන්ති යන හත්දෙනා එකතුව කොට ‘සෙවන් ආට්ස්‘ චිත්‍රපට සමාගම අරඹා චිත්‍රපට නිෂ්පාදනයට යොමු විය. සරණ, සහනය, හොඳට හොඳයි, කවුද රජා, සබීතා, සැනසුම, මාල ගිරව් චිත්‍රපටවල නිෂ්පාදනයට සම්බන්ධ විය. ‘සහනය‘ චිත්‍රපටය උදෙසා ප්‍රේම් විසින් අඳීන ලද මාලිනී තෙත රෙද්දක් ඇඳ සිටි දැන්වීම් පුවරුව එවකට මහේස්ත්‍රාත් විනිසුරුගේ තහනමට ලක් වූයේ මගියකු රිය අනතුරකට ගොඳුරු වූ හෙයිනි. ර්‍ණඛ්ධ්ඛ්, නළු නිළි සංගමයේ සම්මාන ලැබූ ප්‍රේම් ජයන්ත්ට පැවත් වූ එකම උපහාර උළෙලක් 1993 ජනවාරි 22 දා වත්තල පුරහලේ දී ඔහු ජීවතුන් අතර සිටියදී සංවිධානය කළේ සුමිත් තිසේරා සභාපතිත්වයෙන් මාධ්‍යවේදී සහයෝගී පදනම විසිනි.

ප්‍රේම්ගේ පුතෙකු වූ ජගත් රොහාන් ‘සබීතා‘ (1980) චිත්‍රපටයෙන් සිනමාවට පිවිස සනසන්න මා‘ (1982) චුට්ටේ (1983) මාල ගිරව් හා හිතවතිය (1985) මවුබිම නැත්තම් මරණය, රත්තරන් කන්ද (1983) රඟපෑවේය.

1997 මාර්තු 17 වෙනිදා ප්‍රේම් ජයන්ත් අභාවප්‍රාප්ත විය. 2014 ජුනි 26 වෙනිදා ශ්‍යාමලී නන්දා ලීලනායක මිය ගියාය.