රුක්මණි දේවි අනුස්මරණ සංගමය

දෙසැම්බර් 9, 2021

ලේඛකයකු ඡායාරූප ශිල්පියකු ද වන හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් විසින් රචිත 'අභියෝග මැදින් පිහිටවූ රුක්මණි දේවි අනුස්මරණ සංගමය' නම් කෘතිය නිකුත් වී ඇත. ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ ආශිර්වාදයෙන් 1989 ඔක්තෝබර් 29 වැනිදා ආරම්භ කරන ලද රුක්මණී දේවි අනුස්මරණ සංගමය දශක තුනක් පුරා බාධක, අභියෝග මැඩලමින් පවත්වා ගෙන ආ අයුරු මෙහි විස්තර කර තිබේ.


විදර්ශනා

නදීෂ් දික්කුඹුර විසින් රචිත 'විදර්ශනා' නවකතාව ඇම්. ඩී ගුණසේන සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී ඇත. නදීෂ්ගේ කුලුඳුල් නවකතාව වන මෙය තරුණයා පුවත්පතට කොටස් වශයෙන් ලියන ලද නවකතාවකි.


කොම්බුවා

කුසල් සහ කුමාරයා, කිතුල්ගලින් එහා, සුනීත සහ සුමංගල ඇතුළු පාඨකයන් අතර ජනප්‍රිය වූ යොවුන් නවකතා රාශියක් රචනා කළ කුසුම්සිරි විජයවර්ධන ලියූ අලුත්ම යොවුන් කතාව 'කොම්බුවා' දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. 'කොම්බුවා' යොවුන් නවකතාවේ විස්තර කෙරෙන්නේ ළදරු වියේදී සරුංගල්වලට අසීමිත ලෙස ආසා කළ චන්දුල නම් දරුවකුගේ මනසේ හැසිරීම සමඟ ඔහු සහ මිතුරන් කිහිප දෙනකු අතර සිදුවන සිදුවීම් දාමයකි.


සමීප රූප

ප්‍රවීණ කවියෙකු. ගීත රචකයෙකු. ලේඛ‍කයකු. විචාරකයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන බුද්ධදාස ගලප්පත්ති විසින් රචිත 'සමීප රූප' කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී ඇත. මෙහි ඇතුළත් වී තිබෙන්නේ ‍වසර 2014 සිට 2017 දක්වා ඉන්ද්‍රචාප නමින් සිළුමිණ රසඳුන ටැබලොයිඩ් අතිරේකයට ඔහු විසින් රචිත තීරු ලිපි එකතුවකි. 'දොළොස් මහේ පහන' නම් කාව්‍ය සංග්‍රහයෙන් ආරම්භ කළ ඔහුගේ නිර්මාණ එකතුවට 'කැටපත් පවුර', 'එදවස සොඳුරුමය', 'තීර්ථය අසබඩ', 'දවස හෙටයි', 'තුරුලිය අකුරු විය', 'සහෘද සටහන්', 'කවි පොකුර' වැනි කෘති රැසක් ඇතුළත් වේ.

- යතේජා