වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
සම්පත් සහ සරත් ජීවන රඟමඬලෙන් බැස ගියහ

"අසනීප වෙලා ලෙඩ ඇඳට වැටුණේ නැත්නම් ඕනෑම දක්ෂ වේදීකා රංගන ශිල්පියෙක් හැමදාමත් වැඩ කරනවා" නිළි රත්නා ලාලිනි ජයකොඩි වරක් එසේ පැවසුවාය. අප කතා කරන්නට යන්නේ ඇය ගැන නොව ජීවීතයෙන් සමුගන්නා තුරුම දශක හතරකට වැඩි කාලයක් කලාව අත්නොහැර ගිය ඇයගේ ආදරණීය ස්වාමියා වූ, වේදිකාවේ ස්වර්ණමය සලකුණක් වූ නොබෝදා අප අතරින් සදහටම සමුගෙන ගිය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් ගැනය.
"අසනීප වෙලා ලෙඩ ඇඳට වැටුණේ නැත්නම් ඕනෑම දක්ෂ වේදීකා රංගන ශිල්පියෙක් හැමදාමත් වැඩ කරනවා" නිළි රත්නා ලාලිනි ජයකොඩි වරක් එසේ පැවසුවාය. අප කතා කරන්නට යන්නේ ඇය ගැන නොව ජීවීතයෙන් සමුගන්නා තුරුම දශක හතරකට වැඩි කාලයක් කලාව අත්නොහැර ගිය ඇයගේ ආදරණීය ස්වාමියා වූ, වේදිකාවේ ස්වර්ණමය සලකුණක් වූ නොබෝදා අප අතරින් සදහටම සමුගෙන ගිය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් ගැනය.
වර්ෂ 1959 ජුනි මස 20 වැනි දින කොළඹ දී උපත ලබන සම්පත් තෙන්නකෝන් කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදී සිසුවෙකි. පාසල් වේදීකාව පළපුරුදු තැනක් වූ සම්පත්ට රංගනයට ආසාව ඇති කරන්නේ නීල් අලස්ගේ රංගනය ය. පසුව නීල් අලස් චරිත නිරූපණය කළ 'අඹු සැමියෝ' වේදිකා නාට්‍යයේ ඔහුගේ අඩුව පුරවන්නට සම්පත්ට හැකි වුණි.
දයාසේන රටගෙදරගේ ගුරුසීල වේදිකා නාට්‍යයේ සර්කස් කණ්ඩායමක නායකයෙකුගේ චරිතයෙන් වේදිකාවට එන සම්පත් තෙන්නකෝන් පුත්‍ර සමාගම, සුබ සැන්දෑවක්, නුඹ විතරක් තලඑළලුයි වැනි නාට්‍ය ඔස්සේ සිය ප්‍රතිභාව පෙන්වා සම්මානයට පාත්‍රවිය. වේදිකා නාට්‍ය 50කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දුන් සම්පත් තෙන්නකෝන්, සිසිර කොතලාවල අධ්‍යක්ෂණය කළ මොරගිරි කන්ද ළමා ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට අවතීර්ණ විය. විජය ධර්ම ශ්‍රී ගේ භාග්‍යා, රන්දොරටුව, රිදී රේඛා ටෙලි නාට්‍යවලත් සුනිල් රත්නායකගේ පහන් වැටක්, බන්දුල විතානගේ ගේ බුමුතුරුණු ටෙලිනාට්‍යයේ ත් කැමරාව ඉදිරිපිට තම රංගන ප්‍රතිභාව පෙන්වූ සම්පත් ටෙලිනාට්‍ය 20කට එහා ගිය සංඛ්‍යාවක රඟපා ඇත. තෙන්නකෝන් අවසන් වරට රඟපෑවේ හිරු නාළිකාවේ විකාශය වූ දිවිතුරා ටෙලිනාට්‍යයේය.
ලුම්බිණි රඟමඬලේ වේදීකා නාට්‍ය බැලීම පුරුද්දක් කර ගත් සම්පත් තෙන්නකෝන් රංගන ශිල්පියෙකු වීමේ හීනය ගැන වරක් මෙසේ සඳහන් කරයි.
' දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න පුදුමාකාර කැපකිරීමක් කළා මම. ඒ වෙනුවෙන් වින්ද දුක් කන්දරාව දන්නේ මම විතරයි. හැබැයි ඒ සියල්ල මම එදා සතුටු සිතින් විද ගත්තා. මේ නිසා තමයි රංගන ජීවිතයේ මට දිගු ගමනක් එන්න පුළුවන් වුණේ.' සිය කාර්යබහුලත්වය නිසා දේවිකා මිහිරාණි 1985 දී සුබ සැන්දෑවෙන් ඉවත්වෙද්දි ඒ අඩුව පුරවන්නට ආවේ රත්නා ලාලනීය. ඒ ගැන අන් කිසිවෙකුටත් වඩා සතුටු වූයේ සම්පත් තෙන්නකෝන් ය. ඒ තමන්ට තුන්මංසලේදී මුණගැසුණු මේ තරුණ නිළිය සුබ සැන්දෑවෙදී නිතර නිතර මුණ ගැසුණු නිසාය. එක් දිනක් සම්පත් 'රත්නාට කවුරුත් ඉන්නවාද?' යැයි රත්නාගෙන් අසනවිට ඇය 'නැතැයි' කීවාය. ඇගේ කැමැත්ත ගැන රත්නා මෙසේ පවසන්නීය. ' මම වගේම ඔහුත් බොරු ලෝකයක ජීවත් නොවන නිසා මම කැමැති වුණා.' මේ සම්බන්ධයට ජයලත් මනෝරත්නයන්ගෙන්ද නොමද උපකාර ලැබිණි. ඒ උපකාරයන් හි තරම කෙසේද යත් ඔහුගේ නාට්‍ය තුළින් දැන හැඳීනගත් මේ දෙදෙනාගේ විවාහයේ සාක්කිය දරන්නේද මනෝරත්නයන්මය.
සිය එකම පුතු සමඟ ජීවිතය ඉදිරියට යන ගමනේදී සම්පත් රත්නාගේ ප්‍රථම ප්‍රේමය වූ කලාව කිසිවිටෙකත් අත් නොහළ කලාවේ බර හිසට අරන් වැඩ කළ යුවළක් යන්නට හොඳම සාක්ෂිය නම් දෙදෙනාගේ රංගන එක්කාසුවට වසර තිහ පිරීම නිමිත්තෙන් 2013 දෙසැම්බර් 17 වැනි දින කොළඹ නවනගර ශාලාවේ එළි දැක්වුණු 'අභිනයන'නාට්‍ය දැක්මයි. විදේශයන්හි නාට්‍ය වේදීකාගත කිරීම සඳහා නිතර නිතර විදේශ රටවල සංචාරයට ගිය සම්පත්ට රිදී තිරය මග හැරුණාදෝ යන සැකයද ඇත.
වෙනදාට පාන්දර 4.30 ට අවදිව තේ කෝප්ප තුනට තේ හදා සිය ආදරණීය ස්වාමියා අවදි කරන රත්නාට, තමන් ජීවිතය බෙදාගත්, වෘත්තීය බෙදාගත් මේ සොඳුරු ආඥාදායකයා හෙට දවසේදී නොඑනු ඇත. ලාංකේය කලා කෙත පෝෂණය කර ජීවන රඟමඬලෙන් බැස ගිය සම්පත් තෙන්නකෝන් ආදරණීය කලාකරුවාණෙනි, සහෘදයාණෙනි, ඔබට සුබ ගමන් කියා සරසවිය ප්‍රාර්ථනා කරයි.
සේයාරූ - දයාන් විතාරණ
***************************
ඔහුගේ රංගනය දුටු ළමා සිත් බියෙන් තැති ගැනුණේ මලී ටෙලි නාට්‍යය විකාශය වන සමයේ ය. එහෙත් ඔහු කුඩා දරුවෙකුට වඩා අහිංසකය. අප අතැර ගිය සරත් චන්ද්‍රසිරි ගැන සටහනකි මේ.
සිනමාවේත් පුංචි තිරයේත් වේදිකාවේත් ස්වක්‍රීය රංගප්‍රතිභාව විදහා පෑ ප්‍රවීණ රංග ශිල්පී සරත් චන්ද්‍රසිරි ඉකුත් 04 වැනිදා අප සැම තනිකොට කලා ලෝකයෙන් සමුගෙන ගියේ ඔහුට මෙතෙක් ආදරය කළ සියලු කලාකරුවන්ගේත් සහෘද පේ‍්‍රක්ෂකයන්ගේත් නෙතට කඳුළක් ඉතිිරි කරමිනි.
ටික කලක් රෝගාතුරව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සරත් චන්ද්‍රසිරි 57 වැනි වියේ පසුවිය.
1964 ජූනි මස 13 වැනිදා පානදුරේ දී උපත ලැබූ සරත් වෑකඩ බෞද්ධලෝක විද්‍යාලයෙන් හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
තමාට ආවේණික රංග ශෛලියක් ඔස්සේ ප්‍රේ‍්‍රක්ෂක සිත් ඇද බැද ගත් හෙතෙම වේිදිකාවට මෙන්ම පුංචි තිරයට ද නැතුවම බැරි චරිතයක් විය.
මෙරට පේ්‍්‍රක්ෂකයන් අතර අතිශයින් ජනාදරය දිනාගෙන සිටි සරත් චන්ද්‍රසිරි 1976 දී පාසල් වේදිකාව ඔස්සේ රංගනයට අවතීර්ණ විය. 1979 දී සමස්ත ලංකා නාට්‍ය තරඟාවලියේ හොඳම නළුවා වීමේ භාග්‍යය උදාකරගත් සරත් චන්ද්‍රසිරි ගායන ශිල්පිනී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ අහස් මාලිගා වේදිකා නාට්‍යයෙන් රංගනයේ දොරටු විවර කරගත්තේය. 1981 දී සරත් කුලාංග මහතා මාර්ගයෙන් ජනක් පේ‍්‍රමලාල් ගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වූ සරත් අබුදස්ස කෝලම වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය.
රාජකපුරු, අන්දරේලා, ගුරුතරුව, කනේරුමල්, රජගහේ නාඩගම, පුත්‍රසමාගම, තලමල පිපීලා ආදී නාට්‍ය රංගනයේ නියැළෙමින් ප්‍රේක්ෂක ආකර්ෂණය තමන් සතු කරගැනීමට සරත් සමත් විය.
ආනන්ද අබේනායකගේ සංක්‍රාන්ති සමය ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට එක් වූ සරත් මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනාදරයට පත් වූ ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් එක්විය. අසනි වැසි, දෙපත්නයි, වරපෙරළිය, පබා, වසන්ත කුසලානය, පුංචි වීරයෝ ඒ අතරින් කීපයකි.
පබා ටෙලි නාට්‍යයේ ‘සමඟිපුර වසන්ත’, දෙපත් නයි ‘කුණු ඇන්ටා’, වසන්ත කුසලානය ‘පෙරුම් පුලි’, රංසිරිගේ සංග්‍රාමය ‘මජන්’, හිරු සොයා ‘බණ්ඩා’, ගුරුතරුව ‘ටිකිරි බණ්ඩා’ රැල්ල වෙරළට ආදරෙයි බස් රියැදුරු හා වෙස්ගත්තෝ ‘හනුමන්තා’ නීල පබළු ‘වෙද මහත්තයා’ වැනි චරිත ඔහුගේ රංගන ජීවිතයේ පේ‍්‍රක්ෂක හද බැඳගත් සුවිශේෂි චරිත අතර වඩාත් කැපී පෙනේ.
උදයකාන්ත වර්ණසුරියගේ රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ සරත් ගිනි අවි සහ ගිනි කෙළි, ලේ කිරි කඳුළු, පුංචි සුරංගනාවී, සමනල තටු, වන්ෂෝ්ට්, ඩොක්ටර් නවරියන්, බහුභූතයෝ, රන්කෙවිට, කුරුලු පිහාටු, සිකුරු හතේ, වස්සානේ සඳ හා මේ දිනවල තිරගත වන නිහඬ සෙවණැලි ආදී චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කළේය.
කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය නළුවකු වී සිටි සරත් චන්ද්‍රසිරි සුමති, සිග්නීස්, රයිගම් ටෙලි සම්මාන රාජ්‍ය නාට්‍ය ආදී සම්මාන රැසකින් පිදුම් ලැබු කලාකරුවෙකි.
ජපානය, ඉතාලිය, ඇමෙරිකාව, මැද පෙරදිග ආදී රටවල් රැසක නාට්‍ය නිර්මාණ සමඟ සංචාරය කර ඇති සරත් වේදිකා නාට්‍ය රංග ශිල්පිනියක ලෙස කටයුතු කළ චාරිකා සඳමාලි සමඟ විවාහ විය. දෙදරු පියෙකු වූ සරත්ට කංචුක තිලක්ෂණ නමින් පුතෙකු ද හසාරා නිලක්ෂි නමින් දියණියක ද වේ.
සැබෑ ජීවිතයේ අව්‍යාජ සරල ගතිපැවතුම් වලින් පරිපුර්ණ සරත් කවදත් සමාජයේ පොඩි මිනිසා ළඟ සිට ගත් කලාකරුවකු විය. ඔහු කවදත් තම රංගනයේ ඇසූ පිරූ තැන් සොයා ගියේ ද සමාජයේ කොතෙකුත් දුක් ගැහැට විඳිනා සැබෑ මිනිසුන්ගේ ජීවනාලිය සොයාගෙනය. මිනිසුන් අතර සොඳුරු මිනිසකු වූ සරත් අප හැර ගිය ද, ඔහු තම රංගනය තුළින් අපට ඉතිරි කළ චරිත කිසිදා සිත්වලින් ඇත් නොවණු ඇත.
සොඳුරු කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව!
අභාවප්‍රාප්ත සරත් චන්ද්‍රසිරි මහතාගේ අවසන් කටයුතු ඉකුත් 06 වැනිදා බණ්ඩාරගම වල්ගම ආදාහනාගාරයේ දී සිදු කෙරිණි.
චන්දන දයාසිරිවර්ධන
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ