කොතැන නම් සැඟවී තිබිණිදැයි සොයමී

මැයි 5, 2022

 

අනෝෂා සොනාලි පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන මෙලොව හැර ගියාය. ඒ බැව් මට කතාකොට දැනුම්වත් කරන ලද්දේ අප මිත්‍ර ඡායාරූප ශිල්පි උපුල් නිශාන්ත විසින්ය. අනෝෂා සොනාලි මිය යන විට 47 හැවිරිදි වියේ පසුවිය. උපදිනවිටම සෑම ජීවිතයකම මරණය උරුමයක් ඇති නමුත් අනෝෂා සොනාලිගේ මරණය ලෝක සම්ප්‍රදාය අනුව අකල් මරණයක් සේ සැලකෙනුයේ ඇය ජීවත් වූ වයස සලකා බැලීමෙන්ය. කොහොමටත් පසුගිය වසර පහකට ආසන්න කාලයක් ඇයගේ ජීවිතය රෝද පුටවකට නැතිනම් එක් තැනකට සීමාවෙමින් පැවතිණ. පසුගිය දශකයක කාලයක පමණ සිට ඇය කිසිදු චිත්‍රපටයක රඟපෑවේ ද නැත. ‍1993 වසරේ මුලින්ම පුංචි තිරයෙන් දැකගත් මේ යුවතිය මෙරට සිනමාවේ ඉතා ඉහළ රූපණවේදිනියක වනු ඇතැයි ඇය ගැන දත් බොහෝ දෙනා එකල විශ්වාස කළ ද කිසියම් හේතුවක් නිසා ඇය එබඳු ඉලක්කයක් කරා නොආවාය.

ඇය සිනමාවට පිවිසියේ සරසවිය පුවත්පත ඔස්සේය. සරසවිය මඟින් දශක හයකට ආසන්න කාලයක් මෙරට සිනමාවට හඳුන්වා දුන් රූපණවේදින් අතර එහි ඉහළම කිරුළ දරන්නෝ ද වෙති. අනෝෂා සොනාලිට ලැබුණේ එම වරප්‍රසාදයමය. ඇයට ආරම්භයේ ලැබුණු ඉහළම සිනමාකරුවන්ගේ නිර්මාණ මෙන්ම ලද විචාරක අගැයීම් හා ප්‍රේක්ෂක ප්‍රතිචාර ද සියල්ල සලකා බලද්දී ඇයගේ අවසානය මෙබඳු ඛේදජනක ඉරණමක් කරා යා යුත්තක් නොවේ. මේ සටහන කිසිවිටෙකත් ඇය අවමානයකට පත් කිරිමේ අදහසකින් ලියැවෙන්නක් නොවේ. එමෙන්ම ඇයගේ ඉරණම හෝ ඒ හා සමාන ඉරණමකට ලක් වූ මුල්ම නිළිය මෙන්ම අවසාන නිළියද ඇය නොවේ. එහෙත් අනෝෂාගේ ඉරණම ඇයගේ සිරුර තුළින් විනිවිදි රෝගයක් නිසා විසඳනු ලැබුව ද ඒ වන විට රූපණවේදය නම් විසල් වනාන්තරයක ඇය අතරමංව සිටියේ යළි සොයා ගත නොහැකි ආකාරයෙන්ය. ඒ වන විට ඇයගේ විශිෂ්ට ප්‍රතිභාව සිනමා තිරයෙහි දිය කර අවසානය. එය මතුවන්නටත් හමාර වන්නටත් වැඩි කලක් ගතවූයේ නැත.

ඇය මුලින්ම තෝරා ගනු ලැබූයේ අපේ සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් නිර්මාණය කරන්නට යෙදුණු ගැහැනු ළමයි ටෙලි වෘත්තාන්තයේ පද්මිණීගේ චරිතය උදෙසාය. මුලින් සදහන් කළ පරිද්දෙන් ඒ සරසවිය පුවත්පත ඔස්සෙ පළ කළ දැන්වීමක් මඟින්ය. 1978 වසරේ සුමිත්‍රා පීරිස් මහත්මිය සිය මුල්ම වෘත්තාන්ත සිනමා නිර්මාණයෙහි ලා පාදක කරගත් කරුණාසේන ජයලත්ගේ සම්මානනීය නවකතාව මෙහිලා යළිත් ටෙලි වෘත්තාන්ත මාලාවකට ඇය විසින්ම පරිවර්තනය කළාය. මුල් චිත්‍රපටයේ මෙන්ම මෙවර ද ඇය සියලු අලුත් භුමිකාවන් තෝරා ගන්නා ලද්දේ සරසවිය පුවත්පත මඟිනි. ඒ 1993 වර්ෂයේදීය. ඒ වනවිට කළුතර බාලිකාවේ ඉගෙනුම ලබමින් සිටි අනෝෂා සොනාලි ද සිල්වා එම සම්මුඛ පරීක්ෂණයට පැමිණි සිය ගණනක් යුවතියන් අතරින් ධනවත් පද්මිණී සේනාරත්නගේ චරිතයට තෝරා ගනු ලැබිණ. පද්මිණිගේ චරිතය එම නවකතාවේ එන අපූරුතම චරිතයකි. යොවුන් වියට පිය එසවන්නට පෙරම ගැහැනියක වූ පද්මිණී කුසුම් ඉගෙනගත් විදුහලට පැමිණියේ නගරයේ සිදු වූ එම අතීතය සඟවමින්ය. එහෙත් අතොරක් නැති ඕපුදූපවලට ඇය අලුත් පාසැලේදී මුහුණ දුන්නාය. එපමණක් නොව සිය යෙහෙළිය කුසුම් වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූවාය. චිත්‍රපටයේ සඳහන් නොවුණත් කරුණාසේන ජයලත්ගේ නවකතා ත්‍රිත්වයේ හැටියට ඇය කුසුම් වෙනුවෙන් පළිගනු ලබනුයේ නිමල් හතුරුසිංහ විවාහ කර ගනිමින්ය. චිත්‍රපටයේ මෙම මතක හිටින චරිතය රඟපාමින් ශ්‍යාමා ආනන්ද එයට අපූරු ජීවගුණයක් අත් පත් කර දෙන ලද්දේ එතෙක් ඇය රඟපෑ සුපිරි තාරකා සම්ප්‍රදාය සහමුලින්ම කණපිට පෙරළමින්ය.

අනෝෂා සිය මුල්ම ටෙලි වෘත්තාන්තයෙන්ම සිය ගමන ආරම්භ කළේ එය ඇගේ මුල්ම රංගනය බව අමතක කරලමින්ය. මේ සමඟ ඇයට සිනමාවේ දොර විවර විණ. එම චිත්‍රපටය කිසිකලෙක තිරයට ආවේ නැත. නිදි යහන කැලඹිණ නමින් එම චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ මාරියෝ ජයතුංග විසින්ය. කෙසේ වෙතත් ඇය සිනමා ප්‍රේක්ෂකයන් මුල්වරට දැක ගත්තේ මාරියෝ ජයතුංග විසින් නිර්මාණය කරන ලද හඬන කිංකිනි නම් චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටය එවක ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා සමයේ සරසවි චිත්‍රාගාරය නවීකරණය කරද්දී නිහඬ චිත්‍රපටයක් තනන්නැයි කරන ලද ප්‍රකාශයක් ඔස්සේ මාරියෝ විසින් නිර්මාණය කරන ලද්දකි. එබැවින් හඬන කිංකිණි චිත්‍රපටයේ කිසිදු දෙබසක් අන්තර්ගත නොවිණ. එහි රඟපෑ නළු නිළියෝ සියල්ලෝ වාචික අභිනය අත හැර සිටියහ. මෙම අභියෝගාත්මක රංගනය නිසාම අනෝෂා සොනාලි සිය ජීවිතයේ ලද එකම සම්මානය සරසවිය සම්මාන උලෙළේ දී දිනා ගත්තාය. ඒ හොඳම නැගී එන නිළිය ලෙස ලද සම්මානයයි. මෙම සම්මානයෙන් පසු එවකට පැවැති සම්ප්‍රදායට අනුව ලේක්හවුස් ආයතනය මඟින් වාර්ෂිකව නිතුත් කරන ලද කැලැන්ඩරය සදහා පෙනී සිටියේද අනෝෂා ය. ඒ 1996 වසෙර්ය. කොටහේනේ රාමනාදන් කෝවිලේ දී හා බම්බලපිටියේ එවකට පිහිටි දී.ග. සෝමපාලට අයත් චිත්‍රාගාරයේ දී එම ඡායාරූප ලබා ගත්තේ වර්තමානයේ අමරිකාවේ වෙසන සුප්‍රකට ඡායාරූප ශිල්පි ශ්‍රියන්ත වල්පොල විසින්ය. එම කටයුත්ත සංවිධාන කරන ලද්දේ මාත් සමඟ එදවස සරසවියේ සේවය කළ දැන් සිළුමිණ පුවත්පතේ ක්‍රීඩා අතිරේකයේ සේවය කරන ගීෂා මුණසිංහය.

හඬන කිංකිණි චිත්‍රපටය රූපෙගත කරන විට ඇයගේ ජීවිතයේ දිශානතිය වෙනස් කළ හැකි චිත්‍රපට දෙකක්ම ඇයට ලැබී තිබිණ. මෙයින් එක් චිත්‍රපටයක් වූයේ සුමිත්‍රා පීරිස් විසින්ම නිර්මාණය කරන ලද ලොකු දුව චිත්‍රපටයයි. ලොකු දුව ගීතා කුමාරසිංහ විසින් නිෂ්පාදනය කරන ලද අතර අනෝෂාට එහි රඟපාන්නට තිබුණේ පුණ්නා නම් ප්‍රධාන චරිතයේ ලොකු නැගණිය හැටියටය. දෙවැන්න එච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරන ලද වීසි දැල චිත්‍රපටයයි. වීසි දැල චිත්‍රපටයේ සිරිමාගේ චරිතය ඇය ඉතා විශිෂ්ට අන්දමින් නිරූපණය කළා පමණක් නොව බොහෝ ප්‍රේක්ෂකයන් වසඟ කර ගැන්මට ද සමත් විය. එහෙත් අවාසනාව නම් එයින් පසු ඇයට එබඳු චරිත ලැබුණේ නැත. ඇය විසින් තොරා ගනු ලැබුවේද ඇයට ලැබුණේ ද ඒ වන විට රැල්ලක් මෙන් පැතිර යමින් තිබුණු සරාගී ජවනිකා අමු අමුවේ ඔබ්බවන ලද කාම රැල්ලයැයි අවඥා සහගතව සඳහන් කරන ලද චිත්‍රපට කිහිපයකි. ඒ සමඟ ඇයගේ ජීවිතයේ ද වෙනස් කම් රාශියක් ඇති විණ. කවර තැනක හෝ ඇයට වැරදී තිබුණ වග පමණක් මෙහි සඳහන් කරමි. එහෙත් ඇය තම දරුවා ඉහළ පෙළේ පාසැලකට ඇතුළත් කොට අධ්‍යාපනය ලබා දීමට උත්සාහ කළ දිරිය කාන්තාවක් වූ බව සඳහන් කළ යුතුය. දශකයක ඇවෑමෙන් ඇය පිළිබඳ ඕපාදූපවලට පමණක් ඉඩ සලසමින් ඇය සතුව තිබුණු ප්‍රතිභාව ගිලිහි යන්නට ඉඩ හැරියාය. වීසිදැල වැනි සිනමා කෘතින්වලට අවතීර්ණය වූ අවධියේ යහපත් චිත්‍රපට නරඹමින් ද බ්‍රිතාන්‍ය කවුන්සලයේ දී ඉංග්‍රිසි බස හදාරමින් ද මේ සිනමා ලෝකයේ ඉදිරි ගමනක් යන්නට වැර දරන්නේ යැයි පෙනුණ ඇයට කොතැනක හෝ මග වැරදී තිබිණ. එය නිවැරැදි කර ගැන්මට ඇය උත්සාහ නොකළේ ද නැතිනම් අවස්ථාවක් නොවිණිදැයි දන්නේ ඇයම පමණකි.

විහඟ මිහිරාවී

මුදු හඬින රාගී

කොතැන තිබුණද තී

අද ගයන මේ ගී

හදබඳුන ඉතිරී

ගලන ගී මිහිරී

කොතැන නම් සැඟවී

තිබිණිදැයි සොයමි

 

(මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විසි දැල චිත්‍රපටය උදෙසා ලියන ලද ගුමු ගුමුව වදුලේ ගීතයෙන් උපුටා ගැනිණ.)