පරාක්‍රම නිරිඇල්ලට ජනතා බුහුමන්

මැයි 19, 2022

 

වේදිකාව, සිනමාව හා රූපවාහිනිය ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයන් වෙත රසවත් මෙන්ම හරවත් නිර්මාණ දායාද කළ ප්‍රවීණ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ලට පසුගිය දා කිලිනොච්චියේත් පුතූර් ප්‍රදේශයේත් කලාකරුවන් මෙන්ම ප්‍රජාව විශේෂ බුහුමනක් දක්වා තිබේ. එයට හේතු වන්නේ ඔහු විසින් දෙමළ ජනතාවට කූත්තු නාට්‍ය සම්ප්‍රදාය ද මුසුකර ගීත සහ නැටුම් ද සහිතව නිර්මාණය කළ විනාඩි 80ක ධාවන කාලයකින් යුතු ‘කෝඩ්ඩම්’ නාට්‍යය නිර්මාණය කර වේදිකාගත කිරීමයි. යෙව්ගිනි ස්වාත්ස් නම් රුසියානු ජාතික නාට්‍යකරුවාගේ ‘ද ඩ්‍රැගන්‘ නාට්‍යයේ අනුවර්තනයක් ලෙස නිමැවුණ මෙහි අර්ථය බලය නැතහොත් ආධිපත්‍යය ලෙස දැක්වේ.

පරාක්‍රම නිරිඇල්ල ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් අංශයේ රැකියාවක නිතර වූවෙකි. 1970 මැද භාගයේ ලයනල් වෙන්ඩ්ට් රංග මන්දීරයේ නාට්‍යකරණය පිළිබඳ හැදැරූ ඔහු ආචාර්ය ගාමිණි හත්තොට්ටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කලක් නාට්‍යකරණයේ යෙදුණේය.

1976 ඔහුගේ කුලුදුල් වේදිකා නාට්‍යය වන සෙක්කුව වේදිකාගත කළ අතර එය එවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

ඉන්පසු උත්තමාවී, විනිශ්චය, ගැලීලියෝ, උත්තමාවී, වරෙන්තු ආදී වේදිකා නාට්‍ය රැසක් ඉදිරිපත් කිරීමට ඔහු සමත් විය.

සිනමාව ජය ගැනීමට ඔහු මුල පිරුවේ පළවැනියා සහ අන්තිමයා කෙටි චිත්‍රපටයෙනි. ඉන්පසු ඔහු සිරිමැදුර හා අයෝමා වෘත්තාන්ත චිත්‍රපට 2 පේ‍්‍රක්ෂකයන්ට දයාද කළේය.

පුංචි තිරය වෙනුවෙන් ඔහු නිර්මාණය කළ ‘කඩඉම’ බල්ගේරියාවේ ගෝල්ඩන් ක්‍රෙස්ට් අන්තර්ජාතික සම්මාන උලෙළේ පූරියේ විශේෂ ත්‍යාගය දිනාගත් අතර බර්ලින් හි පි‍්‍රක්ස් ෆුට්රා අන්තර්ජාතික ටෙලි උලෙළේ ට්‍රාන්ස්ටෙල් ත්‍යාගය දිනා ගන්නා ලදී. ළා හිරු දහසක් යශෝරාවය, සුදෝසුද, මිහිමඬල ගිනිවදී සසර සසුරෙන් වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ඔහු පුංචි තිරයෙන් පේ‍්‍රක්ෂක හදවත්වලට සමීප විය.

ජන කරළිය ඔහු විසින් නිර්මාණය කරන ලද සම්ප්‍රදායික ප්‍රොසීනියම් වේදිකාවෙන් මිදුණු ජංගම වේදිකා ක්‍රමවේදියකි. එමඟින් ඉදිරිපත් කළ පළමු වේදිකා නාට්‍යය අන්දරමල්ය. ජනකරළිය ඉදිරිපත් කළ මැටි කරත්තය රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන රැසක් හිමිකරගත් අතර මෙරට නාට්‍ය ඉතිහාසයේ පළමු වරට දෙමළ ජාතික නළුවකු සිංහල නාට්‍යයක හොඳම සහාය නළුවාට හිමි සම්මානය ද සිංහල ජාතික නළුවකු දෙමළ නාට්‍යයක හොඳම සහාය නළුවාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.

1980 වසරේ සිට පරාක්‍රම නිරිඇල්ල යාපනය ප්‍රදේශයේ දෙමළ ජනතාව සමඟ ඇතිකරගත් දැඩි සබඳතාව වඩාත් පුඵල් වූයේ ඔහුගේ ජනකරළිය ජංගම රඟහල ඔස්සේ ‘සීතාම්බර පට‘ හා ‘අන්දර මල්‘ නාට්‍ය ද්විත්වය 2004 වසරේදී යාපනයේ රඟදැක්වූ පසුවයි. 2010 වසරේදී ඔහු ජනකරළිය වේදිකාව නල්ලූර්හි ස්ථාපනය කළ අතර එහිදී සිංහල හා දෙමළ නාට්‍ය උලෙළක් පවත්වා එහි නාට්‍ය රඟ දැක්වූ කලාකරුවන්ට උපහාරයක් ද සංවිධානය කළේය. එම අවස්ථාවට යාපනයේ සංගීත ශිල්පීන්ද එක්කොට ගෙන ප්‍රවීණ නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපතිගේ නර්තන කණ්ඩායම සමඟ ඉදිරිපත් කළ ‘තාලතාලම්‘ වැඩසටහන මහත් ඇගයීමට ලක්විය.

යාපනය අර්ධද්වීපය පුරා පාසල්වලට ජනකරළිය ජංගම වේදිකාව ගෙන යමින් දින 15ක් පුරා නාට්‍ය රඟදැක්වූ ඔහු නැඟෙනහිර පළාතේ කලාකරුවන් සමඟද තහවුරු කරගත් සබඳතාව මත මහාචාර්ය ‍මෞනගුරු ගේ සහය ඇතිව ‘මෘච්ඡකඨිකා’ නම් පැරැණි සංස්කෘත නාට්‍යය 2013 දී නිර්මාණය කළේය.

පුලන්දෙයි එම්. ෂන්මුගලිංගම් විසින් ‘වෙන්කට්ටිවට්ටම්’ නමින් දෙමළට පරිවර්තනය කරන ලද බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘කොකේසියන් චෝක් සර්කල්’ නාට්‍යය යාපනයේ තරුණ පිරිසක් එක්රැස් කර ජනකරළියේ රඟදැක්වූ අතර එයට යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ ආචාර්යවරයකු වන කදිරේසු රනිදරන් සම අධ්‍යක්ෂවරයා ලෙස සම්බන්ධ කරගත්තේය. ජනකරළිය ඔස්සේ පරාක්‍රම නිරිඇල්ල විසින් ඇති කළ උද්‍යෝගය කේ. සත්‍යසීලන්ගේ නායකත්වයෙන් ‘සම්මුගම්’ හා තුරෙයිසිංහම් අර්ජුනගේ නායකත්වයෙන් ‘ආරෝහණ’ යන නාට්‍ය කණ්ඩායම් බිහිවීමට ද හේතු විය. 2019 දී මේ කණ්ඩායම් ද්විත්වයේම ශිල්පීන් එකතුකර ලයනල් බෙන්තරගේ හා ඊශ්‍රායල් නාට්‍යකරුවකු වන ගිල් එලන්ගේ සහභාගිත්වයෙන් වැඩමුළු පැවැත්වීමට ද ඔහු යුහුසුළු විය.

කොරෝනා වසංගතයෙන් පසු ගෙවුණු ජනවාරියේ සිට දෙමසක් පමණ යාපනයේ වෙසෙමින් ‘කෝඩ්ඩම්’ නාට්‍යය නිර්මාණය කරන අතර එහි අධ්‍යක්ෂණය කේ. සත්‍යසීලන්ට බාරදීමට ද ඔහු කටයුතු කළේය.

මේ අයුරින් දෙමළ ජනතාවගේ නාට්‍ය හැකියාවන් ඉස්මතු කිරීමට ගන්නා ලද අප්‍රතිහත ධෛර්යය වෙනුවෙන් පරාක්‍රම නිරිඇල්ලට ‘සංහිඳීයාවේ මුරදේවතාවා’ සහ “කලා ඉන්ද්‍රජාලික” යන විරුදාවලි ද සහිතව මෙලෙස බුහුමන් දැක්වීමට කිලිනොච්චි හා පුතූර් ජනතාව ඉදිරිපත් වූහ.