1926-2022 මහ රැජනත් හොඳ නිළියක්

සැප්තැම්බර් 22, 2022

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඇය විසි වැනි සියවසේත් විසි එක් වැනි සියවසේත් අප දුටු මහා රැජන ය. ලොව දිගුම කාලයක් රජකම් කිරීම අතින් ඇය ගන්නේ දෙවැනි ස්ථානය වුව ද දිගු කාලීනව මතකයේ රැ‍‍ෙඳන රජු හෝ රැජන වන්නේ ඇය ය. එපමණට ම ඇය ලොව පුරා ජන ආකර්ෂණය දිනා ගත්තාය. නිතර මුව රැඳුණු නිහතමානී හෘදයාංගම සොඳුරු සිනාව, පතිවත, සෞම්‍ය පාලනය, රැජනකට ම සරිලන රූමත් බව, මාතෘත්වය සියල්ල ඇය ගේ කිරුළේ රැඳී මුතු මැණික්වලට වැඩි ආලෝකයක් ඇය ගේ ජීවිතයට ලබා දුන්නේය. ඒ අප දන්නා රැජන ය. එහෙත් අප නො දන්නා රැජන ද ඒ තරමට ම සොඳුරු ය.

ඇය ගේ රංගන හැකියාව බොහෝ දෙනකුට රහසකි. සිනමාවේත් රූපවාහිනියේත් රැජන ලෙසින් රඟපෑ නිළියන් සංඛ්‍යාව 15 ක් පමණ වෙයි. එහෙත් රැජන ද දක්ෂ නිළියකි. රැජනක වුව ද ඇය සහජයෙන් ම විහිළු කිරීමට දක්ෂ ය. එහෙත් ඇය රඟපෑ ත්‍රාසජනක රංගනය කිසිවකුට අමතක කළ නො හැකිය. ඒ 2012 ලන්ඩනයේ පැවැති ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවයේදී ජේම්ස්බොන්ඩ් වීරයකු වූ ඩැනියල් ක්‍රේග් සමඟ කළ කෙටි රංගනයයි. වියපත් වුවත් රැජන හෙලිකොප්ටරයෙන් ගොස් කඹයෙන් බසින දර්ශනය ඔලිම්පික් රන් කිරුළ දිනා ගන්නා අවස්ථාවකට ද වඩා කාගේත් සිත් ගත්තේ ය. රැජන වගේ ම ‍ඇය ගේ කෝගි සුනඛ සුරතලුන් ද එහි රඟ පෑ බව අමතක නොවේ. එවැන්නක් සිදු කළ එක ම රජු හෝ රැජන ඇය ය. මේ වීඩියෝ දර්ශනයේ අදියුරු වූයේ ඩැනී බොයිලී ය. ඩැනියල් ක්‍රේග් මෑතකදී පැවසුවේ රැජන රඟ පෑවේ රාජකීය පවුලේ සාමාජිකයන්ට රහසින් බව ය. රූ ගත කරන අතර වාරයේ මෙන් ම රූ ගත කිරීමෙන් පසුව ද රැජන විහිළු කතා පවසමින් ක්‍රේග් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම සිනහ ගස්වා තිබෙයි.

2012 ඔලිම්පික් සමාරම්භක වීඩියෝවේත් 2022 පැඩිංටන් වලස් පුංචා සමඟ මහ රැජන ගේ රංගනය ඇතුළත් වැඩ සටහනේ සැකිලි රචකයා වූ ෆ්‍රෑන්ක් කොට්‍රේල් රැජන ගේ හාස්‍යෝත්පාදක රංගන හැකියාවත් රංගනයට ඇති ඇල්මත් රංගන හැකියාවත් ඉහළින් ම අගය කළේ ය. ඔහු බීබීසී වැඩසටහනකට සහභාගී වෙමින් පැවසුවේ රැජන සතුව විශිෂ්ට රංගන කුසලතාවක් පවතින බව ය. ප්ලැටිනම් ජුබිලියේදී ජුනි 4 වැනිදා පැවැති ප්‍රසංගයේදී රැජනත් පැඩිංටන් වලස් පුංචා අතරත් සිදුවූ ගනු දෙනුව ලෝකයේ මිලියන ගණනක් වූ ජනකාය ඉතා ආදරයෙන් වැලඳ ගත්තේ ය. මේ වීඩියෝ වැඩසටහන රූ ගත කිරීමට රැජන දවසින් අඩක් ම කැප කර තිබෙයි. රැජනට අවසන් ගෞරව පුද කරන බ්‍රිතාන්‍ය වැසියන් පැඩංටන් වලස් පුංචා

සමඟ කළ සියලු දේට ස්තුතියි මැතිනියනි යන වාක්‍ය සඳහන්කළ කාඩ්පතක් තැබීමට ද අමතක කර නැත.

මහ රැජනගේ රංගන හැකියාව ගැන පුදුමයක් නැත. ඇය ඕනෑම පුද්ගලයකු ගේ මුහුණේ හැඟීම් පෙන්වීමටත් කෙනකු ගේ වචන උච්චාරණය ඒ අයුරින් ම කතා කර පෙන්වීමටත් දක්ෂ බව රජ පවුලේ සාමාජිකයන් හොඳීන් ම දනියි. මේ හැකියාව චාල්ස් කුමරුට (වත්මන් රජු) ද ඇත.

ඇය දක්ෂ චංචල ඡායාරූප (මඪඤඥධඨපචනඩඥප) ශිල්පිනියකි. රැජනට ඇය ගේ පියා පළමු බොක්ස් බ්‍රවුනී කැමරාව අතට දුන්නේ දෙවැනි ලෝක යුද්ධය ඇරැඹීමට පෙර ය. ඇයගේ මේ කුසලතාව පවුලේ සාමාජිකයන් අතර ප්‍රකට ය.

දෙවැනි එළිසබෙත් මහ රැජන සකල කලා ලෝලිනියකි. ඇයට ලෝක ප්‍රසිද්ධ සෑම සංගීත කණ්ඩායමක් සමඟම වාගේ ආදරණීය මතකයන් ඇත. රැජන ගේ ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවක් ම වාගේ සංගීතය සමඟ බැඳී තිබිණි. 2002 ජුනි 3 වැනිදා පැවති රැජන ගේ ස්වර්ණ ජුබිලියට පිනෝ පැලඩිනෝ, ෆිල් කොලින්ස්, රොජර් ටේලර්, බ්‍රයන් මේ, පෝල් මැකාට්නි, එල්ටන් ජෝන්, රොඩ් ස්ටුවට් ඇතුළු ලෝ පසිඳු බොහෝ කලාකරුවන් සහභාගි විය. ඇය කිරුළ දරා හැට වසරක් සම්පූර්ණ වූ අවස්ථාවේ පැවති උත්සවයේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ කලාකරුවන්ට ද සහභාගී වීමට අවස්ථාව ලැබුණු අතර එහිදී ඇය කැමැති ගීත ගායනා කරනු ලැබිණි. මහ රැජන ශාස්ත්‍රීය සංගීතයට පෙම් බැන්ඳාය. ස්කොට්ලන්තයේ නළා හා බෙර වාදයට වඩාත් ඇලුම් කළ අතර ඇය සෑම උදෑසනක ම අවදි වී ඇත්තේ ඔවුන ‍ගේ වාදනයට ය. ඇය ගේ හැත්තෑ වසරක පාලන කාලයේ ස්පයිස් ගර්ල්ස්, එඩ් ෂීරන්, මැඩෝනා, ලේඩි ගගා ඇතුළු සෑම සුප්‍රසිද්ධ ගායක ගායිකාවකට ම වාගේ රැජන බැහැ දැකීමට ගී ගයා ඇය සතුටු කිරීමට අවස්ථාව ලැබිණි. ඔක්ලහෝමා, සින්ග්, චීක් ටු චීක්,

ද වයිට් ක්ලිෆ්ස් ඔෆ් ඩෝවර්, ලීනිං ඔන් අ ලෑම්ප් - පෝස්ට්, ප්‍රෙයිසං මයි සෝල්, ද ලෝඩ් මයි ෂෙෆඩ් යන ගීත ඇය ගේ ප්‍රියතම ගීත අතර විය.

සංගීතයට මියෙන තුරුම ඇය ඇලුම් කිරීම පුදුමයක් නො වෙයි. ඇයත් සොයුරිය මාග්‍රට් කුමරියත් සංගීත සයුරේ පිහිනුවේ කුඩා වියේ සිට ය. වයස අවුරුදු 11 වන විට ඇය ට පියානෝ වාදනය කිරීමට හැකිවිය. ඇය තම ආස්වාදය පිණිස පසු කාලීනව ද පියානෝ වාදනය කළා ය. එළිසබෙත් කුමරිය ලන්ඩන් සරසවියෙන් සහ සංගීතය සඳහාවූ වේල්සයේ සරසවියෙන් සංගීත උපාධි ලබා ගත්තේ කිරුළ හිමි වීමට පෙරදී ය. ඇය රැජන ගේ සංගීත පදක්කම් සම්මානය ඇරැඹුවේ ශාස්ත්‍රීය සංගීතයේ උන්නතිය වෙනුවෙනි.

ඇය සිනමාවට ද වේදිකාවට ද ඇලුම් කළාය. නර්තනයට දස්කම් පෑවා ය. තුරුලතාවලට ආදරය කළ රැජන වරක් ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බොරෝ අමතා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල වනාන්තර සුරැකීමට වාර්තා වැඩසටහනක් නිර්මාණය කිරීමට ඇරියුම් කළා ය. එපමණක් නොව ඇයත් රජ පවුලේ සාමාජිකයනුත් වෘත්තාන්තයේ නළු නිළියන් ද විය.

දෙවැනි එළිසබෙත් මහ රැජන යනු රැජනක් පමණක් නොව කලාකාරියක හා කලා රසිකාවක් ද වන්නීය. ඇය සියවස් ගණනකටවත් බිහි නො වන අන්දමේ සුවිශේෂී කාන්තාවක වන්නේ එබැවිනි.