අමරණීය මංසලකුණු තබා නික්ම ගිය ආනන්ද වීරකෝන්

1934-2022
සැප්තැම්බර් 29, 2022

 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය ප්‍රථම වෘත්තාන්ත සිනමාපටය - 'රේඛාව' ,වර්ෂ 1956 දෙසැම්බරයේදී මහජන ප්‍රදර්ශනයට එක් කරන්නේ ලාංකේය වෘත්තාන්ත සිනමාවේ නිශ්චිත හැරවුම් ලක්ෂ්‍යක් සනිටුහන් කරමිනි. 'රේඛාව ' , ජීවිතය හා සමාජය විනිවිද දකිමින් නව ඥානයක් රසික ජනයා වෙත ගෙන දීමේ පුරෝගාමී සිනමානුරූපී අවස්ථාවය යන්න එ දවස කෙසේ වතුදු පසුකාලීනව ද, මෙ දවස ද සනාථ කෙරෙන බව පැහැදිලි ය. එසේම 'රේඛාව' අන්තර්ජාතික තලයට පිවිසි පළමු ලාංකේය වෘත්තාන්ත සිනමාපටය ද වන බව අමතක කළ යුතු නො වේ. දුෂ්කර හා පිටිසර ගම් පියසක සුදන, දුදන පාර්ශ්ව නිරූපණයට ආ 'රේඛාව ' හි ප්‍රමුඛ වූයේ ළමුන් දෙදෙනෙකි. වැඩිහිටියන් කිහිප දෙනෙක් ද ඔවුන් වටා සැරිසැරූහ. සිනමාකරු ලෙස්ටර් මේ අතරට පැමිණෙන්නැයි ගැමි පෙම් යුවළකට ඇරියුම් කරයි. පෙම්වතිය සුකුමාල ය. අවිහිංසක ය. පෙම්වතා ද එබන්දෙකි. මේ කඩවසම් තරුණයා කුඩා ගංගාවක් ඔස්සේ ඔරුවක් පදිමින් ගීයක් ගායනා කරන හැඩ ය. බී.එස්. පෙරේරා සංගීතවත් කළ, සුනිල් සාන්ත තනු නිර්මාණය කළ , මර්සලීන් ජයකොඩි පියතුමා රචනා කළ , සිසිර සේනාරත්න ගායනා කළ මේ ගීය තරමට ම ඔහුගේ කඩවසම් රුව ද වර්ෂ හැට හයකට පසුව එන අද දවසේදීත් කිසිදු සිනමා රසිකයකුට අමතක නොවේ.

'ඕළු නෙළුම් නෙරිය රඟා ලා

කිකිණි හඬන වලා නඟා ලා

ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ

මගේ කුඩා ඔරුව හබල් ගා'

 

පසුගිය දා අසූඅටවන වියේ දී නො සිඳෙන තාරුණ්‍යයේ සිත් ඇද ගන්නා සුලු බව ගෙන හැර පාමින් සිය දිවි සැරිය නිම කළ ඔහු ආනන්ද වීරකෝන් ය. අප අතර සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා රංගන ශිල්පියා ද ඔහු ය. දිගු කලක් විදෙස් ගතව සිටි ආනන්ද වරින් වර මෙරටට පැමිණිය ද දිගුකාලීනව ලාංකේය සිනමාව හා රැඳී නොසිටීම ම ඔහු සතු තාරුණ්‍යයේ රූපය වියැකී නොයන්නට හේතුවකි. ආනන්ද වීරකෝන්ගේ අවසන් කටයුතු ඉකුත් දා බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණේ ලාංකේය වෘත්තාන්ත සිනමාවේ පළමු දශකය හා ඉනික්බිතිව ආ තෙවසර පිළිබඳ ආපසු හැරී බැලීමකට සිනමා රසිකයා පොලඹවමිනි.

'රේඛාව' හි දුර දිග ගිය චරිතයක් නිරූපණය නො කළ ද 'රේඛාව ' කණ්ඩායමට ඇතුළත් වීම නිසාම විදග්ධ සිනමා රසිකයාගේ අවධානයට පාත්‍ර වන්නට ආනන්ද සමත් වූයේය. ලාංකේය සිනමාවේ පළමු අර්ථවත් හැරවුම් ලක්ෂ්‍ය සේ 'රේඛාව ' හඳුනා ගන්නා මතු දිනකදීත් ආනන්ද පිළිබඳ ගෞරවනීය සඳහනකට ඇත්තේ අතිමහත් ඉඩකඩකි.

එක්තරා ආකාරයකින් ආනන්ද ප්‍රකට සිනමාකරු සිරිසේන විමලවීර මුල් පුටුව හෙබවූ කණ්ඩායමේ කැපී පෙනෙන්නකු ද වේ. ආනන්ද සිනමාවට පැමිණෙන්නේ ම විමලවීරගේ 'අසෝකා' (1955) ඔස්සේ ය. අනතුරුව විමලවීර අධ්‍යක්ෂණය කළ 'පොඩි පුතා' (1955), 'මා ආලේ කළ තරුණිය'(1959) හා 'වනමල'(1960) යන සිනමාපට ත්‍රිත්වයට ම ආනන්ද එක් වූයේ වරෙක ප්‍රධාන චරිතද, තවත් වරෙක උප ප්‍රධාන චරිත ද නිරූපණය කරමිනි. මෙහිලා පෙම්වතා, යහ ගුණැති පුත්‍රයා, සල්ලාලයා සේම දුෂ්ටයා ද ඉස්මතු කෙරිණි.

සුමිත් බිබිලේ පෙම්වතාගේ චරිතය නිරූපණය කළ 'අසෝකා' හි දුෂ්ටයා වන්නේ ආනන්ද ය. සුමිත් බිබිලේ ද ආනන්ද සේම වැඩි සිනමාපට සංඛ්‍යාවකට දායක නොවුව ද ඉමහත් ජනප්‍රියත්වයක් ලද රංගන ශිල්පියෙකි. 'අසෝකා ' හි දී අනියම් බිරිඳක ද ඇසුරු කරන රදළ ධනවතකුගේ චරිතය ආනන්ද නිරූපණය කරන්නේ එදවසට අදාළ ව කළු පැහැයට වැඩි ඉඩක් ගෙන දෙමිනි. දුෂ්ට චරිත නිරූපණයෙන් සුපිරි සිනමා තාරකා බිහිවීමට ඇති අවකාශය සීමාසහිත බව ආනන්දගේ මීළඟ සිනමා සහභාගීත්වය පවසන්නේ ආයාසයකින් තොරව ය.

මේ අනුව ආනන්ද 1950 දශකයේ සිනමා තාරකාවක් බවට පත්වීමේ පළමුපියවර තබන්නේ සිරිසේන විමලවීරගේ විශිෂ්ටතම සිනමාපටය සේ වර්තමානයේදී ද හඳුන්වා දෙන 'පොඩි පුතා' හි එක් ප්‍රධාන චරිතයක් සමඟිනි. 'පොඩි පුතා' ලාංකේය අනන්‍යතාවක් සනිටුහන් කිරීමට යත්න දැරූ පළමු අවස්ථාව ය යන්න බොහෝ සිනමා විචාරකයන්ගේ පිළිගැනීම යි. ගාමිණී වේරගම සිය 'දේශීය සිනමා වංශය - ප්‍රථම කාණ්ඩය ' හි සඳහන් කරන්නේ 1970 දශකයේදී සුහුඹුලු ව වැඩෙන සමාජ යථාර්ථ රීතියේ මූලබීජ අවිධිමත්ව හෝ ගැබ් වූ පළමු සිනමාපටය 'පොඩි පුතා' ය යන්න ය.

දිළිඳුකම නිසා උසස් අධ්‍යාපන වරම් අහිමි වන්නට ඉඩ ඇති තරුණයන්ගේ හා කෙසේ හෝ ජීවත්වීමට යත්න දරන වැඩි ඉගෙනුමක් නැති තරුණයන්ගේ ඉරණම 'පොඩි පුතා' හි දී විවරණයට විමලවීර වෑයම් කරයි. පුතුන්ගේ අභිවෘද්ධිය පිණිස ම කැප වන පියකුගේ චරිතයයි වැඩි පුර ඉස්මතු වන්නේ. පොඩි පුතා වන ආනන්ද ,පියා වූ විමලවීර හා අනෙක් පුත්‍රයා වන ඩී.ජී.හෙට්ටිආරච්චි සමඟ කරට කර රංගනයෙහි නිරත වන්නට උත්සුක වන්නේ පෙම්වතිය වූ පුෂ්පා ජෙනට්ගේ ද සහායෙනි. පුෂ්පා , එ දවස සිනමා තාරකාවකි. ආනන්ද - පුෂ්පා සුසංයෝගයක ඇති වෙළෙඳපොළ වටිනාකම පිළිබඳ අදහසක් ද මෙහිලා ඉස්මතු කෙරිණි.

සිරිසේන විමලවීර සිය 'මා ආලේ කළ තරුණිය' සිනමාපටයේ පෙම්වතාගේ චරිතය නිරූපණයට තෝරා ගන්නේ ආනන්ද නොව අරුණ ශාන්ති ය.මේ වන විට පෙම්වතාගේ චරිතයට ආනන්ද නුසුදුස්සකු නොවන වග පසක් කොට තිබිණි.විශේෂයෙන්ම ඒ එම්.මස්තාන්ගේ පළමු ලාංකේය සිනමාපටය වන 'සුකුමලී' (1957) වෙතින් ය. දකුණු ඉන්දියානු දමිළ භාෂිත සිනමාපටයක අනුකරණයක් වූ 'සුකුමලී' හි දී ආනන්ද සුකුමාල පෙම්වතකු ම නො වේ. සමකාලීන සිනමා තරකාවක් වූ අයේෂා වීරකෝන් සමඟ ආනන්ද ජවසම්පන්න හා සටන්කාමී පෙම්වතකු ප්‍රතිනිර්මාණයට වෙහෙසෙ යි. දුෂ්ටයා වූ ලැඩී රණසිංහ, ආනන්දගේ පෙරට ඒම වෙත ලබා දුන් අවකාශය ද සිහිකටයුතු ය.

'සුකුමලී' තිරගත වීමට පෙරාතුව සිනමා රසිකයාට සමීප වූ ශාන්ති කුමාර්ගේ 'ජීවිත සටන' (1957) හි දී ආනන්දට ලැබෙන්නේ ද ප්‍රේමණීය තරුණයකුගේ චරිතයකි. අයේෂා වීරකෝන්ට පෙම් කරන ආනන්ද පසුව ඇය විවාහ කර ගන්නේ ප්‍රේමනීය දිවිසැරියක් ම අපේක්ෂාවෙනි. එනමුදු ආනන්දගේ චරිතයට හදිසියේම මියයන්නට සිදු වෙයි. සිනමාපටය දිවෙන්නේ ඔහුගේ පුත්‍රයාගේ අත්දැකීම් හරහා ය. කුඩා චරිතයක් නිරූපණයට වුව තමා සූදානමින් සිටින බව යි ආනන්ද 'ජීවිත සටන' හිදී පවසන්නේ. සිනමා රසිකයන් ද ආනන්දගේ කුඩා චරිත නිරූපණ ඉවසා සිටියේ යැයි සිතේ. කෙසේ වෙතත් සිය අවසන් සිනමා සහභාගීත්වය වූ විමලවීරගේ 'වනමල' හි ප්‍රධාන චරිතය ආනන්ද විසින් නිරූපණය කරනු ලබන්නේ කුඩා චරිත නිරූපණය කළ ද තමා 1950 දශකයේදී පායා ආ සුපිරි සිනමා තාරකාවක් ම වන බව අවධාරණය කරමිනි.

විමලවීර 'මා ආලේ කළ තරුණිය'හි දුෂ්ටයාගේ චරිතය ආනන්දට ලබා දෙන්නේ අරුණ ශාන්ති පෙම්වතා සේ හඳුන්වා දීමට යටත්ව ය. ආනන්දගේ සමීපතම තරගකරුවන් අතර සුමිත් බිබිලේ සේම අරුණ ශාන්ති හා ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න ද සිටි බව මෙහිදී සඳහන් කළ යුත්තක් වේ. දුෂ්ටයා වූ ආනන්ද ,පෙම්වත් අරුණ ශාන්තිගේ පෙම්වතිය වන කුමාරි මානෙල්ගේ ප්‍රහාරයකින් මිය යන්නේ අනපේක්ෂිතව ය. 'මා ආලේ කළ තරුණිය' සමඟ ආනන්ද සිනමකරුවන්ට සේම සිනමා නිෂ්පාදකයන්ට ද පවසන්නේ තමා සිනමාවේ බිහිසුණු දුෂ්ටයකු වීමට වුව සූදානම් ය යන්න ය.

වීර චරිත හා ප්‍රතිවීර චරිත එකම සමයක නිරූපණය යම් සිනමා රංගන ශිල්පියකුගේ ජනප්‍රියත්වය අභියෝගයකට ලක් කිරීමට වුව හේතු විය හැකිය. කෙසේ නමුත් 1960 දශකයෙන් අනතුරුව විජය කුමාරතුංග හා රවීන්ද්‍ර රන්දෙණිය වීර චරිත ද, ප්‍රතිවීර චරිත ද නිරූපණයට එක් වීමෙන් ජනප්‍රියත්වය හීන කර නො ගත් බව සත්‍යයකි. එනමුදු ස්වීයත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න හා නා නා විධ සීමා කිරීම් වඩා සක්‍රිය ව පැවැති 1950 දශකයේදී රංගන ශිල්පි ශිල්පිනියන්ට නොවෙනස්ව සිටීමට බල කෙරිණි. මේ තත්ත්වය මධ්‍යයේ ආනන්දගේ මෙම රංගන පරාසය සමකාලීන ලංකේය සිනමා රංගනයේ තීරණාත්මක ස්ථාන පිළිඹිබු කරන්නක් ද වේ.

'වනමල' හි දී සිරිසේන විමලවීර මූර්ති ශිල්පයෙහි දක්ෂ ගැමි තරුණයකුගේ චරිතය ආනන්දට පිරිනමයි. කුමාරි මානෙල් සමඟ ඔහු සමකාලීන ගැමි පෙම්වතාගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්නේ සිය ආකර්ෂණීය රූප කාය ද මනාව ඉවහල් කර ගනිමිනි. එක් අතකට 'වනමල' ගම හා නගරය පිළිබඳ සම්මත කියැවීම තවත් වටයකින් ගෙන හැර පෑමකි. ගමෙන් නගරයට එන මේ ප්‍රේමවන්තයා නළඟනකගේ ඇසුරට වැටී විනාශ මුඛයට යන වග විමලවීර පවස යි. මෙවැනි සිනමාපට ගණනාවකින්ම ලාංකේය වෘත්තාන්ත සිනමාව සමන්විත ය. ඇතැම් ප්‍රතිභාසම්පන්න සිනමාකරුවන් පවා මේ තේමාව කෙරෙහි දැක්වූයේ නොමඳ අවධානයකි. නගරයේ අසිරිය, නිදහස්කාමී ජීවන විලාසය දෙස ධනාත්මකව බැලුවේ නම් ලද හැකි දරුණු විචාර ප්‍රතිචාර පිළිබඳ අවබෝධයක් විමලවීර තුළ තිබුණේ යැ යි සිතේ. ලෙස්ටර් ද 'රේඛාව' නිර්මාණය කොට ලබා ගත්තේ එබඳු දරුණු විචාර ප්‍රතිචාර ය.

වර්ෂ 1960 දී ආනන්ද විදෙස් ගත වන්නේ 1960 දශකයේ දීප්තිමත් සිනමා තාරකාවක් බවට පත් වීමේ ඉඩකඩ විවර ව පැවැති පසුබිමක යි. මේ වන විට ආනන්ද විසි හය හැවිරිදි තරුණයෙකි. එසේම මුල් පෙළේ සිනමාකරුවන් කිහිප දෙනෙකුගේම අවධානයට ලක් වෙමින් සිටි අයෙකි. ප්‍රේක්ෂක මනාපය ද සහිතව ය.

විදෙස් ගත වූ ලාංකේය කලා ශිල්පීනට සිය කුසලතා ප්‍රදර්ශනයට ඇතැම් විට ලැබෙන්නේ අනපේක්ෂිත හෝ අහඹු අවස්ථා ය. එසේම වැඩි දුරක් යා නොහැකි මාදිලියේ අවස්ථා ය. ආනන්ද ද මේ ඉරණමේ කොටස්කරුවෙකි. ලන්ඩනයේ රූප ගත කෙරුණු ජී.ඩී.එල්.පෙරේරාගේ 'රට ගිය ඇත්තෝ' ටෙලි නාටකයේ එක් චරිතයක් ආනන්ද නිරූපණය කරන්නේ මෙය පසක් කරමිනි. ජී.ඩී.එල්.පෙරේරා ද සිය සාර්ථකම අවධියේදී එංගලන්තය බලා ගිය සිනමාකරුවෙකි.

සිනමාවට එක්වීමට පෙරාතුව ආනන්ද වෙත ලැබුණු සුවිශේෂ අවස්ථාවක් මේ මොහොතේදී සිහියට නැගේ. ඒ පසුගියදා අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය මහ රැජන වර්ෂ 1953 දී මෙරටට පැමිණි විටදී ය. ඇය පිළිගත් අවස්ථාවක ශේෂා පලිහක්කාර හා ටයිටස් තොටවත්ත සමඟ නර්තන ජවනිකාවක් ඉදිරිපත් කිරීමට ඒ අනුව ආනන්දට අවකාශ සැලසිණි.

ලාංකේය සිනමාව ජනගත කිරීමට රංගන ශිල්පි ශිල්පිනියන් දැක්වූ ඉමහත් දායකත්වය ඇගැයීමේ විවිධ ප්‍රයත්න තවදුරටත් දක්නට ලැබේ. මෙහිලා මඟ හැරෙන්නවුන් ද සිටින බව නොරහසකි. ඇතැම් තැනක දී ආනන්දට සිදු වන්නේ ද මඟ හැරෙන්නට ය. ගෙවුණු දශක කිහිපය හා ඔහුගේ අභාවය අතර කාල පරිච්ඡේදය දෙස බැලීමේ දී මෙ කරුණ සනාථ කර ගත හැකි වනු ඇත.