වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
එය දුක දිනා පැමිණි දිගු ගමනක්

ප්‍රවීණයන්ට සේම නවකයන්ටත් මම සංගීත නිර්මාණ බොහොමයක් කළා
මගේ පින්තූරයක් යොවුන් ජනතා පත්‍රයේ කවරයේ තිබුණ දවසේ මට පුදුම සතුටක් දැනුණා
හැත්තෑව දශකයේ කලාක්ෂේත්‍රයේ බොහෝ ඉසව් සොයා යාම ඇරඹී මේ පුද්ගලයා අසුව දශකයේ කලාකෙතේ අස්වනු වැපුරුවේ දහසකුත් අපේක්ෂාවන් සිත්හී දරාගෙනය. දුක්ඛ දෝමනස්සයන් විඳදරා ගනිමින් සිය අභිප්‍රාය කරා දුෂ්කර ගමනක් පැමිණි ඔහු අද වන විට මෙරට ප්‍රධාන පෙළේ ගායකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු වී හමාරය. ගීත ගායනයෙන් සේම තනු නිර්මාණයෙන් සෙමින් ගමනක් පැමිණි ඔහු නමින් සෙනෙවිරත්න වන්නිනායකය.
කලාක්ෂේත්‍රයේ වන්නි යන කෙටි නාමයෙන් කා අතරත් සිත් දිනා සිටින මේ ගායකයා සංගීතඥයා හා අපි කතාබස් කරමු.
කලාකරුවකු වීමේ සිහිනයේ තිඹිරිගෙය ගැන අතීතය සිහිපත් කළොත්?
ඒ අතීතයේ තිඹිිරිගෙය වන්නේ මගේ ගම. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ගමේ හැදුණ වැඩුණ මා කුඩා කල පටන් ගමේ නිර්මාණය වූ කලා කටයුතු සඳහා බොහෝ ඇල්මකින් යුතුව සහභාගි වුණා. අපේ ගමේ හිටියා ඉස්කෝල මහත්තයෙක් රත්න මලල කියලා එතුමාගේ සිරිතක් තිබුණා සෑම වසරකටම ගමේ නාට්‍යයක් සංවිධානය කිරීමටත් වෙසක් පොසොන් උත්සවවලට භක්ති ගීත වැඩසටහනක් කිරීමටත් අමතක කළේ නෑ. රත්නමලල මහතා සංවිධානය කරන නාට්‍යවල වගේම භක්ති ගීත කණ්ඩායමෙත් මම සාමාජිකයෙක් වෙලා කටයුතු කළා. මට මතකයි එක් වරක් එතුමා සංවිධානය කළ වේදිකා නාට්‍යයක මම බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට රඟපෑවා. ගමේ තරුණ පිරිස් එකතුව ඉදිකරන පොල්කොට වේදිකාවේ තමයි මගේ රංගනයේ කළඑළි බැසීම සිද්ධ වෙන්නෙත් ගායනයේ දොරටු විවර වෙන්නෙත්. එදා භක්ති ගීත ගායනයේත් මගේ ගායනා හැකියා එළි දකින්නේත් මුලින්ම පොල්කොට වේදිකාව මත.
ගායකයකු වීමේ සිහිනය ඔබට ජයගැනීමට මුලාරම්භයක් ගොඩ නැගෙන්නේ කොයි ආකාරයට ද?
මට සින්දු කියන්න පුුළුවන් කියන දේ ගමේ හැමෝම දැනගෙන හිටියා. මොනයම් හෝ විධියක ආරාධනාවක් මට ලැබුණොත් ගමේදී මා ගීත ගායනය කළ අවස්ථාත් තිබුණා. ඒ නිසා ගමේ බොහෝවිට මගේ ගායනා හැකියාවට හොඳ ප්‍රතිචාරයක් තිබුණා. ඔය කාලවකවානුවේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය ආරම්භ කෙරුණා. අපේ ගමේ හිටියා කුමාර එප්පාවල කියලා දක්ෂ තබ්ලා වාදන ශිල්පියෙක්. ඔහු එවක ආරම්භ කළ රජරට සේවයේ තබ්ලා වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කළා. මගේ ගායන හැකියාව දකින කුමාර එප්පාවල මාව රැගෙන යනවා රජරට සේවයට. එහි ස්ටුඩියෝ එකේ සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන හැටි මම බලා ඉන්නවා. මට හොඳට ශ්‍රැතියට ගීත ගායනා කරන්න පුළුවන් කියලා කවුරුත් දැනගෙන හිටියා. දවසක් රජරට සේවයට ගිය වෙලාවක ස්ටුඩියෝවක් රෙකෝඩින් එකකට සුදානම් කරල තිබුණා. රජරට ගුවන් විදුලියේ වාදක මණ්ඩලයත් ඒ සඳහා ලහි ලහියේ සුදානම් වෙමින් හිටියා. මමත් ඔවුන් සමඟ තිබු මිත්‍රකම නිසාම ස්ටුඩියෝව ඇතුළටත් යනවා. දවසක් ඒ ගිය වෙලාවක මට හිතුණා ස්ටුඩියෝ එකේ තියෙන මයික් එකකට සින්දුවක් කියන්න මම දැනගෙන හිටියේ නෑ. මයික් ඔන් එකේ තියනවා කියල. මම සින්දුවක් කිව්වා ඕක බලන් හිටියා එදා වැඩසටහන් බාරව සිටි ස්වර්ණ ගී‍්‍ර බණ්ඩාර මහතා එතුමා මට අතින් කිව්වා දිගටම සින්දුව කියන් යන්න කියලා සින්දුව අවසානයේ එතුමා මට ප්‍රසංසා කරනවා මගේ ගායන හැකියාව ගැන. රජරට සේවයට මා නිතර පැමිණිමත් සමඟ එහිදී මට එවක නවරැල්ලේ ගායකයකු වූ කරුණරත්න දිවුල්ගනේ, මාධ්‍යවේදී ජී.ටී. වික්‍රමසිංහ වගේම එවක දඬුවම් මාරුවක් ලබා රජරට ගුවන්විදුලියට එක් වූ ගුණදාස කපුගේ මහතා හඳුනාගන්න ලැබෙනවා. මගේ ගායන හැකියා ඔපමට්ටම් කරගැනීමේ ගුරුහරුකම් මැද ආශීර්වාදයක් මේ හැමෝම මට රජරට ගුවන් විදුලියේදී ලබා දෙනවා.
ආර්ථික පසුබිම ඔබේ ගමනට බාධාවක් වෙනවා නේද?
මා අධ්‍යාපනය ලැබුවේ ඒප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ. අපිට තිබුණු දැඩි ආර්ථික පසුබිම තුළ උසස් අධ්‍යාපන වරම් ලබන්න මම වාසනාවන්ත වුණේ නෑ. අපේ පවුලේ අට දෙනෙක්. ඒ නිසාම මට රැකියාවක් කිරිමේ අවශ්‍යතාවය ඇති වුණා. ඒ සඳහා රාජ්‍ය පතල් කැණීම් හා වාණිජ නීතිගත සංස්ථාවේ ඒප්පාවල පොස්පේට් ආයතනයේ කම්කරුවෙක් ලෙස මම රැකියාවට යන්න සිද්ධ වුණා.
මහවැලි සංස්කෘතික බළකාය මඟින් කලාලොවට දායාද කළ කෙනෙක් ඔබ?
1986 දෙසැම්බර් 07 වැනිදා තමයි සප්ත කලාපීය මහවැලි සංස්කෘතික බළකාය ආරම්භ කළේ තෝරාගත් සාමාජිකයන් 105 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගිරාදුරුකෝට්ටේ මහවැලි ශ්‍රවණාගාරයේ තමයි මුලින්ම ආරම්භ කළේ. එහිදී මා එතෙක් කරමින් සිටි රැකියාව අතහැර දමා සංස්කෘතික බළකායට බැදී ගායනය, වාදනය නාට්‍යකරණය න්‍යායාත්මත්ව හා ප්‍රායෝගිකව හැදැරීමක් සිද්ධ කරනවා. එහි දී මගේ ගුරුවරු වන්නේ රජිත් ගාමිණී විජේසේකර, වී හේමපාල පෙරේරා, ඩොරික් ද සිල්වා, මර්වින් ප්‍රියන්ත ආයතනය තුළ ඉගෙන ගන්නා අතරතුර මට රැකියාවක් ලැබුණා. මහවැලි සංස්කෘතික බළකායේ ස්ථානභාර නිලධාරීවරයා ලෙසින් කටයුතු කරන්න. එහි මම වසර 12ක කාලයක් සේවය කරනු ලැබුවා. එහිදී මට මෙරට කලාක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ බොහෝ පිරිසක් සමඟ වැඩ කිරිමටත් ඔවුන්ගෙන් යම් යම් දේ ඉගෙන ගන්නත් මට වාසනාව උදාවුණා.
කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් නොවේද ඔබව ගායකයෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් දක්වා රැගෙන එන්නේ?
එතුමා මට 1986 වසරේ මුණ නොගැසෙන්න මම අදටත් නිකම්ම නිකම් කම්කරුවෙක්. මගේ දෛවයේ හාස්කමකට තමයි එතුමා මට මුණගැසෙන්නේ.සප්ත කලාපීය මහවැලි සංස්කෘතික බළකායේ නිර්මාතෘවරයා තමයි සතිස් සර් 1986 දී එතුමා මේ ආරම්භ කරන යෝධ පියවර මේ රටේ කලාක්ෂේත්‍රය පෝෂණයට මහඟු මෙහෙවරක් සිද්ධ කරනවා. සැඟවුණු කුසලතා පිරුණු දක්ෂ පිරිස් රටට හඳුන්වාදෙන්න මෙතුමා ගත් යෝධ ශක්තිය වචනයෙන් කියා නිම කරන්න බෑ.
මහවැලි කලාපයේ කලාප හතක් තිබුණා. මේ කලාප හත තුළින්ම තමයි දක්ෂයෝ තේරුවේ. ඒ සම්මුඛ පරීක්ෂණ සඳහා මාත් ඉදිරිපත් වුණා. . මේ සංස්කෘතික බලකාය සඳහා දක්ෂයෝ තෝරා ගැනීමේ කටයුත්තේ දී රජරට සේවයේ සහයෝගයන් ලබාගන්නා වාද්‍ය වෘන්දය විධියට සහභාගි කරගන්නෙත් රජරට සේවයේ වාද්‍ය වෘන්දය. මගේ ගම වූ එප්පාවල එදා තිබුණේ කළු සුදු රූපවාහිනී තුනයි. ඔය රූපවාහිනී තුන තියන ගෙවල්වලට ගිහින් තමයි අපි මොනයම් හෝ දෙයක් බැලුවේ. ඔය කාලයේ තාරාදේවි ටෙලි නාට්‍ය විකාශය වන කාලය මමත් එය නැරඹුවා. ළඟ ගෙදරකට ගිහින් ඔය නාට්‍යයේ සතිස් සර් රඟපෑවා එතුමාව රූපයෙන් දැකලා තිබුණේ ඒ ටෙලි නාට්‍යයේ කවදාවත්ම සැබෑවට දැකලා තිබුණේ නෑ. මහවැලි බළකායට ඇතුල් වෙන්න මාත් ඉල්ලුම්පතක් දැම්මා. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයට ඇවිත් හිටියේ සතිස් සර් මට ගීතයක් ගායනා කරන්න කිව්වා මම ගායනා කරන දිහා සතිස් සර් බලන් හිටියා. ගීතය අවසානයේ එතුමා අත්පුඩි ගැසුවා. මගේ ගායනය වෙනුවෙන් ඊට පස්සේ මට තව ගීතයක් ගායනා කරන්න කිව්වා. මම නුර්ති ගීතයක් ගායනා කළා එතුමා බොහොම ආශාවෙන් නැවතත් මට අත්පුඩි ගසා මගේ ගායනයට ප්‍රතිචාර දැක්වුවා. මට ළඟට කතාකළා. ගායකයෙක් වෙන්න අසා ද කියලා ඇහුවා. මම ඔව් සර් කිව්වා. මගෙන් නම ඇහුවා විස්තර ඇහුවා ඔබට හොඳ අනාගතයක් තියෙනවා. අපි ඔයාව තෝරගත්තා. අනාගතයේ දක්ෂයෙක් වෙන්න අපි මේ කරන වැඩෙන් උපරීම ප්‍රයෝජන ගන්න කියල මට අවවාදයකුත් එතුමා දුන්නා.
ඔබේ ගායන දිවියේ ආරම්භය සඳහා තෝරාගත්තේ කාගේ ගීත ද?
මම බොහෝවිට පි‍්‍රය කළේ සෝමතිලක ජයමහ, සුනිල් එදිරිසිංහ මහත්වරුන්ගේ ගීත ගායනා කරන්න.
වැඩිකලක් යන්නට මත්තෙන් ඔබේ හැකියාවන් සඳහා අතුපතර විහිදාලන්නට ඉඩ ප්‍රස්තා විවර වෙනවා නේද?
මහවැලි සංස්කෘතික බළකාය හරහා ලැබෙන පුහුණුව තුළ මට බොහෝ ප්‍රවීණයෝ ඇසුරු කරන්න ලැබෙනවා. රජරට ගුවන්විදුලියේ කාරුණික මහතුන්ගේ උදවු උපකාර මත මගේ හැකියාවන් එළි දක්වන්න මාධ්‍ය දායකත්වයක් ලැබෙනවා. 1993 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් බවට පත්වෙන්න මට හැකියාව ලැබෙනවා.
රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ හමුවීමත් ඔබගේ ගායන දිවියට සේම සංගීත අධ්‍යක්ෂණයට මහඟු පිටිවහලක් වෙනවා නොවේද?
1993 දී තමයි මට රඹුකන සිද්ධාර්ථ හිිමියන් මුණ ගැසෙන්නේ. ලංකාවේ ඉන්න ප්‍රවීණ ගීත රචකයෝ සංගීත අධ්‍යක්ෂවරු මට හඳුන්වා දෙන්නේ මේ ගරුතර ස්වාමීන් වහන්සේ මගේ කුලුඳුල් කැසට් පටය වූ කඳුළු මිටියාවතේ එළි දක්වන්න මට සියලු මඟ පෙන්වීම් සිද්ධ කළේ රඹුකන සිද්ධාර්ථ හිමියන්. ප්‍රවීණ ගීත රචකයෝ සංගීත අධ්‍යක්ෂවරු මට මුණගස්සන්නේ මේ හිිමියන්. මගේ හීනය ශ්‍රාවකයන් අතරට එක් කළේ ගරුතර ස්වාමීන්වහස්සේ. ඔය වකවානුවේ එෆ් එම්. නාළිකා වැඩි වශයෙන් තිබුණේ නෑ. තිබුණේ වෙළෙඳ සේවය, සිටි එෆ්.එම්. රජරට සේවය, ස්වදේශීය සේවය පමණයි.
ඔබේ බිරිය රචනා කරන ගීතයක් නිසාවෙන් ඔබ වඩාත් ජනපි‍්‍රය වෙනවා.
මම ගායන කරන කඳුළු මිටියාවතෙ.... ගීතය රචනා කරන්නේ මගේ බිරිය සුසිලා මංගලිකා ඇය ගුරුවරියක්. මහවැලි සංස්කෘතික බළකායේ නැටුම් අංශයේ තමයි ඇය රැකියාව කළේ. මගේ මුල්ම කැසට්පටය නම් කරන්නෙත් ඈ අතින් රචනා චූ ගීතය ඇතුළත්ව කඳුළු මිටියාවතෙ නමින් මෙය 1993 වර්ෂයේ දී මා රසිකයන් අතරට එක්කරනවා.
ඔබ වෙනුවෙන් ගීත රචනා කළ බොහෝ දෙනා අතර සුවිශේෂී අයත් ඇති?
රඹුකන සිද්ධාර්ත හිමි සුනිල් ආර් ගමගේ, බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල නානායක්කාරවාසම්, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, කපිල එම්.ගමගේ ආදීන් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම මට ශක්තියක් වූ එච්.එම්.ජයවර්ධන, රෝහණ වීරසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා පි‍්‍රයදර්ශනී පීරිස් මාලිනී බුලත්සිංහල, අජිත් ජයවීර, උපාලි ආරියසිරි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
නැවත වරක් ඔබ සිරිපොද මල් නමින් සංයුක්ත තැටියක් එළිදක්වනවා නේද?
මීට වසර 15කට පෙර තමයි මම සිරිපොද මල් එළි දක්වන්නේ. මේ සඳහා මට නිෂ්පාදන දායකත්වය ලබාදෙන්නේ නිමල් විජේසිරි මහතා. ඒ සඳහා මට ශක්තියක් වෙනවා ගංගාරාමයේ ඉංගී‍්‍රසි අංශයේ කටයුතු කළ තිලක් ඒකනායක හා සමන් ඒකනායක මහත්වරුන්.
කොළඹින් දුර බැහැර වීම ඔබේ ගමනට බාධාවක් වුණේ නැද්ද?
මගේ රැකියාව නිසාත් කොළඹ දුර බැහැර වීමත් මට මේ ගමන එන්න ලොකු අභියෝගයක් වුණා. මට කොතරම් හැකියාව තිබුණාත් ඒ හැකියාව තුළ මට වැඩකිරිම මේ දුරස්භාවය දැඩිව බලපෑවා. මේ නිසාම ජනපි‍්‍රය තලයේ අඛණ්ඩව රැඳී සිටීමට මට නොහැකි වුණා කියන දේ මම පිළිගන්නවා. කාලයාගේ ඇවෑමෙන් සුභාවිත ගීත ගායනයේ ස්ථාවරභාවයක් ගොඩනගාගත් මා ගායනයට අමතරව සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් ද කටයුතු කරනවා.
මේ වන විට වන්නිනායකගේ ස්වර රටා ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ මෙන්ම නවකයන්ගේ හඬට ද අපුුර්ව වටිනාකමක් එක්කර හමාරයි නේද?
ප්‍රවීණයන්ට සේම නවකයන්ටත් මම සංගීත නිර්මාණ බොහොමයක් මේ මෑතකදී කළා. ඒවා මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් එළි දක්වලත් තියෙනවා. කීර්ති පැස්කුවල්, චන්දන ලියනාරච්චි, ක්‍රිෂාන්ත එරන්දක, වසන්තා තිලකාංගනී වැනි ප්‍රවීණ ශිල්පීන් කීප දෙනෙකුටම ගීත නිර්මාණය කළා. ඉන්දික ලියනගේ, නිපුණි නයන තාරා, දේවිකා චතුරාණි වැනි නව පරපුරේ ශිල්පීන්ටත් කළ නිර්මාණ කීපයක් ඉදිරියේදී එළිදකින්නත් තියෙනවා.
1993 වසරේ නිකුත්වෙන ඔබගේ කඳුළු මිටියාවතෙ කැසට් පටයත් සමඟ ජනප්‍රිය වන ඔබගේ රුවත් සමඟ එවක යොවුන් ජනතා පත්තරය හැඩවෙනවා නේද?
ඔව්. මම දැනගෙන හිටියේ නෑ. මගේ පින්තූරයකින් පත්තරයේ පිටකවරය හැඩවෙයි කියල කවදාවත් කැසට්පටය ජනපි‍්‍රයවීමත් සමඟ පත්තරෙන් මගේ විස්තර වගයක් ගත්තා. පින්තූරත් ගත්තා. ඒ ඇරෙන්න වෙන දෙයක් මම දැනගෙන හිටියේ නෑ. ඒ දවස් වල යොවුන් ජනතා පත්තරය රු.3.50යි. දවසක් මම කොළඹ මහවැලි කේන්ද්‍රයේ සිට ගිරාදුරුකෝට්ටේ දක්වා යන අතරතුර මා ගමන්ගත් වාහනය රැගෙන ගිය රියදුරු වුයේ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි දිසානායක අපි දෙන්නා එන කොට පෑලියගොඩ හරියේ දී කඩයක එල්ලා තිබුණ පත්තරයක් දැක්ක. දිසානායක අයියා වන්නි මල්ලි අන්න ඔයාගේ පින්තුරය කඩේ එල්ලලා කියල මට කෑගැව්වා. ඒ පාර ළඟට ගිහින් බලනකොට කතාව ඇත්ත. මගේ පින්තූරයක් යොවුන් ජනතා පත්තරයේ කවරයට ගිහින් මම ඒ කඩෙන් පත්තර දෙකක් මිලට ගත්තා.මට හරිම සතුටුයි. පත්තරේ ගිහින් තියන මගේ පින්තූරය දිහා බලන් ඉන්න මට හිතේ දැනෙන සතුටට ඇස්වලට කඳුළුත් පිරෙනවා. කොහොම හරි අපි දෙන්නා නුවරට එනකොට සතුට වැඩි කමට පත්තර 13ක් මිල දී ගෙන තිබුණා. පාරේ එනකොට පත්තර කඩේක එල්ලා තියන මගේ පින්තූරය ඇති යොවුන් ජනතා පත්තරයක් දකින හැම තැනකින්ම අපි දෙන්නා පත්තරය ගානේ මිල දී ගත්තා. ඒ වගේ සුන්දර මතකයක් එහෙමත් මගේ කටුක ගමන් මඟේ තියෙනවා.
ඔබ ආ ගමන් මඟ ගැන ආපසු හැරිල බලන කොට අද මොකද හිතෙන්නේ?
අද වෙන කොට මගේ කලා දිවියට වසර හතළියක් මේ දශක හතර පුරා මම ආවේ මල්යහන මත නොවෙයි. මේ තැනට අද එන්න මම ගොඩාක් කැපකීරිම් කළා. ඒ අවංක කැපකිරීමට මට ගිහිපැවිදි බොහෝ ප්‍රවීණයන්ගෙන් ගුරු හරුකම් ලැබුණා. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබුණා. ගායකයකු ලෙස ගමනක් ඇරඹු මට අද සංගීත අධ්‍යක්ෂවරයකු දක්වා පැමිණි ගමන තුළ අමිහිරි මතකයනුත් නැතුවා නොවෙයි.
ඔබේ ඉදිරි සුදානම කොයි වගේද?
මා සංගීතවත් කළ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීතත් නව පරපුරේ ගායක ගායිකාවන් සඳහා මම තනු නිර්මාණ්‍ය කළ ගීතත් ඇතුව මගේම ගීත ගායනාත් එකතුව ලොකු ප්‍රසංගයක් කොළඹ දී කරන්න මගේ ලොකු ආශාවක් තියෙනවා.
කලා ලෝකයේ සිත් රිදීම් එහෙමත් ඇති?
අනේ සර් කියල ඇවිත් දෙපා නෑම ද මගෙන් ගුරුහරුකම් ලබාගත්ත සමහරුත් තමන් අද සිටින තැනට ආවහම එතනට එන්න මඟපෙන්නපු කෙනාව අමතක කරල දාලා කතා කරපු අවස්ථා මගේ ජීවිතයේ ඕනෙ තරම්.
ඔබ මානව හිතවාදී කලාකාරයෙක්?
සහතික ඇත්ත. මම දුක් දෝත දරා මෙතනට ආපු කෙනෙක්. කෙනෙක්ගේ දුක් හොඳින් හඳුනන කෙනෙක්. අදටත් මානව හිතවාදී කලාකාරයෝ මම ආශ්‍රය කරනවා. බණ්ඩාර ඇහැලිගොඩ මහින්ද බණ්ඩාර වැනි පුද්ගලයන්ගෙන් මම ගොඩක් දේවල් මගේ ජීවිතයට එක්කරගත්ත කෙනෙක්. ප්‍රවීණ ද ආධුනික ද කියල මට භේදයක් නෑ. කවුරු හරි මගෙන් යම් සංගීත නිර්මාණයක් ඉල්ලුවොත් ඒ දේ මට කරන්න පුළුවන් උපරීමයෙන් කරදීම තමයි මගේ ප්‍රාර්ථනය. ගායකයෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉදිරියටත් පුළුවන් කාලයක් සුභාවිත ගීත ගොන්නට මගේ නව නිර්මාණ තවත් ගොන්නක් එකතු කරන්නයි මගේ අරමුණ.