වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
සිංහල සිනමාව රසවත් කළ බයිස්කෝප්කාරයා

ඉලෛරාජා මගේ ගීතවලට ප්‍රශංසා කළා
මාස්ටර් ළඟට ගියාට පස්සේ තමයි මම තේරුම් ගත්තේ මට සින්දු කියන්න බෑ කියලා
පියා විසින් තර්ජනාත්මක පනවන ලද බයිස්කෝප් බැලීමේ තහනම තඹ දොයිතුවකට මායිම් නොකර, ඔහු බලා සිටියදීම චිත්‍රපටි ශාලාවකට ඇතුළු චිත්‍රපට නරඹා ඔහුව ද මුළාකර, තමා බලාපොරොත්තු වු දේ ඒ කටුක ගමන් මඟ ඔස්සේ සාර්ථකව ගොස්, සිංහල සිනමාවට අදටත් නැතුවම බැරි මාවත් ගණනාවක් ඔස්සේ ජයගත්, නිර්මාණශිලි කලාකරුවකු වීමට ඔහුට හැකිවිය. 70 දශකයේ සුන්දර වූ සිනමා කාල පරිඡ්ඡේදයට ඔහු ලබාදුන් දායකත්වය අතිමහත්ය. ගීතයන්, පාට පොදක්, කඳුලැලි නැනේ අප රැහේ, මල් වයසේ මධු සිහිනේ, අම්මලා දුක් ගන්නේ, වැනි ගීත ඇහෙද්දි ලේ නහර වලට ලැබෙන ජවය වචනයෙන් විස්තර කළ නොහැකිය. පුවත්පත් කලාවේදියකු, චණ්ඩිපුතා, ආත්මා, බඹර පැටික්කි 150 මුල්ලෙරියාව වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණයෙන්, අධ්‍යක්ෂවරයෙක් බවට ඔහු පත්විය.
මේ දිනවල ‘යක්කල රොසලින්ව බලාපොරොත්තුවෙන් සිටින මේ නිර්මාණකරුවා සෝමපාල ලීලානන්දයි.
මුලින්ම ඔහු අතීතය සිහිපත් කළේ මෙහෙමයි.
මගේ තාත්තා තමයි සොන්දම්පෙරුම, ආරච්චිගේ ජිනදාස, අම්මා, රණසිංහ ආරච්චිගේ මරියානාහාමි සහෝදරයා එස්.ඒ. මනතුංග, නංගී එස්.ඒ. පේ‍්‍රමවතී මුල් දවස්වල අපි පදිංචි වෙලා සිටියේ නාවල පැත්තේ, ඉතිං අපේ තාත්තා අපට දාලා තිබුණු නීතියක් තමයි, බයිස්කෝප් බැලීම තහනම් කියන දේ. දවසක් අයියා හොරෙන් චිත්‍රපටියක් බලන්න ගිහිල්ලා තාත්තාට අහුවෙලා, තාත්තා මන්නයක් අරගෙන ගිහිල්ලා අයියගේ බෙල්ල කපන්න හැදුවා. අපි එකතුවෙලා යන්තම් අයියාව බේරගත්තා. තවත් දවසක් මම ක්වින්ලන්ඩ් හෝල් එකේ වීරවිජය බලන්න පෝලිමේ ඉන්න කොට, තාත්තා හොරෙන් මගේ දිහා බලාගෙන හිටියා. මමත් දැක්ක තාත්තා බලාගෙන ඉන්නවා. ඉතිං මම මගේ පාඩුවේ ෆිල්ම් එක බලලා ගෙදර එනකොට තාත්තා හාංසි පුටුවේ වාඩිවෙලා ඉන්නවා. මාව දැක්ක ගමන් ඇහුවා කොහෙද ගියේ කියලා. මම කිව්වා චිත්‍රපටි බලන්න ගියා කියලා. එතකොට තාත්තා කිව්වා මම කියලා තියෙනවානේ බයිස්කෝප් බලන්න එපා කියලා. එතකොට මම කිව්වා ඉස්කෝලෙන් කිව්වේ, විජය කුමාරයාගේ කතාවනේ බලන්න කියලා එහෙම කියලා බේරුණා. අද තාත්තා හිටිය නම් මට මොනවා කරයිද දන්නේ නෑ.
ලියන්න පුරුදු වුණේ ඉස්කෝලේ කාලේද?
ඔව්. ඉස්කෝලේ යන කාලේ තමයි ලියන්න පුරුදු වුණේ. අපේ පාසලේ හිටියා හෙට්ටියාවත්ත කියලා සිංහල ගුරුවරයෙක්, එතුමා හරි අපුරුවට සාහිත්‍ය ලියනවා. මං ඒකට ආස හිතුණා. මමත් එතුමා වගේ අකුරු පවා ලස්සනට ලියන්න පුරුදු වුණා. එතුමා හිටියා නම් අදත් මම එතුමාට වඳිනවා. මගේ පුරුද්දක් තිබුණා, නිතරම කියවන්න පත්තරේ. අකුරක් නෑර කියවනවා. කොච්චර කියවනවාද කිව්වොත්, පත්තරය මුද්‍රණය කළ සමාගම ගැන සඳහන් කරලා තියෙවානේ.ඒකත් කියවලා තමයි නතර කරන්නේ.
ඔහොම ගිහිල්ලා සින්දු කියන්නත් ඕනෑ වුණා නේද?
සින්දු කියන්න ආසාවක් ආවා ඒ නිසා ගුවන් විදුලි සංස්ථාවට ගිහිල්ලා චිත්‍රානන්ද අබේසේකර මහත්තයාව මුණ ගැහුණා. ඊට පෙර ගුවන් විදුලියට ගිහිල්ලා තිබුණා ළමා පිටියේ වැඩසටහනකට. එදා චිත්‍රානන්ද අබේසේකර මහතා කිව්වා සින්දු කියන්න සංගීතය ඉගෙන ගන්න යන්න කියලා. මම සංගීතය ඉගෙන ගෙන නැති නිසා, සංගීතය ඉගෙන ගන්න මාව කේමදාස මාස්ටර් ළඟට යැව්වා. මාස්ටර් ළඟට ගියාට පස්සේ තමයි මං තේරුම් ගත්තේ මට සින්දු කියන්න බෑ කියලා. ඊට පස්සේ මාස්ටර් මගේ විස්තර අහලා මට කිව්වා මාස්ටර්ගේ සංගීත මංජරියට එන්න කියලා.
ඔය කාලේ නේද සංගීතඥ සරත් දසනායකව මුණ ගැහුණේ?
ඔව් ඒ කාලේ තමයි ඔහුව මුණ ගැහුණේ. කාලයක් ගිහිල්ලා කේමදාස මාස්ටර් ‘කැලෑමල්’ ගීත නාට්‍යය පටන් ගත්තා. මේ ගීත නාට්‍යයේ ජෝ අබේවික්‍රම, ස්ටැන්ලි පෙරේරා, ධර්ම ශ්‍රී රණතුංග, නාලිනි අබේපාල සහ ලතා දිසානායක තමයි රඟපෑවේ. ඉතිං මේ නාටකය අරගෙන මුළු ලංකාව පුරා යනවා. නාටකය හරිම ජනප්‍රියයි. හැම තැනම පේ‍්‍රක්ෂකයන්ගේ ශාලා පිරි ඉතිරිලා ගියා. දවසක් වාදන මණ්ඩලය කර්ඕඒ හී තිබුණු නාට්‍යයට ලැබෙන මුදල් ප්‍රමාණය මදි කියලා වාදනය කරන්න බෑ කියලා තියෙනවා. මේ නිසා කේමදාස මාස්ටර්ට තරහ ගිහිල්ලා හිටියේ. මම මේ සිද්ධිය දැන ගත්තට පස්සේ මාස්ටර්ට කිව්වා. මාස්ටර් අපි ඉල්ලන මුදල දෙන්නම් කියලා කියමු. සල්ලි දෙන්නේ දර්ශනයෙන් පස්සනේ කියලා. ඒක ඒ වේලාවට බලාගමු කියලා ඒ.ජේ. කරිම්, රොක්සාමිල තමයි මුදල වැඩිකරලා ඉල්ලලා තිබුණේ. පහුවදා කේමදාස මාස්ටර් මට කිව්වා හේවුඩ් කියලා සංගීත නිකේතනයක් තියෙනවා ඒකේ දක්ෂ කොල්ලෝ ටිකක් ඉන්නවා. ඔයා ගිහිල්ලා ඒ ගොල්ලෝ ඒකක අපේ නාට්‍යය ගැන කතා කරන්න කියලා. එහිදී මට විජේරත්න රණතුංග, මර්වින් පෙරේරා, වික්ටර් රත්නායක, සරත් දසනායක ඇතුළු පිරිස මුණ ගැහුණා. ඊට පස්සේ තමයි ඔවුන් සියලු දෙනා සංගීත මංජරියට ඇතුළත් වුණේ. මටත් දිගටම සංගීත මංජරියේ නතර වෙලා ඉන්න අවස්ථාව මාස්ටර් ලබා දුන්නා.
නමුත් කාලයත් සමඟ මාස්ටර් සහ සරත් දසනායක සමඟ ඇති වූ අමනාපය මොකක්ද?
ඇත්තටම ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණේ ඇයි කියලා අදටත් මම කියන්න දන්නේ නෑ. දිනක් මාස්ටර් කිව්වා අර දසනායකට සංගීත මංජරියෙන් යන්න කියන්න කියලා. මම කිව්වා මට කියන්න බෑ. මාස්ටර් කියන්න කියලා. මම දන්නේ නෑ හේතුව මොකක්ද කියලා. ඉතිං අපි පාවිච්චි කරන යම් සටහන් දාන පොතක් තිබ්බා. ඒ පොත අපි හැමෝම බලනවා. මාස්ටර් මේ පොතේ ලියලා තියෙනවා, “දසනායකට යන්න කියලා” දසනායක පොත බලලා මට කිව්වා “මට ඇරියා නේද” කියලා. එහෙම කියලා ඔහුගේ සංගීත භාණ්ඩ ටික අරගෙන යන්න ගියා. මාත් බෑග් එක අරගෙන එළියට ආවා. එදා ඉදලා දසනායක මාත් එක්ක අමනාපයෙන් ඉඳලා තියෙන්නේ.
සේන සමරසිංහ මුණ ගැසීම හා සරත් දසනායක සමඟ මිත්‍රවීම ගැන කිව්වොත්?
මම විස්මය චිත්‍රපටයේ අධ්‍යක්ෂක බ්.ම් චාල්ස් සමඟ වැඩ කරමින් ඉන්න කාලේදී. දවසක් විස්මය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් රඟ පෑ මිල්ටන් ජයවර්ධන, මම නිතරම සිටින රාජගිරියේ ඉම්පාල සිනමා ශාලාවට ආවා. ඒ ඇවිල්ලා කිව්වා සෝමේ අලුත් ර්‍ථපධඤභජඥප කෙනෙක් හම්බ වුණා. යං යං ගිහිල්ලා කතා කරගමු කියලා. මම ඇහුවා කොහෙද කියල කෑගල්ලේ කිව්වා. ඉතිං මෙහෙම පුළුවන්ද කියලා ඇහුවා. යං යං කාර් එකෙන් යන්නේ කියලා කිව්වා. පස්සේ නැග්ගා කාර් එකට. කෑගල්ලේ ගියා. ඒ ගියේ සේන සමරසිංහ මුණ ගැහෙන්න. එදා සුහදව කතා කරල අපි එකඟතාවයකට ආවා. මම ලියන්න පටන් ගත්තා. දින දෙක තුනකට පසු ආයේ මුණ ගැහුණා. රඟපාන්න, ගාමිණි ජෝ, මාලිනි ප්‍රධාන චරිත වලට තෝරාගත්තා. කැමරාකරන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමඟ හිටපු ගෝලයෙක් මර්සිලින් පෙරේරා අරගත්තා. මිල්ටන් ජයවර්ධන රඟපෑ අක්කර පහ චිත්‍රපටයේත් කැමරා ශිල්පියා වුණේ මර්සලින් පෙරේරා.
ඊළඟ ප්‍රශ්නය කවුද සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ කියන ඒකයි. මම කිව්වා සරත් දසනායක කියලා කෙනෙක් ඉන්නවා. එයාව අරගමු කියලා. එතකොට සේන සමරසිංහ කිව්වා ඔයත් අලුත්, මාත් අලුත්, මිල්ටනුත් අලුත්, සංස්කරණ ශිල්පියාත් අලුත් වෙයිනේ. අනික ගාමිණිට, මාලිනිට ජෝ ට ලොකු මුදලක් ගෙවනවානේ. ජෝති, ඇන්ජලින්ලා සින්දු කියන්නේ. අපි සංගීතය සපයන්න පුරුදු කෙනෙක් ගමු කියලා. ඒත් කොහොම හරි විශාල සටනකින් පස්සේ මම ජයගත්තා සංගීතය සපයන්න සරත් දසනායකව තෝරාගත්තා. ඊළඟට මට තිබුණු ප්‍රශ්නේ කොහොමද සරත් දසනායකව හොයා ගන්නේ කියන එකයි.
ඔබ සරත් දසනායකව හොයන්න පටන් ගත්තේ චිත්‍රපටියට ගන්නද, නැත්තම් කරදරයක් කරන්නද?
නෑ. නෑ. චිත්‍රපටියට ගන්න. නමුත් දසනායක හිතලා තියෙන්නේ වෙන දෙයක් කොහොම හරි මම දසේව හැමතැනම හොයන්න පටන් ගත්තා. දන්න සියලුම තැන්වල බැලුවා. උගන්වපු ඉස්කොලවල බැලුවා. දසනායකව හොයාගන්න බැරිවුණා. නමුත් දවසක් බොරැල්ල ඉඳල මම ඇස්වාට්ටුවට යනවා. 103 බස් එකේ නැඟලා. ඒ වේලාවේ මම දැක්කා දසේ ලිප්ටන් වට රවුමේ ඉඳලා යනවා. ඒ වේලාවේ මම බස් එකෙන් බැහැලා දුවලා ගිහිල්ලා අත්පුඩි ගහලා කතා කළා. එතකොට ඔහු දැකලත් නොදක්කා වගේ ගියා. මම ළඟට දුවල ගිහිල්ලා ඔහුට කිව්වා පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. එතකොට ඔහු කිව්වා. උඹත් එක්ක මොනවා කතා කරන්නද කියලා. එහෙම කියලා ඔහු ආයෙත් යනවා. මට කිව්වා තරහ ගන්න එපා වැදගත් වැඩක් කතා කරගන්න ඕනේ කියලා. එතකොට ඔහු හරි මොකක්ද කියලා කියපං බලන්න කියලා මම කිව්වා. මට අලුත් ෆිල්ම් එකක් ලැබුණා ඒකේ සංගීතය සපයන්න උඹව අරගත්තා කියලා. එතකොට දසේ කිව්වා. අනේ උඹේ ෆිල්ම් එක තියාගනිං කියලා. ඊට පස්සේ දසේ මට කිව්වා හරි උඹට මොනවද වෙන්න ඕනේ කියලා. මම කිව්වා මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉම්පාලා එකේ මැනේජර් චාර්ල්ස් පෙරේරා. මට උඹව එතැනට එක්කර ගෙන යන්න ඕනේ කියලා. හරි යං මට 8 වෙනකොට එන්න ඕනේ කියලා දසනායක කිව්වා. එතකොට වේලාව සවස 6ත් පහුවෙලා. අපි බස් එකේ නැගල එතැනට ගියා. ගිය වේලවේ ඉඳලා දසනායක වේලාව බල බල යන්න ඕනේ කියනවා. එහෙම කියල දසනායක යන්න ගියා.
ඇයි ඔහු එහෙම කළේ?
පස්සේ කාලේක තමයි ඒක දැනගන්න ලැබුණේ. සරසවිය සම්මාන උලෙළකදී දසනායක මට කිව්වා මම එදා එහෙම ගියේ උඹ මාව මරන්න එක්කං ආවා කියලා හිතපු නිසා මතකයිනේ පරණ සිද්ධි කියලා ඔහු මතක් කළා.
‘ඉ’ ත්‍රී’ කියන්නේ... සෝමපාල, සරත්, සේන එක දිගටම සාර්ථක නිර්මාණ කල ඔබ ඇයි ‘150 මුල්ලේරියාව’ වගේ චිත්‍රපටයක් කරලා උන්හිටි තැන් පවා නැති කර ගත්තේ?
ඒකට කියන්නේ අධික තණ්හාව කියලා. මටයි, මගේ බිරිඳටයි ඕන වුණා චිත්‍රපටයක් කරන්න. ඒකයි ‘150 මුල්ලේරියාව’ කළේ. ඒක ඉංගී‍්‍රසි කතාවක්. අපි හිතුවා හොඳට දුවයි කියලා. එහෙම වුණේ නෑ. බැංකු ණය අරන් තමයි ෆිල්ම් එක කළේ. අන්තිමේද බැංකු ණය ගෙවන්න, මා හිටපු කැස්බෑවේ නිවස විකුණන්න වුණා.
‘සුර්යා’ චිත්‍රපටය නිසා ඔබට ලොකු ගෞරවයක් ලැබුණා නේද?
සුර්යා චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයන් වූ ඇන්ටන් කිංස්ලි මට කතා කරලා කිව්වා ඉන්දියාවේ ඉඳලා ච්ප. නිරංජන් කියලා කෙනෙක් එනවා. සින්දු ටිකක් ලියා ගන්න කියලා. ඔහු තමයි සුර්යා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ. ඉන්දියාවේ ඉෙලෙරාජා සංගීත අධ්‍යක්ෂවරයා තමයි ඊපචජඬඵ ගහලා තියෙන්නේ. ඊට අදාල දෙමළ ගීත ටික ඉල්ලගෙන අහලා සිංහල පරිවර්තනය කර ගත්තා. එහෙම පරිවර්තනය කර ගත්තේ මගේ දැන ගැනීමට පමණයි. මම ෆිල්ම් එකේ තිර කතාව බලලා ඒ ඊපචජඬඵ වලට මගේ වචන දාලා ගීත 07ක් ලිව්වා. ගීත 02ක් කලාවති හා සුර්යකුමාර් මුත්තගේ තමයි ගායනා කළේ. ඊට පස්සේ ඔවුන් ඇන්ටන් ග්‍රෙගරි හරහා මම ලියපු සිංහල වචන ටික දෙමළට පරිවර්තනය කරලා ඔවුන්ට ලැබෙන්න සැලැස්සුවා. ඉතිං ඉෙලෙරාජා අපි දමිළ භාෂාවට හැරවු ගීත ටික බලලා ලොකු සතුටක් ලබලා මගේ ගිත ලියවිල්ල ගැන ලොකු ප්‍රශංසාවක් කළා. ඇත්තටම ච්ප. නිරංජන් මිය ගියා. මම උත්සාහ කළා නම් අදාළ පුද්ගලයෝ මාර්ගයෙන් ‘සුර්යා’ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කරන්න තිබුණා.
යක්කල රොසලින් කවදාද එන්නේ?
යක්කල රොසලින් ඉතාමත් ඉක්මනින් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ජීප්සීස් නායක සුනිල් පෙරේරාගේ අයියා තමයි නිහාල් පෙරේරා. ඔහු තමයි චිත්‍රපටයට වියදම් කළේ. චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර සියලුම බැංකු ණය ගෙවලා ඉවර කරලා තියෙන්නේ.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, මර්වින් ජයතුංග චිත්‍රපටයේ පෙම්වතිය ලෙස රුවන්ති මංගලා රඟපානවා. මීට අමතරව බන්දු සමරසිංහ චරිතයක් කරනවා. ගීත ගායනා කරන්නේ මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලීන් ගුණතිලක ලතා වල්පොල සමඟ බන්දු සමරසිංහ.
අලුත්ම නිර්මාණයකට අත ගහන්න ළඟයි නේද?
කතාව ලියාගෙන යනවා. චිත්‍රපටය නම් කරලා තිබුණේ ‘මාරාවේශය’ කියලා. එහි නම ‘මාර වේශය’ කියලා වෙනස් කළා. තාම චරිත තෝරා ගෙන යනවා. වැඩි විස්තර ළඟදීම කියන්න පුළුවන්.