ජී.ඩී.එල් සමුගෙන දෙවසරයි

මාර්තු 2, 2023

‘සාමා’ 1960 දශකයේ දී පෙරට ආ නව සිනමා ප්‍රබෝධයට ඉඩකඩ සපයා දුන් සිනමාපටයක් ලෙස සැලකේ

 

සුප්‍රකට කලාකරු ජී.ඩී.එල්. පෙරේරා දිවියෙන් සමුගෙන මේ පෙබරවාරි 14 දාට දෙවසරකි.

මේ 1960 දශකයේ මුල් අඩේ අවසන් සමය යි. ශ්‍රී ලාංකේය සංස්කෘතික ජීවිතය පොහොසත් කරන නව පිවිසුම් රැසක් වෙසෙසින්ම නාගරික කලාප පාදක ව හා ආශ්‍රිත ව පෙරට එමින් තිබිණි. සාහිත්‍යයට මුල් තැනකි. මාර්ටින් වික්‍රමසිංහ, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, හේමරත්න ලියනාරච්චි බඳු නවකතා දැවැන්තයන් ලියූ නවකතා මෙය පොහොසත් කරන්නට වූයේ සම්ප්‍රදායන් හා එකඟතා වරෙක නො සලකා හරිමිනි. පුළුල් වපසරියක් කරා රසික ප්‍රජාව කැඳවමිනි. වේදිකා නාට්‍යයට ද එසේම ය. එදිරිවීර සරච්චන්ද්‍ර හා සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, ධර්මසිරි වික්‍රමරත්න වැනි ප්‍රතිභාසම්පන්න වේදිකා නාට්‍යකරුවන් මෙහිලා කැපී පෙනේ.ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත හා විලී බ්ලේක් වැන්නන්ගේ ප්‍රතිරූප ඔස්සේ නිර්මිත සිනමා පිවිසුම් ද ගණනාවකි. 1956 වර්ෂයේ දෙසැම්බර් මස සිනමාශාලා කරා ආ ලෙස්ටර්ගේ ‘රේඛාව’ ශ්‍රී ලාංකේය විදග්ධ සංස්කෘතික ජීවිතයට කළ බලපෑම සුළුපටු නොවේ. ඉන් වර්ෂ සතකට පසු ලෙස්ටර් ‘ගම් පෙරළිය’ සිනමාශාලා වෙත මුදා හරින්නේ ශ්‍රී ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ද පමුණුවමිනි.

මෙ සමයේ සක්‍රියව පැවති කලා හා සංස්කෘතික සංවිධාන රැසකි. ලංකා චිත්‍රපට සමිති සම්මේලනය, 63 කණ්ඩායම, නළු කැළ, ආධුනික නාට්‍ය සංගමය, චිත්‍රසේන කලායතනය, ආලෝක රංග සභා, ජනරංග සභා, අපේ කට්ටිය, මහජන කලා මණ්ඩලය, චිත්‍රපට විචාරක හා පුවත්පත් කලාවේදී සංගමය මේ අතරින් වඩාත්ම කැපී පෙනුණු බව පැහැදිලි ය. ජී.ඩී.එල්. පෙරේරා ගේ මූලිකත්වයෙන් පිහිටුවා ගැනුණු ‘කලා පෙළ ’ ද මෙතැනට ඇතුළත් කළ යුතුම ය.

‘කලා පෙළ’ හි මුල් සමය බර වූයේ සාහිත්‍යයට හා වේදිකා නාට්‍යයට යි. පසුව ‘කලා පෙළ’ සිනමාවට ප්‍රමුඛත්වයක් දුන්නේ අතිශය ප්‍රබල ආකාරයකිනි. අදත් ‘කලා පෙළ’ හඳුනා ගැනෙන්නේ සිනමාව යන්නට අදාළව ය. 1960 දශකයේ අග භාගයේදී හා 1970 දශකයෙදීත්, ඉන් අනතුරුවත් ශ්‍රී ලාංකේය සිනමාව අර්ථවත්ව අවධාරණය කරනු පිණිස පෙරටආ බොහෝ දෙනෙකුට තිඹිරි ගෙය වූයේ ‘කලා පෙළ’ යි. ‘කලා පෙළ’ නිල වශයෙන්ම ස්ථාපිත කෙරෙන්නේ 1955 වසරේ දී 'අගනුවර කලා පෙළ නාට්‍ය සංගමය' මැයෙනි. ඒ ජී.ඩී.එල්.ගේ පළමු වේදිකා නාට්‍ය වන 'කඳුළු' නිෂ්පාදන අවධියේ දී ය.

‘කලා පෙළ’ සත්වන සංවත්සර උලෙළ 1962 වසරේ අප්‍රියෙල් මස රාජගිරියේදී පැවැත්වුණේ සැලකිය යුතු සාමාජික පිරිසකගේ සහභාගීත්වයෙනි. මේ වන විට 'කලා පෙළ' වේදිකා නාට්‍ය ගණනාවක්ම නිෂ්පාදනය කොට තිබූ බව කියැවේ. 'කඳුළු' ,'මනමාලකම' ,'සාමා' ,'සක්කරවට්ටම්', 'රතු රෝස' , 'මෙහෙව් ලෝකෙක' , 'මඟුල් මතේ' , අන්දරේ' ,'තොටුපොළ' මෙම වේදිකා නාට්‍ය අතර ප්‍රමුඛ ය. සංවත්සර උලෙළේ දී නව යෝජනාවක් සම්මත කර ගැනිණි. මේ ‘කලා පෙළ ’ නිෂ්පාදනයක් සේ වෘත්තාන්ත සිනමාපටයක් නිර්මාණය කළ යුතු ය යන්න ය. යෝජනාව ඉදිරිපත් කළේ ජී.ඩී.එල්.ගේ සමීපතමයකු වූ 'කලා පෙළ' සම ලේකම් සුගතපාල සෙනරත් යාපා යි. සිනමාගත කිරීමට තෝරා ගත්තේ ජී.ඩී.එල්.ගේ ම වේදිකා නාට්‍යයක් වන ‘සාමා’ ය. අධ්‍යක්ෂණ වගකීම ද ඔහු මත පැටවිණි. සාමාජිකත්වය සතුව මුදල් හදල නොමැතිවීම බරපතළ ගැටලුවක් විය. පසු අවස්ථා කිහිපයකදීම ඔහු කියා සිටියේ ‘කලා පෙළ’ සන්තකයේම තිබුණේ රුපියල් දෙසිය පනහක් පමණක් බව යි. ‘සාමා ‘ ආරම්භ කළේ මේ සොච්චම් මුදලිනි. වරක් ජී.ඩී.එල්. 'විසිතුර' සිනමා පුවත්පතට ප්‍රකාශ කළේ ආර්ථික අපහසුතා නිසා වියදම් අධික අංග බැහැර කිරීමට තමා පියවර ගත් බව ය. සමකාලීන සිනමා සමාගම් ඒකාධිකාරයට මුහුණ දෙමින් ජී.ඩී.එල් ඇතුළු ‘කලා පෙළ’ කණ්ඩායම කළ මේ විශ්මකර්ම කාර්යය ප්‍රති විමසුමට ලක් කරන අවස්ථා අද ද හමුවේ. මෙය වර්තමාන තරුණ හා ප්‍රතිභාසම්පන්න සිනමාකරුවන් දිරි ගන්වන සාධකයකි.

'සාමා' 1960 දශකයේ දී පෙරට ආ නව සිනමා ප්‍රබෝධයට ඉඩකඩ සපයා දුන් සිනමාපටයක් ලෙසින් ද සැලකේ.

‘කලා පෙළ’ පිහිටුවා, 1960 දශකයේ ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍යයේ අභිනවාරම්භයක් සලකුණු කොට, එ සමයේම ශ්‍රී ලාංකේය සිනමාවේ වර්ධනීය අවස්ථා ප්‍රකාශයට පත් කළ ජී.ඩී.එල්. හරියට ම දෙවසරකට පෙරාතුව අසූ පස් හැවිරිදි වියේ දී ජීවිතයෙන් සමුගන්නේ විප්‍රවාසීව ය. මහා බ්‍රිතාන්‍යයේ දී යි . මහා බ්‍රිතාන්‍යය නො එසේ නම් එංගලන්තය ඔහුගේ දෙවන මව්බිම බඳු ය. ඒ දිගු කලක් එහි දිවි ගෙවූ නිසා ම නො වේ. එංගලන්තය දියුණු යුරෝපීය සංස්කෘතියේ මාහැඟි පිළිබිඹුවක් සේ ඔහු ඇදහූ හෙයිනි. ඔහු එංගලන්තයේ විසුවේ බී.බී.සී. ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ සේවය කරමිනි.

මේ අනුව ජී.ඩී.එල්. කලාවේ පාර්ශ්ව කිහිපයකට ම සක්‍රිය ව දායක වූ අයකු සේ හඳුනා ගැනීම සහේතුක ය. පසු කාලීනව ඔහු ටෙලිනාට්‍යකරුවකු වශයෙන් ද හඳුනා ගැනේ. මේ සියල්ලට ම වඩා ඔහු වචනයේ පරිසමාප්ත අන්දමින් ම රසවතෙකි. ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලමින් හරි ගිය තැන් ද, වැරදුණු තැන් ද තුලනාත්මකව දකින්නට සූදානම් වූ විවෘත දැක්මකින් සපිරි අයෙකි. අතීතාවර්ජනයේ දී ඔහුට විෂය නොවූ ක්ෂේත්‍රයක් නොමැති තරම් ය. එහෙත් ඔහු අතීතයේ පදිංචි වීමට සූදානම් නො වන්නෙකි. වරෙක ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ අඳුරු අහුමුලු කරා විදුලි පන්දමක් අතේ ඇතිව යන්නෙකි. තවත් වරෙක ඔහු පරක් තෙරක් නැති පරිසර හිතකාමියෙකි. ඔහු ජව සම්පන්න ය. අසූ හැවිරිදි වියේදී ද නිතිපතා ශාරීරික ව්‍යායාම කරමින් සිය විශාල ගෙවත්තේ අස්සක් මුල්ලක් නෑර ගමන් කරන්නෙකි. නිවහනේ ආරක්ෂාවට සිටින ආනයනික සුනඛයන් කෙරෙහි ඔහු අපමණ විශ්වාසයක් තබයි. මොවුනට නම් තබා ඇත්තේ ලෝ ප්‍රකට සිනමා නළුවන් සිහි ගන්වමිනි. ඒ සිනමාව කෙරෙහි ඔහු තුළ වූ අසීමිත ප්‍රේමය නිසාම යි. එක් සුනඛ යෝධයකුගේ නම බ්‍රැන්ඩෝ ය.

ජී.ඩී. එල්. මෙසේ සිරිලක දිවි ගෙවන්නට එංගලන්තයේ සිට එන්නේ සුවිශේෂ අපේක්ෂාවක් සිතේ දරා ගෙන යි. මේ එදා 'කලා පෙළ’ බඳු සියලු කලා මාධ්‍ය ආවරණය කෙරෙන අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවාලීමේ රිසියෙනි. අගනුවර ඔහුට විෂය නොවී ය. මහනුවර සිට කිලෝ මීටර විසි පහක් පමණ දුරින් පිහිටි කරල්ලියද්ද නගරයට ආසන්න ව වික්ටෝරියා ජලාශයට මුහුණ පා ඇති බිම් කඩක ඔහු සිය සිහිනය සැබෑ කරගැනීමට වෙහෙසුණේ රජයේ හෝ පුද්ගලික අංශයේ කිසිදු හව් හරණකින් තොරව ය. මහත් වැර වෑයමෙන් ඔහු ඉදි කළේ එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කළ අංග ගනණාවකින් යුතු නිවහනකි. සැබවින්ම මේ නිවහනක් ම නො වේ. විද්‍යාර්ථීනට සුව පහසුව නවාතැන් ගත හැකි පහසුකම් ද මෙහි විය. කුඩා ප්‍රමාණයේ සිනමාහලකින් ද නිවහන සමන්විත කෙරිණි. එහි වූ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ මකුළු දැල් බැඳී නො තිබිණි. සිංහල හා ඉංග්‍රීසි බසින් ලියැවුණු ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් අපූරුවට රාක්ක ගත කොට තිබුණේ ඔහුගේ දැනුම් මට්ටම හෙළිදරව් කරමිනි. එහි වූ දුර්ලභ සිනමා, නාට්‍ය ග්‍රන්ථ ඵලදායී වන්නේ එ දවසට නොව මෙ දවසට යැයි සිතේ. ආලින්දය අතිශයින්ම දැකුම් කළු වූයේ හැන්දෑවට ය. ඉදිරියෙන් දිස්වන්නේ වික්ටෝරියා ජලාශය යි. හිරු කිරණ තුනී වී යත්ම මුළු අහසම ලා රත් පැහැයෙන් අඳුර කැඳවන්නට වන්නේ සැහැල්ලුවක් හා සංවාද ප්‍රිය හැඟීමක් ගෙන දෙමිනි. මෘදු මධුවිතක් හෙමිහිට තොල ගාමින් 1950 හා 1960 දෙදශකය යළි කියැවීමට ඔහු බෙහෙවින් මනාප ය.

ජී.ඩී.එල්. දැනුමෙන් අසීමිත පොහොසතකු වන්නේ ජීවිතය හා සමාජය නැමැති සරසවි ද්විත්වයේ උගත් අභ්‍යාස ප්‍රිය විද්‍යාර්ථියකු වෙමිනි. ‘කලා පෙළ’ ඔහු උගත් දෑ අන්‍යයන්ට බෙදා දීමට ලැබුණු අනගි අවස්ථාවකි. පරාක්‍රම ද සිල්වා, බුද්ධදාස ගලප්පත්ති, චන්දන සිල්වා, අයි.එන්.හේවාවසම්, බන්දුල පද්ම කුමාර, කුමුදු කුසුම් කුමාර, ලාල් පියසේන, විමල් රංජිත් ප්‍රනාන්දු ආදීහු ‘කලා පෙළ’ ශිෂ්‍යයෝ වූහ. ඔවුන් පසුකාලීනව ජී.ඩී.එල්.ද අබිබවා යන්නේ බාධාවකින් තොරව ය. ජී. ඩී.එල්. මෙදෙස බලන්නේ අපමණ සතුටකිනි. ඔවුනගේ නව නිර්මාණ විදිමින්, අගය කරමින් හා නව අරුත් ගෙන හැර පාමින් ඔහු පෙන්නුම් කරන්නේ විසල් කලාකරුවකුගේ ජීවන විලාසය යි.

කොටහේන කුමර විද්‍යාලයේ උගන්නා අවදියේදී ම ඔහු වේදිකා නාට්‍යය නිර්මාණයට රුචියක් දැක්වූ වග කියැවේ. ඔහු රත්නපුරයේ සිට අගනුවර බලා එන්නේ පියාගේ වෘත්තීය පසුබිම නිසා ය. රත්නපුරයේම විසුවේ නම් ඔහු අප්‍රකට ව දිවි ගෙවා අප්‍රකට ව මිය යන්නට වුව ඉඩ තිබිණි. ඒ සුප්‍රකට ජී.ඩී.එල්. ලෙස නො වේ. ගෝනදූව හඳුන්ගේ දොන් ලක්ෂ්මන් ලීලචන්ද්‍ර පෙරේරා ලෙසිනි.

ප්‍රධාන ප්‍රවාහයේ නාට්‍යකරුවන් අතරට ජී.ඩී.එල්. පැමිණෙන්නේ 'තොටුපොළ' සමඟ ය. ඊට ප්‍රස්තුත වන්නේ ජනවාර්ගික නො එකඟතාව යි. මේ වන විට එය මුල් කරගත් සිවිල් යුද ගැටුමක් පිළිබඳ කිසිදු සලකුණක් දන්නට නො වීය. එසේනම් ජී.ඩී.එල්.මේ දැක ඇත්තේ සිරිලක අනාගතය යි. දශක තුනකට පමණ පසු ‘තොටුපොළ’ සිනමාගත කරන්නට ද ඔහු උත්සුක වූ බව කියැවේ. අවාසනාවකට එය ව්‍යර්ථ වූ ප්‍රයත්නයක් ම විය.

සිනමාපට කේන්ද්‍රීය විචාර භාවිතයට ජී.ඩී.එල්.ගේ ප්‍රදර්ශිත සිනමාපට සය ම හසු කර ගැනිණි. මේ ‘සාමා’, ‘සැඩොල් කඳුළු’,’ ‘දහසක් සිතුවිලි’,’රොමියෝ ජුලියට් කතාවක්. ‘පීටර් ඔෆ් ද එලිෆන්ට්’ හා ‘චක්‍රායුධ’ යි. මෙයින් ‘සැඩොල් කඳුළු’ හි ඔහු සම අධ්‍යක්ෂවරයා විය. විචාරක අවධානය හා පැසසුම් මේ කෙරෙහි ලැබෙන්නට වුයේ දිරි ගන්වන අන්දමිනි. සම්මාන ආදිය ද මේවායේ අගය දෙගුණ තෙගුණ කළ බව පෙනේ. 'දහසක් සිතුවිලි' මෙතැනදී කැපී පෙනෙන සිනමාපටය යි. 1969 වසරේ දී පැවැත් වූ සය වන සරසවිය සිනමා සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය 'දහසක් සිතුවිලි' වෙනුවෙන් දිනා ගත්තේ ජී.ඩී.එල්. ය.

1960 දශකය ගෙවී යාමට ඔන්න මෙන්න කියා තිබියදී ජී.ඩී.එල්. එංගලන්තය බලා පියාසර කරන්නේ සිනමාව කිසිසේත්ම අත නො හරිමිනි. එසේ වුවද 2000 දශකයේ දී ‘චක්‍රායුධ’ නිර්මාණය කරන තෙක් ම ඔහු ප්‍රයෝගික ව ශ්‍රී ලාංකේය සිනමාව හා එක් නො වූ බව සත්‍යයකි. 1978 වර්ෂයේ දී ඔහුගේ ‘පීටර් ඔෆ් ද එලිෆන්ට්’ සීමිත ප්‍රදර්ශනයක් සේ සිනමාශාලා කරා එන්නේ ශ්‍රී ලාංකේය සිනමාපටයක් සේ නොවේ. එංගලන්ත සිනමාපටයක් සේ ය.

එංගලන්තයේ දී සිය ගුවන් විදුලි වෘත්තීය ජීවිතය ගෙවා දමන අතරතුර ජී.ඩී.එල්. සිනමාකරුවාගේ භූමිකාව නිරූපණය කරන්නට වූයේ සිනමාවට මව්බිමක් නො මැතිය යන අදහසට සමීප වෙමිනි. මෙතැන දී දත හැකි සිනමාපට ද්විත්වයකි. මේ ‘ඉගිළෙන කුරුල්ලෝ’ හා 'දුරගිය ගමනක්' ය. මෙයින් 'ඉගිළෙන කුරුල්ලෝ' අර්ධ අශයෙන් නිර්මිත වර්ණ සිනමාපටයකි. විජය කුමාරතුංග මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළ බව ද, එංගලන්තය බලා පැමිණි ශ්‍රී ලාංකේය තරුණයකු හා ඔහුගේ තරුණ සොහොයුරිය ලබන අත්දැකීම් මෙහිලා විෂය කර ගත් බව ද ජී.ඩී.එල් කියා සිටී.

'ඉගිළෙන කුරුල්ලෝ' තේමාව සහිතවම යි ජී.ඩී.එල්. 'දුරගිය ගමනක්' නිර්මාණය කරන්නේ. 1975 වසරේ මැයි මස 31 වන දා 'දුරගිය ගමනක්' මංගල දර්ශනය ලන්ඩන් හි කොමන් වෙල්ත් සිනමාශාලාවේ දී පැවැත්වූ බව ඔහු සිහිපත් කරන්නේ මහත් සතුටකිනි. එනමුදු 'දුරගිය ගමනක්' මෙරට සිනමාශාලා කර නො පැමිණීම සම්බන්ධයෙන් ඔහු තුළ ඇත්තේ නිමා නොවන කනගාටුවකි.

'ඉගිළෙන කුරුල්ලෝ' හා 'දුරගිය ගමනක්' යන සිනමාපට ද්විත්වයට ම විෂය වූයේ තාරුණ්‍යය යි. ජී.ඩී.එල්.ගේ වේදිකා නාට්‍ය, සිනමාපට හා ටෙලිනාට්‍ය වෙතින් දක්නට ලැබෙන පොදු මාතෘකාව වන්නේ ද තාරුණ්‍යය යන්න සත්‍යයකි. ‘සාමා’ සිනමාපටයට මෙන්ම එ නමින්ම යුතු ඔහුගේ ම වේදිකා නාට්‍ය මුල් කාලීන උදාහරණයකි. ‘සැඩොල් කඳුළු’, ‘පීටර් ඔෆ් ද එලිෆන්ට්’ හා ‘චක්‍රායුධ’ හැරුණු කොට ඔහුගේ සියලු සිනමාපට තරුණ්‍යයේ බලාපොරොත්තු, ඉරණම හා හැඟීම් විවරණයට සපැමිණි වග පැහැදිලි ය. මෙහි උත්කෘෂ්ටම ඵලය ‘දහසක් සිතුවිලි’ ය යන්න වැඩි දෙනෙකුගේ අදහස යි. එනමුදු ‘ඉගිළෙන කුරුල්ලෝ’ හා ‘දුර ගිය ගමනක්’ නොතකා හැරීම කිසිසේත්ම සුදුසු නොවේ.

දෙවසරකට පෙර ජී.ඩී.එල්.ගේ නික්ම යාම සිදුවන්නේ නිසොල්මනේ ය. ඇත්ත වශයෙන්ම මෙය හුදු ප්‍රවෘත්තියක් පමණක් ම වූ බව පෙනේ. ඉන් අදහස් කෙරෙන්නේ වෙසෙසින්ම 1960 දශකයේ ශ්‍රී ලාංකේය කලාවේ පිබිදීම් අවධාරණය කළ ඇතැම් ප්‍රමුඛයන් අමතක කර දැමීමේ හා අවතක්සේරු කිරීමේ පසුගාමී චේතනාව තවදුරටත් අහෝසි වී නොමැති බව යි.

 

[email protected]