තරුවක් නොවූ තරුවක්

-අජිත් ජිනදාස
මාර්තු 9, 2023

 

සිනමා තාරකා බොහෝ විට පායා බැබළෙන්නේ කලාත්මක, සම්භාවනීය හෝ විවාදාත්මක සිනමා අම්බරයේ නො වේ. වෙසෙසින්ම ආසියානු සිනමාව විෂයෙහි හඳුනා ගැනෙන බොහෝ සිනමා තාරකා දත හැක්කේ විනෝදාස්වාදය ප්‍රමුඛ වූ සිනමා අම්බරයේ දිදුලමින් සිටියදී ය. සම්මත විචාරක අවධානය මේ සිනමා තාරකා වෙත යොමු වන්නේ ප්‍රමාණවත් නො වන අයුරිනි. ඇතැම් සිනමා තාරකාවක් තම පැවැත්ම තහවුරු කෙරෙන අම්බරයේ සිට කලාත්මක, සම්භාවනීය හෝ විවාදාත්මක සිනමා අම්බරය කරා සපැමිණෙන අවස්ථාද පවතී. එසේම සිනමා රූපණ කුසලතා මැනැවින් ප්‍රගුණ කළ තාරකාද මේ සිනමා අම්බරයේ දී හමු විය හැකි ය. සිනමාව, පැවැත්ම පිළිබඳ බරපතළ හා තීරණාත්මක අර්බුද ප්‍රකට කළ සමයක දී වුව සිනමා තාරකා යන්න යටපත් නොවූ සාධකයකි. සිනමාව හැර ගිය, සිනමාව හා කවර සබඳතාවක්වත් නො පැවැත්වූ පාර්ශ්ව පවා සිනමා තාරකා නොවලහා හඳුනා ගන්නේ සිනමාව මහා ප්‍රකාශන කාර්යයක්ය යන සත්‍යය තවදුරටත් අනාවරණය කරමිනි. රූපවාහිනී හෝ වේදිකා නාට්‍ය තාරකා නොමැති පසුබිමකද සිනමා තාරකා සතු සුවිශේෂත්වය ඉහළ අගයක් ගන්නා වග පැහැදිලි ය.

දශක සතරකට පමණ පෙරාතුව ප්‍රකාශිත රොඩ්නි විදානපතිරණ සංස්කරණය කළ ‘සලරුව’ සිනමා පුවත්පත වරෙක උත්සුක වූයේ සමකාලීනව දිදුලමින් සිටි වඩාත්ම බලපෑම් සහගත පුරුෂ පාර්ශ්වයේ සිනමා තාරකා නිශ්චය කර ගන්නට යි. මෙහිලා ඔවුන්ව මෙහෙයවූ හා ඔවුනගේ සමත්කම් හඳුනා ගත් සිනමාකරුවන්ගේ මත සැලකිල්ලට ගනු ලැබී ය. ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා, යසපාලිත නානායක්කාර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි සිනමාකරුවෝ ‘කවුද හපනා’ නැමැති මේ විශේෂාංගය වෙත සිය මත ඉදිරිපත් කළහ. විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ඩග්ලස් රණසිංහ, සනත් ගුණතිලක හා අමරසිරි කලංසූරිය යන ප්‍රධාන චරිත හරහා රූපණ කාර්යයෙහි නිරත වූවන් ය මෙසේ විෂය කොට ගැනුනේ. තිස්ස විජේසුරේන්ද්‍ර, රොබින් ප්‍රනාන්දු වැනි දෙතුන් දෙනෙකු මෙතැන දී සලකා නොබැළුණු වග පැවසිය යුතු ය. මේ ඔවුන්ද තරුණ හා ප්‍රේමාන්විත චරිත නිරූපණයෙහි නිරත සමයකි. උක්ත කිහිප දෙනා අතරින් අමරසිරි කලංසූරිය හා ඩග්ලස් රණසිංහ වැඩිපුරම හඳුනා ගැනුණේ විනෝදාස්වාදයට අවකාශ නො සැලසූ සිනමාපට වෙතින් ය යන්න සත්‍යයකි.

මෙතැනට දීප්තිමත් සිනමා තාරකාවක් බවට පත් වෙමින් සිටි අජිත් ජිනදාස එක් කර නොගැනීමට තුඩු දුන් එක් මුල් පෙළේ හේතුවකි. ඒ මෙම අවස්ථාව වන විට උක්ත රූපණවේදීන් තරමට ම අජිත් ජිනදාස ජනාදරප්‍රාප්ත නො වූ නිසා ය. කෙසේ නමුත් ඉනික්බිතිව ආ දස වසරක පමණ කාලය තුළ දී ලංකේය සිනමාවේ වර්ධනීය අවස්ථා සමහරක් සමඟ එක් වන්නට අජිත් නො පැකිළුණු බව පෙනේ. මෙතැන කලාත්මක, සම්භාවනීය, විවාදාත්මක සිනමාපට සේම විනෝදාත්මක සිනමපටද තිබිණි.

අජිත්ගේ සිනමා රූපණ සම්ප්‍රාප්තිය සිදුවන්නේ හා හැදී වැඩෙන්නේ විනෝදාත්මක සිනමාවට ප්‍රතිපක්ෂ අවස්ථා කිහිපයක් සමඟිනි. සිනමා තාරකාවක් සේ සිනමා අම්බරයේ දිගු කලක් ලැගුම් ගැනීමට සමත් නො වීම පසුපස මෙ කරුණද තිබේ. එසේම මෙහිලා අජිත් විචාරක හා ප්‍රබුද්ධ සිනමා ප්‍රේක්ෂක ගෞරවයට හා ඇගැයීමට එපමණ ලක් නො වීමද අමතක නො කළ යුත්තකි. ඇතැම් තැනක දී ඔහු තියුණු දෝෂ දර්ශන ආදියට මුහුණ දුන්නේ කිසිදු සිනමා රූපණ හැකියාවක් නොමැත්තකු ය යන අදහසද ගම්‍ය කරමිනි. සුමිත්‍රා පීරිස්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන ‘ගැහැනු ළමයි’ මෙතැන දී වහාම සිහිපත් වන සිනමාපටය යි. ‘ගැහැනු ළමයි’ අජිත්ගේ දෙවන සිනමා රූපණ සහභාගීත්වය සේ සැලකේ. ප්‍රධාන ස්ත්‍රී චරිතය නිරූපණයට කැඳවා තිබුණේ ඉන් පෙර කිසිදු සිනමා සබදතාවක් නොමැති වසන්ති චතුරාණි ය. ඇය සිය චරිතයේ දිග පළල මනාව හඳුනා ගෙන ‘ගැහැනු ළමයි’ ට එක් කරන දෘශ්‍යමය අපූර්වත්වය කිසිවිටෙකත් ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී නො යයි. කෙසේ වෙතත් මෙහිදී අජිත් නිරූපණය කරන චරිතය දෙස වෙනත් කෝණයකින් බැලුවේ නම් මැනැවි ය යන අදහස පසුකාලීනව යුක්ති සහගත වන්නේ නිරායාසයෙනි. වෙසෙසින්ම ඇතුළු හදට නැමුණු චරිතයක් වන නිමල් නැමැති ගැමි තරුණයා අජිත් විසින් හඳුනා ගනු ලැබ තිබුණේ කිසියම් නිදහස් විලාසයකට අදාළව ය. මෙය පළමු හඳුනා ගැනීමක් වන අතර සතතාභ්‍යාසයෙන් උපයා ගත් හඳුනා ගැනීමක් නො වේ.

අජිත්, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘මඩොල්දූව’ හි උපාලි ගිනිවැල්ලේ නැමැති ගැමි ප්‍රභූ ගැටවරයාගේ චරිතය සිය පළමු සිනමා රූපණය සේ රැගෙන එන්නේ ‘ගැහැනු ළමයි’ අබිබවා ගිය සමත්කමක් විදාරණය කරමිනි. ඇත්ත වශයෙන්ම ‘මඩොල්දූව’ ළමා සිනමාපටයක් නො වේ. එය ළමා හා යොවුන් සිනමාපටයකි. අජිත් එක්වන්නේ එහි යොවුන් පාර්ශ්වයට යි. දඟකාර ගැටවර වියේ සිට වගකීම් සහගත යොවුන් විය දක්වා දිවෙන උපාලිගේ චරිතයට අජිත් එක් කරන්නේ මහත් වූ අපූර්වත්වයකි.

විනෝදාත්මක සිනමාව හා එක්වීමට පෙරාතුව අජිත්, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අහසින් පොළොවට’ හි සහය චරිතයක් හා නීල් රූපසිංහගේ ‘අමල් බිසෝ’ හි එක් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ සිනමා රූපණයේ තවත් පියවරක් ඉදිරියට තැබීමේ අභිලාසයෙනි. ‘අහසින් පොළොවට’ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටතම සිනමාපටයක් සේ සැලකේ. අජිත් මෙහි සහය චරිතයක් කරා එන්නේ ඇතුළු හදට නැමුණු චරිත නිරූපණයට සූරයකු වූ ටෝනි රණසිංහ එබඳුම චරිතයක් ප්‍රධාන චරිතය සේ නිරූපණය කිරීමට සමගාමීව ය. ටෝනිගේ යෝධ සෙවනැල්ලෙන් වැසී ගියද ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගැනීමට අජිත් සමත්වීම කැපී පෙනේ. 1980 දශකයේ දී හෝ ඉන් අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස්ගේ මෙහෙයවීමෙන් සිනමා රූපණයේ ඉදිරියට යාමේ අවස්ථාවක් අජිත් වෙත නොලැබීම කනගාටුදායක ය. එයද අජිත්ගේ අභිනව සිනමා රූපණයට ඇවැසි පසුබිම සැකසූ මූලික ම සාධකයකි.

නීල් රූපසිංහගේ ‘අමල් බිසෝ’ සැලකෙන්නේ සමකාලීන සමාන්තර සිනමා ධාරාවේ තවත් අවස්ථාවක් සේ ය. එසේම එය නීල් රූපසිංහගේ සිනමාකරණයේ හැරවුම් ලක්ෂ්‍යයක් ද, අවසානය සනිටුහන් කළ අවස්ථාවක්ද වේ. ඔහුගේ ‘හතර දෙනාම සූරයෝ’ නව සිනමාපටය මෙතැන දී සලකා නො බැලීම සහේතුක ය. අජිත් මෙහිදී සබුද්ධික සරසවි සිසුවකුගේ චරිතය සැහැල්ලුවෙන් නිරූපණය කරන්නේ තරුණ සිනමා ප්‍රේක්ෂකයන්ගේ අවධානයටද පාත්‍ර වෙමිනි. මේ ප්‍රධාන චරිතයක් නො වන ප්‍රධාන චරිතයක් වන වග පෙනේ.

අජිත් සිය සිනමා රූපණ දිවියේ තියුණු අභියෝගයකට මුහුණ දෙන්නේ ෂෙල්ටන් පයාගල හා චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ ‘මලට නොඑන බඹරු’ හිදී ය. ස්ත්‍රී ඇසුර බැහැර නො කළද, බලවතකුගේ සමරිසි කැමැත්තට ගොදුරු වූ තරුණයකු ලෙස අජිත් ‘මලට නොඑන බඹරු’ හි අරුත කුළු ගන්වන්නට දායක වෙයි. ‘අමල් බිසෝ’හි ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතයක් නිරූපණය කළද, ඔහු හා එක්ව රූපණයෙහි නිරත වීමට අජිත් අවකාශ නො ලබයි. එනමුදු ‘මලට නොඑන බඹරු’ හි දී ඔහු ජෝ අබේවික්‍රම සමඟ එක පෙළට හිඳීමින් සිය චරිතය නිරූපණය කරන්නේ සංකීර්ණ අවස්ථා කරා එළැඹීමට වුව තමා සමත් ය යන්න යම් පමණකට හෝ ඒත්තු ගන්වමිනි. මේ ජෝ අබේවික්‍රමගේ විශිෂ්ටතම චරිත නිරූපණයක් සලකුණු කළ අවස්ථාවකි.

මෙසේ විනෝදාත්මක සිනමාවට උචිත නො වන එහෙත් කඩවසම් හා කෙළිලොල් චර්යා ඇවැසි පරිදි ප්‍රතිනිර්මාණයට සූදානම් සිනමා රූපණවේදියකු සේ ගොඩ නැඟෙමින් සිටි අජිත් 1980 දශකයේ දී යසපාලිත නානායක්කාරගේ මුල් පෙළේ තෝරා ගැනීමක් බවට පත් වෙයි. මෙ සමයේ යසපාලිතගේ ප්‍රමුඛතම රංග ප්‍රකාශකයා වූයේ විජය කුමාරතුංග යි. පෙර සඳහන් කළ ‘සලරුව’ සිනමා පුවත්පතේ ‘කවුද හපනා’ විශේෂාංගයට අදහස් දක්වමින් යසපාලිත නානායක්කාර කියා සිටියේද හපනා විජය ය යන්න ය.

යසපාලිත පළමු වරට අජිත්ගේ රූපණ සහභාගීත්වය ලබා ගන්නේ සමකාලීනව නිර්මිත ඉහළ ම ප්‍රමිතියකින් සමන්විත විනෝදාත්මක සිනමාපටයක් වන ‘ජය සිකුරුයි’ සඳහා යි. ‘ජය සිකුරුයි’ 1980 දශකයේ මුල් සමයේ සිට ලාංකේය සිනමාවට අදාළ ව උත්සන්න වූ අර්බුදය මධ්‍යයේ නැඟී සිටි යසපාලිතගේ සිනමාපටයකි. සෙසු සිනමාපට වනුයේ ‘අංජානා’ හා ‘නැවත හමුවෙමු’ ය. ‘ජය සිකුරුයි’ හි ප්‍රධාන වීරයෙක්ද, සහය වීරයෙක්ද සිටිති. ප්‍රධාන වීරයා විජය කුමාරතුංග වන විට සහය වීරයා වන්නේ අජිත් ය. දුෂ්ටයකු ලෙස එන්නේ ජීවන් කුමාරතුංග ය. ජීවන් 1990 දශකයේ දී දිදුලන සිනමා තාරකාවක් වන්නේ අජිත් ඉක්මවා යමිනි. රෝයි ද සිල්වා, සුනිල් සෝම පීරිස් බඳු විනෝදාත්මක සිනමාවේ පෙරමුණේ ම සිටි සිනමාකරුවන්ගේ තෝරා ගැනීමට ලක් වීමද නිසා ජීවන් මෙසේ සිනමා තාරකාවක් බවට පත්වූ බව පැහැදිලි ය. අජිත් ට සිදු වූයේ යසපාලිතගේ සිනමාවේ ම රැඳී සිටින්නට ය.

කෙසේ නමුත් ‘ජය සිකුරුයි’ , ‘යුක්තියද ශක්තියද’ යන සිනමාපටවල විජය සමඟ සහය වීරයාගේ හා සහය පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් අජිත් ගොඩ නඟා ගත් ආකර්ෂණීය ප්‍රතිරූපය මෙහිලා සිහිපත් කිරීම අසීරු නො වේ. විශේෂයෙන්ම නර්තන, ගීතමය හා සටන් ජවනිකා හි දී අජිත් දැක්වූ සිත් ඇද ගන්නා සුළු බව අවතක්සේරු නො කළ යුතු ය. ‘ජය සිකුරුයි’ හි අජිත්ගේ පෙම්වතිය වන්නේ සිනමා තාරකා අම්බරයේ අද්දරට ම පැමිණි ශිරාණි නුගේරා ය. ‘යුක්තියද ශක්තියද’ හි අජිත්ගේ පෙම්වතිය වන්නේ ද සිනමා තාරකා අම්බරයේ ආසන්නයටම පැමිණි දමයන්ති ෆොන්සේකා ය. අජිත් මේ පෙම්වතියන් දෙදෙනා ම සමඟ පෙම්වතකුගේ හා සහය වීරයකුගේ චරිතය නිරූපණය කළේ සිය සමීපතම සමකාලීනයන් වන සනත් ගුණතිලක හා ජීවන් කුමාරතුංග නො තකා නො හරිමිනි. නමුත් ඔවුන් ඉක්මවා යාමට වුව සූදානම් බව ඉඟි කරමිනි. ‘ජය සිකුරුයි’ හි ජීවන් කුමාරතුංග ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය නිරූපණය කිරීමද මෙතැනට ගලපා ගත යුත්තකි. මෙ කරුණු අජිත්ගේ ඉරණම පිළිබිඹු කරන්නක් වේ.

අජිත්, යසපාලිතගේ සිනමාවේ ප්‍රධාන චරිත නිරූපණයට පැමිණෙන්නේ ලාංකේය සිනමා අර්බුදය තවත් වටයකින් තීව්‍ර වන පසුබිමක ය. මේ වන විට යසපාලිත සමඟ සමීපව සිටි විජය කුමාරතුංග, එච්.ආර්.ජෝතිපාල නික්ම ගොසිනි. විජයට විකල්පයක් සේ සනත් ගුණතිලක හා ජීවන් කුමාරතුංග කැඳවීමට යසපාලිත පියවර ගත් අවස්ථාද තිබිණි . ‘රස රහසක්’ හි ප්‍රධාන චරිතය නිරූපණය කළේ සනත් ගුණතිලක යි. ‘සුරනිමල’ හි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජීවන් කුමාරතුංග යි. ‘දේදුන්නෙන් සමනලියක්’, චායා මායා’, ‘ ජය ශ්‍රී වේ කුමරියේ’ යන යසපාලිතගේ සිනමාපට ත්‍රයේම ප්‍රධාන පුරුෂ චරිතය නිරූපණය කළේ අජිත් ය .

යසපාලිත ‘දේදුන්නෙන් සමනලියක්’ නිර්මාණය කරන්නේ ඇමරිකානු හාස්‍යොත්පාදක සිනමාපටයක් අනුකරණය කරමිනි. සිනමා රූපණයට හඳුන්වා දුන් දිල්හානි අශෝකමාලා ප්‍රකට කළ කෝල බව එහි ආස්වාදජනක ස්වරූපය කුළු ගැන්වූ බව සඳහන් කළ යුතුම ය. එසේම මෙය වර්ණ සිනමාපට ගොන්නක් අතරට පැමිණි කළු සුදු සිනමාපටයක් වීමද සලකා බැලිය යුත්තකි. මෙය අජිත්, යසපාලිතගේ සිනමාවට කළ ඉහළ ම සත්කාරය යැයි සිතේ. ප්‍රේමය, ශෝකය හා ඇවැසි තැන් හිදී විරහව නිරූපණයට සේම හාස්‍ය නිරූපණයටද අජිත්ගේ ඇති ශක්‍යතාවට මෙය අගනා ම නිදර්ශනයකි.

යසපාලිත 1980 දශකයට අදාළ ව ප්‍රදර්ශනයට එක් කළ ‘රෝසි’ හුදු සරල විනෝදාත්මක සිනමාපටයක් ම නො වේ. ‘රෝසි’ කෙළවර වන්නේ ඛේදවාචකයකිනි. පෙම්වතිය සුව කළ නො හැකි රෝගයකින් පීඩා විඳ අකාලයේ මිය යයි. පෙම්වතා තනිවෙයි. කෙළිලොල් හා දඟකාර චරිත කිහිපයක්ම යසපාලිතගේ මෙහෙයවීම යටතේ නිරූපණය කළ අජිත් ‘රෝසි’ හි නිරූපණය කරන වේදනාබර පෙම්වතාගේ චරිතය විශේෂයෙන් කැපී පෙනේ. ඔහු ප්‍රේක්ෂකයන් හඬවන්නට සමත් වෙයි. මේ අජිත් නිරූපණය කළ මේ මාදිලියේ එකම චරිතය විය යුතු ය.

සිය සිනමා රූපණය නිමා කරන්නට අජිත්ට සිදු වන්නේද යසපාලිතගේ සිනමාපටයකිනි. මේ සිනමාපටය - ‘රතු අලුයම’ යසපාලිතගේ මුද්‍රාව සනිටුහන් කළ අවස්ථාවක් සේ ගැනීම උගහට ය. පෙර දුටු පෙම්වතා මෙහිලා අජිත් වෙතින් දත හැකි නො වේ.

අජිත්ට මුල් පෙළේ සිනමා තාරකාවක් වීමට නො හැකි වීම පසුපස විජය කුමාරතුංග යන සාධකයද තිබෙන වග සත්‍යයකි. නමුත් මෙය චෝදනාවක් සේ විජය වෙත හෝ යසපාලිත නානායක්කාර වෙත ඉදිරිපත් කිරීම අනුචිත ය. විජයගේ නික්ම යාමෙන් අනතුරුව යසපාලිත සිය සිනමාපට කිහිපයක ප්‍රධාන චරිත සඳහා අජිත්ව තෝරා ගැනීමෙන් එය තහවුරු වේ. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු යන දෙදෙනාට ම මුල් පෙළේ සිනමා තාරකා වීමට නො හැකි වීම පසුපස පැවතියේ මෙයට වඩා වෙනස් හේතු ය. මෙයින් ගැලවුණු දෙතුන් දෙනා අතර බැප්ටිස්ට් ප්‍රනාන්දුද සිටී.

ප්‍රවීණ, ප්‍රතිභාසම්පන්න හා කැපී පෙනෙන සිනමාකරුවන් කිහිප දෙනෙකු යටතේ ම තවදුරටත් සිනමා රූපණයෙහි නිරත වීමේ අවස්ථාව උදා කර ගැනීම අජිත්ගේ වපසරිය තරමක් දුරට හෝ පුළුල් කරලීමකි. මේ අතර මනික් සන්ද්‍රසාග්‍රගේ ‘සීතාදේවි’, එච්.ඩී.ප්‍රේමරත්නගේ ‘සසරක පැතුම්’ යන සිනමාපටද වේ. මෙයින් ‘සීතාදේවි’ සැලකිය හැක්කේ ප්‍රමාණවත් විචාරක අවධානයකට පාත්‍ර නො වූ සිනමාපටයක් විලසිනි.

සිනමා රූපණයේ දී විනෝදාත්මක සිනමාවට ම බර තැබූ අජිත් උත්ප්‍රාසාත්මක තීන්දුවකට එළඹෙන්නේ 1980 දශකයේ මුල් සමයේ දී පෙරට ආ සුප්‍රකට ‘80 කණ්ඩායම’ හි ප්‍රමුඛයකු වෙමිනි. 80 කණ්ඩායම ලාංකේය වේදිකා නාට්‍යයේ අභිනවාරම්භයක් සලකුණු කළ විශිෂ්ට නිර්මාණ ගණනාවකට ම පසුබිම සකසා දුන් පුද්ගල එකමුතුවක් සේ සැලකේ. අජිත් ‘80 කණ්ඩායම’ නිෂ්පාදනය කළ නීල් අලස්ගේ ‘සිහින සාප්පුව’, කේ.බී.හේරත්ගේ ‘මායාදේවි’, ජයලත් මනෝරත්නගේ ‘පුත්‍ර සමාගම’ හා කපිල කුමාර කාලිංගගේ ‘රයිනෝසිරස්’ යන නාට්‍ය විෂයෙහි රූපණ කාර්යයෙහි නිරත වූයේ සිනමාවට එපමණ වැදගත් නො වූ සමත්කම් තමා සතුව පවතින වග ඉඟි කරමිනි. ‘80 කණ්ඩායම’ නිෂ්පාදනය කළ ‘යාත්‍රා’ වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් අජිත් ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වේදිකාවේ ප්‍රධාන චරිතයක් බවටද පත්වූයේ ය. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අජිත්ගේ දායකත්වය හා සහභාගීත්වය වෙනම පරිච්ඡේදයක ලියවිය යුත්තකි.

 

 

සේයාරූ - දයාන් විතාරණ

[email protected]