“හරි දේ විතරක් කරන්න” කියලයි තාත්තා අපට කීවේ අමරසිරි කලංසූරියගේ ගේ දියණිය

මධුමති කලංසූරිය කියයි
නොවැම්බර් 23, 2023

"ආහාරපාන වලින්....සෞඛ්‍ය කටයුතු අතින්...ආරක්ෂාව පැත්තෙන් වගේම සමහර මාධ්‍යවලින් පවා අපෙ තාත්ති ව තුන්තිස්පැයේ ආරක්ෂා කළේ අපෙ අම්මායි..."

හෙළ සිනමා රිදී තිරයෙහි කිරුළු පලන් මෙවර අපේ සොඳුරු කතා නායකයා සරසවිය පාඨක ඔබත් මමත් ඔහු හඳුනාගන්නේ අමුතුම හැඩතලයකට ගොඩනැගුණු පරිපූර්ණ රූපණවේදියකු ලෙසිනි...තවත් අයුරකින් කිවහොත් මේ අපේ ආදරණීය රූපණවේදියාණෝ ඔහුටම ආවේණික එක්තරා ජීවන රිද්මයකට නතුව දිවි ගෙවූවකු ලෙසිනි. ඔහුගේ .කතා විලාශයද...ඇඳුම පැළඳුගේම ජන්මයෙන් ලද රටාවක්මය.. පිළිවෙළකට නොපීරන ලද සිය හිසකෙස් පවා මුහුණට අමුතු දඟකාරකමක් ආරූඪව පෙනෙනා අපේ මෙවර කතා නායකයා කෙරෙන් විද්‍යාමාන වන හැම ඉරියව්වක්ම දඟකාර බවක ගිලී ඇතැයි මට සිතේ...

එතුමා ආරෝහ පරිණාහ දේහයකට හිමිකම් කීයේද නැති..මොකක්දෝ අමුතු අවිහිංසක රූ රටාවක් ද ඔහු කෙරෙන් කියැවෙයි..ඔහුගේ කතා විලාශය ද...ඔහුගේ .. කතා ලතාවේද ගැබ්වී තිබුණේ අමුතු ම ලතාවෙකි..ඔහුගේ රංගන දිවියටද මෙකී ජන්ම ස්වරූපයන් බොහෝ දුරට ඉවහල් වන්නට ඇතැයිද සිතේ.

මේ අන් කිසිවකු නොව අපේ සිනමාවතෙහි විවිධ රඟ සෝභාවකින් රසික සමූහයා ඇදබැඳගත් "කලං" නමින් ආදරණීයයන්ගේ ළෙන්ගතු ආමන්ත්‍රණයට නිරතුරුවම බඳුන් වූ අපේ අමරසිරි කලංසූරිය නම් අද්විතීය සොඳුරු රූපණවේදී කතා නායකයාය....

"මගෙ තාත්ති ගැන මට දවස් ගානක් වුණත් කතා කරන්න පුළුවන්..මේ ලෝකයේ තවත් වටිනා පියවරුන් ඇති..ඒත් මගෙ තාත්ති මට හැම අතින්ම විශේෂයි. සිනමාව කලාව පැත්තෙන් නම් නෙවි... මගේ ජීවිතයේ තක්සලාව තමයි මගෙ තාත්ති "

ඕ තොමෝ අතිශය රුවැතිය...අතිශයින් නිහතමානීය ....මේ අපේ සොඳුරු කතා නායක අමරසිරි කලංසූරිය නම් විශිෂ්ට රංගධරයාගේ දූ දරුවන් තිදෙනාගෙන් එක් දියණියක වන මධුමති කලංසූරිය මහත්මියය..

ඕ තොමෝ මේ වනවිට පෙර පාසල් සහ ඉංග්‍රීසි බස ඉගැන්වීම් අධ්‍යාපන ආයතනයක ගුරුවරියක හා උපදේශකවරියකද වෙයි..

තම ආදරණීය පියාණන් පිළිබඳව මතකය ආවර්ජනය කරන්නට සැදීපැහැදී පසුවන ඕ ප්‍රථමයෙන් කලාව වෙනුවෙන් සම්මානිත මෙහෙවරකට ඇප කැප ව සිට අපගෙන් සදහටම දුරස්ව ගිය කලාකරුවන් නැවතත් සිහිපත් කරමින් සරසවිය ඉටුකරනා මේ උත්තුංග සත්කාරයට ඕ මුවනොසෑහෙනසේ ස්තුතිවන්ත වූවාය.

අපේ ආදරණීය මධුමති මහත්මිය ආසක්ත සිනාවකින් මුව සරසා දැන් මා හා සුහද පිළිසඳරේ පසුවන්නීය...

මම ඇයට සවන් දෙමි..

මහනුවර කිරිබත්කුඹුර ග්‍රාමයේ මුදල් ඉපැයීමටම ජීවිතය හඹාගිය කෝට් බෑයකින්ද ටුවිඩ් රෙද්දකින්ද සැරසීගත් ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ෆ්‍රැන්සිස් අප්පුහාමි කලංසූරිය සහ බංගමගෙදර පොඩි හාමිනේ මවුපිය දෙදෙනාගේ වැඩිමහල් පුත්‍රයා නිශ්ශංක කලංසූරිය ය.. දෙවැන්නා අපේ කතා නායකයාය..පද්මසේන පුත්‍රයා තෙවැන්නා ය... සිව් වැන්නා ආරියපාලයන්ය... මින් එක් සොහොයුරකු කුඩාකලදීම මියගොසිනි..පස්වැන්නිය නන්දා ය..සය වැන්නිය තිලකාය...

අපේ සොඳුරු කතා නායකයා උපන්නේ 1940ක්වූ සැප්තැම්බර් මස 20 දා කිරිබත්කුඹුෙර්ය...ඔහුගේ උප්පැන්නයේ නම අමරසිරි කලංසූරියය. ප්‍රථමයෙන් කලංසූරිය දරුවා අකුරට ගියේ ග්‍රාමයේ පිහිටි ස්වර්ණජෝති පාසලටය. එතැනින් පසුව වැඩිදුර අධ්‍යාපනයට මහනුවර ධර්මරාජ විද්‍යාලයට පිවිසියේ ය.. පාසලේ ක්‍රීඩා කටයුතු වලදී නම් අපේ ආදරණීය "කලං" සෙස්සන් අබිබවා ඉදිරියෙන්මය..

අපේ ආදරණීය මධුමති යමක් කියන්නට සැරසෙයි..

'අනේ ඔව්...මගෙ තාත්ති පාසලේ ක්‍රීඩා තරඟ ඉසව් වලදී තරඟ කරල පාසලට ජයග්‍රහණ ලබා දීපු කැපී පෙනුණු සිසුවෙක්..හරිම ක්‍රියාශීලී කෙනෙක්ලු..කෙඩෙටින් එහෙමත් කළා..අපෙ තාත්ති ට ඒ කාලේ හොඳ මිතුරන් පිරිසක් ඉඳලා තියෙනවා...තාත්ති උපදිනකොට තාත්ති ගෙ තාත්තා ..ඒ කිවේ අපෙ ෆ්‍රැන්සිස් සීයා හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක් නිසා අගහිඟකම් තිබිලත් නැහැ ලු "

" පසුකලෙකදී තාත්තාත් ව්‍යාපාර පැත්තට නැඹුරු වුණානෙ..කොහොම හරි සීයගෙ ව්‍යාපාර කටයුතු බිඳ වැටිලත් තියෙනවා... ඉතා දුෂ්කර කාලයකුත් ඇවිත් තියෙනවා...''

එතැනදී අපේ ආදරණීය "කලං" යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට බැඳී හමුදා සෙබළකු වූයේය...මේ රස්සාව තමන්ගේ තේරීමම නොවේයැයි දහස්වර සිතුණු නිසාදෝ හේ හමුදා සේවයෙන් සිය කැමැත්තෙන් ඉවත්ව ගියේය...

"ඉතිං අමල්...මෙන්න මේ වගේ කාලයක තමා සුගතපාල සෙතරත් යාපා අන්කල් "හන්තානෙ කතාව" කියන චිත්‍රපටය හදන්න ලෑස්ති කරගෙන සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේ...විජය කුමාරණතුංග මහත්තයාත් ඊට ඇවිත් තියෙනවනෙ..අපෙ තාත්තිත් ගියා කියමුකො ..තාත්තිවත් චිත්‍රපටයට තෝරගත්තා. ඒ තමයි මගෙ තාත්තිගෙ පළමුවන චිත්‍රපටය ...නැතිනම් තාත්තිගෙ සිනමා ගමනෙ ආරම්භය..."

මම අපේ ආදරණීය මධුමතීගෙන් විමසූ එක් පැනයක දී ඕ මෙසේ පැවසුවාය..

"අනේ නැහැ අමල් ..අපෙ තාත්තිට කවදාවත් චිත්‍රපට නළුවෙක් වෙනවා කියන සිහිනයක් නම් තිබිලාම නැහැ....එය අහඹුවක් කියල අද වුණත් මම නම් හිතන්නෙ'..""

ඈ සිනාමුසු මුහුණිනි..

සියා පියාණන් ගත් මග යමින් අපේ ආදරණීය කතා නායකයාද ව්‍යාපාර ලෝකයෙහි නමක් දිනා ගත්තේය..ඒ රෙදිපිළි සහ මැහුම් ශිල්පයෙනි..

මම අපේ මධුමති දෙස බලමි..

"ඔව් අමල් ..අපෙ තාත්තිට නුවර නගරයේ මැහුම් රෙදිපිළි සාප්පු පහක් විතර තිබුණානෙ.. ..ඒ කාලෙදි නම් ඔය රෙඩ් මේඩ් ඇඳුම් කියල දේවල් තිබුණෙත් නැහැ කියනවනෙ.. තාත්ති ඒ කාලෙට ඔබින විලාසිතා ඇසුරින් වගේම නව නිපැයුමින් මැහුම් ව්‍යාපාරය ඉදිරියටම ගෙන ගියා...කොහොමත් කවදත් අපෙ තාත්තිත් ලස්සනට ඇඳපු කෙනෙක්නෙ..""

අපේ කතා නායක "කලං" තම ව්‍යාපාර ලෝකයට සමගාමී ව කලක් ඇවෑමෙන් සිනමා රිදී තිරයේ තාරකාවක් ලෙසින්...විශිෂ්ට චරිතාංග නළුවකු ලෙසින්ද නමක් දිනාගන්නට සමත් වූයේය...

ඔහු රඟපෑ "අහස් ගව්ව " චිත්‍රපටය වෙනුවෙන් ඔහු සම්මානිත වූ ලේඛක විචාර සම්මානය ලද මොහොතේ තම පියාණන් ලද අපමණ සතුට පිළිබඳව ද අපේ ආදරණීය මධුමති කීවේ මහත් සොම්නස් ස්වරයකිනි.

" අපි උපදින කොට තාත්ති ඉතා හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක්...'

ඕ කියන්නීය...

දැන් අපේ ආදරණීය කතා නායකයා රටතොට පරසිදු රසික දනන් තුඩ තුඩ මහත්සේ ආදරයටම පාත්‍ර වූ නළුවෙකි..

ඔහුගේ එක් මැහුම් සාප්පුවකට දිනෙක ගොඩවැදුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් පසු වූ එක් රූමත් යුවතියකි...ඇය පැමිණ සිටියේ එවක ජනප්‍රිය වේදිකා නාට්‍යයක් නැරඹීමට යාමට මෙම සාප්පුවේ ඊට ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දැනගැනීමෙනි...එහිදී අපේ කලං සමඟ වචනයක් දෙකක් නොව බොහෝ කලක් දැනහැඳුනුම්කම් ඇති අයුරින් කතාබහටද රුචි වූ ඇය අන් කවරකු හෝ නොව පසුකලෙක.. දෛවෝපගතව අපේ කතා නායකයාගේ ජීවන සහකාරිය බවට පාත්‍රවූ අජන්තා මහත්මිය ය..

"අපේ අම්මාගෙයි තාත්තිගෙයි ආදර කතාව ඒ තරම් දුරක් තිබුණෙ නැහැ මගෙ හිතේ..දෙන්නා සිය කැමැත්තෙන් විවාහ වුණානෙ..මොකද කිවොත් ඒ විවාහයට අපෙ අම්මාගෙ පැත්තෙ වැඩිහිටියන් නම් විරුද්ධ වෙලා තියෙනවා..කොහොම හරි අම්මියි තාත්තියි ආදරය ජය ගත්තා...'"

මධුමතිගේ මුවඟෙහි ජයග්‍රාහී සිනාවක් පෙනේ..

ඔවුනගේ විවාහය සිදුවූයේ 1971 ක්වූ දෙසැම්බර් මස 18 වනදාය.

එම විවාහයෙන් අපේ "කලං" ප්‍රථමයෙන් දුටුවේ ආදරණීය පුතු දුමින්දය..

දෙවැන්නිය මා හා සුහද පිළිසඳරේ පසුවන අපේ ආදරණීය මධුමතී ය..තෙවැන්නිය වින්ධ්‍යාය..

තම චිත්‍රපට රූ ගැන්වීම් බලන්නට ඔහු තම ආදරණීය බිරිඳ අජන්තා ඇතුළු පවුලේ සැමද කැඳවා යන්නේය.....පතිරාජ එල්.එස් දයානන්දයන් සේම විජය කුමාරණතුංගයන් ඇතුළු සිනමාවට උපන් බොහෝ පිරිසක් ඔහුගේ සමීපතමයෝය...

අපෙ තාත්ති ආවාට ගියාට කිසිවකු සමඟ මිත්‍රකම් පෑවේ නැහැ...ඒ යහළුකම්වලදි තාත්තිට විශේෂ හේතු කාරණා තිබුණා කියලා මට හිතෙන්නෙ...මිනිස්සුන්ගෙ ඇසුරෙදි වටිනාකම් ගැන ගොඩක් සැලකිළිමත් වුණාය කීවත් හරි....ලොකු පොඩි කියන භේද තාත්ති ට නම් කවදාවත්

ම නැහැ... "

අපේ සොඳුරු කතා නායකයාණන් පිළිබඳව වටිනා තතු රැසක්ම අව්‍යාජව පවසමින් දියණිය මධුමතී මහත්මිය මට මුණගැස්වූයේද "පූජා" චිත්‍රපටය නිෂ්පාදනය කළ ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතාමය...

"අමල් මල්ලි ..මනුස්සකම පිරුණු අය ගැන අපි විවෘතව කිව යුතුමයි..නැතිනම් එය පවක්..කුහකකමක්..අපේ කලං මහත්තයා මගේ පූජා චිත්‍රපටයෙ සුවිශේෂී චරිතයක් විශිෂ්ට අයුරින් රඟපෑවානෙ...කොළඹ රූපගත කිරීම් කරන්න යොදාගෙන ඉන්නකොට කලං මට එදා කියූ කතාව තවමත් හොඳීන් මතකයි..

"ගාමිණී අයියේ..මං වෙනුවෙන් නුවරට වාහනයක් එවන්න ඔයා අනවශ්‍ය වියදම් දරන්න එපා..ඔයාට කරන සහයෝගයකට මම කොළඹට බස් එකක එන්නම් ..මාව කොලඹින් ගන්න ගාමිණී අයියා එන්න"

" බලන්න මල්ලි ..ඒ හදවතේ මනුස්සකම .නිහතමානීකම ...හිතවත්කම.."

පූජා චිත්‍රපටයේ නිෂ්පාදක ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා කී අයුරු දැනුදු මේ මොහොතේදීද මට සිහිපත් වෙයි..

" මගෙ තාත්ති මට පුදුම ආදරයක් තිබුණෙ..තාත්ති එයාගෙ දරුවන්ට ජීවිතය ගැන වටිනා හොඳ දැක්මක් ලබා දුන්නා...අපේ අධ්‍යාපනය ගැන සොයා බැලුවෙත් අනාගතය පිළිබඳව හොඳ දැක්මකින්. අපේ අනාගතයට බලපාන වටිනාකම් මොනවාද කියලත් අවබෝධයෙන් තාත්ති දැන උන්නා.....ඒ වගේමයි ක්‍රීඩා කටයුතු වලටත් අපට බල කළා..."

මම නැටුම් කළත් හෝම් සයන්ස් වගෙ දේවල් කරන්නයි තාත්ති කීවේ..ඒ වගේම මාව කැන්ඩියන් නැටුම් වලටත් තාත්ති දිරිමත් කළා..අනිත් එක අමල්....තාත්ති හැමදෙයක් ගැනම බැලුවෙ වෙනස්ම ආකාරයකින්...

හැම තිස්සෙම අපට කිව්වෙ හරිදේ විතරක් කරන්න කියලයි... ඒ ටික නම් මට තවමත් අද වගේ මතකයි..."

අපේ ආදරණීය දියණිය මධුමතී වෙනුවෙන් හේ තම හද මැද රුවා සිටිනා ආදරය ඉන් මොනවට පෙනේ...

මගෙ තාත්ති මගෙ ජීවිතයම යැයි කියන්නේ ඒ නිසාම විය යුතුය..

අපේ ආදරණීය කතා නායකයා "කලං" සිය නිවස පිටුපස බිම් තීරුවේ තම දරුවනට ක්‍රීඩා කරන්නට අපූරු පිටියක් ඔහු දෑතින්ම තනවා දුන්නේය. එහි හැමතින්ම සපයා දී තිබුණේ ක්‍රීඩාවටය.. මේ ආදරණීය තාත්තා ක්‍රීඩාව තම දරුවනට අනිවාර්ය කළේය.

ඇතැම් විට ඔහුට කේන්ති යයි. පිටස්තරයන් හා උරණ වන අවස්ථා ද නැත්තේ නොවේ.එවිට .එය තරමක් රළුය.

"කේන්ති ගියාය කියල ...ඒ වුණාට අපෙ තාත්ති කවදාවත් අපට නියපිටින් පහරක් ගහලා නැහැ...

අනික ..අපෙ තාත්ති සටන් කලාවත් ප්‍රගුණ කරල තියෙනවානෙ...ඒ තුළින් තාත්ති ලබාපු ඉවසීම ශික්ෂණය වැඩියි.

මම හිතන විදිහට තාත්ති ට හොඳ මිනිස්සු ටිකක් තාත්ති ළඟම උන්නා...ඒ එක්කම දවසේ කටයුතු සමබරව කරගෙන යාමටත් තාත්ති ට හොඳ අවබෝධයක් තිබුණා ..අපට තාත්ති ඉන්න ගේ පිටුපස හදල දුන්න ලස්සන ගාර්ඩ්න් එක තාත්තිගෙම නිර්මාණයක්....අපට ක්‍රිකට් ගේම් පුහුණු කළෙත් අපෙ තාත්තිමයි.. ..

අපේ අධ්‍යාපන කටයුතු වලදි නම් ගොඩාක් වෙහෙසුණේ අපෙ අම්මා තමයි..අපෙ අම්මා තමයි අපෙ හෙවණැල්ල ..

මොකද තාත්ති ට අවිවේකයත් තිබුණානෙ.. .අපෙ ගෙදර සිංහල පොත පත වගේම ඉංග්‍රීසි පොතපතත් පිරිලා..සිංහල පොත් පත් නම් අම්මාගෙ.. ඉංග්‍රීසි පොතපත තාත්තිගෙ .

..අපෙ තාත්ති නිතරම පොත්පත් කියවන්න නම් හරිම කැමතියි..අපටත් අප පුංචි කාලෙ පටන්ම බල කරනවා හොඳට පොතපත කියවන්න කිය කියා..ඒපොතපත කියැවිම නම් තාත්ති ගෙ දින චර්යාවෙ ප්‍රධාන දෙයක්මයි..

(ඕ සිනාසෙමින්..) මම තමයි ඉතිං පොත් කියවන්නෙ.අනික් දෙන්නා නම් එහෙමට කියවන්නෙ නැහැ."

ඕ යළි සිනාසෙන්නීය..

ව්‍යාපාරික පුතු දුමින්ද ත් දියණිය මධුමතීත් විවාපත්ව නිවසින් බැහැරව ගිය කල්හි නිවසෙහි පසුවූයේ ශ්‍රී ලංකා එයාර්ලයින් ගුවන් සේවයේ වින්ද්‍යා දියණිය හා මවද පියාද පමණි...

පෙරදී කීවාක් මෙන් බිරිඳ අජන්තා හැම මොහොතක්ම ගතකළේ තම හිමිගේ සුව සහනය මත්තේමය...අහරපාන..සමාජ ඇසුර ආදියේදී මෙන්ම මීඩියා කටයුතු වලදීද ඕ තොමෝ වඩාත් ඔහු පරිස්සම් කරවන්නට අපමණ ව වෙහෙසුණාය..තම හිමි ආරක්ෂා කරගන්නට යුහුසුලු වූවාය...

"සෞඛ්‍ය තත්ත්වය ගැන සේම ප්‍රිය බිරිඳ අජන්තා පිය හිමිගේ යහපත මත්තේම නැහෙන සුලු තරම අවබෝධයෙන් දැනසිටි ඔහු පපුකැනැත්තේ පැලපදියම්ව තිබූ නිකැළැල් ආදරය නිසාම ඔහු බිරිඳ ඇමතූවේ "බේබි" යන ආදරණීය සුරතල් නාමයෙනි..

"ඔව්.. අමල් ..විජය අන්කල් අපේ ගෙට එන්නෙ අජන්තා කියාගෙනමයි..ඒ ආව දවසක තමයි විජය අන්කල් මගෙ නංගී වින්ද්‍යාට ලාලිත්‍යා කියන නමත් දාලා තියෙන්නෙත්.. විජය අන්කල් එක්ක අපෙ තාත්ති පුදුම ළෙන්ගතුකමක් තිබුණානෙ."

අපේ මධුමතී කියන්නීය..

පුතු දුමින්දගේ දියණිය මුතූ ට වගේම දියණිය මධුමතීගේ දියණිය අමා ට මුතු මැණිකේ නමින් තාත්ති කතාකරන හඬ තවමත් මට ඇහෙනව..ඇහෙනව යැයි කියමින් ඕ තනිවම තොල් මතුරන්නීය..

" මගෙ දියණියගේ විවාහ මංගල උත්සවය ගැන මගෙ තාත්තිගෙ හිත ඇතුළෙ ලොකුම සතුටක් බලාපොරොත්තුවක් තිබුණා ...අනේ ඒකට අවස්ථාව නැතිව ගියානෙ....."

මධුමතී සුසුමක් හෙළන්නීය..

අපේ සොඳුරු කතා නායක තෙමේ උදාසනින් පිබිදෙන්නේය..ක්‍රීඩාවට සුදුසු ගැළපෙන ඇඳුමකින් සැරසෙන්නේය..හෙතෙම වීදියට බැස වේගයෙන් ඇවිද යන්නේය..නැතහොත් දිව යන්නේය..ශාරීරික සුවය පතා නිරතුරු ව්‍යායාමයෙහි නිරත වන්නේය...

මේ කියනා එක් දවසක හෙතෙම හදිසි හෘදයාබාධයකින් පෙළෙන්නට වී අසාධ්‍ය ව රෝහලට ඇතුළත් කළේය..අනතුරුව වෛද්‍යවරුන්ගේ මනා සත්කාර හේතුවෙන් ඔහු ඉන් සුවපත් වූවේය..

ගීතයට එහෙමට ඇලුම් නැති අපේ ආදරණීය "කලං" ගෙදර ප්‍රිය සාදයකදී නැටුමට හවුල් වන්නේය.

දුම්වැටියටද මත්පැන් වීදුරුවටද හෙතෙම පෙම් බැන්ද නමුත් එයම නාගෙන ඉන්නට තරම් ප්‍රියත්වයක් නම් ඔහුට තිබුණේ ම නැති..

මේ ගතවී යන්නේ අපේ ආදරණීය කතා නායකයාගේ මැදිවිය පසුකරනා අවධියයි..දැන් දැන් හෙතෙම බාහිර කටයුතු ආදියෙන් බොහෝ දුරට මිදී පසුවන බවක් පෙනේ. හේ සිය නිවසට වී බොහෝ විවේක සුවයෙනි..

නක්ෂත්‍රය පිළිබඳව තැකීමක් නොකළ හෙතෙම තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ ද නැකත් චාරිත්‍ර වාරිත්‍ර අනුව නම් නොවේ.

අපේ ආදරණීය දියණිය මධුමතිී හිඳසිටි සුවපහසු අසුනේ හරිබරි ගැසෙයි..යමක් කියන්නට මෙන් යැයි මට එවර සිතිණි.

"දන්නවද අමල්...අපෙ තාත්තිගෙ අත බලපු කෙනෙක්..කවුද කියලවත් ..සෘෂිවරයෙක්ද කියලවත් මම දන්නෙම නැහැ. එහෙම කෙනෙක් දවසක් මගෙ තාත්තිගෙ අත බලලා ඒ මනුස්සයා කිවාලු මහත්තයා අවුරුදු 82 ක් වනතුරුම ජීවත් වෙනවා ...ගලේ ගහලවත් එතකම් මරන්න බැහැයි කියලා..ඒ ටික නම් තාත්තිගෙ හිතේ එය මතක් වෙනගානෙ නිතරම ගෙදර කිව්වා ..."

රට තුළ නොසන්සුන් කලබලකාරී තත්ත්වයන් මත එදා 80 ගණන්වල පිරිසක් ඔහුගේ නිවසට පැමිණියේ මහ රෑ ජාමයේය. එසේ

පැමිණි නාඳුනන උන් අපේ "කලං" ගෙතුළින් එළියට එන්නැයි නියෝග දුනි.. .මින් මහත් දුකකටත් බියකටත් පත්වූ බිරිඳ අජන්තා හා දරුවන් අතර අපේ මධුමතී ද ඉකි බිඳ බිඳ හඬා හැපෙන්නට වූවාය..ඒ දුටු අපේ ආදරණීය කලං තම දියණිය සමීපයට පැමිණ නතර වූවාය..අදරින් ඈ හිස අත ගා ඔහු මුවින් කීවේ මේ ටිකය..

"මගෙ දුවේ..ඔයා අඬන්න එපා. මං කාටවත් ම වරදක් කරල නැහැනෙ..මාව කාටවත් මරන්න බැහැ..දුවේ..මට වයස 82 ක්ම ජීවත්වන්නට පින් තියෙනවා...නාඬා ඉන්න මයෙ රත්තරන් දුවේ..""

යි කියා නාඳුනන අයගේ නියෝගයට අවනතව හේ මිදුලට ගියේය...කුමකින් කුමක් වේදෝහෝයි සිතාගත නොහී නිවැසියෝ දෙවියන් බුදුන් යැදීය...

තවත් ටික වෙලාවකින් පැමිණි අමුත්තෝ ඔහු ගෙතුළ ට එවා ආපසු යන්නට ගියහ..

තාත්තිගෙ මුවග සිනාව දුටු දියණිය මධුමතී වහා පැන තාත්ති වැලඳ.."අප්පේ..මං බය වුණ තරමක් " යැයි කීවාය...

තමන් හා බිරිඳ අජන්තා එක්ව තම හැදූ වැඩූ දරුවන් දැන් තමන්ගේ ය කියා තනාගත් කූඩු වලය...අපේ ආදරණීය කතා නායකයා තම බිරිඳ අජන්තා ද එයාර්ලයින් හි සේවයෙහි නිරත දියණිය වින්ද්‍යාද සමගින් ජා ඇල පිහිටි නිවසට පැමිණයහ...දැන් හෙතෙම ගෙවන්නේ වඩාත් හුදකලාවට ම ඇරුණු ජීවිතයකි..

තම ප්‍රේමණීය මවුපියන්ගේ 50 වනවිවාහ සංවත්සරය ද ජයටම නිවසේ පවත්වන්නට යෙදුණේ දූ දරුවන්ගේ ලොකු සතුටක් මුදුන්පත් කරවමිනි....

"ඇත්තමයි ...අපි හැමෝම මහගෙදරට එකතු වන දවසට අපෙ තාත්ති පුදුම විදිහට සන්තෝසයි...අපෙ අම්මාටත් එහෙමයි..."

ගෙදර දුරකතනය නාද විය..හුරුපුරුදු ප්‍රතාපවත් කටහඬක් යැයි වහා හඳුනාගත් මධුමති ගෙන් එහා කෙළවරින් විමසූයේ කෝ තාත්තා ..? යනුවෙනි..

"තාත්තා ගෙදර ඉන්නව ගාමිණී අන්කල්..."

අපේ කලං සමඟ කෙටි වේලාවක් සුහදව කතාබස් කළ අපේ ගාමිණී ෆොන්සේකා මහතා ආරක්ෂාව පතා වහා නිවසින් පිට ව පසුවන ලෙසට දන්වා සිටියේය.

ඒ ගැන කියූ මධුමති මහත්මිය තවදුරටත් කීවේද මෙබන්දකි .

"ඉස්සර නළු නිළියන් අතර තිබුණු සහෝදරත්වය වචනයෙන් කියා නිම කරන්නට බැහැ..අද ඒ තරම් ම නම් නැතිව ඇති..

එකෙක්ව කපාගෙන උඩට එන ගති නම් එදා කලාකරුවන් අතර තිබුණේම නැහැනෙ...පුදුම බැඳීමක් එයාලා ළඟ එදා තිබුණෙ. අද මේ තත්ත්වය දකින්නත් නැති තරම්...එයාලා එදා වෙන වෙනම හිටියාට පොදු ගරුත්වයක් සහෝදර ශිල්පීන් හැමකෙනා ගැනම එයාලා තුළ තිබුණා ..."

දැන් දැන් අපේ ආදරණීය කතා නායකයා වියපත්ය.එහෙත් ඔහුගේ ඇඳුම පැළැඳුම දෙස බලන කල්හි වයස යනු ඉලක්කමක් පමණක් යැයි ඔහු නිහඬව ම ලොවට කියාදෙන්නේ යැයි මට හැඟේ.

දැන් හෙතෙම වරින්වර රෝගාතුර වෙයි. රවින්ද්‍ර රන්දෙණිය ඇතුළු තම හිතාදරයන් ආදීහු ඔහුගේ දුක සැප බලන්නට පැමිණෙති .. විමසති..

දරුණු හෘදයාබාධයකට ලක්වීමෙන් පසුව වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් උපදේශකත්වයෙන් අපේ කතා නායකයා ඉන් සුවපත් වූයේය..වසර පහක් පමණ පූර්ණ සුවයෙන් කල්ගත කළේය.

"හැබැයි ...තාත්තිව අපි ගොඩක් ම පරිස්සම් කළා..කොවිඩ් ආපු කාලෙදිත් පරිස්සම් කළා. ඒ කාලෙදි නම් තාත්තිව අපි කොහේවත් යැව්වෙම නැහැ..ඒත් ඉතිං..අපෙ තාත්ති තනිවම බැංකු ගියා. බඩු ගේන්න ගියා..බෙහෙත් බිබී උන්නාට තාත්ති ට

තමන්ගෙ වැඩක් කරගන්න තරම් කායික මානසික ශක්තියක් තාත්ති ට තිබුණා .."

මා සමග මෙතුවක් දසන් දක්වා විකසිත සිනාමුව මඬලින් පසු වූ අපේ ආදරණීය කලංගේ සුරූපී දියණිය මධුමතී ගේ ඒ සිනාවත වියැකී ඒ වෙනුවට ඈ දෙනෙත කඳුළින් පිරී යන්නාසේ මට පෙනේ.. ඒ ළගන්නා සුළු දොඩමලු හඬද දැන් දැන් බිඳුණු ස්වරයකි..

ඇයගේ ප්‍රේමණීය පියාණන් දැන් පෙරදී මෙන් ගත දිරි සවිමත් කළ ව්‍යායාමය නම් නොසොයයි..පිටතට ගමන් බිමන්ද ඉඳහිටවත් නැති තරමි..

"මගෙ තාත්ති මගෙ ජීවිතය.."

ඒ ටික එවර ඕ තමන්ටම කියාගත්තාක් මෙනි..

ඈ මට රහසේ පිටඅත්ලෙන් තම දෑසේ නැගි කඳුළු වහා පිසදා ගත්තාය..

"ඔයාලා බයවන්න එපා..දුවේ..මං අවුරුදු 82 ක් ඔයාලා එක්ක මං ජීවත් වෙනවා..."

හුදෙකලාව පසුවන අපේ සොඳුරු කතා නායකයා රූපවාහිනිය අසල සුපුරුදු සුව පහසු අසුනකට වී ගෙතුළ හැමෝටම ඇසෙන්නට සතුටින් කියන්නේය..

තම පෙම්බර දුවා දරුවන් තම මහගෙදරට පැමිණීමෙන් හේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය..

"දරුවනේ..මේ බලන්ඩකෝ ඔයාල ඔක්කෝමල ගෙදරට ආපු සතුටට අම්මාගෙ හිතේ සතුට...මේ බලන්ඩකෝ දුවේ..පුතේ.."

අපේ ආදරණීය කලං ඉහවහා ගිය සතුටකින් යුතුව තමන් මෙන්ම වියපත් බිරිඳ අජන්තාවන්ගේ මුහුණ දෙස බලා .. හඬගා මහත් සතුටින් කියන්නේය..

ඈත යටගිය දවස්වලදී විවේකය ලද ඇසිල්ලකදී තම මිතුරු ගාමිණී ෆොන්සේකා මහතාගේ නුවර පළාතේ පිහිටි දැකුම්කලු වත්තට බිරිඳ හා දරුවන් ද කැටුව යන්නේය.. නැතිනම් තවත් කොහේ හෝ විමෝදයට පවුලේ අයද කැඳවා යන්නේය..දැන් දැන් ඒ ආදරණීය පියතුමන් ට ඒ කිසිවකට ඊට ගත අවිවේකීය..විඩාබරය..

මම ආදරණීය දියණිය මධුමති දෙස බලමි..ඕ තම දෑසේ කඳුළට ඔහේ ඉඩදී බලාගත්වනමය ...

"මගෙ තාත්ති එකපාරටම ආයෙත් අසනීප වුණානෙ.."

ඕ හැඬුම් ස්වරයෙන් තතනමින් කියන්නට වූවාය..

අපේ ආදරණීය කලං රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබ තම නිවසට ආපසු කැඳවා පැමිණියේ දින දහයකට පමණ පසුවය..එහෙත් ...ඔහුට අහර අප්‍රියය..නිවසටම පැමිණි හිතෛෂී වෛද්‍යවරුන් ඔහු පිළිබඳ තත්ත්වය දැනමැන ප්‍රතිකාර ලබාදෙන්නට උත්සුක වුවද මේ වනවිට අපේ ආදරණීය සහෘදයා පසුවන්නේ ස්වාභාවික අවසානයකට ළඟාවෙමින් බව එම වෛද්‍යවරු දූ පුතාට රහසේ කියා සිටියේය..

තමන්ට ජීවිතය දුන් ...ආදරයම දෝතින් පිදූ ප්‍රේමණීය පියාණන් වෙනුවෙන් ඔහුගේ පුතු දුමින්ද ඇතුළු දූලා ඔහු සමීපයේමය..ඒ ගෙතුළ පෙරදා මෙන් නොව හැමතැනම මහත් ශෝකාකූලයම දනවන්නකි ..ඒ මුහුණු මත සිනාවක් මතුව පෙනෙන්නේ අහඹුවය..

එදා රාත්‍රිය පෙර මෙන් ගෙවී ගියද අපේ සොඳුරු කතා නායකයාගේ සිතෙහි ජනිතව තිබූ කිසිවක් සිතාගත නොහැකිය..පසුදා හිමිදිරියේ අවදි වූ හෙතෙම වොෂ් රූම් යා යුතු බව කීවේය...ඊට ඔහු වාරුවට ආදරයේ දෑත් රැසක්ම ඔහු වෙතටමය..

"අනේ..අපෙ තාත්ති ට කවන්න පොවන්න නම් මුකුත්ම බැරිවුණා ...හැමදේමත් තාත්ති ට අප්‍රියයි.."

මධුමති ගේ දෑස රත්පැහැ ගැන්වී තියේ..

"පූජා චිත්‍රපටය කරපු ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු අන්කල් ඉන්නෙ ප්‍රංශයේනෙ...අපෙ තාත්තිගෙ හිතේ පුදුම ළෙන්ගතුකමක් තිබුණෙ..ගාමිණී අන්කලුත් තාත්ති ට එහෙමමයි..අපේ පවුලේ හැමෝම එක්ක ගාමිණී අන්කල් හරිම ලෙන්ගතුයි...අදටත් මට වුණත් මැසේජ් එකක් දමල අපට ඇති ආදරය අලුත් කරවන මනුස්සකම ඇති වටිනා මහත්මයෙක්...තාත්ති නැතිවෙනකොට ගාමිණී අන්කල් ප්‍රංශයේ..බලන්න ...එතුමා ලංකාවට ආව ගමන් ආවෙ අපේ ගෙදරට අපෙ අම්මා දැකගන්න..මං හිතන්නෙ එතුමාගෙ පැමිණීම කෘතවේදී පැමිණීමක්..හරිම සුන්දර මනුස්සයෙක් "

"මගේ හා කලං ගේ අති දිගු කලෙක මිත්‍ර සම්පත්තිය අතර හිඳ සිතන කළ ඔහු රඟපෑ සියලුම චරිතවලට වඩා ඔහු අති විශිෂ්ට ලෙස රඟපෑ චරිත දෙකක් තිබෙයි.

ඒ චරිත නම් අමරසිරි කලංසූරිය වන විශිෂ්ට නළුවා (තවමත්) රඟපාමින් සිටින දයාබර සැමියාගේ සහ ආදරණීය තාත්තාගේ චරිතයන් සමගින් සෙවණැල්ල සේ පසුවන ආදරණීය නිහතමානී බිරිඳ අජන්තා..ආදරණීය උගත් දරු කැළ එය මනාව සනාථ කරන්නේය.."

මා හිතමිතුරු දිවයින පුවත්පතේ උපදේශක කර්තෘ මෙරිල් පෙරේරා යටගිය එක් දිනෙක අපේ කතා නායකයා පිළිබඳව ලියූ සටහනකි ඒ..!

මේ උදාවූයේ 2023 නම් මේ වසරේ අප්‍රේල් මාසයේ පළමුවනදාය. මෑතක සිට වඩාත් නින්දට ප්‍රිය වූ අපේ සොඳුරු කතා නායක අමරසිරි කලංසූරිය නම් අපේ විශිෂ්ට රූපණවේදියා නිදි යහනේ නිසලවමය...ඔහු සිත බියගුලු නැතැයිද..ඉදිරියේදී තමන් වෙත පැමිණෙන කවර දෙයකට වුවද මුහුණ දෙන්නට කිසිදු තැතිගැන්මක් හෝ ඒ නිදිබර මුහුණින් පළනොවිණි.. කෙඳීරිලි හඬක් වුව මුවඟින් පිටවූයේද නැති.. හේ ශාන්ත ව වැතිරගත් ගමන්මය..තම සමීපතමයන් සිතෙහි පසුවුවද ඒ කිසිවකුට හඬ ගා අමතන්නට හෝ නැවත යමක් කියන්නට හෝ උවමනාවක්ද නැති...ඔහු ඔහුගේ ම ලෝකයක යැයි හැඟේ..

"මගෙ රත්තරන් තාත්තිට.. පින්වන්ත අවසානයක් මගෙ තාත්ති ට.. ලැබුණා..."

මහත් ආයාසකින් මෙන් එසේ බිදුණු ස්වරයෙන් පැවසූ දියණිය මධුමතී දිගු සුසුමකින් ලය සැහැල්ලු කරගන්නට වෑයම් කළාය...

ඇය මට සමුදුන්නේ ඊටත් බොහෝ වේලාවක් ගතව ගිය පසුව ය.

 

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

[email protected]