තාත්තාට ගීත ගයන්නත් හොඳ හැකියාවක් තිබුණා

ලයනල් දැරණියගලගේ ගේ දියණිය ශ්‍යාමා දැරණියගල කියයි
නොවැම්බර් 30, 2023

- මගෙ තාත්ති චිත්‍රපටවල නපුරු දුෂ්ට චරිත රඟපෑවාට සැබෑ ජීවිතයේ උදව්වක් ඉල්ලාගෙන ආවොත් ආපසු හිස් අතින් නම් නොයවන කාරුණික හිතක් තිබුණු කෙනෙක්..
- අපි තාත්ති ට හැමදේම ලස්සනට පිළිවෙළට තියෙන්නම ඕනෑ..කෑම මේසය..මේස රෙද්ද..කෑම ටික හරිම පිළිවෙළට ඕනෑමයි..
- මගෙ තාත්ති මට කවදාවත් බලපෑම් කරල නැහැ..කොච්චර කේන්ති ගියත් අපට පහරක් ගහලා නැහැ..

බොරලැස්ගමුවේ ..ඇඹිල්ලවත්ත පාරේ එක්තරා නිවසක එහි ගෙමිදුලට පැමිණ නතර වූ මම ...පැමිණි කාරණය අනුව මසිතෙහි ඇඳී යන්නේ ඉතා සැරපරුෂ උඬඟු ගති පිරුණු හාමු මහත්තයා එදා "හිතහොඳ මිනිහෙක් " සිනමා සිත්තමේ ජෝති නම් අසරණ තරුණයාගෙන් (ගාමිණී ගෙන්) "ඇයි...මොකටද මෙහෙට ආවෙ..? යැයි විමසුවාසේ ප්‍රතාපවත් ගරු ගම්භීර ඒ පුරුෂයා මෙදා ආලින්දයට පැමිණ විමසන සේයාවකි.

ඒ වෙනුවට පිරුණු සිනාවතින් යුතුව මා හමුවට පැමිණියේ එතුමාගේ රුවැති දියණියක වන ශ්‍යාමා ය...මවෙත සුවපහසු අසුනක් පිරිනැමූ ඕ තොමෝ දයාබර වදනින් යුතුව "ඉතිං .. කොහොමදැයි විමසමින්ම මා සමීපයේම අසුනකට බර දුන්නාය..

ඒ උත්තුංග පෞරුෂයකින් අගතැන්පත් හෙතෙම දැන් දැන් උදාරම් ලීලාවෙන් දුම්වැටියක් මුවගෙහි රඳවාගත් ගමනින් පැමිණ විනිවිද යන බැල්මෙන් යුතුව මදෙස බලා දුම්රොටු පා කර යවන අයුරුද සිහිනයකින් මෙන් පෙනි පෙනී ගියද ..එය මසිත හුදු සිතිවිලි මාත්‍රයක්ම පමණක්ම යැයි ඇත්ත ඇති සැටියෙන් ම සිතා ගතිමි.

"මගෙ තාත්ති ගැන සරසවියට ලියන්නට ආව එකට බොහොම සතුටුයි.."  

ශ්‍යාමා තවමත් සතුටු සිනාවෙනි.

මට ඒ කඩවසම් පුරුෂයාගේ බරැති කටහඬත් ..තියුණු රළු බැල්මත් මැවි මැවී පෙනේ..හෙළ සිනමා රිදී තිරයේ දුෂ්ටයාගේ භූමිකාවට රංගන කෞශල්‍යයෙන් අසමසම සාධාරණයක්ම ඉටුකළාවූ සිනමා රසිකයාගේ ද්වේශයට..වෛරයට බඳුන් වූවා වූ...අපේ මෙවර සොඳුරු කතා නායකයා පිළිබඳව කියන්නට ඔහු දියණිය ශ්‍යාමා මා හා ආදරණීය පිළිසඳරකට මුල පුරන්නී ය..

"මගෙ තාත්ති ඔය චිත්‍රපටවල නපුරු දුෂ්ට චරිත රඟපෑවාට අනේ...එයාගෙ සැබෑ ජීවිතයේ දි අනුන් ගැන වෙහෙසෙන..දුකකදි හිත උණුවන ....කවුරු හරි උදව්වක් ඉල්ලාගෙන ආවොත් ආපසු හිස් අතින් නම් නොයවන කාරුණික හිතක් තියෙන කෙනෙක්.."

අපේ ආදරණීය ශ්‍යාමා සෘජු බැල්මෙන් යුතුව එසේ කියන්නීය..

අපේ ආදරණීය කතා නායකයාගේ උප්පැන්නයේ නම වනුයේ ජයතිස්ස දන්තනාරායන ලයනල් ය..පෙළපත් නාමය ජයතිස්ස ය...එහෙත් ඔහු නමින් ප්‍රකට වූයේ ලයනල් දැරණියගල ලෙසිනි..

එයට හේතුවක්ද කියැවෙයි..එකල ගැටවර සමයෙහි පසුවන හෙතෙම රැකියාවක් සොයා කොළඹ පැමිණියේලු. ඒ 1960 දශකයේය..ගිල්බට් හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ "එකොළොස් ගින්න "චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔහු තෝරා ගත්තේය..එතැනදී ඔහුගේ දන්තනාරායන උපන් නම වෙනුවට වඩාත් සිනමාවට ගැළපෙන්නේ යැයි කියමින් දැරණියගල ලෙසට නම වෙනස් කිරීමෙන් පසුව එම ලයනල් දැරණියගල නාමයම එතැන් සිට භාවිතයේ පැමිණ තිබේ..

කෙසේනමුදු එම චිත්‍රපටය අතරමග ඇනහිටියද දැරණියගල නාමය නම් ඔහුට ඉතිරි විය..

අපේ කතා නායකයාගේ මවුපියන් වූයේ ජයතිස්ස දන්තනාරායන සහ මැටිල්ඩා වනිගතුංගය...එම දෙපළම ගාල්ලේය...ඔවුනට පියසීලී නමැති එක් දියණියක් වූ අතර ඕ දැනට ජීවතුන් අතර නැති...අපේ කතා නායකයා එම පවුලේ බඩපිස්සා හෙවත් බාලම පිරිමි දරුවා වූ අතර වාමාංශික ව්‍යාපාරයේ දැවැන්තයකු වන නෙල්සන් දැරණියගල මහතා අපේ කතා නායකයාගේ ලොකු අයියාය..

මේ වනවිට ඔහු පදිංචි ව සිටින්නේ අමෙරිකාවේය...

1936 ක්වූ අගෝස්තු මස 24 වන දා ගාල්ලේදී මෙලොව එළිය දුටු අපේ ආදරණීය කතා නායක තෙමේ මූලික අධ්‍යාපනයට පිවිසියේ ගාල්ල මහින්ද විද්‍යාලයටය..රංගනයට තම සිත බැඳී නිසාම හෙතෙම පාසල් වේදිකාවේද නාට්‍ය කිහිපයකම රඟපෑවේය...උසස් පෙළ දක්වා පැමිණි හේ පසුව රැකියාවක් සොයා කොළඹට පැමිණියේ ය..

කොළඹට පැමිණි අපේ ලයනල් තරුණයා සිලෝන් තියටර්ස් සමාගමේ පොත් තැබීමේ ලිපිකරුවකු ලෙසින් සේවයට බැඳුණේය..මෙතැනදීය ඔහුට චිත්‍රපට නිෂ්පාදකවරයකු වන රෝලන්ඩ් අමරසිංහ මහතා මුණගැසුණේ.....

ස්ක්‍රීන් ටෙස්ට් එකක් සඳහා නව ජීවන රඟහලට පැමිණෙන ලෙසට අමරසිංහ මහතා පැවසූයෙන් ඔහු එහි ගියේය...නවක නිළියක වන ශිරාණී ගුණතිලක සමඟ අපේ ආදරණීය ලයනල් දැරණියගල හාපුරා කියා කොළඹ හාදයෝ නමැති චිත්‍රපටයේ උදේනි නම් ප්‍රධාන චරිතයට තෝරා ගත්තේය...

"අපේ තාත්ති ට හරිම ලස්සනට ගීත ගයන්නත් පුළුවන් ..ගෙදර විවේකයෙන් ඉන්න වෙලාවට අපටත් ඇහෙන්න සින්දු කියනවා...මොරිස් දහනායක අන්කල් ජෝති අන්කල් නිතරම තාත්ති බලන්න අපේ ගෙදරටත් එනවා..තවත් යාළුවො ගොඩක් තාත්ති ට හිටියා.."

අපේ ශ්‍යාමා කියන්නීය.. 

"හැබැයි පාසල් ජීවිතයෙන් පස්සෙ තාත්ති දුෂ්කර ජීවිතයක් ගතකරල තියෙනවා..පස්සෙ ..පස්සෙ ඒවා තාත්තිගෙ උත්සාහයෙන් හරිගිහින් තියෙනවා.."

අපේ ආදරණීය සොඳුරු කතා නායකයාගේ පාසල් අවධියේදී සමීපතම මිතුරකු වන චිත්‍රපට නළු සේනක පෙරේරා එවක ජනප්‍රිය බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න වෙතට කැඳවා ගියේය..ඒ වනවිට හෙතෙම කැලෑහඳ චිත්‍රපටයට අතගසා තිබුණේය..එහෙත් අපේ ලයනල්ගේ වයස ඊට බාධාවක් විය..

"ඔයා අධ්‍යාපනය නිමා කරල මාව හම්බුවෙන්න එන්න..වයසින් තවම පොඩියිනෙ.."

මේ අතරේදී සුදාස් මාස්කෝරාළ නිෂ්පාදනය කළ අභිමානය වේදිකා නාට්‍යයට ඔහු තෝරා ගැනිණි..පසුව ගාමිණී ෆොන්සේකා සහ සෝනියා සමග හේ මී මැස්සෝ චිත්‍රපටයේ රඟපෑවේය..ඒ 1969 දීය..

දැන් දැන් ක්‍රමයෙන් අපේ කතා නායක තෙමේ සිනමාවේ ගමන්මගට පිවිස සාර්ථක ගමනකට අවතීර්ණ ව පසුවන්නේය. නීල් රූපසිංහයන්ගේ හතර දෙනාම සූරයෝ හි ප්‍රතිවාදියාගේ චරිතයට මහත් ජීවයක් දෙමින් හේ මතකයේ රැඳෙන කදිම රංගනයක යෙදුණේය..ඒ 1971දීය..

වරක් එඩී ජයමාන්නයන් ඔහුට මුණගැසුණේ ය..

" ඩොමී ජයවර්ධනගෙන් පසුව මා දුටු හොඳම දුෂ්ටයා ඔබයි " එඩී ජයමාන්නයන් කීවේය...

රෑන ගිරව්..රිදී තැල්ල..රජගෙදර පරෙවියෝ..රන් ඔන්චිල්ලා ..කස්තුරි සුවඳ..රජ කෙල්ලෝ..එදත් සූරයා අදත් සූරයා..ආදී චිත්‍රපට තුළින් ඉමහත් ජනප්‍රසාදයකට පත්වූයේ අපේ ආදරණීය කතා නායකයාය..

සිය රංගන ජීවිතයේ වෙනස්ම මඟක් ගත් සවුදන් ජෙමා චිත්‍රපටයේ හේ රඟපෑවේ හාස්‍ය රසය දනවන චරිතයකි..සිනාවයි ඉනාවයි...චිත්‍රපටයේ විකට චරිතයක්ද රඟපෑ ..ඔහු 1978 දී ගාමිණීගේ සහෝදරයකු ලෙසින් අප්සරා චිත්‍රපටයේ රඟපෑවේය..

"අපෙ තාත්ති ට අපෙ අම්මිව මුණගැසුණෙත් සිනමාවේදිමයි..මගෙ අම්මිත් සිනමා නිළියක්නෙ.."

අපේ ශ්‍යාමා කීවේ මුවපුරා සිනාවකිනි..

ගිජුළිහිණියෝ..වානරයෝ..රජ කෙල්ලෝ..ආදී චිත්‍රපට දහයකට එහා රංගනයෙන් දායක වූ ඕ තොමෝ තිලකා දරරණියගල මහත්මිය ය..ඇයගේ උපන් ගම මාතරය...මේ දෛවෝපගත හමුවීම සමඟින් අපේ කතා නායකයාගේ ජීවන සහකාරිය වූයේ ද ඇයමය..

"මං හිතන්නෙ තාත්ති අම්මි එක්ක අවුරුදු පහක් හයක් විතර ආදරයෙන් ඉඳල පසුව විවාහ වෙලා තියෙනවා...විවාහයෙන් පස්සෙ අම්මි සිනමාවෙන් ඉවත් වෙලා තියෙනවා.."

විවාහයෙන් පසුව අපේ කතා නායක ලයනල් දැරණියගලයන් දෙහිවල පදිංචිව සිටියේය...සමීප මිතුරකු බවට පත්ව හුන් අපේ ගාමිණී දෙහිවල පිහිටි අපේ කතා නායකයාගේ නිවසට පැමිණ ගියේය..

මම ශ්‍යාමා දෙස බලමි..තම ආදරණීය මවුපිය දෙදෙනා ගැන ඕ කතා කරන්නේ අපමණ සතුටකින් යැයි මට හැඟේ..

හෙතෙම සිය බිරිඳගේද සහය ඇතිව බතික් කර්මාන්තයකට අත ගැසුවේය.. ආනයන..අපනයන සරු ව්‍යාපාරයක් බවට මුලදී පත්වුණිද චෙක්පත් ඇසුරින් ව්‍යාපාර ගනුදෙනු කරන්නට යාමෙන් එම ව්‍යාපාරය ක්‍රමයෙන් පාඩු ලබන තත්ත්වයකට පත්වූ බවද අපේ ශ්‍යාමා කියන්නීය..ඉන්පසුව ලොකු කණ්ණාඩි වීදුරු නිෂ්පාදනයටද හේ අත පෙවීය...එයද අතරමග ඇනහිටිණි...

මේ වනවිට ලාංකේය සිනමා කර්මාන්තයේ ද චිත්‍රපට තැනීම් මන්දගාමී තත්ත්වයකට පැමිණෙමින් තිබූ වකවානුවක් විය..

අපේ ආදරණීය ලයනල් තීරණයකට එළැඹියේය..

"අපෙ තාත්ති හැමදේටම නැවතීමේ තිත තියලා මැද පෙරදිග රස්සාවකට ගියානෙ...හෝටල් කළමනාකරණය පිළිබඳ ඩුබායි රටේ ලොකු හෝටලයක රස්සාවකට ගියේ...එහි අවුරුදු හයක් විතර හෝටල් රස්සාව කරල ආපහු ලංකාවට ආවා..ඉන් පස්සෙ ආයෙත් තාත්ති සිනමාවට එකතු වුණා.."

"ගාමිණී ෆොන්සේකා අන්කල්ව අපේ අම්මිගෙ පැත්තෙන් ඥාති සම්බන්ධයකුත් තියෙනවනෙ...විජය අන්කල් තාත්තිට හරිම හිතවත්..."

මම අපේ ආදරණීය ශ්‍යාමා වෙතින් විමසූ එක් පැනයකදී තම දෙඅත් දෙකම්මුල් මත තබා ඕ දෑස් මහත් කළාය..

"අපෝ..අපි තාත්ති ට හරිම බයයි...හැමදේම ලස්සනට පිළිවෙළට තියෙන්නම ඕනා..කෑම මේසය..මේස රෙද්ද..කෑම ටික හරිම පිළිවෙලට ඕනාමයි..නැතිනම් කන්නෙත් නැහැ...කේන්ති යනවා හරි ඉක්මනට..

කෑම කාලා ඉවර වුණාම කටේ දාගන්න සීනි හැන්දක් තියෙන්නම ඕනා..පොඩ්ඩක් ඇත්නම් ඉතිං බැනුම් තමයි.."

ශ්‍යාමා සිනාසෙන්නීය..

"තාත්තිත් නිතරම ඉන්න කැමති හරිම පිරිසිදුවට..ගෙදර ඉන්නකොට නාලා ලස්සනට ඇඳලා ඉන්නෙ..අනික අමල්.. අපෙ තාත්ති ගෙදර කිසිම වැඩක් නම් කරන්නෙම නැහැ..ගෙදර වැඩ ඔක්කෝම අම්මියි අපියි..තාත්තිගෙ එකම කැමැත්ත කෑම මේසයට..පුටුවට..ඇඳට..තාත්තිගෙ කාරෙකට..එච්චරයි ..වෙන කිසිම දෙයක් තාත්තිට වැදගත් නැහැ වගේ ඉන්නෙ.."

"අම්මේ..බලන්න එපායැ තාත්ති ට එයාගෙ කොණ්ඩෙ පීරන්නම වරුවක් යනවා..අපෙ තාත්ති ට හරි ලස්සන කොණ්ඩයක් තිබුණානෙ..ඒ කොණ්ඩෙ තාත්ති හරියට පරිස්සම් කළා..හැඩට ලස්සනට අඳීන්නෙ..ඉතිං මං තමයි තාත්තිගෙ ඇඳුම් නීට්එකට හරි ගස්සල එහෙම දෙන්නෙ.."

විවේකීව නිවසේ පසුවන දා අපේ සොඳුරු කතා නායකයා උදෑසනින් පිබිද නා ගන්නේය..ඒ වනවිට දියණිය ශ්‍යාමාත්..පුතු චූලානන්දත් මල් කඩා පිළියෙල කොට තබති..ඔහු උදෑසන බුදුන් නැමදින්නේය..

"අපි අතින් චුට්ටක් හරි එහාමෙහා වුණොත් නම් ඒ ඔක්කොම තරහ යවන්නෙ අම්මිගෙ පිටින්..අපෙ අම්මි හරිම ඉවසිලිවන්තයි...එහෙමට කට ගහන්න යන්නෙ නැහැ. ඒත් ඉතිං අම්මිත් තරහගන්න වෙලාවල් නැත්තෙත් නැහැ.."

හෙතෙම දුම්වැටියට රුසියෙකි..එක් දුම්වැටියක් උරා දවාලූ සැණින් ඊළඟ දුම්වැටිය ඔහු දෙතොලේය..

"අප්පේ හවසටයි..උදේටයි අම්මි සිගරට් පුච්චපු කොට භාජන එළියට ගිහින් දානවා..සිගරට් ඔහොම බොන්න එපා කියලත් අම්මි කෑ ගහනවා..කෝ..තාත්ති කනකට ගන්නෙ නැහැ..මත්පැන් නම් දුම්වැටිය තරම් නැතිවුණත් යාළුවො ආව වෙලාවට නම් ගන්නවා..එතකොට ඔය ෂූටිං වලට ගිහින් එනවිට අඩි හප්පගෙන ගෙට එන්නෙ..ඒ වෙලාවට අපි බයේ වෙවුලනවා...තාත්තිගෙ කටහඬත් සැරයි..බලන විදිහත් සැරපාටයි..ඒකනේ""

අපේ ආදරණීය කතා නායකයා නිවසේ පසුවන අවස්ථාවලදී බිරිඳ හා දුව පුතා සමග සුහද කතාබහේ පසුවෙයි..

"මාව චිත්‍රපටවල දුෂ්ටයාටම ගන්නෙ මාව එහෙම පේන හින්දා වෙන්නැති ..." යි සිනාමුසුව පවසන හේ තමන්ට සිදුවූ ඇතැම් සිද්ධීන්ද ගෙදර ඇත්තනට සිනාසෙමින් පහදා කියන්නේය..

බිරිඳ සහ තම දරුවන් පිළිබඳව ද වඩාත් සැලකිලිමත් වන හෙතෙම නැවත ගෙදරට පය තැබූ සැණින් ඔවුන් නිවසේ සිට කළ කීදේ එකක් නෑර සවිස්තරව විමසා සිටින්නේය...

ඔහුගේ එකම දියණිය ශ්‍යාමා ඉගෙනුම ලැබුවේ කොළඹ ප්‍රෙස්ට්බිටීරියන් බාලිකා විදුහලේය...පුතු චූලානන්ද සිත තියා උන්නේ තම පියාණන් ගත්මඟ යමින් නළුවකු වන්නටය...

ඒ ගැන යමක් කීවේ අපේ ශ්‍යාමා ය..

"මල්ලිට ඕනකම තිබුණා නළුවකු වෙන්න..ඒත් තාත්තිට වගෙ ලස්සනට කොණ්ඩයක් නැහැනෙ..කොහොම හරි මල්ලි පස්සෙ කොරියාවෙ රස්සාවට ගියා..දැන් අපෙ මල්ලි කොරියන් භාෂාව පිළිබඳ ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා.."

මා සමග සුහද කතාවක පසුවන ශ්‍යාමා විවාහ වූයේ උපාලි වර්ණකුල මහතා සමඟය..ඇයට දියණියන් දෙදෙනකුද වන අතර ඉෂාරා වර්ණකුල ලොකු දියණිය විවාපත්වය..අවිවාහක නදිනි දියණිය තවමත් අම්මාගේ සෙවණැල්ල මෙනි.

මෙතුවක් සතුටු මුහුණින් යුතුවම පසුවූ අපේ ආදරණීය ශ්‍යාමාගේ මුහුණෙහි අඳුරු සේයා පෙනෙයි...ඕ බිම බලාගත්වනමය ...

"මගෙ තාත්ති මට කවදාවත් බලපෑම් කරල නැහැ..කොච්චර කේන්ති ගියත් අපට පහරක් ගහලා නැහැ..මං ගැන තාත්තිගෙ හිතේ තිබුණෙ මහ පුදුම ආදරයක්. .අනේ මගෙ තාත්ති මට හැමදේම කියා දුන්නා..ජීවිතය ගැන..විවාහය ගැන..සමාජය ගැන..අනාගතය ගැන මේ හැමදෙයක්ම මට තාත්ති කියලා දුන් හැටි මට තවමත් මතකයි..

මගෙ රත්තරන් තාත්ති මට ලොකු සවියක්ම වුණා.."

ඇයගේ කටහඬ මලානිකය..

ශ්‍යාමා ද තම මව මෙන් සිනමා නිළියක වන්නට පෙරුම් පිරුවාය..ඊට මවගේ කැමැත්ත එලෙසින්ම ඇයට හිමිවුණිද පියා වෙතින් නම් ඊට කොහෙත්ම අවසරයක් නොලැබිණි..

"ගෙදරටම ආවා මාව චිත්‍රපටවල රඟපෑමට ගන්න...ඒත් තාත්ති කැමති වුණේ නැහැනෙ..මං චිත්‍රපට දෙකක විතර ඒ දවස්වල රඟපෑවා..එච්චරයි.."

අපේ ආදරණීය කතා නායකයා ගෙදර විවේකීව ඉන්නට දැක්වූයේ බලවත් කැමැත්තකි..

"අනේ ඔව් අමල්..තාත්ති හරිම කැමතියි ගෙදර ඉන්න..අපි එක්කල සෙල්ලම් කරනවා..කැරම් ගහනවා..එක එක කතා කියනවා...හරි විමෝදයි..කොච්චර වැඩ රාජකාරි තිබුණත් නැතත් මාසෙකට සැරයක් අපිව තාත්ති කොහේ හරි ඇවිදින්න එක්ක යනවා..මට තවමත් හිතෙන්නෙ තාත්ති මට පුදුම හයියක් වුණාය කියලයි...නිතර මට අවවාද දුන්න හැටි මතක් වෙනවා..

ඕනම දෙයක් මා එක්කල කියන්න කියපු හැටි මට දැනුත් මතක් වෙනවා.."

ඇය අවසන් වචන පෙළ කීවේ තමන්ටම මෙනි..

හේ උපතින්ම නීරෝගිමත් ය...අසනීපයක සේයාවකුදු ඔහුට නැති...

"ඔව් අමල් ..බෙහෙතක් ගන්න කියල තාත්ති ට කිසිම අසනිපයක් තිබුණෙ ම නැහැ.."

"ම්...ම්..අපෙ තාත්ති දුක්වුණ දවසක් කියල නම් මට මතකයක් ඇත්තෙම නැහැ...මොනව හරි ගැටලු ප්‍රශ්න තිබුණානම් ඒව අපි ඉස්සරහ කතා කරලත් නැහැ..අම්මි එක්ක පැත්තකට වෙලා කතා කරගන්නව ඇරෙන්න අපට ඇහෙන්න එහෙම කතා කරලම නැහැ...තාත්ති ඕනම දෙයක් දරාගන්න සමත් කෙනෙක්.."

එහෙත්..අපේ කතා නායක තෙමේ හැම කෙනකුටම පෙනෙන්නට දිනෙක තම දෑසින් කඳුළු වැගිරුවේය..හැඬුවේය..ඒ තම ආදරණීය දියණිය ශ්‍යාමා විවාපත් වූ දවසේ ය...

"අනේ මං එදා තමයි මගෙ ජිවිතේ ට ම දැක්කෙ මගෙ තාත්තිගෙ ඇස්වල කඳුළු ..මටත් දරාගන්න බැරිවුණා ..."

ඔහුගේ සමීපතම හිතමිතුරු විජය කුමාරණතුංගයන් පැමිණ ඔහුගේ දියණියගේ පාර්ශ්වය වෙනුවෙන් විවාහයට අස්සන් තැබුවේය...

නිවසෙහි හැමදේම ලස්සනට පිළිවෙළකට තිබීම ඔහුගේ එකම ආසාවය...තමන්ද ඒ අයුරින් ම පසුවෙයි...තමන් ලබන නිදහස.. විවේකය හෙතෙම ඉහළින්ම අගය කළේය..

රටතොටම දන්නා අපේ ලයනල් දැරණියගල නම් රූපණවේදියා මේ වනවිට සම්මානිතය..චිත්‍රපට නිෂ්පාදනයට අත ගසා ඇත්තේය..

මේ වනවිට හෙතෙම සිසිල් ගුණසේකරයන්ගේ "රැල්ල" වේදිකා නාට්‍යයේ රඟපාමින් රට පුරා යන්නේය..ඉන් ඔහු මහත් සතුටක් ලැබුවේය..

"එදා ඒ රැල්ල වේදිකා නාට්‍යය පෙන්නුවේ මහනුවර ..තාත්ති එදා නොයා ඉන්නමයි හිතාගෙන ඉඳල තියෙන්නෙ. කොහොම හරි තාත්ති අන්තිම මොහොතේ තාත්තිම තීරණය වෙනස් කරගෙන ඒකට ගිහින් තියෙන්නෙ.."

ශ්‍යාමාගේ දෑස රත්පැහැ ගැන්වී පෙනේ...ඒ කටහඬ බිඳුණු ස්වරයකින් මෙන් ඇසේ..

මහනුවර දී රැල්ල නාට්‍ය වේදිකා ගතකොට ආපසු එනවිට බොහෝ රෑ බෝවී තිබිණි ..වෙනදා තම වාහනයෙන් තමන්ම පදවා යනු වෙනුවට මෙවර ඔහු ගමනට එක්ව සිටියේ නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායමේ වාහනයකය..

අපේ ආදරණීය ශ්‍යාමාගේ දෑස කඳුළට බර විණි. 

"රෝහලින් අපෙ ගෙදරට පණිවුඩය ලැබෙනකොට පාන්දර ජාමයත් වෙලා..අනේ මගෙ තාත්ති ආපු වාහනය පදවපු රියදුරාට නින්ද ගිහින්ද.. අනේ මන්දා..."

කොළඹ ආනන්ද විද්‍යාලයට නුදුරේ සිදුවූ මාරක රිය අනතුරින් අපේ සොඳුරු කතා නායකයාට බරපතළය ...ඒ 1992 ක්වූ පෙබරවාරි මස 04 වනදාය..

සිය දිවියේ නීරෝගිමත් ව පසුවෙමින් ප්‍රියමනාප අයුරින් දිවිගෙවූ අපේ ආදරණීය රංගධරයාගේ ස්වරූපය මේ වනවිට සහමුලින්ම වෙනස් වී ඇත්තේය...

අහෝ...! අපේ ආදරණීය කතා නායකයා එක ඉරියව්වෙන් ම වැතිර ගත් ගමනින්මය... ඒ රිය අනතුරින් හෙතෙම සිහිනයකින්වත් නොසිතූ අයුරින් අංශබාග රෝගියකු බවට පත්වූ සැටි!

ආදරණීය ශ්‍යාමා බිම බලාගත්වනමය ...

"කවුද දෙයියනේ හිතුවෙ යසට හිටපු මගෙ තාත්ති ට මෙහෙම දෙයක් සිද්ද වේවි කියලා..අනේ මගෙ තාත්තිවත් එහෙම හිතුවෙ නැහැ.. අනේ අපෙ තාත්ති එක දිගට මාස හයක් එකම විදිහට උන්නෙ...තාත්ති ඔත්පළ වුණා...නැගිට්ටේම නැහැ..."

රාගම..පුනරුත්ථාපන රෝහලේ ද...කොළඹ ජාතික රෝහලේ ද ඔහු ප්‍රතිකාර ලැබුවේය...තත්ත්වය එලෙසමය...අපේ සොඳුරු කතා නායකයා අපූර්වතම මිනිසෙක් යැයි ඉඳුරාම සිතෙන්නේ ඒ වනවිටද ඔහු මනසින් පසුවුයේ සුභවාදී සිතිවිල්ලෙනි..

"බයවෙන්න එපා..දුවේ..මං ඉක්මනට සනීප වෙලා නැගිටිනවනෙ...දුක් වෙන්න එපා.."

ගිලන් යහනේ සිට කෙඳීරිලි හඬින් හේ බිරිඳ ට දියණියට එසේ කීවේය...

කොළඹ ජාතික රෝහලින් යළි රාගම රෝහලටද..නැවතත් නිවසටද...පසුව කළුබෝවිල රෝහලටද අපේ කතා නායකයා ප්‍රතිකාර පිණිස වරින්වර ඇතුළත් කෙරිණි ...

ටී.එම්.සංඝදාස මහතා ඔහු වෙනුවෙන් පවුලේ අයට කීවේ රෝගියා ඉන්දියාවට යවා ප්‍රතිකාර ලබාදෙන්නට සහය විය හැකි බවය.. එහෙත් එය වෛද්‍යවරුන්ගේ මතයට පටහැණි විය..

"ලෙඩාගෙ බරපතළ තත්ත්වය අනුව ඉන්දියාවට ගෙනයාම ලෙඩාට කරදරයක් විතරයි..ප්‍රතිලාභයක් නම් නැහැ..එතරම් ලෙඩාගෙ තත්ත්වය දුර්වලයි " වෛද්‍යවරු කීහ..

බිරිඳ ඔහු සමීපයට එන්නීය..ඔහු කේන්තියෙන් ඉවත බලා හිඳීන්නේය..කවුරුන් ළඟට ගියද හෙතෙම කෝපයෙන් මුහුණ රතුකර ගන්නේය..

ඒ අතරදී මං ඉක්මනට සනීප වෙලා ගෙදර එන බව කියන්නේය..

එහෙත්.....!

"අපට හිතාගන්න බැරිවුණා අපෙ තාත්ති ට මේ මොකද වුණේ කියලා..අනේ ඒ තරම් අමාරු තත්ත්වයක තාත්ති ඉඳගෙනත් මං ළඟට ගියාට මට බැන්නෙ නැහැ..මට ආදරය නිසා තාත්ති බැන්නෙ නැහැ..."

මේ වනවිට ඔහු මේ තත්වයෙන් මුදාගන්නට පවුලේ සියල්ලෝ මහත් පරිශ්‍රමයක් දැරූහ..ඒ කිසිවකින් හෝ අත්වූ සහනයක් නම් නැති..

"අපට ඉතිං තාත්ති වෙනුවෙන් කියල කවුරුවත් සහයට ආවෙ නැහැ..අම්මියි අපියි මේ තත්ත්වයට මුහුණ දුන් හැටි කියනවනම් අපෙ සන්තක හැමදේම අපට නැතිව ගියා.. අපි අමාරුවෙන් මුහුණ දුන් හැටි අපට ම පුදුමයි.."

තවත් ගතවී ගියේ කෙටි දිනකි..අපේ ආදරණීය කතා නායකයා කිසිවකු සමඟ කිසිවක් නොකියයි..ඔහු සිත අපමණ දේ ඇතැයි හැඟේ..එහෙත් ඒ හැම දන්නේද ඔහු ම පමණෙකි..

මේ වනවිට අපේ සොඳුරු කතා නායකයාට වයසින් අවුරුදු 53 කි...ජීවිතයේ තවත් දුර යා ගන්නට ඇවැසි වුවද ඊට දෛවෝපගතව සියල්ල ඇහිරී ඇත්තේය...

එක්තැන්ව මාස ගණනාවක්ම බරපතළ තත්වයෙන් පසුවූ අපේ ආදරණීය කතා නායක තෙමේ කිසිවකු හට වචනයකුදු නොකියා..නොදන්වා.. 1994 ක්වූ ජූලි මස 30 වනදා යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේ සිය ආදරණීය බිරිඳගේ හා දියණිය හා පුතුගේ නෙත් උණු කඳුළකට බරකරවමිනි...

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල