ශ්‍රී වික්‍රම තිරපිටපත ලියන්න මට වසර එකහමාරක් ගතවුණා

ප්‍රකට අධ්‍යක්ෂ මොහාන් නියාස්
නොවැම්බර් 30, 2023

- සියුම් දේවල් දැඩිව නිරීක්ෂණයට ලක් කරමින් තමයි ශ්‍රී වික්‍රම නිර්මාණය කළේ
- චිත්‍රපටකරුවෙක් හැටියට මම එහෙම කොටු වී සිටිය යුතු නැහැ
- ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ලොකු අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා. වර්තමාන පරපුර වුණත් බොහෝවිට කතාකරන්නේ ඔහුගේ කෲරත්වය, ම්ලේච්ඡත්වය ගැන විතරයි. බොහෝ ඉතිහාස සාධක ඉදිරිපත් වෙන්නේ ඒ වෙනුවෙන්. මගේ මේ ඉදිරිපත් කිරීම ඉන් වෙනස්
- මම මින් පෙර කළේ පොඩි කණ්ඩායමක් සමඟ කරපු නිර්මාණ. ඇත්තටම ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ ශිල්පීන් 1000ක් එක්ක විතර වැඩ කරන්න සිද්ධ වුණා

1798 රාජාධි රාජසිංහ අභාවයෙන් පසු තරුණ කන්නසාමි කුමරු පිළිමතලාවේ මහ අදිකාරම් ගේ බලපෑමෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස මෙරට රාජ්‍යත්වයට පත්වේ. පිළිමතලාවේ මහ අදිකාරම්ට උඩරට සිංහල රජකු තෝරා ගැනීමට අවශ්‍ය වූ නමුත් පැවති ක්‍රමය තුළ ඒ සඳහා ඉඩක් නොවීය. එබැවින් පිළිමතලාවේ අදිකාරම් රජකමේ නියම උරුමක්කරුවා වූ මුත්තුසාමි අත්අඩංගුවට ගෙන කන්නසාමි කුමරු රජකමට පත්කිරීමට කුමන්ත්‍රණය කළේය. කන්නසාමි යනු අනියම් ඇසුරකින්, පිළිතලාවේට දාව රාජාධි රාජසිංහ බිසවගේ සොහොයුරියගෙන් පැවත එන දරුවෙක්ය. ඒ අනුව පිළිමතලාවේ කන්නසාමි නමින් රාජ්‍යත්වයට පත්කරනුයේ ඔහුගේම පුතෙකි. 

මෙම ඓතිහාසික කතන්දරය ඇතුළත තවත් අතුරු කතා රාශියකි. ඓතිහාසික සෙංකඩගල රාජ්‍යධානිය කේන්ද්‍රකර ගනිමින් සිදු වූ මේ සිද්ධි දාමය පසුබිම් කර ගනිමින් බිහි වූ “ශ්‍රී වික්‍රම රාජසිංහ’ චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය වේ. සිංහල සිනමාවට අමුත්තකු නොවන, ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ මොහාන් නියාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය සීමාසහිත වෙන්ඩෝල් සමූහ ව්‍යාපාරය වෙනුවෙන් වෛද්‍ය ගිහාන් ගොඩකන්ද නිෂ්පාදනය කරයි. ‘ශී‍්‍ර වික්‍රම රාජසිංහ’ චිත්‍රපටය පිළිබඳ කතා බහකට පසුගිය දින එක් වූ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මොහාන් නියාස් සමඟ කළ කතාබහකි. මේ,

’ශ්‍රී වික්‍රම රාජසිංහ’ වැනි ඓතිහාසික කතාවක් සිනමාවට නඟන්න ඔබට හිතුණේ ඇයි?

ලංකා ඉතිහාසයේ රජකම කියන එක අවුරුදු දෙදහස් පන්සියයක කාලයක් පුරා අඛණ්ඩව විකාශය වෙමින් පැවත ගෙන ඇවිත් එක් ස්ථානයකදී නතර වෙනවා. එහෙම නතර වෙන්න. මේ රාජ්‍යත්වය බිඳ වැටෙන්න හේතු කාරණා රාශියක් තිබෙනවා. අපේ රටේ වර්තමානය මෙන්ම අනාගතය ද විවිධ අන්දමින් වෙනස් වෙන්න. සම්පූර්ණ වශයෙන්ම බැඳුණු කරුණු කාරණා ඇතිවෙලා තියෙන්නේ ඓතිහාසික වශයෙන් සිදුවුණු මේ සිද්ධි දාමයනුත් එක්ක. ඓතිහාසික සිදුවුණු මේ සිදුවීම් අදටත් අපට බලපානවා. ඒ වගේම වර්තමානයේ සිදුවන බොහෝ සංසිද්ධීන් දිහා බලනකොටත්, ඒවා වර්තමානයට කොපමණ ගැළපෙනවද කියලා හිතෙනවා. ඒ නිසා අපි නැවත වතාවක් ආපස්සට හැරිල බලනකොට මේ ඓතිහාසික කියවීම යුගයේ අවශ්‍යතාවයක් කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි මේ සංසිද්ධිය මූලික කරගෙන චිත්‍රපටයක් කරන්න හිතුවේ.

මේ සිද්ධිය වසර ගණනාවකට ඉහත දී ඓතිහාසික කන්ද උඩරට රාජධනියේ සිදුවුවක්. මේ සඳහා මූලාශ්‍ර හා ඉතිහාස ගවේෂණය ඔබ කළේ කොහොමද?

මේක මෑත ඉතිහාසය තුළ සිදුවුණ සිදුවීමක්. වසර 2000ක් 250ක් ඉක්ම ගිය අවස්ථාවක නම් අපේ මූලාශ්‍ර සෙල්ලිපි වලින් ඔබ්බට අපට හොයන්න අපහසුය. නමුත් මේක එහෙම නෑ. මේ පිළිබඳව ලියවුණු දේ, ඡායාරූප ස්ථාන, මුඛ පරම්පරාවෙන් පැවත එන දේවල් තාමත් තිබෙනවා. ඒ නිසා ඒ ගවේෂණයට අවශ්‍ය මූලාශ්‍ර සොයා ගැනීම අතිශයින් දුෂ්කර කාර්යයක් වුයේ නෑ. කොහොම නමුත් මේ චිත්‍රපටයේ තිර පිටපත ලියන්න අවශ්‍ය වන ගවේෂණය සඳහා මට වසර එක හමාරක් වැනි කාලයක් ගතවුණා. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන සිනමා නිර්මාණයන් සඳහා කරනු ලබන ගවේෂණයක්, පර්යේෂණයන් සාමාන්‍ය ශාස්ත්‍රීය කාරණාවක් සඳහා කරනු ලබන ගවේෂණයකින් පර්යේෂණයකින් සම්පූර්ණයෙන්ම වෙනස්. මේ පර්යේෂණය දන්ත විතරක් හොයන දෙයක් නොවෙයි. ඒ යුගයේ සියලු සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික පසුබිම ගැන අපි දැනගත යුතුය. මේ තුළ ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැලඳුම්, භාෂාව, හැසිරීම ආදී වූ විවිධ දේ අප අධ්‍යයනය කළ යුතුයි. එක් අධ්‍යපනයකදි පැහැදිලි වුණ මේ රජ්ජුරුවන්ට ඇදපු චිත්‍රයත් තිබුණා. ඒ චිත්‍රය ඇඳලා තිබුණේ ඔහුගේ රාජ්‍ය පාලනයේ අවසන් භාගයේ හෝ රාජ්‍යයන්වයෙන් පසුව කියලා. ඇත්තටම කන්නසාමි කුමාරයා රජකමට පත්වෙලා තිබෙන්නේ අවුරුදු 16 - 17 කාලයේදී. ඒ වගේම අවුරුදු 34 - 35 කාලය වන විට ඔහු රජකමින් අයින් වෙනවා. අන්න ඒ වගේ සියුම් දේවල් දැඩිව නිරීක්ෂණයට ලක් කරමින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. 

මොහාන් නිසාන් කියන සිනමාකරුවා මේ චිත්‍රපටයත් සමඟ තමන්ගේ සිනමා ගමන වෙනස් කරනවා නේද?

චිත්‍රපටකරුවෙක් හැටියට මම එහෙම කොටු වී සිටිය යුතු නැහැ. මගේ මින් ඉහත සිනමා නිර්මාණ ලෙස බැලුවත් මම විවිධත්වය සොයා ගිය කෙනෙක් කියලා ඕන කෙනෙකුට පේනවා. ‘යසෝමා’ ගත්තත්, මගේ ‘සඳ යහනට’ චිත‍්‍රපටය ගත්තත් මේ දෙක දෙයාකාර චිත්‍රපට දෙකක්. ශ්‍රී වික්‍රම ඒ දෙකටම වෙනස් එකක්. ඒ විවිධත්වයට කැමැතියි. මේ චිත්‍රපට ත්‍රිත්වයේම අන්තර්ගතය, ප්‍රස්තුතයන්, මතවාදි බව, දේශපාලනික ස්වභාවය, ආදී වූ කාරණා සහමුලින්ම වෙනස්. සිනමා ප්‍රේක්ෂකයනුත් ඒ ඒ කාලයන් සමඟ වෙනස් වෙනවා. ඔවුන්ගේ රුචි අරුචිකම්, දේශපාලන මතකද වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් තාක්ෂණ භාවිතය ආදියත් වෙනස් වෙනවා. මේ වෙනසත් එක්ක සිනමාකරුවෝ විදියට අපිත් අපේ ගමන් මඟ වෙනස් කර ගත යුතුයි. අපිත් අපේ නිර්මාණකරණය නවමු දිශානතීන් වෙත යොමුකර ගත යුතුයි කියල මට හිතෙනවා. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේක මම ආපු ගමන තුළ ලොකු වෙනසක් ඇති කරාවි කියලා.

මම හිතන්නේ ඔබ ‘සඳ යහනට’ චිත්‍රපටය කළාට පසු චිත්‍රපටයක් කළේ නෑ?

ඔව්. ඒකට විවිධ හේතු කාරණා බලපෑවා. සිනමාවේ පැවතුණු යම් යම් අර්බුදකාරී තත්වයන් සේම, රටක් වශයෙන් පසුගිය අවුරුදු ගණනාව පුරාම අපි මුහුණ දුන්න තත්වයනුත් ඒ සඳහා බලපෑවා. වසර කිහිපයක්ම අපි රෝග බියකුත් එක්ක ජීවත් වුණා. ඊට පස්සේ ආර්ථික අර්බුදයකින් රට වෙලා ගත්තා. මේ වගේ ප්‍රශ්න නිර්මාණකාරයේ වන අපිටත් දැඩි විදියට බලපානවා. ඒ නිසා කිසියම් කාලපරිච්ඡේදයන් නිහඬව ඉන්න සිද්ධ වුණා. 

මේ චිත්‍රපටය ලොකු පිරිවැයක් දරල නිෂ්පාදනය කළ එකක් නේද?

අතිවිශාල නිෂ්පාදන පිරිවැයක් මේ වෙනුවෙන් දරන්න සිද්ධ වුණා. මම හිතන්නේ ලක්ෂ 800ක වගේ ‘පිරිවැයක් මේ වෙනුවෙන් වැය වුණා. ඓතිහාසික කතාවක් සිනමාවට නඟනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් රජ කතාවක්. ඒ සඳහා වස්ත්‍රාභරණවලට පවා විශාල වියදමක් දරන්න ඕන. ශ්‍රී වික්‍රම තිර පිටපත ලියල මේ යෝජනාව ඉදිරිපත් කරපු මොහොතෙම දේශමාන්‍ය ලේල්වල ගොඩකන්ද මැතිතුමා ඉදිරිපත් වුණා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න. ඇත්තටම එතුමාට ඕන වුණේ ජාතික වැදගත්කමක් ඇති චිත්‍රපටයක් කරන්න. ඒ නිසා ඇත්තටම එතුමා නොහිටින්න ශ්‍රී වික්‍රම වගේ චිත්‍රපටයක් කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙහි සම්පූර්ණ ගෞරවය එතුමන්ට හිමිවෙන්න ඕන.

මේ චිත්‍රපටය අති විශාල පිරිසක් සමඟ කරපු චිත්‍රපටයක්. කොහොමද ඒ අත්දැකීම?

ඒක හරිම දුෂ්කර අතිශය අමාරු කාර්යයක්. මම මින් පෙර කර තිබුණේ බොහොම පොඩි කණ්ඩායමක් සමඟ කරපු නිර්මාණ. ඇත්තටම ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ ශිල්පීන් 1000ක් එක්ක විතර වැඩ කරන්න සිද්ධ වුණා. හැම දෙපාර්තමේන්තුවකම විශාල සෙනඟක් හිටියා. කලා අධ්‍යක්ෂණය ගත්තත්, වේශ නිරූපණය ගත්තත්, කොණ්ඩා සැකසුම් ගත්තත් ලොකු ප්‍රමාණයක් හිටියා. අනිත් පැත්තෙන් මෙහි රූපගත කිරීම් සඳහා අධ්‍යක්ෂවරයා විදිහට මාත්, මගේ නළු නිළි කණ්ඩායමත් අනෙකුත් කාර්මික ශිල්පීන්ටත් විශාල කැපකිරීමක් කරන්න සිද්ධ කරන්න වුණා. විශේෂයෙන් නිලමේ ඇඳුම් ඇඳගෙන හිටපු නළුවන්ට ලොකු දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරු රැවුල් දාගෙන, කොණ්ඩ දාගෙන, ඔවුන්ට හරිහමන් විදියට කෑමක් බීමක්වත් ගන්න බැරි වුණා. නමුත් මේ නළු නිළි කාර්මික ශිල්පීන් සියලු දෙනාම බොහොම කැපවීමෙන්, කාර්යක්ෂමව මාත් එක්ක වැඩ කළා. ඒ නිසා අපි සැලසුම් කළ විදියටම, නියමිත දින ගණන් වලට අපට චිත්‍රපටයේ රූගත කිරීම් නිමකර ගන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් ඒ සියලු දෙනාටම මගේ ස්තූතිය ප්‍රණාමය හිමිවෙන්න ඕන.

මේ චිත්‍රපටය විශේෂ පාසල් දර්ශන සඳහා අනුමැතිය ලැබිල ද තිබෙන්නේ? 

ඔව්. විශේෂ අනුමැතියක් මේ සඳහා ලැබිල තිබෙනවා. ඉතිහාසය පිළිබඳ වෙනම කමිටුවක් මඟින් නිර්දේශ ලබාදීලා තිබෙනවා. අනෙක් පැත්තෙන් ජාතික වශයෙන් වැදගත් කමක් තිබෙන චිත්‍රපටයක් මේක. අපේ ඉතිහාසය පිළිබඳ මේක නිකම්ම නිකං කියවීමක් නොවෙයි. වෙනම රහකට කියවීමක් මේකෙන් සිද්ධ වෙන්නේ. බොහොමයක් දෙනා මේ චිත්‍රපටය නරඹපු, ඒ ගැන ප්‍රකාශ කරල තියෙනවා. බොහෝ වෙලාවට අපට ඉතිහාස කරුණක් ඉක්මනින් ජනගත කිරීම අසීරු දෙයක්. නමුත් නිර්මාණත්මකව රහ කරල ගත්තොත් ඒක ඉතා පහසු දෙයක් වෙන්නත් පුළුවන්.

අනෙක් පැත්තෙන් අපි දන්න ඉතිහාස කාරණා අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ලොකු අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා. වර්තමාන පරපුර වුණත් බොහෝවිට කතාකරන්නේ ඔහුගේ කෲරත්වය, ම්ලේච්ජත්වය ගැන විතරයි. බොහෝ ඉතිහාස සාධක ඉදිරිපත් වෙන්නේ ඒ වෙනුවෙන් විතරයි. මගේ මේ ඉදිරිපත් කිරීම ඉන් වෙනස්.

ඔබ ඔබේ ‘ශි‍්‍ර වික්‍රම’ සඳහා තෝරගන්නේ අකිල ධනුද්දර වගේ තරුණ නළුවෙක්. ඔහු සමඟ වැඩ කිරීම පහසුද?

අකිල මේ චිත්‍රපටයේ ශ්‍රී වික්‍රමගේ චරිතය රඟපාන්න එන්නේ ඔහුගේ පියාගේ උපදෙසුත් එක්ක. මොකද ජැක්සන් කියන්නේ හොඳ ගුරුවරයෙක්. ඒ ගුරුහරුකම ඔහු ඔහුගේ පුතාටත් දීලා තිබුණා. ඔහු අකිලට කියල දීලා තිබුණ අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මට ලොකු අපහසුතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ නෑ. ඔහු ඉදිරිපත් කළේ අතිශය බැරෑරැම් සංවේදී චරිතයක්.

ඔබ මේ චිත්‍රපටය සඳහා ප්‍රවීණයන් වගේම විශාල ආධුනික නළු නිළි පිරිසකුත් දායක කර ගෙන තිබුණා?

ආධුනික නළු නිළියොත් හිටියා. සාමාන්‍යයෙන් අපි චිත්‍රපටයක් කරන ක්‍රමවේදියට අනුව මේක කළේ නෑ. ඔවුන්ට අපි පූර්ව සුදානමක් දුන්නෙ නෑ. පූර්ව සුදානම වැඩිපුර දුන්නමත් අපට අවශ්‍ය දේ ගන්න අමාරුයි.

‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයෙන් පස්සේ ඔබේ නිර්මාණ කටයුතු මොනවද?

තවත් ඉතිහාස කතාවකට යන්න තමයි සුදානම. ඒක මෑත ඉතිහාසය නොවෙයි. සුවිශේෂි චරිතයක් පිළිබඳ වෙනස් විදියේ කතාවක්. එහි මූලික වැඩකටයුතු වල තමයි මේ දිනවල ඉන්නේ.