නිවස විශේෂාංග සරසවිය ඔප කළ ලෝක පූජිත මූර්තිය

සරසවිය ඔප කළ ලෝක පූජිත මූර්තිය

by Thanushika
March 28, 2024 12:32 am 0 comment

සරසවිය පුවත්පතේ මෙන්ම සරසවිය සම්මාන උලෙළේ නිර්මාතෘවරයා වුයේ රංජිත් විජයවර්ධන මහතාය. එතුමන්ගේ දැවැන්ත සෙවණැල්ල මේ අභිමානවත් සරසවිය සම්මාන උලෙළේ නිහඬ සුවිශේෂී කාර්යභාරයක් සිදුකරනු ලැබිණි. එතුමන්ගේ පුර්ණ මඟ පෙන්වීම යටතේ ඇරැඹී මේ සම්මාන උලෙළේ කලාකරුවන්ට සම්මාන පිදිම සඳහා සම්මාන සැදීම වෙනුවෙන් තෝරාගනු ලැබුවේ ලෝක පූජිත මුර්ති ශිල්පියකු වූ ආචාර්ය තිස්ස රණසිංහයන්ය. ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස එවක සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාව පත්කරගත් රංජීත් විජයවර්ධනයන් සෙසු සාමාජිකයන් ලෙස ඔබ්සවර් පුවත්පතේ අලෙවි කළමනාකරුවකු වූ රණපාල බෝධිනාගොඩ පුවත්පත් කතුවරුන් වූ ධර්මපාල වෙත්තසිංහ, ඩී.එෆ්. කාරියකරවන, ඩී.සී. රණතුංග, ඇස්. සුබසිංහ සරසවිය පුවත්පතේ ප්‍රධාන ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා අබේවර්ධන බෙදාහැරීම් කළමනාකරු රෝලන්ඩ් අබේසිංහ පත්කර ගනු ලැබීය.

ඒ අනුව ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ සම්මානයේ නිමැවුම්කරුවා ලෙස තිස්ස රණසිංහයන් තෝරාගන්නා ලෙසය. 1964 පවත්වන ලද ප්‍රථම සරසවිය චිත්‍රපට උලෙළේ දී ජයග්‍රාහකයන්ට පිරිනමන ලද සරස්වතී දේවියගේ අනුරුව සහිත ලෝකඩ සම්මානය නිර්මාණය කළ තිස්ස රණසිංහයන් මෙම අනර්ඝ සම්මානය සෑදීමට තමන්ව තෝරාගත් අවස්ථාව දැනුම්වත් කළ ආකාරය ගැන වරක් පවසා සිටියේ මෙපරිද්දෙනි.

මට මතකයි සිළුමිණ කර්තෘවරයාව සිටි ධර්මපාල වෙත්තසිංහ මහතා මම එවක පදිංචිව සිටි බම්බලපිටියේ ෆ්රූන්ක්ෆර්ට්ි පාරේ අංක 29 දරන නිවසට පැමිණ සරසවිය සම්මානය නිර්මාණය කරන්න භාර දුන්නා. එයට එක් හේතුවක් වෙන්නත් ඇති ඔහුගේ බිරිය වූ ප්‍රකට චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මා ගැන සඳහන් කළ හැදින්වීමත් හේතු වෙන්න ඇති කියල මට හිතනවා. එදා ධර්මපාල වෙත්තසිංහ මා හමුවීමට පැමිණියේ ලේක්හවුස් ආයතනයේ බෙදාහැරීම් කළමනාකාර තනතුර දැරූ රෝලන්ඩ් අබේසිංහ සමඟ. ප්‍රවීණ චිත්‍රශිල්පී ස්ටැන්ලි අබේසිංහ රෝලන්ඩ්ගේ සොහොයුරෙකුත් වුණා. ඔහුත් පළමු සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සාමාජියෙක්ව සිටියා.

සරසවිය සම්මානය කිව්ව ගමන් මගේ මතකයට ආවේ සරස්වතී දේවිිය මොනරකු පිට විණාවක් අතැතිව ඉන්න ආකාරයේ සිතුවිල්ලක්. රංජීත් විජයවර්ධනයන් එදා මට මේ සම්මානය හැදිම වෙනුවෙන් රුපියල් 300ක මුදලක් ලබාදුන්නා. ඒ මුදල ඒ වකවානුවේ ලොකු වටිනාකමක් ඇති ගනුදෙනුවක්. 1964 මැයි 09 වැනිදා කොළඹ ආශෝකා සිනමා ශාලාවේ පැවති ප්‍රථම සරසවිය සම්මාන උලෙළ ඇරඹීමත් සමඟ එදා මෙදා තුර සරසවිය සම්මාන උලෙළ 34ක් පවත්වා ඇත. 34 වතාවක් සුවිශාල කලාකරුවන් පිරිසක් සරසවිය සම්මානයෙන් මේ වන විටත් පුද ලබා ඇති අතර මෙවර 35වන සරසවිය සම්මාන උලෙළේ දී මේ අභිමානවත් සම්මානයෙන් කලාකරුවෝ බොහොමයක් පුදනු ලබති. සිනමාව හා බැදුණු කලා මාධ්‍යයන්හි නියැළුණු කලාකරුවන්ට සිය ජීවත කාලය තුළ දී ශ්‍රී ලංකාවේදී ලැබිය හැකි ඉහළම සම්මානය වනුයේ සරසවිය සම්මානයයි.

ලාංකේය සිනමාවේ පෙළහර පෑ කලාකරුවන් වෙනුවෙන් පිදෙන සරසවිය සම්මානය එදා මෙදා තුර මහත් ආඩම්බරයෙන් කලාකරුවන් දෝතට ගනු ලැබුවත් ඔවුන්ගේ ගෞරවාදරයට මෙය පත්වුවත් මේ සම්මානයේ නිමැවුම්කරුවා වූ ආචාර්ය තිස්ස රණසිංහයන් සිහිපත් නොකරම බැරිය.

1925 මැයි 09 වැනිදා සඳලංකාවේ යෝගියාන ප්‍රදේශයේ උපත ලැබු තිස්ස රණසිංහ යෝගියාන සිංහල පාසලෙන් මුලික අධ්‍යාපනය ලැබීය. ඉන්පසු මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. සොලමන් රණසිංහ රාලහාමි, නාරංගමුවේ සෝමා රණසිංහ එතුමන්ගේ පියා හා මව විය. 1948 දී මරදාන රජයේ කාර්මික විද්‍යාලයට ඇතුළත් වූ තිස්ස එහිදී ජේ.ඩී.ඒ. පෙරේරා මහතා යටතේ චිත්‍රකලාව හැදෑරිය. ඊට පෙර ඔහු රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැිකියාවක නිරත විය.

මුලින්ම චිත්‍රශිල්පියකු ලෙස කටයුතු කරමින් මුර්ති ශිල්පයට අවතීර්ණ වු තිස්ස රණසිංහ ඉන්දියාවෙන් මුර්ති ශිල්පීන් ගෙන්වා ගෙන ලෝහ පිළිම නෙළමින් සිටි අවධියක ඔවුන් අබිබවායාමේ කුසලතාවන් ප්‍රකට කොට දේශීය මුර්ති ශිල්පීන් අතරට එක්වීමට ඔහු ද වරම් ලැබීය.

එවක රජයේ කාර්මික විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ ජේ.ඩී.ඒ. පෙරේරා මෙන්ම මෙරට සිටි ප්‍රවීණ මුර්ති ශිල්පිනියක හා ගුරුවරියක වු මහා පත්‍ර කලාවේදී ඩී.බී. ධනපාලයන්ගේ බිරිය වූ රතී ධනපාල මහත්මිය තිස්සගේ මුර්ති ශිල්ප කලාවේ අත් පොත තැබු ගුරුවරුන් වූහ.

එසේම ඉන්දීය සම්භවයක් සහිත එකල මෙරට රූප ඇදීමේ ආධිපත්‍යයක් ඇති කරගෙන සිටි වඩ්වේල් ආචාරියාගෙන් ද තිස්ස ශිල්ප ඉගෙන ගනු ලැබීය. දේශීය මුර්ති ශිල්ප ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ තිස්ස රණසිංහ යුනෙස්කෝවෙන් ලද ශිෂ්‍යත්වයක් මත 1954 දී එංගලන්තයට ගිය ඔහු 1958 වසර දක්වා ලන්ඩනයේ චෙල්සියා කලායතනයේ මුර්ති කලාව හැදෑරීය. පසුව 1961 සිට 1963 දක්වා ලන්ඩනයේ රාජකීය කලායතනයේ මුර්ති කලාව ගැන විශේෂ පාඨමාලාවක් හැදෑරූ තිස්ස රණසිංහයන් වඩ වඩාත් මුර්ති කලාවට පෙම්බදින්නට විය. එම ආයතනයන්හි මුර්ති ශිල්පය පිළිබඳ මහාචාර්යවරුන් දෙපළක් වූ බර්නාඩ් මෙඩොව් හා ඇන්ජෙලෝනී යටතේ මුර්ති කලාව පිළිබඳ හසළ දැනුමක් ලැබු තිස්ස දේශීය වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් මුර්ති කලාව තුළ ප්‍රකට විය. චිත්‍රයටත් මුර්තියටත් දක්ෂ මෙතුමන්ට මෙරට තුළදී නොයෙකුත් අසාධාරණ අත්දැකිම් රාශියක මුහුණපාන්නට සිදුවිය. මෙරට රජයේ කලායතනයේ විදුහල්පති ධුරයේ කෙටි කලක් කටයුතු කළ අතරම තම දැනුම හා අත්දැකීම් අනුව මෙරටට මුර්ති ශිල්පය උගන්වන්නට ගත් උත්සාහයන් ව්‍යක්ත වූ තැන ඔහු මෙරට හැරගොස් එංගලන්තය සිය වාසභූමිය කරගනු ලැබීය.

මැටි පිඬු අනන මුර්ති ශිල්පියා සැබැවින්ම අන්‍යයන්ට පේ‍්‍රම කළ මිනිසකු විය යුතු බව ලන්ඩනයේ චෙල්සි කලාගාරයේ විශිෂ්ට ගුරුවරු අදහන දෙයක් බව තිස්ස නිරන්තරයෙන් පැවසු වදනක් විය.

මුර්ති ශිල්පයේ කෙළපැමිණි මේ අසහාය ශිල්පියාට තමන්ගේ රට හෝ අනුන්ගේ රට කියා වෙනසක් නොවීය. පුරා වසර 19ක් එංගලන්තයේ රෝයල් කොලෙජ් ඔෆ ආර්ට් හි සිසු දරුවන්ට ශිල්ප ඉගැන්වු තිස්ස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තම හැකියා ප්‍රකට කළ ප්‍රදර්ශන රැසක් පවත්වනු ලැබීය. බ්‍රිතාන්‍ය අමෙරිකාව ප්‍රංශය ජර්මනිය වැනි රටවල තිස්ස තම නිර්මාණ ප්‍රදර්ශන පැවැත්විය. එහිදී එතුමන් ඉහළ ඇගැයීම් වලට පවා ලක්විය. චෙල්සියා කලායතනයේ ඉගෙන ගන්නා කාලයේ පිට පිටම දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මාන හිමිකර ගැනීමට තිස්ස රණසිංහයන් සමත්විය.

ලාංකික මුර්ති කලාවේ නූතනවාදී සලකුණ පිරවීමට සමත් වූ තිස්ස ලෝකඩ වාත්තු ක්‍රමය හා එහි තාක්ෂණය හඳුන්වාදුන් විශිෂ්ට ගණයේ ශිල්පියකු ලෙස ද එතුමන්ව හැඳින්විය හැක.

බොහෝ ප්‍රදර්ශන හා අන්තර්ජාතික තරඟ සඳහා තිස්ස තම නිර්මාණ ඉදිරිපත්කරමින් විචාරක ඇගැයීම්වලට පවා ලක්විය. රාජ්‍ය කලා සංගම් ප්‍රදර්ශන හා පොදු රාජ්‍ය මණ්ඩල කලා ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ බොහෝ නිර්මාණ ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී. 1963 බ්‍රසීලයේ පැවැත්වූ හත්වන සාවෝ පාවුලෝ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ විපාකය හෙවත් පව් සමාව (ර්‍ථඥදචජඥ) නැමැති ලෝහමය මුර්තිය විශිෂ්ට කෘතිය ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවිය. එය ශ්‍රී ලාංකික මුර්ති ශිල්පියෙකුට මෙතෙක් හිමිව ඇති ඉහළම සම්මානය ද වේ.

1987 කලාශූරි සම්මානයෙන් ද 1998 බූන්කා සම්මානයෙන් ද 2009 දී දෘශ්‍ය කලා පීඨයෙන් ලැබූ ආචාර්ය උපාධියෙන් ද මෙතුමන් සම්මානීය තත්ත්වයට පත් කෙරිණි.

මුර්ති කලා නිර්මාණයන්ගෙන් දේශීය අනන්‍යතාවය ලෝකයට ගෙන යමින් දේශයට කීර්ති නාමයක් එක් කරනු ලැබු තිස්ස අතින් නිර්මිත කෘතීන් ලන්ඩන් නුවර ටෙක්ස් ගැලරි කෞතුකාගාරයේ එරට රජය විසින් ද තැම්පත් කර ඇත. කලාකරුවන්ගේ දේශපාලනඥයන්ගේ මුර්ති රැසක් ද හින්දු හා බෞද්ධ සංස්කෘතික ලක්ෂණ රැගත් සුවිශේෂ නිර්මාණ රැසක් ද තිස්ස රණසිංහයන් දේශයට දායාද කරනු ලැබීය.

1964 වසරේ මැයි මස 09 වැනිදා පවත්වන්නට යෙදුණු ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ සිනමාවේ විශිෂ්ටයන් පුදන සම්මානය නිර්මාණය කිරීමේ කාර්යට එවක ලේක්හවුස් – ආයතනයේ සභාපතිවරයා වු රංජීත් විජයවර්ධනයන් ලෝක පූජිත මුර්ති ශිල්පී තිස්ස රණසිංහයන් තෝරාගනු ලැබුවේ ඔහුගේ හැකියාවන් පිළිබඳ තිබු පුර්ණ විශ්වාසය මතය. දේශීය සිනමාවේ ප්‍රගමනය හා සිනමා කර්මාන්තයේ උන්නතිය සඳහාත් දිරිදීිමේ අරමුණින් අරඹන ලද සරසවිය පුවත්පතෙන් පිදෙන සරසවිය සම්මානය තිස්ස විසින් නිර්මාණය කරනු ලැබුවේ සරසවිය පුවත්පතේ නාමය, අරමුණ හා සම්මානයේ තිබිය යුතු ගරුගාම්භීරත්වය මෙන්ම කලාත්මක බව ද තම ශිල්පීය ඥානය සමඟ එක් කරමිනි.

කලා කෘතියක සියුම් බව මනාව වටහා ගත් ලෝක පූජිත කලාකරුවෙකුගේ සුරතින් බිහිවුණු සම්මානයකින් බුහුමන් ලැබීමට තරම් අපේ කලාකරුවෝ වාසනාවන්ත වීම සැබැවින්ම ආශ්චර්යකි. තිස්ස රණසිංහ නම් වු මේ ලෝක පූජිත මුර්ති ශිල්පියා 2019 වසරේ නොවැම්බර් මස එංගලන්තයේ ලන්ඩන් නුවර දී එතෙක් තමන් අතින් නිර්මාණය වූ කෘතීන් ඉතිරිකොට සදහටම නික්ම යනු ලැබිය.

 

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT