හීනවලට පාට දෙන්න පාට ලෝකේ සැරිසරන්න

“ටීචර් අම්මා” අධ්‍යක්ෂ සුදත්ත තිලකසිරි
ජුනි 24, 2021

 

කලාකරුවෝ කියාගන්නා මිනිස්සු බොරුවට මේක ඇතුළේ රඟනවා

 

සමාජය විකෘති කරලා මුදල් උපයලා වැඩක් නැහැ

 

කොච්චර ටෙලිනාට්‍ය හැදුවත් මම අකමැතියි මිනිස්සු දවසම ටෙලිවිෂන් එක ඉස්සරහා ඉන්නවට

 

ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ හිටියා ආදරණීය ටීචර් අම්මලා

 

මම උදේට අධ්‍යක්ෂක හවසට නිෂ්පාදක

 

සමාජ වගකීම පැහැර නොහැර සෞඛාරක්ෂිත නීති රීති අනුව රූගත කරන්නේ

 

මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාව නරඹන ඔබ පාසල් දරුවන් වටකරගත් තරුණ ගුරුවරියක් වටා ගෙතුණු ටෙලිනිර්මාණයක් නරඹා ඇති. එය නමින් "ටීචර් අම්මා". ජුනි 15 වැනිදා සිට සතියේ දිනවල විකාශන ඇරැඹු මෙය, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුදත්ත තිලකසිරිගේ නවතම ටෙලිනාට්‍යයි. වේදිකාවේ, සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් සේම නිෂ්පාදකවරයෙක් වන සුදත්ත තිලකසිරි අපට "ටීචර් අම්මා" ටෙලිනාට්‍ය ගැන මෙසේ පැවසුවා.

 

 

මේ කතාවට මුලපුරන්න හොඳම කෙනා "ටීචර් අම්මා".

"ටීචර් අම්මා" කියන්නේ බෙලිහුල්ඔය සුන්දර ග්‍රාමීය පරිසරයක පාසලක් වටා ගෙතුණු කතාවක්. ඒ ප්‍රදේශයේ දුෂ්කර පාසලකට කොළඹ ඉඳලා ගුරුපත්වීමක් අරගෙන එනවා ආදරණීය ගුරුවරියක්. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ හිටියා ඒ වගේ ආදරණීය ටීචර් අම්මලා. මෙයත් ඒ වගේ කෙනෙක්.

 

මේ ටෙලිනාට්‍යයේ කතා සාරාංශය කිව්වොත්?

මේ ගුරුවරිය පාසලට එන්නේ සංගීත ගුරුවරියක් විදිහට. ඒක ගොඩක් දුප්පත් පාසලක් වුණාට ලොකු හීන දකින ළමයි ටිකක් ඒකේ ඉන්නවා. ඒ හීන මේ ටීචර්ට පේනවා. මේ ගුරුවරිය ඒ ළමයින්ගේ හීන සඵල කරගන්න හැම අතින්ම උදවු කරනවා. උදාහරණයක් විදිහට පොඩි දරුවෙක් ඉන්නවා, එයාගේ අම්මා නැහැ. ඒ දරුවා මේ ටීචර්ට අම්මා කියලා කතා කරනවා.මේ පාසලේ දරුවන්ට තියෙනවා ක්‍රිකට් ගහන්න හීනයක්. ඇය ක්‍රිකට් දන්නේ නැති වුණත් ඒ හීනෙට යන්න උදව් කරනවා. මේ ගමේ ඉන්නවා ළමා සිතුම් පැතුම් තියෙන තරුණයෙක්. ඔහුටත් ආදරණීය මවක් සහෝදරියක් වගේ ඇය සලකනවා. මේක ඒ වගේ පුදුමාකාර සිතුම් සිතුම්පැතුම් තියෙන ආදරණීය ටීචර් අම්මා කෙනෙක් වටා ගෙතුණු කතාවක්.

 

මේ නිර්මාණයේ නිෂ්පාදකවරයාත් ඔබ?

ටෙලිනාට්‍යයක් කරනකොට සමහර නිෂ්පාදකවරු මුදල ගැන හිතන්නේ. නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා විදිහට මම නිර්මාණයේ ඉන්නවා දවසම. හවසට තමයි මට නිෂ්පාදකවරයාගේ භූමිකාව මතක් වෙන්නේ. සමහර තැන්වලදි ඒ නිසා මට මං ගැනම තරහා යනවා. මේ භූමිකා දෙකම එකට ගැටෙනවා.

 

මේ නිර්මාණකරුවන් පසුබසින කාලයක්. ඒත් ඔබ?

මේ ටෙලිනාට්‍යයට ළමයි තිහක් විතර සහභාගී වෙනවා. නළු නිළියෝ තිහකට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. මෙහි රූගත කිරීම් ඉතාම දුෂ්කර විදිහට සිද්ධ වෙන්නේ. අපිට දුෂ්කර වුණාට ටෙලිනාට්‍යය නරඹන අයට පුදුමාකාර රසවින්දනයක් ලබන්න පුළුවන් දර්ශනීය පසුතලවලින් යුක්ත නිර්මාණයක් මේක. මේ කාලයේ ටෙලිනාට්‍ය ගොඩක් රූගත කරන්නේ කොළඹ අවට. මුදල් ප්‍රශ්නය නිසාමයි එහෙම කරන්නේ. ඒත් මම මගේ මේ ටෙලිනාට්‍ය කළේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. මේ නිර්මාණයට වියදම් කරන මුදල් මට නැවත ලැබෙන්නේ නැහැ. මට ජීවිතේ හැමදේම මුදල් නෙමෙයි. මම ජීවිතේ සතුට වෙනුවෙන් ජීවත් වෙන මනුස්සයෙක්. මට දරුවෝ හරි වැදගත්. සමාජ මාධ්‍යවලත් මගේ හඬ අවදි කරන්නේ දරුවෝ වෙනුවෙන්. එයාලා තමයි අපේ අනාගතය. මගේ දරුවන්ගේ අනාගතය හරිම සුරක්ෂිතයි. මේ රටේ අනිත් දරුවන්ගේ අනාගතය විනාශ කරලා සිතුම් පැතුම් විනාශ කරලා දාන්න කාටවත් ඉඩ තියන්න බැහැ. කොළඹ නාගරික ජීවිත ගත කරන විභාග විතරක් මූලික කරගත් ඉලක්කවල ඉන්න දරුවෝ ගමට අරගෙන ගිහින් ඒ ග්‍රාමීය පරිසරයේ නිදහස භුක්ති විඳීන හැටි දැකලා මම සතුටු වෙනවා. ගහකට නැඟලා නැති, කුඹුරකට බැහැල නැති දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ රූගත කිරීම්වලට ගිහිල්ලා ඒ ආස්වාදය විඳීන විදිහ දැකලා මම සතුටු වෙනවා. ඒ වගේම බෙලිහුල්ඔය ප්‍රදේශයේ පාසල් දෙකකින් ටෙලිනාට්‍යට දරුවෝ තෝරාගත්තා. රංගනය ගැන ඒ අයට හැදෑරීමක් නැති නිසා මට ලොකු අපහසුතාවයකට පත් වෙන්න වුණා. නමුත් ඒ දරුවන්ව ප්‍රේක්ෂකයන්ට හඳුන්වාදීම ගැනත් මම සතුටු වෙනවා.

 

කොරෝනා අවදානමත් එක්ක රූපගත කිරීම් අපහසුවෙන්න ඇති?

ඇත්තටම කොරෝනා ප්‍රශ්නෙ නිසා රූපගත කිරීම්වලදී අපි ගොඩක් ගැටලුවලට මුහුණ දුන්නා. ඒත් අපි නිරෝධායන නීතිවලට අනුවයි මේ සියලු වැඩ කටයුතු කළේ. ගම්වල කිසිම කෙනෙක් සහභාගි නොකරගෙන රූගත කිරීම්වලට අදාළ අය පමණක් සහභාගී කරගෙන අපි ඒ කාර්යය කරමින් පවතිනවා. මේ කාලේ අපිට තිබුණු ලොකුම අර්බුදය තමයි මිනිස්සු එක්ක මුහු වෙන්නේ නැතුව වැඩ කරන එක. සමාජ වගකීමක් තියෙනවා අපිට. ඒක පැහැර හරින්න බැහැ. රූගත කිරීම්වලදී සහ ඊට පසුව සෞඛ්‍යාරක්ෂණ පියවර අනුගමනය කරලා හැමෝටම කොත්තමල්ලි තම්බලා බොන්න දෙන එක පවා අපි කළා. ඒ වගේම වේශ නිරූපණයේදීත් ඉතාමත්ම සෞඛාරක්ෂිතව ඒ කටයුත්ත කළේ. විශේෂයෙන් අපි දරුවන් එක්ක වැඩ කරන නිසා අවදානම වැඩියි. අපිට ප්‍රජා සෞඛ්‍ය නිලධාරීතුමන්ලා සහ ශ්‍රී ලංකා පොලිසිය ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේම මිනිස්සු අපෙන් අහන්න පුළුවන් රට වහලා තියෙද්දි රූගත කිරීම් කරන්නේ කොහොමද කියලා. මේ වෙලාවේ මිනිස්සු ගෙවල්වල ලොකු පීඩනයක. ඒ නිසා මේ මොහොතේ රසවින්දනය කියන අතිශය වැදගත්. අපිට අත්‍යවශ්‍ය සේවා යටතේ මාධ්‍යවල ඒ අවකාශය සහ අවසරය දීලා තියෙනවා.

 

දින කීපයක් ටෙලිනාට්‍යය විකාශය වුණා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ටෙලි නාට්‍යය විකාශය වෙන්න කලින් ගියේ පූර්ව ප්‍රචාරක පටයේ ඉඳන්ම ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්සු ඇඟිලි ගැන ගැන හිටියේ මේක විකාශය වෙනකන්. මේ දවස් කීපයට හිතාගන්න බැරි තරම්. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ළමයින්ට සහ වැඩිහිටියන්ට එකට සිට නරඹන්න පුළුවන් වින්දනීය ආදර්ශවත් ටෙලිනාට්‍යයක් මේක.

 

දරුවන් එක්ක වැඩ කරන ඒ සුන්දර අත්දැකීම ගැනත් මතක් කරමු?

ඒ දරුවන්ගේ කැපකිරීම ඉහළයි ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. දරුවෝ ටික මට හරිම ආදරෙයි. අර කතාවක් තියෙනවනේ අලියන්ටයි ළමයින්ටයි නිලියන්ටමයි හිත කියලා. ඒ වගේ තමයි දරුවන්ට එකතැන ඉන්න බැහැ. ඒත් එයාලා අතිදක්ෂයි. රෑ දොළහා එක වෙනකං හරි ආසාවෙන් මේ රූගතකිරීම් එක්ක එයාල ඉන්නවා. සමහර දවස්වලට ළමයි නිසා ජවනිකා තුනයි රූගත කරන්න වෙන්නේ. ඒ කොහොම වුණත් මම හිතනවා ටීචර් අම්මා ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනීවි කියලා.

 

ටෙලිනාට්‍ය රූගත කරද්දි වුණු අමතක නොවන සිදුවීම් ඇති?

මේ වෙනකොට මට අමතක නොවන දේ තමයි මාව දිවි මකුළුවෙක් කාපු එක. අද වෙනකනුත් මගේ කකුල දරුණු මට්ටමක තියෙන්නේ. වෛද්‍ය ප්‍රතිකාර ලබනවා තාමත්. අපේ කකුල්වලින් ලේ ගලනකොට තමයි අපි දන්නේ කූඩැල්ලෝ දෙතුන් දෙනෙක් එල්ලිලා කියලා. සමහර ලොකේෂන්වලට යන්න පාරවල් නැහැ. හෙල්මළු කුඹුරු මැදින් යන්න තියෙන්නේ. එක සැරයක් නයනා අක්කායි චන්දනයි දෙන්නා මහරෑ කුඹුරේ වැටුණා. ඒ වගේ අත්දැකීම් අමතක වෙන්නේ නැහැ.

 

ටෙලිනාට්‍යයට දායක වුණු රංගන ශිල්පීන් කවුද?

ටීචර් අම්මාගේ චරිතය කරන්නේ හිරුෂි වසුන්දරා. ඇය ඉතාමත් ආදරණීය ලෙස දරුවෝ එක්ක ඒ කැපකිරීම කළා. සමහර රංගන ශිල්පීන් ශිල්පිනියන් රඟපෑමට විතරයි දරුවන්ට ආදරය පෙන්නන්නෙ. ඒත් ඇය ඇත්තටම දරුවන්ට ආදරෙයි. ඒක හරි පහසුවක් වුණා රූගත කිරීම්වලට. අමිත්ත වීරසිංහ, නිරෝෂන් විජේසිංහ, සරත් කරුණාරත්න, කමල් දේශප්‍රිය, මොරීන් චාරුණී, චමිලා පීරිස්, රමණි සිරිවර්ධන, රුවන් පෙරේරා, චමින්ද බටුකොටුව, ඉන්දික දේශප්‍රිය වගේ දක්ෂ රංගන ශිල්පීන් රාශියක් මේ නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නවා.

 

ටීචර් අම්මා ටෙලිනාට්‍යයේ සංගීතයට මුල්තැනක් දුන් බවක් පේනවා.

සංගීතය කියන එක මේ නාට්‍යයට ලොකු වර්ණවත් බවක් එකතු කළා. සංගීත අධ්‍යක්ෂණය කළේ දිනේෂ් සුබසිංහ. ඔහු "හෝගාන පොකුණ" සිනමා නිර්මාණයේ පවා සංගීත අධ්‍යක්ෂණය කළ සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක්. ටෙලිනාට්‍යයේ තේමා ගීතය ලිව්වේ කැළුම් ශ්‍රීමාල්. ගායනා කරන්නේ උපේකා නිර්මාණි.

 

වර්තමානයේ හැදෙන ටෙලි නිර්මාණවලට බරපතළ විවේචන තියෙනවා.

කලාකරුවෝ කියාගන්නා මිනිස්සු බොරුවටත් මේක ඇතුළේ රඟනවා. නිර්මාණ කරනවා කියල කිව්වට ගොඩක් අය නිර්මාණ කරන්න අතළොස්සයි. මුදලම තමයි එයාලගේ ප්‍රධාන සාධකය. මුදල් අවශ්‍ය බව ඇත්ත. හැබැයි සමාජය විකෘති කරලා මුදල් උපයලා වැඩක් නැහැ. ලංකාවේ දැන් දික්කසාද ප්‍රතිශතය සියයට පනස්දෙකයි. ඒකට ප්‍රධාන ලෙස බලපාල තියෙන්නෙ ඉන්දියන් කසිකබල් ටෙලිනාට්‍ය. ඒවයින් මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ වැරදි පණිවිඩ. ඒවා සජීවී ජීවිතයේ ක්‍රියාත්මක වෙනවා. ටීවී එකට රිමෝට් එකක් තිබ්බට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ දරුවාට පෙන්නන්න ඕනේ හොඳ දේ ද නරක දේ ද කියලා. කොච්චර ටෙලිනාට්‍ය හැදුවත් මම අකමැතියි මිනිස්සු හය හමාරේ ඉඳලා නමය හමාර වෙනකන් ටෙලිවිෂන් එක ඉස්සරහා ඉන්නවට. දරුවන්ට අම්මා තාත්තා අමතකයි. පොතපත අමතකයි. ලංකාවේ සදාචාරාත්මක මාධ්‍යයක් නෙමෙයි තියෙන්නේ. මොනවාහරි කරලා විකුණන්නයි බලන්නේ. උදේට පිරිත් දාලා ටෙලිවිෂන් එකේ රෑට පෙන්නන්නේ විස. අපි මැරෙන දවසක අන්තිම හුස්මපොද යන්න කලින් අපි මේ රටට සේවයක් කළානේ කියලා හිතෙන තරමට වැඩ කළොත් මට ඇති. මම හෙට මළත් කමක් නෑ. මම වැඩ කරලා තියෙනවා. අනිත් අයටත් මම කියන්නේ කලාව විකුණන්න එපා කියලා.

 

ටෙලිනාට්‍ය ඇතුළේ හිරවෙලා හිටියා ඇති කියලා හිතෙන්නේ නැද්ද?

චිත්‍රපටයක් ගිය අවුරුද්දේ කරන්න අපි සූදානම් වෙලා හිටියේ. අගෝස්තුවේ නවසීලන්තයේ චිත්‍රපටියක් රූගත කරන්න සූදානම් වුණා අපි. අපි ගිහින් ලොකේෂන් පවා බලලා ආවා. නමුත් කොරෝනා නිසා ඒක නතර වුණා. චිත්‍රපටයක් කරන එක තමයි මගේ ඊළඟ හීනය. ඒක මම කොහොම හරි කරනවා. නමුත් මේ ඒකට කාලය නෙමෙයි. ඒ අතරවාරයේ මම මගේ වේදිකා නාට්‍ය කරනවා. මගේ අලුත්ම වේදිකා නාට්‍ය "දෙබිඩි බ්‍රෝ". ඒක අපි ලෝකේ වටේ අරගෙන යන්න සූදානම්. මම වේදිකාවෙන් ආපු නිසා මොකක් කළත් වේදිකාව අමතක කරන්න බැහැ.

 

ඉදිරි ඉලක්ක මොනවාද?

මගේ ඉදිරි ඉලක්කය තමයි පර කළු සුද්දන්ගෙන් මේ රට ගලවා ගැනීම. ඒක තමයි මගේ ලොකුම හීනේ. කලාව පැත්තෙන් ගත්තොත් මම කාගේවත් නිර්මාණවල රඟපාන්නේ නැහැ. එහෙමයි කියලා මම රංගනය අතහැරලා නැහැ. රංගනය අත්නොහරින්න එකම හේතුව වෙන්නේ මම ටෙලිවිෂන් එකේ පෙනුණේ නැත්නම් මිනිස්සුන්ට මාව අමතක වෙනවා. ඒ නිසා මගේ නිර්මාණවල යම් යම් චරිත කරනවා. මේ ටෙලිනාට්‍යයේත් මගේ සහෝදර ශිල්පීන් හැමෝම රඟපාන්න කියනවා. ඒත් ළමයින් එක්ක වැඩ කරන නිසා දැනට රඟපාන්නේ නෑ කියන තැන ඉන්නේ.