සරාට ගැහුව නිසා කැකුලාට මරණ තර්ජන

ජූලි 8, 2021

 

 

“නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යය මේ වන විට ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බවට පත්වෙලා හමාරයි. එහි පසුගිය කොටස්වලින් සරාට කැකුළන්දර පොල්ලකින් පහර දී සරා රෝහල්ගත වන රූපරාමු විකාශය වුණා. ඉන්පසුව එම ටෙලිනාට්‍යය නරඹන ප්‍රේක්ෂයන් එය කොයිතරම් සැබෑ ජීවිතයට ආරෝපණය කරගෙනද කියනවා නම් එහි කැකුළන්දරගේ චරිතය නිරූපණය කරන දක්ෂ තරුණ රංගන ශිල්පියකු වන රුවන් පෙරේරාගේ නිවෙසට මරණ තර්ජන එල්ල කරන මට්ටමටම සංවේදී වී හමාරයි. ඒ බවට කනගාටුව පළකරමින් සහ එසේ පමණට වඩා කලා නිර්මාණයකට සංවේදී නොවන බවට පවසමින් සරාගේ චරිතය නිරූපණය කරන සජිත ඇන්තනී විසින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයට මුදා හැරියා. සජිත එහිදී මෙසේ පවසා තිබුණා.

"කැකුළා මේකේ කරන්නේ චරිතයක්නේ. කැකුළා සරාට පොල්ලෙන් ගහන්නේ ඒ ජවනිකාව පිටපතේ තියෙන නිසා. එහෙම කළා කියලා කැකුළාගේ ගෙදරට මරණ තර්ජන එන එක නෙමෙයි අපි මේ ටෙලිනාට්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක ටෙලිනාට්‍යයක්. බර්ටෝල් බ්‍රෙෂ්ට් කිව්වා කලා නිර්මාණය රසවිඳීනකොට ඒ නිර්මාණයෙන් ඈත් වෙලා ඒක නිර්මාණයක් විදිහට බලන්න කියලා. "නාඩගම්කාරයෝ" නිර්මාණයක් විදිහට දකින්න. මේ නිර්මාණයත් එක්ක සාධාරණීකරණය වෙලා අපි අඬද්දි ඕගොල්ලෝ ඇඬුවාට මට කමක් නැහැ. ඒක තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අර තරම් සංවේදී වෙන්න එපා. ඉස්සර සිනමාපටයක තිරයට දුෂ්ටයා එනකොට පිහියක් අරගෙන තිරය කපපු කතා අතීතයේ අපි අහලා තියෙනවානේ. දැන් මේ විසිඑක් වැනි සියවසේදී ඒ වගේ වෙන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. ඊට වඩා තර්කානුකූලව මේ නිර්මාණය දිහා බලන්න."