පොත්ත සුදුවට ස්වීට් එකට ඉඳලා වැඩක් නැහැ

“වලවෙට්ටුවා” ටෙලිනාට්‍යයේ වෙල්මා - ටීනා ශනෙල්
ජූලි 8, 2021

 

"මගේ පොර කිකිළි...

ගිනි කිකිළි..."

 

මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාව නරඹනවා නම්, මේ දෙබස් අනිවාර්යයෙන්ම ඔබට මතක ඇති. ඒත් සමඟම වෙනස්ම ආකාරයකට වෙස් ගැන්වූ ටීනා ශනෙල් තරුණයන් කීපදෙනෙක්ට කම්මුල් පාරවක් ගහන රූප රාමු පෙළක් ඔබ දැක ඇති. ඒ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන රනිල් කුලසිංහගේ නවතම ටෙලි නිර්මාණය වන "වලවෙට්ටුවා"හි දර්ශන කීපයක්. නිරූපිකාවක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වුණු ටීනා ශනෙල් මෙහි වෙනස්ම ආකාරයක චරිත නිරූපණයක් කරනවා. මේ චරිතය ගැන සහ "වලවෙට්ටුවා" ටෙලි නිර්මාණය ගැන කතා කරන්න අපි ටීනා ශනෙල්ව සම්බන්ධ කරගත්තා.

 

ටීනා ළඟදි ඉඳලා පිරිමි ළමයින්ට කම්මුල් පාරවල් දෙනවා කියලා ආරංචියි.?

එයාලා මොනව හරි වැරැද්දක් කළොත් නම් අනිවාර්යයෙන් ඉතින් මම කම්මුල් පාරක් ගහනවා. (සිනාසෙමින්) ඒත් මේ දවස්වල නම් මම කම්මුල් පාරවල් ගහන්නේ "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යයට. ඒක තමයි මම රඟපාන අලුත්ම ටෙලිනාට්‍යය.

 

"වලවෙට්ටුවා" ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය විශේෂයි?

අනිවාර්යයෙන්ම. මම රඟපාන්නේ වෙල්මා කියන තරුණියගේ චරිතය. තරුණියක් කිව්වාට එයා ඉන්නේ කොල්ලෙක් වගේ. ග්‍රාමීය පරිසරයක හැඳුණු වැඩුණු කබඩි සෙල්ලම් කරන ආතක් පාතක් නැති දඩබ්බර ගෑනු ළමයෙක්ගේ චරිතයක් ඒක. ඒ චරිතයට මම ගොඩක් ආදරය කරනවා. ඒ වගේම ආසාවෙන් කැප වීමෙන් කරන චරිතයක්. මම ඇත්තටම කැමතියි මිනිස්සු මාව ඒ වගේ වෙනස් විදිහට දකිනවාට. මොකද ගොඩක් අය හිතන්නේ ටීනාට ගමේ විදිහට රඟපාන්න බැහැ කියලා. මාව යම්කිසි රාමුවක කොටු කරලයි අධ්‍යක්ෂවරුන් වුණත් මගේ දිහා බලන්නේ. ඒත් මම මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න උත්සාහ කරනවා. යම්කිසි අධ්‍යක්ෂවරයෙක් මේ චරිතය ටීනාට ගැළපෙනවා කියලා මොකක් හරි අභියෝගාත්මක චරිතයක් දුන්නොත් මම ඒ අධ්‍යක්ෂවරයාගේ විශ්වාසය උපරිමයෙන් රකින්න උත්සාහ කරනවා. "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යයේ වෙල්මාගේ චරිතයක් මට එහෙම ලැබුණ චරිතයක්.

 

වෙල්මාගේ චරිතය ටීනාට ලැබුණේ කොහොමද?

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ රනිල් කුලසිංහ අයියා මේ වගේ අලුත් වැඩක් සැලසුම් කරනවා කියලා මට කියලා තිබුණා. රනිල් අයියා මේ චරිතය ගැන කියපු වෙලාවේ ඉඳලා මම මේ චරිතයට ආස වුණා. රනිල් අයියාට හිතෙන්න ඇති මේ චරිතයට මාව ගැළපෙනවා කියලා. කොට ඇඳුම් ඇඳගෙන වෙස්ටර්න් විදිහට බෝනික්කෙක් වගේ මිනිස්සු මාව දකිනවාට වඩා වෙනස් විදිහකට මාව දකිනවාට කොහොමත් කැමතියි. ඒ වගේම චරිතාංග නිළියක් විදිහට මම රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න කැමතියි. ඒකට අපට අවස්ථා තියෙන්න ඕනේ. අවස්ථාවක් නැතුව දක්ෂතා පෙන්වන්න බැහැ. අධ්‍යක්ෂවරයා ලබා දුන්නු මේ අවස්ථාව ගැන මම ඇත්තටම සතුටුයි.

 

මේ චරිතයට සූදානම් වුණේ කොහොමද?

මේ චරිතය මට හරිම අමුතුයි. වෙල්මාගේ ගති ලක්ෂණ ටීනාට නැහැ. කොල්ලෙක් වගේ කතාබහ කරන්න, නිතරම ගහගන්න වගේ කතා කරන්න, කොල්ලෙක් වගේ හැසිරෙන්න පුරුදු වෙන්න වුණා මට. ගමේ විදිහට වචන උච්චාරණය කරන්න පුරුදු වුණා. ඇත්තටම මේක බලන තරම් සුන්දර නැහැ. සෑහෙන්න පුහුණු වීම් කරන්න වුණා මේ චරිතයට සූදානම් වෙන්න. මේ දවස් ටිකේම මාව හඳුනගන්න බැරි තරමට කළුවෙලා අව්වේ රූගත කිරීම් කරලා. ඒත් ඒ ගැන කිසිම දුකක් නැහැ මේ චරිතයට මම සෑහෙන්න ආදරය කරන නිසා. අධ්‍යක්ෂවරයා මේ චරිතය ගැන මට කිව්වට පස්සේ ඒ චරිතය ගැන මගේ හිතේ ඇඳගත්ත රූපයක් එක්ක මම මේ චරිතය ගොඩනැඟුවේ. ඇත්තටම ඒ සඳහා "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ රනිල් කුලසිංහ අයියා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම මගේ සහෝදර රංගන ශිල්පීන් මතක් කරන්න ඕනේ. ප්‍රධාන චරිතය රඟපාන චමීර ලියනගේ මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මේක හොඳ ටීම්වර්ක් එකක්. ඒ වගේම ස්වර්ණවාහිනී නාළිකාවේ විධායක අධ්‍යක්ෂ රංගන ද සිල්වා අයියාටත් ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කළාට.

 

කබඩි ක්‍රීඩාව, කුකුළන් ඇල්ලීම වගේ ක්‍රියා පෙර පුහුණුවකින් කරන්න ඕනේ. ටීනාට මේ දේවල් අමාරු වෙන්න ඇති?

ඔව්. ඇත්තටම අමාරු වුණා. කබඩි නම් බලාගෙන ඉඳලා පස්සේ පුහුණුවීම් කළා. කුකුල්ලු අල්ලන වැඩේ නම් ටිකක් අමාරු වුණා. ඒ කුකුල්ලු කලින් පුරුදු කරලා තිබුණේ. ඒ නිසා එයාලා කොටන්නේ නැහැ. ඒත් ටිකක් නුහුරු නිසා පුරුදු වෙන්න වුණා. හොඳ චරිතයක් ගොඩනඟන්න නම් කොහොමත් කැප කිරීම් කරන්න වෙනවා. ස්වීට් එකට පොත්ත සුදුවට තියාගෙන ඉඳලා වැඩක් නැහැ. චරිතයට අවශ්‍ය හැමදෙයක්ම කරන්න ඕනේ. ඒකට කබඩි සෙල්ලම් කරන්න, කුකුළන් අල්ලන්න වගේම ඉදිරියේදී මට මීට වඩා වෙනස් චරිත ලැබුණොත් ඒ චරිතයට අදාළ දේවල් අනිවාර්යනේම මම කරනවා. මම හැමවෙලාවෙම බලන්නේ චරිතයට සියයට දෙසීයක් දෙන්න.

වෙල්මාගේ වේශනිරූපණයත් විශේෂයි නේද?

ඇත්තටම ඔව්. මේ විදිහට මම මාවවත් ජීවිතේට දැකලා නැහැ. මටත් වෙන්න ඕනේ මේ විදිහට වෙනස් වෙන්න තමයි. වෙල්මාගේ මේකප් එක මගේ තියෙන පාටට වඩා සෑහෙන්න කළු කරලා දාන්නේ. මේ චරිතය මිනිස්සුන්ට විශේෂ වෙන්නේම ඒ නිසා කියලා මම හිතනවා. ගමේ ඉන්න කොල්ලෙක් වගේ හඩු කෙල්ලෙක්ගේ චරිතයක් නිසා ඒ විදිහට මාව හැඩගන්වනවා. ඇත්තටම මේ චරිතය නිසා ගෙයක් දොරක් නැති නිතරම සෙල්ලම් කරන හඩු කෙල්ලෙක් වෙලා දැන් මම. එතන ඉන්නේ ටීනා නෙමෙයි, වෙල්මා.

 

මේ ටෙලිනාට්‍යයට ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා. ඒ අයගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

අනිවාර්යයෙන්ම එයාලව මතක් කරන්න ඕනේ. ඩබ්ලිව්. ජයසිරි, මාදිනි මල්වත්ත, දමිතා අබේරත්න, කුමාර තිරිමාදුර වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ගොඩක් එක්ක මට මේ චරිතය ගොඩනඟන්න වෙන්නේ. ඒ හැම කෙනෙක්ම මම ප්‍රවීණයන් විදිහට ගොඩක් ගරු කරන අය. ඒ අය එක්ක රඟපාන්න ලැබුණු එක මට ලොකු අවස්ථාවක් සහ භාග්‍යයක්. ඒ අය කාලයක් මේ ක්ෂේත්‍රයේ වැඩ කරලා ඉගෙනගෙන කැපවෙලා ඒ තැනට ඇවිත් තියෙන්නේ. එයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා අපිට. ඒ අය හරිම නිහතමානී. ඕනෑම දෙයක් ගැන ඇහුවාම එයාලා මට කියලා දෙනවා. සමහරු මේ සීන් එකේ මෙහෙම කළා නම් හොඳයි කියලා මට ගුරුහරුකම් දෙනවා. මාව අගය කරලා මාව මොරාල් කරනවා.

කොහොමද වෙල්මාට ලැබෙන ප්‍රතිචාර?

හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර සෑහෙන්න ලැබෙනවා. මගේ රසිකයන්ගෙන් වගේම මගේ මිතුරන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ ජාලාවලින් මගේ රසිකයන් සෑහෙන්න පණිවිඩ එවනවා. එයාලත් කියන්නේ මේ චරිතය වෙනස්. මම හොඳට ඒ චරිතය කරනවා කියලා. ඒ වගේම මගේ හිතමිතුරන් මට පෞද්ගලිකව කතා කරලා මාව අගය කරනවා. මට ඇත්තටම ඒ ගැන සතුටුයි. ඒ වගේම මම සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ මගේ යාළුවෙක් හොඳ චරිතයක් රඟපානවා දැක්කොත් කතා කරලා ඔවුන්ව අගය කරනවා. ඒත් මේ වෙනකම් ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් මගේ මේ චරිතය අගය කරලා නැහැ. අධ්‍යක්ෂවරයාට කතා කරලා කිව්වත් මට පෞද්ගලිකව කතා කරලා එහෙම අගය කිරීමක් ලැබෙන්නේ නැහැ. ඒ ගැන මම පසුතැවෙන්නෙත් නැහැ. මගේ ගමන මම යනවා.

 

මේ වගේ තව වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයන්ට ටීනාව ඉදිරියටත් බලාගන්න පුළුවන් වෙයිද?

ඒක මට තනියම කරන්න බැරි දෙයක්. ඒකට මට අවස්ථාව තියෙන්න ඕන. දැනට නම් මට එහෙම චරිතවලට ආරාධනා ඇවිත් නැහැ. ඒත් මම මේ වගේ වෙනස් අභියෝග භාරගෙන ඉදිරියේදී මීටත් වඩා වෙනස් චරිත කරන්න ලෑස්තියි.