වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
අපලයා කියන්නේ කඩවරයා වගේ සමන් ලෙනින් ගේ අලුත් භූමිකාව

අපේ ජන ගීය, ජන සංගීතය මෙය යැයි කියූ සැණින් ඔහුව මතකයට නැඟේ. ඒ එය අලුත් පරම්පරාවට මතක් කර දුන්නේ ඔහු නිසාය. අලුත් පරම්පරාවට පමණක් නොව ඔහු එය ලෝකයට රැගෙන ගොස් අපේ කමට කීර්තියක් රැගෙන ආවේය. ජන හදට දැනෙන සංගීතය එක්කාසු කර ඔහු තනනා නිර්මාණ අතිශය කතාබහට ජනප්‍රියත්වයට පත්වන්නේ නිතැතිනි. ගායනය නර්තනය පමණක් නොව රංගනයෙන්ද පෙළහර පෑ ඔහු අද දවසේ සරසවිය අපේ කතානායකයාය. ශ්‍රී ලාංකේය ජන සංගීතය මෙය යැයි ලොවට පසක් කළ අපේ කාලයේ මුද්‍රාවක් වූ සමන් ලෙනින් මේ දිනවල ඔහුගේ රංගන ප්‍රතිභාවද මනාව පෙන්නමින් සිටී. ඒ ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ දිග හැරෙන පානාමංකඩ ටෙලිවෘතාන්තයේ අපලයා වෙමින්.
ඔබට ඇති සෞන්දර්යාත්මක හැකියාවන් අතර රංගනයට හැකියාවක් ඇති බව හඳුනාගන්නේ කොහොමද?
මම රංගනයට දක්ෂතාවයක් ඇල්මක් දැක් වූ කෙනෙක්. ළමා කාලයේදීත් බොහෝ සෞන්දර්යාත්මක හැකියාවන් තිබූ ළමයෙක් මම. සෞන්දර්ය විශ්වවිද්‍යාලයයට ආවාම මට හැකි වෙනවා මා තුළ වූ හැකියාවන් හඳුනා ගැනීමට වගේම ඒවා එළියට ගන්න. ගෙදරින් පිට ආවම එයට අවශ්‍ය හොඳ සංවිධානශීලී මනස ගොඩ නඟාගන්න පුළුවන් වුණා. මීට පෙර වේදිකාවේ වගේම ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
අපලයා වෙන්න ලැබෙන්නේ කොහොමද?
ටෙලිනාට්‍යය සඳහා අවුරුදු ගණනාවක සිට මම සංගීතය සපයනවා. මේ නිර්මාණයට රනිල් කුලසිංහ සහෝදරයා බොහොම ගෞරවණීයව ආරාධනා කළා. 'අයියේ මම බොහොම ආසාවෙන් කරන තිර පිටපතක් මෙය. ලියන්නේ සමන්ත ගමගේ'කියලා. සමන්ත ගමගේ මගේ ඉතාම ළඟ මිත්‍රයෙක්. මුලින්ම මට මෙහි සංගීත අධ්‍යක්ෂණයයි භාර දුන්නේ. මම රනිල්ට කිව්වා මට සතියක් දෙන්න පිටපත කියවන්න කියලා. එවිට ඔහු මට කිව්වා ඒ විතරක් නෙවෙයි අයියේ මේ නිර්මාණයේ අපලයා කියලා චරිතයක් තියෙනවා. අයියට මම ආදරෙන් ආරාධනා කරනවා ඒකට කියලා. නම අහපු ගමන්ම එහි යම්කිසි වෙනසක් තියෙන බව වැටහුණා. කතාව කියෙවුවාම මට හිතුණා මෙය මා කළ යුතුයි කියලා.
අපලයාගේ චරිතය ඔබ කියවගත්තේ කොහොමද?
ගුරුන්නාන්සේ කෙනෙක්ගේ සෙවණේ ඔහුට අප්පච්චි කියමින් මවුපියන් ගැන හාවක් හූවක් නෙදැන අපලයා වැඩෙනවා. ඔහු දන්නවා ගුරුන්නාන්සේ අප්පච්චි ඔහුගේ අප්පච්චි නොවේ කියලා. ඒත් තමන්ගේ පියාට වඩා ගෞරවයක් සෙනෙහසක් ගුරුන්නාන්සේ අප්පච්චිට අපලයා තුළ තියෙනවා. ගුරුන්නාන්සේට ගැහැනු ළමයිම පස්දෙනෙක් ඉන්නේ. මේ ගෙදර හැම දෙනාගෙම ආරක්ෂාවට කඩවර දෙවියා වගේ ඉන්නේ අපලයා. ඔහු බොහෝ තාඩන පීඩනවලට සමාජීය වශයෙන් ලක් වෙනවා. හැමදේම ඉවසා දරාගෙන පවුල වෙනුවෙන් දෙයක් කරන්න නිතරම උත්සාහ ගන්න අපලයා මේ පවුලට පියෙක් වගේ. අපලයා ගුරුන්නාන්සේගේ දරුවෙක් නොවන බව පවුලේ හැමෝම දන්න නිසාම ගුරුන්නාන්සේගේ දෙවැනි දුව එක්ක අපලයාගේ හාදකමක් ඇති වෙනවා. චරිතය ගොඩනඟන විට ඇතැම් අවස්ථාවල අපලයා නිසා මම සංවේදී වුණා.
එහෙනම් රංගනයේදී අසීරූ වූ තැන් ඇති?
රංගනයේ දී ඇත්තටම මට අසීරු වුණේ ඒ දවස්වල මගේ කකුලේ ආබාධයක් තිබුණා. ආසාත්මිකතාවයක් නිසා මගේ කකුලේ තුවාල එන්න ගත්තා. ඉතාම අපහසුවෙන් මා රංගන කටයුතු කළේ. අපලයා මැටි කර්මාන්තයේ යෙදෙන කුඹල්කරුවෙක් නිසා මැටි අනන්න, කැලෑවේ ඇවිදින්න වගේ දේවල් කරන්න තිබුණා. මේ නිසා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්නත් වුණා.
පානාමංකඩ සංගීත අධ්යක්ෂවරයාත් ඔබ. ඔබේ දැනුම කොහොමද නිර්මාණයට යොදා ගන්නේ?
සංගීතය හා නර්තනය එකිනෙකට බද්ධයි. උඩරට පහතරට සබරගමු මේ ආදී වශයෙන් බෙදී යන සංගීතය පර්යේෂණාත්මකව මා හදාරා තිබෙනවා. මෙය නර්තනය හා බැඳුණු කතන්දරයක් නිසා එයට සංගීතය මුසු කරනවිට නර්තනය සමඟ අනුබද්ධ සංගීත ප්‍රවර්ග වශයෙනුයි මෙයට සංගීත සංයෝජනය කරන්නේ. සරලවම කොව්වොත් මෙයට භාවිත කරන්නේ අපේ ජන සංගීතය. සංගීත අධ්යක්ෂවරයා විදිහට මට මෙහි ලොකු කාර්යභාරයක් පැවරී තිබෙනවා. එය ඔබට හොඳටම තේරෙන්නේ සංගීතය නොමැතිව කතාවේ දෙබස් පමණක් ඇති රූපරාමු දෙස බලන විටයි. කතාවේ අර්ථය හැඟීම තීව්ර කරන්න සංගීතය විශාල කාර්යභාරයක් ඉටු කරනවා.
ඒ සංගීතය එක්ක පානාමංකඩ තේමා ගීතය පිළිබඳ කතා නොකළොත් ඒක අඩුවක්?
තේමා ගීතය රචනා කළෙත් රනිල් කුලසිංහ මල්ලිමයි. ගීතය ගායනා කරන්නේ මම සහ නිලක්ෂි හැලපිටිය. මා විසින් නිර්මාණය කළ මුල් ගීතය යම් යම් වෙනස් කිරීම්වලට ලක් කළා. එකම තාලයකින් යුත් ගීතයට තාල කිහිපයක් යොදාගැනීම නිසා ගීතයේ තිබූ ඒකාකාරිබව නැතිකරන්න පුළුවන් වුණා. එතැනදි නිලක්ෂි මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මෙය නර්තනය සමඟ යන කතාවක් නිසා මට අවශ්‍ය වුණා තේමාගීතයට ජවයක් එකතු කරන්න. කතාව ඇතුළේ තිබෙන ශෝකය පෙන්වීමටත් අවශ්‍ය වුණා. තේමාගීතය ඇහෙන විටම ටෙලිනාට්‍යය නරඹන තැනට ප්‍රේක්ෂකයා ගෙන ඒම මගේ වගකීමයි.
ඔබ සමඟ කතා කරනවිට සමන්-නිලක්ෂි සුසංයෝගය පිළිබඳ කතා නොකරම බෑ?
නිලක්ෂි හැලපිටිය මා හඳුනා ගන්නේ අපේ රටේ තිබෙන විරල ගණයේ කාන්තා කටහඩක් ලෙස. කටහඩ වර්ගීකරණය කරන්න නිශ්චිත ක්‍රමවේදයක් නෑ. ඒත් අපට ඇහෙන ආකාරය අනුව විවිධ අර්ථ දැක්වීම් කළ හැකියි. මම ගායනා කරන්නේ තරමක් ඉහළ ශ්රැති. මා එසේ ගායනා කරද්දි මා සමඟ හරි හරියට ගායනා කළ හැකි අයෙක් මගේ අනෙක් පස සිටිය යුතුයි. නිලක්ෂි එයට අපූරුවට ගැළපුණා. සාමාන්‍යයෙන් ඇය වැඩ කරන විට එක පාරම මගේ මතය හා එකඟවන්නේ නෑ. ඇය ප්‍රශ්න කරනවා. ඇයටත් සංගීතය පිළිබඳ මනා දැනුමක් තිබෙනවා. ඇගේ ප්‍රශ්න හරිම තාර්කිකයි. ඒ වගේම මගේ වාද්‍ය ශිල්පීන් මා මතක් කළ යුතුයි. ඇතැම් වෙලාවට මම හිතනවා නිර්මාණයකදි මම විතරක් කොහොමද පැසසුම් ලබන්නේ මේ සියලු දෙනාගේ ශක්තිය නේද මේ නිර්මාණවල තියෙන්නේ කියලා. කොහොම වුණත් අප එකතු වී කරන නිර්මාණ සාර්ථක වන්නේ මේ සියල්ලන්ගෙන්ම ලැබෙන සහයෝගය නිසා.
ඔබට පෙර සිටි පරම්පරාව ඔබට දායාද කළ දෑ ඔබෙන් පසු පරම්පරාවට දායාද කිරීම ඔබේ වගකීම. මේ වගකීම කොයි ආකාරයෙන්ද ඔබට දැනෙන්නේ?
එය ඉතාම වැදගත්. අපෙන් පසු පරම්පරාවක් සෑදිය යුත්තේ අප පසුකර යන්නයි. සියල්ලට පෙර යහපත් පුද්ගලයන් විය යුතුයි. මිනිසත්කම ඇති මිනිසුන් විය යුතුයි. මම ගුරුවරයෙකු විදිහට මා හට මුණගැසෙන දක්ෂ දරුවන්ට උදවු කරනවා. රටක කලාකරුවෙක් තනාගන්න ඒ රටත් පෙරුම් පුරන්න ඕන. දක්ෂයින් අතර අති දක්ෂයින් ඉන්නවා ඒ අතර විශිෂ්ටයන් ඉන්නවා ඒ අතරිනුත් ශ්‍රේෂ්ඨයන් ඉන්නවා. ශ්‍රේෂ්ඨ වෙන්න නම් ඔහුට තමන්ගේ විෂයය පිළිබඳ මනා දැනුමක් තිබීම වගේම සංස්කෘතින්හි වැටහීමක්, සාහිත්‍ය පිළිබඳ වැටහීමක්, තිබිය යුතුයි. එවන් ශ්‍රේෂ්ඨයාගේ ප්රකාශනය විස්මීයයි. විශ්වීයයි.
ඔබෙන් පසු පරම්පරාව දේශීය ජන සංගීතය හා විදේශීය සම්ප්‍රදායන් සම්බන්ධ කර කරන නිර්මාණ පිළිබඳ ඔබේ අදහස මොකද්ද?
අපට වෙනත් සම්ප්‍රදායන්වල ඇති දේ ගේන්න ලස්සන ක්‍රමවේද තියෙනවා. ඉතිහාසය ගෙන බැලුවොත් එයට උදාහරණ සපයාගත හැකියි. මනමේ, සිංහබාහු නාට්‍ය දෙස බැලුවත් එය උගත හැකියි. සංස්කෘතිය පිළිබඳ අද ප්‍රශ්න කරනවා සංස්කෘතිය තුළම ඉඳලා. හරි මොකද්ද වැරදි මොකද්ද කියලා තේරුම් ගැනීමට නොහැකිව විපාක විඳීන පරම්පරාවක් අද ඉන්නේ. ඇස්කිමෝවරු දරුවෙක් ලැබුණම ඒ දරුවා බිමට දාලා යම්කිසි වෙලාවක් තියලා පණ තිබුණොත් තමයි ඒ දරුවා හදන්නේ. නැත්නම් මැරෙන්න අරිනවා. වයසට යන දෙමාපියන්ව දරුවන් විසින් මරලා දානවා. මෙය ඒ සම්ප්‍රදායට අනූව වැරදි නෑ. ඒ්ත් මේක අපේ සම්ප්‍රදායට අනුව ලොකු වරදක්. අපට එය ඉවසිය නොහැකියි. අද දරුවන්ට අපේකම අපේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් නෑ. ඔවුන්ට හැකියාව තිබෙනවා. ඒත් හැකියාව පමණක්ම ප්‍රමාණවත් නෑ.අද බොහෝ වෙලාවට කෑ ගහලා ගීත ගායනා කරනවා. ඇත්තටම මේ කෑ ගහලා ගීත ගායනා කිරීම මහා ලොකු අර්ථයකින් ලෝකයට එක් වූවක්. සුදු ජාතිකයන්ගෙන් පීඩාවට පත් වූ කළු ජාතිකයන් ඔවුන්ගේ දුක වේදනාව තරහා සුදු ජාතිකයන්ට එරෙහිව කියන්නයි මේ ශෛලිය යොදා ගත්තේ. එය කෙලින්ම අපේ සංස්කෘතියට ගෙනාවම අපට එය දැනෙන්නේ ඔවුන්ට දැනෙනවා වගේ නොවේ. නිර්මාණ කටයුත්තක් හෝ මොනයම් දෙයක් කළත් අවබෝධයෙන් අර්ථයෙන් කළ යුතුයි.
ඔබ අන්තර්ජාතිකවත් සම්මානයට පාත්‍ර වූ අයෙක්?
කලාකරුවෙක් විදිහට සම්මානයෙන් ඔදවැඩුණු වාසනාවක් මට තියෙනවා. මේ වනවිට ප්රමුඛ පෙළේ සම්මාන 17 ක් මට ලැබිලා තියෙනවා අන්තර්ජාතික සම්මාන ඇතුළුව. මේ ළඟදි ජපාන රජයෙන් අවුරුදු පහකට සැරයක් කලාවට කරන සේවය වෙනුවෙන් ලබාදෙන බුන්කා සම්මානය ලැබුණා.
අමුඩේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. අමුඩේ දෙකත් ඒ වගේමයි. ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවද?
මම ඉතාම සංතෝෂයෙන් අත ගහපු නිර්මාණ කාර්යයක මේ දිනවල යෙදිලා ඉන්නවා. ඒ සුදත් රෝහණගේ නවතම ටෙලිනාට්‍යයේ සංගීත අධ්යක්ෂවරයා වශයෙන්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'මාණික්කාවත' නවකතාවයි ඒ නාට්‍යයට වස්තු බීජය වන්නේ. ඒ වගේම බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා අතින් රචනා වුණ ඉතාම ලස්සන ගීතයක් නිර්මාණය කරමින් ඉන්නවා. කැලුම් ශ්‍රීමාල් විසින් රචිත ගීතයක් මම හා නිලක්ෂි ගායනා කරනවා. මේ නිර්මාණ ඉදිරියේදී දකින්න පුළුවන්.