වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
මිනිස්සු මට බනින්නෙ සරාට එළවළු දීපන් කියලා

පළමුව නැන්දා වෙලා පස්සෙ අක්කා කෙනෙක් වුණු තැනැත්තියක් ගැන මේ දවස්වල බොහෝ දෙනෙකු කතා කරනවා. මේ නැන්දා සහ අක්කා ඉන්නේ නාඩගම්කාරයෝ ටෙලි සිතුවමේ. චරිතයේ නම හරිහැටි සඳහන් කළොත් කළු නෝනා නැන්දා. ඇයට චාටු බස් දොඩන අය නම් අක්කේ කියලා කතා කරන්නටත් මැළි වෙන්නේ නැහැ. මේ රංගන ශිල්පිනියගේ නම සමුද්‍රිකා ඉද්දමල්ගොඩ. ටෙලි නිර්මාණ කිහිපයක රඟපා ජනප්‍රියත්වයට පත් වුණත් එක රැයකින් ප්‍රේක්ෂකයන් අතරට යන්න නාඩගම්කාරයෝ කළු නෝනා නැන්දා නිසා සමුද්‍රිකාට අවස්ථාව ලැබුණා. මේ ඇයගේ තතු විත්ති සොයා අප කළ සටහනක්.
ඔබ රංගනයට පිවිසෙන්නේ කොයි කාලේ වගේද?
ඇත්තටම 2003 වසරේ විතර තමයි මම රංගනයට ආවේ. එතකොට ස්වර්ණවාහිනියේ ටෙලිකාස්ට් වුණා මතක ඇති යෙහෙළි කියලා මාලා නාටකයක්. මම එහි කොටස් ගණනාවක රඟපෑවා. ඊට පස්සේ ජාතික රූපවාහිනියෙ පොහොය නාට්‍ය කිහිපයකම රංගන දායකත්වය ලබා දුන්නා. වෙළෙඳ දැන්වීම් එහෙමත් කළා. ඒත් මගේ මහත්තයා කැමැති වුණේ නැහැ මම දිගටම රඟපානවාට. ඔහුගේ කැමැත්තට ඉඩ දීලා පවුල් ජීවිතයට මුල් තැන දෙමින් මම රංගනයෙන් ඉවත් වුණා. නැවතත් රංගනයට පිවිසෙන්නේ 2017 වසරේ. හිරු නාළිකාවේ විකාශයවූ අදිසි, සයිබර් ක්‍රයිම්, ආටක නාටක වගේ නිර්මාණවල මම රඟපෑවා.
ඔබව ජනප්‍රිය චරිතයක් කළේ නාඩගම්කාරයෝ කළු නෝනා නැන්දා?
එක රැයකින් මම ජනප්‍රියත්වයට පත් වුණා නම් ඒ කළු නෝනා නැන්දගෙ චරිතයෙන්. ඊට ප්‍රථම මම සුදු අඟුරු කියලා නාට්‍යයක් කළා. එකේ ප්‍රේමා කියන චරිතෙන් ප්‍රේක්ෂකයන් ගොඩක් මාව අඳුනගත්තා. ඒත් එක්කම සඳඑළිය සහ සඳ විමන කියන නාට්‍යවලත් කැපී පෙනන චරිත කළා, ඊට පස්සේ පුළිඟු කියලා නාට්‍යයක් විකාශය වුණා මතක ඇති. මම ඒකේ ග්‍රාමසේවක නෝනගේ චරිතය රඟපෑවේ. නාට්‍යයේ කොටස් සීයයෙම ඒ චරිතය තිබුණා. ඒ වුණ මම අර කිව්ව වගේ එක රැයකින් මම අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ නාඩගම්කාරයෝ නාට්‍යය නිසා.
ඔබගේ රුව ඇතුළත් පෝස්ට් රැසක් නිර්මාණය වුණා නේද සමාජ මාධ්‍ය තුළ?
මට නැන්ද කිය කිය කතා කර කර ඉඳලා අක්කා වුණායින් පසුවයි සෑහෙන පෝස්ට් ප්‍රමාණයක් හැදුණේ. ඇත්තටම ඒක එක අතකින් වාසනාවක්. මගේ ෆේස්බුක් එකේ මැසෙන්ජර් පිරෙන්නම මැසේජස් එනවා. වට්ස්ඇප්වලට සෑහෙන්න මැසේජස් එනවා. කෝල්ස් එනවා. ඇත්තටම මට හිතාගන්න බෑ මෙච්චර චරිතය ජනප්‍රියයි කියලා. සමහරු මට බැනලා තියෙනවා ඔච්චර නපුරු වෙන්න එපා කියලා. තව සමහරු 'සරාට එළවළු දීපන් ගෑනියේ' කියලත් මැසේජ් එවනවා.
දැන් දිගින් දිගටම රඟපාන්නද අපේක්ෂාව?
ඔව්. දැන් මගේ දුවලා පුතාලා එහෙම ලොකුයි. හස්බන්ඩ් දැන් මට උදව් කරනවා රඟපෑමේ කටයුතුවලදී. මට ලැබෙන හොඳ චරිත බාර ගන්න තමයි හිතාගෙන ඉන්නේ.
ඔබගේ පවුලේ විස්තර කතා කළොත්?
මගේ සැමියා සරත් දීප්ති කුමාර. මට දුවලා දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. එක් දියණියක් පුළිඟු නාට්‍යයේ රඟපෑවා. ඇය අශානි සංදීපා. මම ඉගෙන ගත්තෙ කිරිඳීවෙල මහ විදුහලෙන්. ගම කිරිඳීවෙල.
රඟපාන්නට ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?
රඟපාන්න ගිහිල්ලා නෙමෙයි, ඒත් චරිතයක් නිසා වෙච්චි සිදුවීමක් මගේ හිතේ තියෙනවා. මම ඒක මේ වෙලාවේ කියන්නම්. ඔන්න දවසක් දා මමත් කලබලයෙනි ෂූටිං යන්න පිටත් වුණ වෙලාවක පාරේ හිටපු මනුස්සයෙක් ඇවිත් මගේ ඇඟේ තදින් හැප්පුණා. මටත් ටිකක් කේන්ති ගියා. ඔහු වැදුණු විදිහට මාවත් ටිකක් විසි වෙලා ගියා වගේ වුණා. ඉතින් ඒ මනුස්සයා කාගේද ඇඟේ හැප්පුණේ කියලා හැරිලා බලද්දි මාව දැකලා මාව හඳුනගෙන ගුඩ් මෝනිං කියලා කිව්වා. ඒත් මට ඒක ගැන සිහියක් තිබුන් නෑ. අර වැටෙන්ඩ ගිය එක ගැන තමයි මම කල්පනා කර කර හිටියේ. මම ඉතින් ගුඩ් මෝනින් නෙවේ මොකවත් කියන්නැතුව ටිකක් කේන්තියෙන් වගේ යන්න හදද්දි ඒ මනුස්සයා මට බණින්න පටන් ගත්තා 'මේ ගෑනිගෙ තියෙන ආඩම්බර හරියට නිකං චරිතවල වගේමයි' කියලා. මට එවෙලේ තේරුණා මිනිස්සු මාව චරිතවලින්ම මනින්න හදනවා කියලා. මම ඒ වෙලාවෙම ඔහුට සොරි කියලා ගුඩ් මෝනිං කියලා සුහදව මම එතනින් ඉවත් වෙලා ගියා.
මේ සංවාදය අවසන් කරන්නට පෙර උදව් කරපු අය මතක් කළොත්?
අනිවාර්යනේම. මට නාඩගම්කාරයෝ චරිතය ලබාදුන්නු සිවගුරුනාදන් මහත්මයාව මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. නාඩගම්කාරයෝ නිෂ්පාදක චාමර සමරවික්‍රම. පුළිඟු අධ්‍යක්ෂ බුද්ධික ලොකුකැටිය. තව අනෙකුත් අධ්‍යක්ෂවරුන් වන ජී. නන්දසේන ලක්ෂ්මන් පුෂ්පකුමාර, සුමිත් කුමාර වගේ පිරිසවත් මතක් කරනවා.