වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මට ඕනේ චරිතාංග නළුවෙක් වෙන්න

සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චන්දන හේවාපතිරණගේ සැප්තැම්බරයේ දිග දවසක් ටෙලිනාට්‍යය පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණා. එහි කඩයක් ආශ්‍රිතව ඉන්න එක්තරා අපූරු ගැමි තරුණයකුගේ චරිතයක් ඔබට මතක ඇති. එම චරිතයට පණ පොවන්නේ තවමත් පාසල් අධ්‍යාපනය හදාරන රවිඳු රන්දේව්. සැප්තැම්බරයේ දිග දවසක් ටෙලිනාට්‍යය පිළිබඳව සහ ඔහුගේ කලා චාරිකාව ගැන ඔහු අප සමඟ මෙසේ පැවසුවා.
ඔබ ගැන හැඳීන්වීමක් කළොත්?
මගේ නම රවිඳු රන්දේව්. මම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 12 වසරේ ඉගෙන ගන්නවා. කලා අංශයෙන් උසස් පෙළ හදාරනවා. ඒ අතරවාරයේ රංගන ශිල්පියෙක් ලෙස කලා නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
මොනවද ඒ කලා නිර්මාණ ?
පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණු "සැප්තැම්බරයේ දිග දවසක්" ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණා. "නවාතැන් පහසුකම් ඇත" කියලා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා ඒක තවම විකාශය වෙලා නැහැ.
"සැප්තැම්බරයේ දිග දවසක්" ටෙලිනාට්‍යයේ චරිතය ගැන කිව්වොත් ?
මට මේ චරිතය ලැබෙන්නේ චන්දන හේවාපතිරණ සර්ගෙන්. චන්දන හේවාපතිරණ සර්ගෙ රංගන පාසලේ මම ඉගෙනගත්තා. ඒ පාසලේ ඉගෙන ගත්ත අයගෙන් දෙන්නෙක් මේ ටෙලිනාට්‍යයට තෝරගත්තා. එතැනින් එක්කෙනෙක් මම. මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයාත් මගේ ගුරුතුමා චන්දන හේවාපතිරණමයි. මගේ චරිතය ගැමි තරුණයෙකුගේ චරිතයක්. සෙරෙප්පු දාන්නේ නැති ගැමි තරුණයෙක් ඔහු.
ඔබට ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබෙන්න ඇති?
ඩබ්ලිව්. ජයසිරි, ජනක කුඹුකගේ, ජී.ආර්. පෙරේරා, පුබුදු චතුරංග, දිලිනි ලක්මාලි, බුද්ධික රණතුංග යන රංගන ශිල්පීන් සමඟ මම මේ ටෙලිනාට්‍යයේ රඟපෑවා. මේ හැම කෙනෙක්ම මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. මම හිතුවේ නැහැ ඔවුන් මට ඒ තරම් උදවු කරයි කියලා. හරිම නිහතමානීව, සුහදශීලීව රංගනයේ මගේ අඩුපාඩු සකස් කරගන්න එයාලා උදවු කළා.
රංගනය වගේ ක්ෂේත්‍රයක් තෝරාගත්තේ ඇයි?
පාසලේ සාමාන්‍ය පෙළ නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණයේදී මම ගැහැනු චරිතයක් රඟපෑවා. ඒ චරිතයට මට පාසලේ හැමෝගෙන්ම වගේ හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ඊටපස්සේ තමයි මම චන්දන හේවාපතිරණ සර්ගෙන් රංගනය ගැන වැඩිදුර ඉගෙනගන්න හිතුවේ.
දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්න ද බලාපොරොත්තු වෙන්නේ?
මම ටෙලිනාට්‍ය දෙකක රඟපාලා තියෙනවා. චිත්‍රපටයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා ඉදිරියටත් මට රංගනයට අවස්ථා ලැබෙයි කියලා. මම කැමැති එකිනෙකට වෙනස් චරිත කරලා චරිතාංග නළුවෙක් වෙන්න.
වේදිකා නාට්‍යවල රඟපාන්න ආස නැද්ද?
වේදිකා නාට්‍යයක රඟපාන්න මම ආසයි. ඒත් තවම අවස්ථාවක් ලැබිලා නැහැ. දක්ෂ රංගන ශිල්පීන් බිහි වෙන්නේ වේදිකාවෙන් නිසා ඒ අත්දැකීම ලබාගන්න ඕනේ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
දැනට කලා ක්ෂේත්‍රයේ රංගනය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නළුවෙක් විදිහට ක්ෂේත්‍රය ඇතුළේ අත්දැකීම් ගොඩක් අරගෙන පස්සෙ කාලෙකදි නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් විදිහට අධ්‍යක්ෂණයටත් එන්න හීනය තියෙනවා.
සේයාරුව - නිශ්ශංක විජේරත්න