වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ප්‍රශ්නය ඇත්තේ ප්‍රේක්ෂකයන්ගේ නොවේ නිර්මාණවලයි

පීතෘ සංකල්පය පහළ වුණේ කොහොමද?
සංකල්පය කියන දේ හරිම වැදගත්. එය හිතේ ඇතිවන මූල බීජයක් හෝ පුවතක් හෝ සවනට වැටුණු කරුණක් හෝ මත ගොඩනැඟෙන දෙයක්. ඒ කුමක් වුවත් ප්‍රේක්ෂකයාගේ හදවතට සමීප කිරීම රඳා පවතින්නේ අධ්‍යක්ෂවරයාගේ එය දක්ෂතාව මතයි. මම හැම විටම බලන්නේ මා අධ්‍යක්ෂණය කරන දේ ප්‍රේක්ෂකයාගේ නාඩිවලට ගැළපෙන්නේ කොහොමද කියලයි. කොහොමටත් මම නිර්මාණයක් කිරීමේදී පරෙස්සම් වන කරුණු දෙකක් තිබෙනවා. පළමුවැන්න අපි කතා කළ සංකල්පය. දෙවැන්න නළුවරණය.
මගේ මුල්ම ටෙලි නාට්‍යය මැණික් නදිය ගලා බසී මෙන්ම කන්දෙ ගෙදර, ජීවිතයට ඉඩ දෙන්න, අහසින් වැටුණා, චෙස්, අප්පච්චී ආදියේ සිට පීතෘ දක්වාම එකිනෙකට වෙනස් සංකල්ප තෝරාගෙනයි තිබෙන්නේ.
අප්පච්චී සහ පීතෘ එකම තේරුමක් ඇති වචන දෙකක්?
ඔවු. ඒ වුණාට අප්පච්චී නාට්‍යයෙන් කතා කෙරුණේ පියකු සම්බන්ධ වෙනම සමාජීය දැක්මක්. එහෙත් පීතෘ මඟින් කතා කෙරෙන්නේ වර්තමාන තාක්ෂණය, සමාජ මාධ්‍ය ආදිය සම්බන්ධ වන කාරණා ඔස්සේ යන සමාජීය තේමාවක්. පීතෘ විකාශය වූ කොටස්වලින් ප්‍රේක්ෂකයන්ට අවබෝධ වන්න ඇති වැඩිහිටි ගැහැනු පිරිමි සම්බන්ධතා කෙරෙහි සමාජයේ ආකල්පය පිළිබඳව. විසි එක් වැනි සියවසේ ජීවත් වන අපි ගණිකා වෘත්තිය, ගබ්සාව ආදිය ගැන පවා විවෘත මනසකින් නැවත විමසිය යුතු ආකාරය පිළිබඳවත් කතිකාවක් ගොඩ නැඟිය යුතුව තිබෙනවා.
ඔබේ දෙවැනි අවධානය නළුවරණයට?
මම හුදෙක් ජනප්‍රිය නළු නිළියන්ම හොයමින් යන්නේ නෑ චරිතවලට. සමහරු බලාපොරොත්තු වන අවස්ථා තිබෙනවා නළු නිළියන්ගෙ ජනප්‍රියත්වයෙන් කතාව ජනප්‍රිය කරන්න. මට එහෙම අවශ්‍යතාවක් නෑ. ඒ නිසා මම ගන්නේ චරිතයට සුදුසුම කෙනා පමණයි.
සමහරුන්ගේ චෝදනාවක් තිබෙනවා නාලිකාවලින් සහ නිෂ්පාදකවරුන්ගෙන් නළුවරණයේදී බලපෑම් එල්ල වන බවට?
මට නම් එහෙම එකක් නෑ. විශේෂයෙන් නිෂ්පාදකවරු මට කියන්න එන්නෙත් නෑ. කීවත් මම එහෙම ගන්නෙත් නෑ, ආයෙ ඒ අයත් එක්ක වැඩ කරන්නෙත් නෑ. පීතෘ නම් ඍජුවම ස්වර්ණවාහිනිය මඟින් මට බාර දුන් ව්‍යාපෘතියක්.
කොහොමත් අපට කතාවකදී හිතූ දේම කරන්න අමාරුයි. ජීවිතයට ඉඩ දෙන්න ටෙලි නාට්‍යයේ සිදු වුණු උදාහරණයක් කියන්නම්. එහි අයිරාංගනී සේරසිංහ මහත්මිය රංගනයෙන් දායක වුණානේ. අපි රූපගත කිරීම් ආරම්භ කරන්න ඉද්දි සේරසිංහ මහත්මියට උදරය ආශ්‍රිත රෝගයක් වැලඳුණා. වෛද්‍යවරු කීවා මාස හයක් යනතුරු මහන්සි වෙන්න එපා කියලා. සේරසිංහ මහත්මිය කීවා වෙන කෙනෙකු ඒ වෙනුවට තෝරගන්න කියලා. ඒත් ඒ වෙනුවට කෙනෙකු තෝරගන්න බැරි නිසා මම රූපගත කිරීම් මාස හයකට කල් දැම්මා. ඉන් පසු වෛද්‍ය නිර්දේශ අනුව ඇයට රඟපාන්න හැකි වුණා. ඒ වගේ පීතෘවලටත් දක්ෂතාව සහ පෙනුම අනුව තමයි ශිල්පීන් තේරුවේ. පීතෘ නාට්‍යයේ පියාගේ චරිතයට ප්‍රියන්ත සිරිකුමාර තේරුවේ ඔහුගේ පෙනුමත් හේතු කරගෙනයි. දැවැන්ත තාත්තා කෙනෙකුගේ පෙනුමක් නෙවෙයි මෙයට අවශ්‍යව තිබුණේ. විශේෂයෙන්ම චරිතයක් තුළින් නළුවකු මතුවෙන්න අවශ්‍ය නෑ. අනෙක පොලීසියේ ඉන්ස්පෙක්ටර්ගේ චරිතයට නළුවන් බොහෝ දෙනකුගේ නම් යෝජනා වුවත් මම ගත්තේ කිසිදාක රඟ නොපෑ කෙනෙක්. ඒ නිසා එහිදී නළුවා නොවෙයි පොලිස්නිලධාරියාගේ චරිතය හොඳීන් මතු වෙනවා. මෙය මම රංගන ශිල්පීන් හෙළා දකිනවා කියා වැරැදියට හිතන්න එපා. චරිතයට අවශ්‍ය පෙනුම ඇති අයවයි මම තෝරාගන්නේ කියන කාරණාව ඉස්මතු කිරීමටයි මට අවශ්‍ය වුණේ. අනෙක මම බොහෝ වෙලාවට නවකයන්ටත් අවස්ථාව ලබා දෙනවා.
නවකයන් සමඟ කටයුතු කිරීමේදී ඔබට ඇති අත්දැකීම් කෙසේද?
මාත් සමඟ කටයුතු කරන නවකයන් නම් ඉතාම හොඳ විනයකින් යුතුව කටයුතු කරනවා. කිසි වෙලාවක දුරකථනයට මුල් තැන දී කටයුතු කළේ නෑ. මම සාමාන්‍යයෙන් මගේ දර්ශනතලවල ජංගම දුරකථන භාවිත කරන්න දෙන්නෙත් නෑ. එයට හොඳම උදාහරණය ජැක්සන් ඇන්තනී. ඔහු කෙතරම් කාර්යබහුල නළුවෙකු වුණත් දර්ශනතලවලදී ජංගම දුරකථනය භාවිත කරන්නේ නෑ. ආහාර ගැනීමට විවේකය ලැබුණු විට තමන්ගේ දුරකථනයට පැමිණි පණිවිඩ ලබා ගන්නවා. යළිත් රංගනයට සූදානම් වූ විට දුරකථනය වෙන අයකුට බාර දෙනවා.
පීතෘ කොටස් කීයක ටෙලි නාට්‍යයක්ද?
කොටස් 35යි. කතා සංකල්පය මගේ වුණාට නාමල් ජයසිංහ තමයි පිටපත ලීවේ. මෙහි නිෂ්පාදක ෆාහිම් මවුජුඩ් මහත්මයා ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මොකද ටෙලි නාට්‍යය කොවිඩ් කාලයේ නවත්වලා යළි ආරම්භ කරද්දි පිරිවැය වැඩි වුණා. ඒත් ඔහු ඒ බර දරා ගනිමින් අපට අවශ්‍ය පහසුකම් සැපයුවා. ලාභය පමණක් අපේක්ෂා කරන මෙවැනි කාලයක ඔහු වැනි නිෂ්පාදකයන් සිටීම අපට බොහොම සතුටක්.
ඔබ විශ්වාස කරන විදිහට තිර පිටපත අධ්‍යක්ෂවරයා විසින්ම ලියන විටද වෙනත් රචකයකු ලියූ විටද නිර්මාණයක් වඩා සාර්ථක වන්නේ?
තමන් ලියා අධ්‍යක්ෂණය කරද්දි වඩා සාර්ථක වන්න පුළුවන්. හේතුව තමන් ලියද්දි කැමරා පිටපතනෙ ලියන්නේ. අනෙක එහිදී සියලුම දර්ශන පිළිබඳ අවබෝධයක් මුල සිටම අධ්‍යක්ෂවරයාට තිබෙනවා. එහෙත් වෙනත් රචකයකු විසින් ලියන පිටපතක් අධ්‍යක්ෂණය කිරීමේදී අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා අතර ඉතාම සමීප සම්බන්ධතාවක් අවබෝධයක් තිබිය යුතුයි. නාමලුයි මායි වුණත් පිටපත ලියන්න පටන්ගත් මොහොතේ සිට කතා බහ කරමින් කටයුතු කරන්නේ. එවිට අධ්‍යක්ෂවරයාට රචකයා ලියන සෑම දෙයකම නිවැරැදි අදහස ලැබෙනවා. පිටින්ම තිර පිටපතක් රැගෙන අධ්‍යක්ෂණය කරන්න ගියොත් සමහර විට ඒ අවබෝධය නොතිබෙන්න පුළුවන්. එය අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව මත තීරණය වන දෙයක්. සමහර විට අපට අහන්න ලැබෙනවානේ 'මගේ පිටපත කෑවා' වගේ දේවල්. ඒ අර නිසි අවබෝධයෙන් තොරව කටයුතු කිරීම නිසා වන දෙයක්.
අද බොහෝ නළු නිළියන් චෝදනා කරනවා ටෙලිනාට්‍යවලදී ඔවුන්ගෙන් කම්කරුවන්ගෙන් මෙන් වැඩ කිරීම බලාපොරොත්තු වෙනවා කියලා?
ඔය ප්‍රශ්නය තිබෙන්නේ මෙගාවලනේ. හැබැයි මෙගාවලට කැමැති ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවානෙ. මමත් මෙගාවල වැඩ කෙරෙන ආකාරය පිළිබඳ විවේචන අහලා තිබෙනවා. කොහොම වුණත් මෙගාවල කෙරෙන්නේ පිටපතට වඩා පිරිවැය බේරාගැනීමට උපරිමයෙන් වැඩ ගැනීම. එයට හේතුව නාලිකාවලින් ගෙවන මුදල අඩු වීම.
ඔබ මෙගා ටෙලි නාට්‍ය නොකරන්න හේතුවක් තිබෙනවාද?
එකක් මම බඩවැල් වගේ නාට්‍ය කරන්න කැමැති නෑ. යම් කිසි කොටස් ගණනකින් පසු එයම වමාරා කන්නේ නැතිව ප්‍රේක්ෂකයන්ගේ වින්දනය එතැනින් නිමා කර වෙන දෙයකට ගෙන යා යුතුයි. කොහොමටත් මම මගේ නිර්මාණ ජීවිතේ පටන් ගත්තේ ඒකාංගික නාට්‍යවලින්නේ. මම කැමැතිත් එවැනි සංකල්පවලටයි. දීර්ඝ නාට්‍ය වුණත් ලියද්දි එය කොටස් පනහකට වඩා අඩුවෙන් ලියවගන්න මම වගබලා ගන්නවා. ඒත් නාලිකා කැමැතියි වැඩි කොටස් ගණනක් තිබෙනවාට. ඒත් මෙගාවලදි සිදුවන දෙය පිළිබඳ නළු නිළියන් ගැන මට කනගාටුයි. කොටින්ම කීවොත් එතැන ව්‍යාපරයක් මිස කලාවක් නෑ. හැම දේකම ව්‍යාපාරික මුහුණුවරක් තිබුණට එය කරන විදිහකුත් තිබෙනවානේ නේද?
බොහෝ ටෙලි නිර්මාණ එකම ආකෘතියකින් නිමවෙන බවක් පේනවා?
ඔවු තිරපිටපත්වල හිඟයක් තිබෙනවා. මුල් කාලේ කෙතරම් ලස්සන තිර පිටපත් අපට ලැබුණාද? අද වන විට එවන් හොඳ තිර පිටපත් ලියනවා අඩුයි. අනෙක කලාව වෙනුවෙන් පිටපතක් ලියද්දි ඒ සඳහා කාලයකුත් ගත වෙනවා. හොඳ නිර්මාණ වේගයෙන් ලබා දෙන්නත් බැහැ. ඒ නිසා තමයි බොහෝ වෙලාවට නවකතාවලින් නාට්‍ය නිර්මාණය වන්නේ. ඒත් ඉතින් එහෙම හරි මේ ක්ෂේත්‍රය පෝෂණය වන එක හොඳයි. හැබැයි මේ වන විට නිර්මාණය වන නවකතා පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා.
මගේ යෝජනාවක් තිබෙනවා නාලිකාවලට. අද බොහෝ නාලිකාවල සතියේ දින පහේම මෙගා නාට්‍යනේ පෙන්වන්නේ. කමක් නෑ, නාලිකාව යැපෙන්නේ එයින් කියමුකෝ. අනෙක මෙගාවලට ලොකු පිරිවැයක් සපයන්නත් බෑනේ අවුරුදු ගාණක් තිස්සේ. ඒත් සති අන්තයේ හෝ හොඳ නාට්‍යවලට අවස්ථාවක් දෙනවා නම්... හොඳ අයවැයක් සමඟ හොඳ නාට්‍ය අටකට පමණ වේලාව වෙන් කරන්න පුළුවන්. එහෙම වුණොත් වෙනසක් තිබෙනවානේ ප්‍රේක්ෂකයන්ටත්. එහෙම කරන නාලිකා කීපයක් තිබෙනවා. ඒත් ඇතැම් නාලිකා ඒ ගැන හිතන්නේවත් නෑ, අනෙක තමන්ගේම පිරිසක් හදන ජරා නාට්‍යවලටමයි අවස්ථාව දෙන්නේ. අනෙක දැන් ප්‍රවණතාවක් තමයි දෙමළ හෝ මලයාලම් වස්තු බීජයක් ඇසුරින් කතා හදන එක. චිත්‍රපටවල වගේම ටෙලිනාට්‍යවලත් කරන්නේ ඒක. එහි තේරුම තමයි ස්වතන්ත්‍ර නිර්මාණ අඩුයි කියන එක.
ඔබ හිතන්නේ මේ රටේ වස්තුබීජ හිඟයක් තිබෙනවා කියාද?
ඒකට හේතුව පරිකල්පන ශක්තිය හිඟකම. ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරු වෙනත් රැකියා කරන ගමන් පවා අලුත් සංකල්ප ඔස්සේ නිර්මාණ කරනවා. උදාරහණයකට අසෝක හඳගම මහබැංකුවෙ රාජකාරී කරන අතර පවා විවිධ නිර්මාණ බිහිකරනවා. ඒ වගේ අනෙක් අයටත් පරිකල්පනීය ශක්තිය අඩුයි කියන්නත් බෑනේ. ඒ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට තරුණයන්ට උරුම වෙන්න එපැයි නේද? සෑම ක්ෂේත්‍රයකටම එය පොදුයිනේ. අනෙක ඒ දම්වැල වගේ නොආවොත් කලාව මෙතුවක් කල් ලෝකයේ පවතින්නේ නෑනේ? වියපත් වූවන් මිය යද්දි තරුණ අය ඒ ස්ථානවලට ආ යුතුයි. හැබැයි අපේ මූඩ් එක, පරිසරය වැනි දේවලුත් අපට බලපානවා. හැබැයි බොලිවුඩ් වගේම යුරෝපා රටවල් සශ්‍රීකයි, මිනිසුන්ට ප්‍රශ්න අඩුයි, වස්තු බීජ අඩුයිනෙ අපේ රටට වඩා. ඒත් අපේ රටවල දිලඳුකම, වෙනත් ප්‍රශ්න නිසා ඕනෙ තරම් වස්තුබීජ තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගන්නේ නෑ. තරුණයන් අතින් ඒවා ලියැවෙනවාත් අඩුයි. ඉඳ හිට මහින්ද කුමාර මස්ඉඹුල වැනි කෙනෙක් ලීවොත් හැරෙන්න බහුතරය මෙය අතහැරලා ඉන්නේ.
මොකක්ද හේතුව?
මූලික හේතුව අධ්‍යාපනය වන්න පුළුවන්. 1960 ඉඳන් අපි සිනමා සම්මාන ගන්නවා. ඒත් තවම චිත්‍රපට ආදිය සඳහා ක්‍රමවත් පාසලක් නෑ. ටෙලි නාට්‍ය අද ජනප්‍රියම මාධ්‍යය වෙලා තිබෙනවා. ඒත් අතරින් පතර එකක් හැර හරි මාර්ගයක් නෑනෙ ටෙලි නාට්‍ය පිළිබඳ අධ්‍යයනය කරන්න. රජයෙන් හෝ හරි විදිහේ වැඩමුළු පැවැත්වෙන්නේ නෑනෙ. දුර පළාත්වල කොයි තරම් දක්ෂතා සහිත තරුණ පිරිස් ඉන්නවාද? ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයෙන් අපි කළ දුෂ්කර ගම්මාන කීපයක වැඩමුළු කළා. උදාහරණයක් ලෙස එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන එහි පාසල්වල උෂස් පෙළ ළමයින් සඳහා රසවින්දන වැඩසටහන් කළා. රජයෙනුත් එවැනි හොඳ වැඩමුළු කළොත් දිස්ත්‍රික්කයෙන් දහ දෙනකු සම්බන්ධ වෙනලා තුන්දෙනෙක් එළියට ආවත් ඇතිනේ. අනෙක රැයැලිටි වැඩසටහන්වලින් කොයි තරම් නම් අලුත් දක්ෂතා මතු වෙනවාද? ඒ වගේම ක්‍රීඩා ක්ෂේත්‍රයෙත් එවැනි අය සුළු වශයෙන් හෝ මතු වෙනවා. ඒත් අපේ ක්ෂේත්‍රයට සම්බන්ධ තරුණ පිරිස් එක් වෙන්නේ හරිම අඩුවෙන්. ඒ ඇති වූ අඩුපාඩුව පුරවන්නයි ටෙලිනිස මඟින් අප උත්සාහ කළේ වැඩමුළු කරමින්. අදටත් අපට කවුරුන් හෝ ඉල්ලීමක් කරනවා නම් අප කැමැතියි ඒ රසවින්දන වැඩමුළු පවත්වන්න ලංකාවේ ඕනෑම ප්‍රදේශයක.
ඒ වගේම සාහිත්‍යය අපේ අධ්‍යාපනයෙන් ඉවත්වීම ප්‍රබල හේතුවක්. නිරවුල් මනුෂ්‍යයෙක් බිහිවෙන්න සාහිත්‍ය රසවින්දනය අවශ්‍යයිනෙ. එය නැති කිරීම කියන්නේ හරියට මනුෂ්‍යයෙක් මරා දැම්මා හා සමානයි. ඒත් මේ යුගයේ තාක්ෂණයට බොහෝ දරුවන් යොමුව තිබෙන නිසා යළි සාහිත්‍ය විෂයය එක් කර එයට යොමු කර ගැනීම පහසු වන එකකුත් නෑ. හැබැයි විද්‍යා විෂයයන් කළත් සාහිත්‍යයට කැමැති අය ඉන්නත් පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලවලිනුත් ඒ සඳහා යොමු විය යුතුයි.
අනෙක පාසලට ඇතුළු වන පුංචි දරුවන්ගේ ළමා කාලය පවා නැති කරනවා මේ පහේ ශිෂ්‍යත්වය වැනි විභාග. ඒවා තරගකාරී වීම නිසා මරන්න ගෙනියන හරකුන් වගේ අධ්‍යාපනය එපා වන තරමට එනවා. ළමා විය අහිමි වෙනවා. වෙන රටවල රට හඳුනන පුරවැසියෙක් හදන්න සහ ළමා කාලය විඳීන්න හැකි විදිහටයි අධ්‍යාපනය සැකසෙන්නේ.
හැබැයි සමහරු ප්‍රේක්ෂකයාටම දොස් පවරනවා රසඥතාව අඩුයි කියා?
නෑ. නෑ. මම හිතන්නේ නෑ ප්‍රේක්ෂක රසඥතාව හරිම ඉහළයි. මම ගැන කියා ගන්නවා කියලා හිතන්න එපා. ඒත් පීතෘ කොටස් දෙකක් විකාශය වෙද්දී එයට බැඳෙන්නෙ නෑ ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව අඩුනම්. ප්‍රේක්ෂකයාගෙන් විමසුවොත් ඕනෙම වෙලාවක කියන්නේ ටීවී එකේ බලන්න දෙයක් නෑ කියලානේ. වෙන බලන්න දෙයක් නැති වුණාම විකාශය වන දෙයක් බලාගෙන ඉන්නවා. අපේ රටේ බොහොම බුද්ධිමත් පිරිසක් ඉන්නේ. ඒ අය බලාගෙන ඉන්නවා මොකක් හෝ හොඳ නිර්මාණයක් ඉදිරිපත් කරනකල්. දැන් හෙමින් හෙමින් වේදිකා නාට්‍යත් හිස ඔසවනවානේ. ඒවා රස විඳීන්නත් පිරිස ඉන්නවා. වියපත් පිරිස තුරන් වෙද්දි නවක පිරිසක් ඒ වෙනුවෙන් එකතු වෙනවා. එනිසා ප්‍රේක්ෂකයාගේ නෙවෙයි ප්‍රශ්නය තිබෙන්නේ නිර්මාණවලයි.
රූපවාහිනී නාට්‍ය මැදින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වන ආකාරය ඔබට බාධාවක් නෙවෙයිද?
ඕක නවත්වන්නත් බෑ. නාලිකාවක් පවතින්නෙත් ඒවායින්නේ. ටෙලි නාට්‍යයකට දැන් විරාම දෙකක් දෙනවා. ඒ අතර දැන්වීම් පළ කර ගන්නවාට අපට මුකුත් කියන්න බෑ කියලා මම හිතනවා. හැබැයි නාට්‍යය විකාශය වන වෙලාවේ ඒ රූපරාමුවට අවහිර වන ආකාරයෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන් වැරැදියි. නීතිය අනුව නිර්මාණකරුවාටයි ඒ රූපරාමුව අයිති. ඒත් එය අබිබවා කටයුතු කරන විට විරුද්ධ වන්න ක්‍රමවේදයක් සැකසී නෑ. කළ හැකි එකම දේ අදාළ නාලිකාවට මගේ ටෙලි නාට්‍යය දෙන්නේ නෑ කියන එක විතරයි.
ඉතින් අපි කලාකරුවන්ගේ එකමුතුවලින් පත්වෙන සෑම ඇමතිවරයකු ළඟටම ගිහින් ඒ ගැන කතා කරනවා. ඒ අයත් මෙය තේරුම්ගෙන යමක් කරන්න හදනකොට ඇමැතිවරයා මාරු වෙනවා. එහෙම එන එන කෙනාට කියන එක තමයි අපේ රාජකාරිය. ඒත් අපි හැමදාම විය යුතු දේ ලෙස සැලකුවේ මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසෙන එකයි. එය සිදුවනවා නම් මේ සියල්ල විසඳෙයි.
කොරෝනා කාලේ මොකද වුණේ?
ඒ කාලය වෙනම ජීවිතයක්නේ. නිර්මාණයක් කරන්නවත් හිත හැදුණෙ නෑ බාධා වෙන නිසා. පුළු පුළුවන් විදිහට යමක් කළත් බොහෝ විට ඒ කාලය නිකම්ම ගෙවිලා ගියා. පෝය නාට්‍ය කෙරුණෙත් නෑ. මේ නාට්‍යයෙත් දින කීපයක් රූපගත කිරීම් කරලා නතර කරන්න වුණා. හරි විදිහට නම් මෙය ගිය වසරෙයි පෙන්වන්න තිබුණේ.
ඊළඟට මොන වගේ සංකල්පයක්ද ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නේ?
තවම කල්පනා කරනවා ඊළඟට මොකක් හරි කරනවාද නැද්ද කියලා. ප්‍රේක්ෂකයන් නම් බලාපොරොත්තු වෙනවා අපි මොනවා හරි ගෙනෙයි කියලා. ඒත් නිර්මාණයක් කරන්න ගියාම හරි වෙහෙසයි දැන්. සමහර වෙලාවට මුකුත් නොකර ඉන්නවා කියලා හිතුවට ටික දවසක් යද්දි ආයෙම ඇඟට දැනෙන්න ගන්නවානේ මොනවා හරි කරන්න ඕනෙ කියලා. කොහොමටත් මම තිර පිටපත් අතේ තියාගෙන ඉන්නේ නෑනෙ. නිෂ්පාදකවරුන් වුණත් මට සහයෝගය දෙන්න කැමැති නිසා ඉල්ලීමක් හිතට දැනුණොත් තමයි නිර්මාණයකට අවතීර්ණ වෙන්නේ. මගේ එකම බලාපොරොත්තුව ජීවිත කාලය තුළ සිනමා කෘතියක් නිර්මාණය කිරීම තමයි.
ඉතින් ඇයි ප්‍රමාද වෙන්නේ?
ඉස්සර සේයා පටලය තිබෙන කාලේ චිත්‍රපට කරන්න කට්ටිය බයයි. ඒත් දැන් තාක්ෂණය දියුණු වෙලා නිසා සිනමාවේ වගේම ටෙලි නාට්‍යවලත් හතු පිපෙනවා වගේ අධ්‍යක්ෂවරු බිහි වෙනවා. කැමරාවක් අටවගත්තාම ටෙලි නාට්‍යයක් කරන්න පුළුවන් කියලයි සමහරු හිතන්නේ. ඒකෙන් වෙන්නෙ නිෂ්පාදකයන් රැවටෙන එක. ගන්න පුළුවන් තරම් මුදල් අරගෙන නාට්‍යය ඉවර කරන්නෙත් නෑ, විකාශය වෙන්නෙත් නෑ, නිෂ්පාදකයන් අමාරුවේ වැටෙනවා. මම නම් හැම මොහොතකම නිෂ්පාදකවරයා රකිනවා. ඒක ගාමිණි ෆොන්සේකා මා සමඟ නිතරම කියූ දෙයක්. 'අයිසේ නිෂ්පාදකයන් රැක්කේ නැත්නම් කර්මාන්තය රැකෙන්නේ නෑ කර්මාන්තයක් නැති වුණොත් අපි රැකෙන්නෙත් නෑ' කියලායි ඔහු කීවෙ.
ඒ නිසා අලුතෙන් එන පරපුරට කියන්න තිබෙන්නේ අධ්‍යයනයක් ඇතිව යමක් කරන්න. එක්කෝ නිසි ආයතනයකින් හෝ පොතපතින් හෝ ඉගෙන ගැනීම නැත්නම් වැඩ කිරීමෙන් ලබන පලපුරුද්ද අධ්‍යයනය හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා නිෂ්පාදකයන් රැකෙන විදිහට නිර්මාණ කරන්න කියලා තරුණ පරපුරට කියන්න කැමැතියි.