වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
මෙය උඩුගම් බලා පිහිනනවා වගේ වැඩක්

විවිධ අරමුණු වෙනුවෙන් රූපවාහිනි නාලිකා බිහිවෙද්දි සමාජයට යහපත් බලපෑමක් කළ හැකි යැයි හැඟෙන වැඩසටහන් එකතුවක නාලිකාවක් දකින්නට ලැබුණා. සුපී්රම් ටීවී ආරම්භ කර කෙටි කළක් වුවත් සමාජයට මිනිසුන්ට වැඩි යමක් කරන්නට උත්සහයක නියැළෙන නිසාම සරසවිය අපි එය සොයා ගියා. ඔබගේ ආදරය දිනාගත් රංගන ශිල්පී කංචන කොඩිතුවක්කු මුලසුන හොබවන සුප්‍රීම් ටීවී ගැන ඔහු සරසවියට කිව්වේ මේ විදිහට.
සුප්‍රීම් ටීවී කොහොමද ආරම්භ වෙන්නේ?
ලෝක මාධ්‍ය තුළ ඇති සංවර්ධන මාධ්‍යකරණය ලංකාවට ආගන්තුකයි. බොහො නාලිකා සිය වාණිජමය පරමාර්ථය මුල්කරගනිමින් මාධ්‍ය ආචාරධර්ම පැත්තකට වීසී කර ඇති කාලයක සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්. එම්. මනිවනන් මහත්මයා සමඟ ලංකාවේ ජනමාධ්‍ය යන ආකාරය ගැන කතා කළ අවස්ථාවක එතුමාගෙන් යෝජනාවක් ආවා වෙනස් හැඩයක රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන්න. ඒ අනූව 2019 නොවැම්බර් මාසේ අපි සුප්‍රීම් ටීවී ආරම්භ කළා.
වෙනස් හැඩයක්? මොකද්ද ඒ?
ගෙදර ටීවී එකේ මුදල් නොගෙවා බලන්න පුළුවන් නාලිකා තිබුණත් මාසෙට රුපියල් තිස්දහක්, හතළිස්දහක් ගන්න මනුස්සයත් උත්සාහ කරන්නේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් හෝ කේබල් තාක්ෂණයෙන් යුතු නාලිකා සැපයුම්කරුවෙක්ගේ සේවය මාසෙකට රුපියල් 1500ක් හෝ ගෙවලා ලබා ගන්න. මෙතැන තියෙන පරස්පරතාව මොකද්ද? ඒ කියන්නේ අපි නිකන් දෙන නාලිකා අතරේ නොදෙන මොනවාහරි මේ තුළ ඇති. ඒ දැනුණු දේ එක්ක අපි හොයාගත් දේ තමයි මිනිස්සු බලාපොරොත්තු වන දේට වඩා නාලිකාවලින් කරන්නේ නාලිකාවලට අවශ්‍ය දේ මිනිස්සුන්ට බලන්න පොලඹවන එක. මේවා බලන්නේ නැති වුණාම කුමන හෝ සැනසිලි මල්ලක් දීලා බලවන තැනට ඇදලා දානවා. හැම නාලිකාවකම එකම සැලසුමකට ආකෘතියකට අනුව වැඩසටහන් පෙළගස්වා තියෙනවා. අනෙක් අතට මිනිස්සු කැමැතියි අලුත් දේට. වෙනස් දේට. අප්ඩේට් වෙන්න. මේ අඩුව දැකපු අපිට අවශ්‍ය වුණා එතැන සම්පූර්ණ කරන්න.
මොකද්ද අරමුණ?
අපි පරම්පරා ගාණක් ඉදිරියට ආවත් අදටත් අපේ දරුවො කියන්නේ ලොකු වුණාම ඩොක්ටර් කෙනෙක් ටීචර් කෙනෙක් වෙනවා වගේ සාම්ප්‍රදායික කතා. කවුද කියන්නේ මට නාසා එකේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕන. ස්පේස් සෙන්ටර් එකේ වැඩ කරන්න ඕන වගේ දේ ගැන. දියුණු ලෝකේ එක්ක තමන්ගේ වෘත්තීය සම්බන්ධ කරන්න හැකියාවක් නෑ. එයට හේතුව විදිහට මම දකින්නේ ඒ ලෝකයට අපේ අය විවෘත වී නොමැතිකම. මිනිස්සුන්ව යාවත්කාලීන කරලා මේ දූපත් මානසිකත්වයෙන් සහ සාම්ප්‍රදායික රසවින්දනාත්මක ජනමාධ්යකරණයෙන් එළියට අරගෙන අලුත් ලෝකෙට ගෙනියන එක තමයි අපගේ ප්‍රධානම අරමුණ වෙන්නේ.
සුප්‍රීම් ටීවී එකටත් අනන්‍යතාවක් තියෙනවා?
අපි සංවර්ධනාත්මක මාධ්‍යකරණය මුදුන් කරගෙන යන නාලිකාවක්. අපිට ඕනෙ නෑ පවතින තරඟෙට බැහැලා තරඟ කරන්න. අපි උනන්දුව දක්වන්නේ කොතැනටද ඒ එක්කයි අපේ ගමන අපිට යන්න ඕනෑ. අනෙක් අතට අසූව දශකයේ සිට මිනිස්සු පුරුදුවෙලා ඉන්න ආකෘතියෙන් එහාට එකපාරට ගෙනියන්න අපිට බෑ. ඒ නිසා අපි තියෙන ආකෘතියෙන් වඩා හොඳ දේ එක්ක අපේ දේ එකතු කරන් යන එකයි කරන්නේ.
පුරුදු ආකෘතියෙන් පිටපැනපු දේවල් මොනවද?
අපි නාසා එක සමඟ ගිවිසුම් ගත වෙලා ඔවුන්ගේ සජීවී විකාශය අපි අපේ සුප්‍රීම් නාලිකාව හරහා පෙන්නනවා. නාසා එක ස්පේස් සෙන්ටර් එක සමඟ කරන සජීවි සාකච්ඡාවන් විකාශය කරනවා. මේ වනවිට තරුණ ළමයින්ගේ ලොකු ප්‍රසාදයක් ඉල්ලුමක් තිබෙනවා ඒ වැඩසටහන්වලට. අපි මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙන්වන්නේ. මේ වැඩසටහන් සිංහල මාධ්‍යයෙන් පෙන්වුවහොත් නැවතත් රට ඇතුළටම අපේ දැනුම කොටු වෙනවා. අපි අධ්‍යාපනය හා විනෝදාස්වාදයට වගේම අනෙක් අතට ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන ඒම සඳහාත් අපේ වැඩසටහන් මෙහෙයවනවා. සාරාර්ථ, ස්වාභිමානි වගේ වැඩසටහන් ඒ වෙනුවෙනි.
ඔබේ නාලිකාව ආරම්භකරලා වසර දෙක හමාරක් පමණ වෙනවා. තවමත් සුප්‍රීම් ටීවී නොදන්න පිරිසක් ඉන්නවා. නාලිකාව ජනගත කරන්න තියෙන වැඩපිළිවෙළ මොකද්ද?
සාමාන්‍යයෙන් ප්‍රවර්ධනය මූලික කරගෙන ඕඩියන්ස් එක අල්ලගන්න මාධ්‍ය නාලිකා ලොකු වියදමක් දරනවා. එය කොතරම් සිල්ලර වෙලාද කිව්වොත් ගෙයක් ගානේ බඩුමලු බෙදන තැනටම ඇවිත්. අපේ කළමනාකාරිත්වය කතා කළ දෙයක් තමයි අපි හොඳ දෙයක් දෙනවනම් ඇයි අපි ඒ දේ පහත් කරගන්නේ. ගෙදර ඉස්සරහා කාඩ්බෝඩ් කෑලි එල්ලන්න, ගෙදර ලයිට් බිල වතුර බිල ගෙවන්න, පොලඹවන්න අවශ්‍ය නෑ ගුණාත්මක දේ හරි දේ මිනිසුන්ට දෙනවනම්. අපි උත්සාහ කළේ ලොකු ඕඩියන්ස් එකකට එක එක දේවල් දීල චැනල් එක බලන්න පොලඹවන්න නොවේ. අකැමැත්තෙන් බලවනවට වඩා කැමැත්තෙන් බලන ඕඩියන්ස් එකක් අපිට ඕන. අපි දෙන දේ ගන්න පාසල්, විශ්වවිද්‍යාල, අමතර පෞද්ගලික ආයතනවල අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් අපි වටා එකතු වෙලා. අනෙක් නාලිකා ඇතුළේ ඒ අය බලාපොරොත්තු වූ නමුත් නොලැබුණු දේ අපෙන් ලැබෙන නිසා ඒ අය අපි එක්ක ඉන්නවා. හඹා ගිහින් දෙනවට වඩා සොයාගෙන විත් ගන්න ඒක වටිනාකමින් ඉහළයි.
පෞද්ගලික නාලිකාවක් වුණත් ඔබ නාලිකාව රාජ්‍ය මැදිහත්වීම එක්කයි බොහෝ වැඩසටහන් කරන්නේ?
නාලිකාව ආරම්භයත් එක්කම අපි වටහාගත් දෙයක් තමයි මාධ්‍ය අපි නියෝජනය කරන්නේ පොදු ජනතාව. මේ සංඛ්‍යාත මහජනතාවගේ දෙයක්. ජනමාධ්‍ය තුළින් දේශපාලකයන්ගේ ගුණ වයනවට වඩා යමක් මාධ්‍ය නාලිකාවකට කළ හැකියි. පාට පක්ෂවලට හා දේශපාලකයන්ට ඔවුන්ගේ අරමුණු ඉටුකරගන්න පෙනි සිටිනවට වඩා සාමාන්‍ය පොදු මහජනතාවගේ ප්‍රශ්න ගැටලු වෙනුවෙන් පෙනී සිටීමයි අප කරන්නේ. අප එය ප්‍රවර්ධනය කරනවා. අපක්ෂපාතීව කටයුතු කරන නිසා හැමෝගෙන්ම සහය ලැබෙනවා. අපිට චෝදනා නෑ කවුරුත් විනාස කරනවා හෝ ප්‍රමෝට් කරනවා කියලා.
නළුවෙක් විදිහටයි ඔබව ප්‍රේක්ෂකයා හඳුනාගන්නේ. අද ඔබ මාධ්‍ය නාලිකාවක මුලසුන හොබවනවා. කොහොමද මේ දෙක එකට යන්නේ?
රඟපෑම මගේ පැෂන් එක. මම වෘත්තීය රංගන ශිල්පියෙක් නොවෙයි කියනවට වඩා මම කැමැතියි කියන්න මම වෘත්තියක් විදිහට රඟපාන්නේ නෑ. මම රංගනය වෘත්තීය කරගත්තොත් මාසෙට අවශ්‍ය මුදල වෙනුවෙන් රඟපානවා මිසක් ගුණාත්මක නිර්මාණයට දායක වෙන්න බෑ. මම හිතුවේ මගේ සුදුසුකම් එක්ක මම රැකියාවක් කරනවා. ජීවන උපායක් හදාගන්නවා වෙනම. කවදත් මට අවශ්‍ය වුණේ රඟපෑම රැකියාව කරගන්න නොවෙයි. ඒ නිසා මේ දෙකම සමබරව කළ හැකියි.
මොනවද ඔබට ඇති ඔබ හඳුනාගත් අභියෝග?
මෙය උඩුගම්බලා පිහිනනවා වගේ වැඩක්. මිනිසුන්ව කෙටිකාලිනව වෙනස් කරන්න බෑ. එහෙම කළොත් එය බොරුවක් වෙනවා. අපි ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරලා තියෙනවා මධ්‍යකාලීනව හා දීර්ඝ කාලීනව. විශේෂයෙන්ම ෆිල්ම් හෝල් එකකට ගිහින් අපිට අවශ්‍ය ෆිල්ම් එක බලනවා වගේ නොවෙයි ගෙදර ඉන්න වයස් භේදයකින් තොර ලිංග භේදයකින් තොර සියල්ලටම අපි මේ වැඩසටහන් මුදා හරින්නේ. එහිදී ඒ සියල්ලටම යහපත් බලපෑමක් කළ හැකි දේ කිරීමත් එය නිකම්ම නොවේ රසයෙන් පිරි සියල්ලට වාඩි වී විඳිය හැකි දේ විකාශය කිරීම ලොකු අභියෝගයක්. එයටයි අප සැලසුම් සකස් කරන්නේ.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
කෙටි කාලයක් තුළ සබුද්ධික ප්‍රේක්ෂකයා අපිව වැලඳගෙන. විශේෂයෙන්ම අනාගත පරම්පරාව අපි එක්ක ක්‍රමක්‍රමයෙන් එකතු වෙනවා. ඔවුන් අපිට ලියනවා. අනෙක් අතට මේ රටේ ලෝකෙට ණය වෙලා පවුල් පිටින් මිය යන්න හිතුණ මිනිස්සු අපිට කතා කරලා ජීවීතේ ජය ගන්න තැනට ඇවිත්. තවමත් අපි ආගන්තුකයි. නමුත් අපිට ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටුයි. අපිටත් ඕන මිනිසුන්ගේ හඳවතට වගේම මොළේටත් ආමන්ත්‍රණය කරන්න.
සේයාරූ - නිශ්ශංක විජේරත්න