පොඩ්ඩාට ස්වරූප දෙකයි

අප්‍රේල් 21, 2022

 

ඔහු රංගනයෙන් දායකවූ නාට්‍ය තුනක් මේ දිනවල දී විකාශයවේ. ඒ ගූග්ලි, චලෝ සහ තුන්පනේය. කාලයක් තිස්සේ කලා ක්ෂේත්‍රයේ නළුවෙක් ලෙස කටයුතු කළ ඔහුගේ හොඳ කාලය දැන් එළඹ තිබේ. සුළු චරිත රඟපාමින් ඉතා දිගු කාලයක් විවිධ නිර්මාණ සඳහා දායකවූ ඔහුට මේ වන විට උප ප්‍රධාන චරිත ලැබෙන බවට ඔහු සඳහන් කළේ ඉතා සතුටිනි. මේ තරුණය හ සම්පත් දඩල්ලගේය. සම්පත්ගේ ප්‍රථම ලිපිය පළවූයේද සරසවිය පුවත්පතේය. එදා මෙන් නොව අද වනවිට ඔහු ජනප්‍රිය නළුවෙකු බවට පත්ව සිටී.

ඇත්තෙන්ම සරසවියෙන් අපිට උදව් කළේ අපි අංකුර කලාකරුවන්ගේ කාලයේ. මම කියන්නෙ දැන් මහා ලොකු ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තියනවා කියන එක නෙවේ. නමුත් මේ වන විට උප ප්‍රධාන චරිත මට ලැබෙමින් තියෙනවා. ඒක සතුටක්. මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන ගුග්ලි නාට්‍යයේ පොඩ්ඩා කියන චරිත තමයි මම රඟපාන්නෙ. එක ස්වරූප දෙකක් තියෙන චරිතයක්. ගමේ ඉන්න කෙළිලොල් තරුණයෙක්. ඒ වගේම චලෝ නාට්‍යයේ සම්පත් කියන මාස්ටර්ගේ භූමිකාවත් මතක් කරන්න ඕනේ. ඒකට තමයි වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ. මොකද ඒ මාස්ටර්ගේ චරිතයට මිනිස්සු හරිම ආදරෙයි. මේ වන විට ඒ නාට්‍යයේ තියෙන යමුනා මිස් එක්ක පොඩි ආදරයක පැටලෙනවා. එකත් එක්ක ඒ චරිතය ගොඩක් මිනිස්සු අතරට ගියා. සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන තුන්පනේ නාට්‍යයේ චරිතයටත් මම ගොඩක් ආසාවෙන් කළේ. එක පත්තරකාරයෙකුගෙ චරිතයක්. ජනප්‍රිය සහ සම්මානනීය රංගන ශිල්පියෙකු වන ශ්‍යාම් ප්‍රනාන්දු එක්ක රඟපාන්න තියෙන්නේ. ඔහුත් එක්ක රඟපාන්න ලැබීමම ලොකු අත්දැකීම් සමුදායක් මගෙ රංගන ජීවිතයට එකතු වීමක් හැටියට මම විශ්වාස කරනවා. මේ වන විට මගෙන් පාරේ තොටේ යද්දි වැඩිපුරම අහන්නේ යමුනා මිස්ගෙ සහ සම්පත් මාස්ටර්ගේ ආදර කතාවට මොකද වෙන්නේ කියලා.

මේ වගේ දේවල් අහද්දී මට හිතෙන්නේ මම ඒ චරිතයට ඉතා හොඳ සාධාරණයක් කළා කියලා. ඊටත් වඩා හොඳම කාරණය වන්නේ මෙන්න මේක. මම වැඩ කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ. එතකොට සිරමැදිරි වලට මට යන්න එන්න සිදුවෙනවා. එතකොට සිරකරුවන්ගෙන් මට ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. ඔවුන් මගේ නාට්‍ය රස විඳලා හොඳ කමෙන්ට් ලබා දෙනවා. මගේ රංගන කටයුතුවලට මම වැඩ කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. අද මට හොඳ චරිත ලැබෙනවා කරන්න. නමුත් ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ හොඳ කට්ටක් කෑවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මට එක්තරා සිදුවීමක් මතක් වෙනවා. රංගනයට අපි ආව කාලේ ටේක් රිහසල් කියන වචන මුකුත් දන්නෙ නැහැ.

එක්තරා අවස්ථාවකදි මට තිබුණා එක නළුවෙකුගේ කකුල් මසාජ් කරන දර්ශනයක්. ඉතින් මම ඇක්ෂන් කෝල් එකේ වැඩේ පටන් ගත්තා. කට් කරලත් විනාඩි විස්සක් විතර මම කකුල මසාජ් කළා මිනිහගේ. මම දන්නෑ එතකොටත් රූපගත කිරීම් කරලා ඉවරයි කියලා. මට හරිම ලැජ්ජාවක් ආවා. මට ඒ මනුස්සය පිළිබඳ ලොකු දුකක් ඇති වුණා. අදටත් මගේ හිතේ ඒ පිළිබඳ කලකිරීමක් තියෙනවා. ඔය වගේ ගොඩක් දේවල් විඳදරාගෙන තමයි අද මං මේ ඉන්න තැනට ආවේ. මගේ පවුලේ විස්තර කියනවනම්, මගේ වයිෆ් නදීකා චතුරංගි. මට දුවයි පුතයි ඉන්නව පුතා යුවීන්, දුව යුවීනා. දෙන්නම නිවුන්නු.

 

 

සේයාරූ - තිලක් පෙරේරා