ජාතික රූපවාහිනියේ එතෙර පූජා සමඟ සිංගප්පූරුවේ වෙසක්

මැයි 19, 2022

 

මෙවර වෙසක් උත්සවය මහත් උත්සවාකාරයෙන් යුතුව සැමරීමට සිංගප්පුවේ වෙසෙන ශ්‍රී ලංකිකයන් විසින් කටයුතු යොදා තිබුණි. ඒ අනුව පූජ්‍ය කරදෙටියන ගුණරතන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සිංගප්පුරුවේ ලිට්ල් ඉන්දියා ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී මෙවර මෙම වෙසක් උත්සවය පැවැත්විණි. පොහෝ දින උදෑසන 7.00 සිට කිරි ආහාර පූජාව, අටසිල් සමාදන් කරවීම, සර්වඥධාතූන් ප්‍රදර්ශනය, භාවනා වැඩ සටහන් මාලාවකින් එය විය. දර්ශනීය තොරණ සහ බත් දන්සැලක්ද එහිදී පැවැත්විණි. සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියෝජ්‍ය ඇමති හෙන් චි හවු මහතා සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයෝ වූහ.

ප්‍රවීණ නිර්මාණවේදී අජිත් කුමාරතන්ත්‍රිගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන දායකත්වයෙන් යුතුව මෙම වැඩසටහන් මාලාව එළැඹෙන පොසොන් පොහෝ දින ජාතික රූපවාහිනි නාලිකාවෙන් විකාශය වීමට නියමිත 'එතෙර පුජා' තුලින් ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකිවනු ඇත. මීට පෙර ඔහු ඉතාලිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ඩුබායි ඇතුළු රටවල් ගණනාවක දී පටිගත කරන ලද මෙවැනි බෞද්ධ වැඩසටහන් රැසක් එතෙර පුජා ඔස්සේ ප්‍රේක්ෂකයාට දැක ගත හැකි විය. ඔහුගේ නවතම නිර්මාණ කාර්යය 'රටකට යමු' නම් සංචාරක වැඩසටහන් මාලාව ඉදිරියේදී ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකිවනු ඇත.