වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මාව දැක්කම මට අනේ කියැවුණා

කාලෙන් කාලෙට විවිධ නිර්මාණ ඔස්සේ රංගනයට හපන්කම් ඇති පොඩ්ඩෝ කලා ක්ෂේත්රයට එකතු වෙනවා. ස්වර්ණවාහිනී නාලිකාවෙන් සතියේ දිනවල රාත්‍රී 9.00 ට දිගහැරෙන බන්ධනා ටෙලි සිත්තමේ පුංචි බන්ධනාට කතා කරන්න සරසවිය අපි හිතුවා. ඒ නිසාම ඇයව හොයාගෙන ඇගේ දර්ශන තලයට එකටම යද්දිත් ඇය හරිම අපූරුවට රඟපාමින් සිටියේ. පුංචි බන්ධනා දර්ශන තලයේ ඉන්න නැන්දලා මාමලා ඔක්කොම එක්ක හරිම යාළුයි. කාගෙත් ආදරය මැද නිර්මාණයට එළියක් ගේන ඇය ඉතාම ඉක්මනටම මා එක්කත් කුලුපඟ වී හරි හරියට කතාවට වැටුණා. මේ පුංචි සිඟිත්තිය එක්ක වගේම ඇගේ මවගෙනුත් නිර්මාණයට ඇයව තෝරාගත් බුද්ධිනි ජයවර්ධනගෙනුත් ඇය ගැන අහන්න සරසවිය අපි අමතක කළේ නෑ...
ඇයව මෙහෙයවන අපේ හිතවතිය බුද්ධිනී ජයවර්ධන පුංචි දෝණි අමතා මේ නැන්දි අහන ප්‍රශ්නවලට ලස්සනට උත්තර දෙන්න කියලා කිව්වම ඔළුව වනලා මම ළඟින් වාඩිවුණා.
කොහොමද පැටියෝ? කතාවට මුල පුරන්නට මම ඇගෙන් ඇසුවෙමි.
මම ලෙඩ වුණා. දැනුත් ලෙඩවෙලා තියෙන්නේ. සෙම හැදිලා.
දුක්මුසු මුහුණකින් ඇය මට පැවසුවාය.
ඉතින් බබා බෙහෙත් ගත්තද?
ඔව්. කලින් ගත්ත බෙහෙත් තියෙනවා.
සුදු දෝණි අපි හැමෝම ඔයාව දන්නේ පුංචි බන්ධනා කියලනේ. ඇත්තම නම ඔයාගේ මොකද්ද?
සේහා මිනෙර්වි ක්ලව්ඩියෝ. තවමත් අවුරුදු පහක් වන ඇයට ඇතැම් වචන උච්චාරණය කිරීම හරි හැටි කිරීමට නොහැකි බැවින් ඇගේ පිළිතුරු නිවැරදි කර දෙන්නට ඇගේ මවත් පියත් ඇය පසුපසින් සිටී.
බබාගේ ගෙවල් කොහෙද තියෙන්නේ?
ඉස්කෝලේ යන්නේ කොහෙද?
අපි ගාල්ලේ ඉන්නේ. අප්පච්චි විතරක් අකුරැස්සේ ඉන්නේ.
සේහාගේ පියාගේ ගම අකුරැස්ස නිසා ඔහු නිතර එහෙ යනබව තම පුංචි සිඟිත්තිය දෙස ආදරයත් ආඩම්බරයත් මුසු මුහුණින් බලා සිටින ඇගේ මව පැවසුවාය.
එතකොට බබගේ ඉස්කෝලේ?
මම නැවත ඇයට මතක් කළෙමි.
ද රිච්මන්ඩ් හවුස් ඔෆ් චිල්ඩ්රන්. ඉස්සරහට ගිහින් වමට දාලා යන්න තියෙන්නේ. (ඇය අතින් එය කර පෙන්වයි ). තවමත් පෙර පාසැල් අධ්‍යාපනය ලබන ඇයට මඟ හැරෙන පාඩම් වැඩ කරගන්න ඇගේ පෙර පාසලේ ගුරුතුමිය බොහෝ උපකාර කරන බව ඇගේ මව ස්තූති පූර්වකව මතක් කළාය.
ඉස්කෝලේ යාළුවෝ මොකද කියන්නේ දෝණිව ටීවී එකේ දැකලා?
යාළුවෝ මට කතා කරන්නේ චූටි බන්ධනා කියලා. එයාලා මාව ටීවී එකේ බලනවලු.
චූටි බන්ධනාව TV එකේ දකිනවිට දෝණිට මොකද හිතෙන්නේ?
පොඩියි වගේ... මම මෙහෙම බලද්දි ලොකුයිනේ. මට ආස හිතුණා රඟපාන්න. මාව දැක්කම මට අනේ...කියවුණා.
මේ නැන්දිලා මාමලා ඔක්කොම බබාට ගොඩක් ආදරෙයි වගේ?
ඔව්... බන්ධනා නැන්දි ( චතූ රාජපක්ෂ ) මට චොකලට් ගෙනත් දෙනවා. තාත්ති ( විශ්ව කොඩිකාර ) දැන් ගියේ. අත්තම්මා ( කුසුම් රේණු) මට සෝප් එකක් ප්‍රසෙන්ට් කළා. ඒක චූටි බබෙක් ඉන්න එකක් මේ බලන්න.
(කුඩා අසුරනයක මනාව තබා ඇති බබෙකුගේ කැටයමකින් සාදන ලද සබන් කැබැල්ලක් ඇය මට පෙන්වයි). මගේ නංගි බබා අම්මාගේ ටමි එකෙන් ආවම එයාගේ ගාන්න මම මේක තියන් ඉන්නවා. එයා තවම ආවේ නැහැනේ.
අපිට ඉන්නේ මෙයා විතරයි. මෙයා හරිම ආසයි නංගි බබෙක්ට. එහෙම කිව්වේ පුංචි සේහාගේ අම්මා.
නංගි බබා ආවම එයා එක්ක රඟපාන්න පුළුවන් නේද?
නෑ. නංගි බබා අම්මායි අප්පච්චියි එක්ක ඉන්නේ. මම විතරයි රඟපාන්නේ.
(මා ඇසූ පැනයට මා අපේක්ෂා නොකළ පිළිතුරකි ලැබුණේ)
මුල්ම දවසේ ලයිට් දාලා කැමරා දාලා ඩිරෙක්ටර් අංකල් ඇක්ෂන් කියද්දි බබාට මොකද හිතුණේ?
මට අම්මා ඕන වුණා. මට බෑ රඟපාන්න කිව්වා.
එයා නිදාගෙන ඉද්දි රූගතකිරීම්වලට ඇහැරුවම අඬනවා. කඩේට එක්ක ගිහින් චොකලට් එකක් අරන් දුන්නම නළවගන්න පුළුවන්. පළවෙනි දවසේ බයක් නැතිව හොඳට රඟපෑවා. ඇගේ මව යළි හඬ අවදි කළාය.
පුංචි බන්ධනාට රඟපාද්දි දෙබස් අමතක වුණාම කවුද මතක් කරන්නේ?
වීඩියෝකරන අංකල් මට මතක් කරලා දෙනවා. ඉන්න මම පෙන්නන්න එයාව.
බන්ධනා පිටපත වගේම නිෂ්පාදනය කරන බුද්ධිනි ජයවර්ධන පුංචි සේහා ගැන කිව්වේ මෙහෙම
මේ නිර්මාණය පටන්ගද්දි මම වයස අවුරුදු තුනක හතරක පොඩි දුවෙක් ඕන කියලා ෆේස් බුක් එකේ පෝස්ට් එකක් දැම්මා. මේ පෝස්ට් එක දැකලා තිබුණා සේහාගේ ලොකු අම්මගේ දුව. ඇයයි මට සේහාව යොමුකරන්නේ. පොටෝස් කිහිපයක් එවලා තිබුණා. බොහොමයක් දෙනා පොටෝස් එවලා තිබුණත් සේහා දැකපු ගමන්ම මට හිතුණා ඇය තමයි මේ චරිතයට ගැළපෙන්නේ කියලා. මම පිටපත ලියද්දි මගේ ඔළුවේ ඇඳුණු රූපයට සමාන රූපයක් සේහාට තිබුණා. තිර පරීක්ෂණයක්වත් නැතිවයි මම ඇයව මේ චරිතයට ගන්නේ.පළවෙනි ටේක් එකෙන්ම ඇය ඉතාම හොඳීන් චරිතය නිරූපණය කළා. මට හිතුණා මගේ තේරිම නිවැරදියි කියලා. ඇය ඉතාම දක්ෂ දරුවෙක්. අපි කවුරු එක්කත් හරිම මිත්රශීලියි.
දිගටම නිර්මාණවලට සේහාව එකතු කර ගන්නවද?
අනිවාර්යයෙන්ම. ඒ වගේ චරිතයක් තිබුණොත් ඇයව ගන්නවා.
පුංචි සේහාට කලා ක්ෂේත්රයේ ලස්සන ගමනක් යන්නටත් ඉක්මනටම නංගියෙක් ලැබෙන්නටත් සුබ පැතුම් එක්කොට මම ඇගෙන් සමුගත්තෙමි.