පෙර පරපුර නැවැත්වූ තැනින් අලුත් පරපුර පටන් ගන්නයි ඕනෑ

සජ්ඣායනා නිර්මාණ අධ්‍යක්ෂ - චන්දන සූරියබණ්ඩාර
සැප්තැම්බර් 15, 2022

 

කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම අද වනවිට භාවනාවකට ගෙන යන්නට සජ්ඣායනා වැඩසටහනට හැකිවී ඇත. ඒ තර්ක විතර්ක නැතුව එහි නිර්මාණ අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවය කිව්වොත් නිවැරදියි. විවිධ හඩ පරාසයන් හඳුනා ගනිමින් කොටස් අනු කොටස් ලෙස වෙන්කර තබා ගනිමින් බෙහෙතට ගන්නා ඖෂධ මෙන් ශිල්පීන් තෝරා බේරා ගන්නට ඔහු සමතෙක් විය. සිරස ආයතනය විසින්ම සොයාගත් මිණිකැට ටිකක් නාද රටාවන් මවන්නටත් කරළියේ පෙරළියක් කරන්නටත් චන්දන සූරියබණ්ඩාර නම් ප්‍රවීණ නිර්මාණකරුවා වටා අධ්‍යක්ෂ, සම අධ්‍යක්ෂ, නිෂ්පාදක සහ තිරය පිටුපසින් සිට උදවු කරන සියලු දෙනාම සජ්ඣායනාව කරගෙන යන්නට ඇප කැපවී කටයුතු කරනු ඇත .

නිර්මාණ අධ්‍යක්ෂක චන්දන සූරිය බණ්ඩාර සජ්ඣායනා වැඩසටහනේ කතාව දිග හැරියේ මෙසේය. “මම 1993 මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එදා සිට අද දක්වා මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ ගනුදෙනු කිරීම හා ඔවුන්ගේ දැනුම ලබා ගැනීමෙන් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය විවිධ පරාසයන් හා ඒවායේ තිබෙන අපට ඉගෙන ගත යුතු සියලු දේම මට ඉගෙන ගන්න ලැබීම තුළින් අනාගත පරපුරට යමක් කරන්නට මට අද අවස්ථාව උදා වෙලා තියෙනවා. අපි ලබාගත්තු දැනුම අනාගත පරපුරට යම් දවසක තිළිණ කළොත් පමණයි අපිට ඉතිහාසයට එකතු වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ ඉතිහාසයට එකතු වෙච්ච සියලු දෙනා වෙනුවෙන් මට මේ දේ කරන්න පුළුවන් වුණේ ඔවුන්ගේ කාලය තුළ ඒ සියලුදෙනා යමක් ඉතිරි කරපු නිසයි. 2018 වර්ෂයෙහි වොයිස් ටීම්හි නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීම තුළින් වොයිස් ටීම් එක ආරම්භ කරන්නට මට හැකි වුණා .මේ තුළින් තමයි අවුරුදු දාහතරේ සිට 18 දක්වා දක්ෂතාවලින් පරිපූර්ණ දරුවන් මට හොයාගන්න ලැබුණේ. ඔවුන් මේ එන ගමනේ දී ඔවුන් යන ගමන ඔවුන්ට තීරණය කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒ පැමිණි සියලු දෙනා විවිධාකාර ගීත තමයි මේ තුළින් ගායනා කළේ. මගේ අප්පච්චි සංගීත ගුරුවරයෙක් නිසා මට සංගීතයේ ආභාසය මේ තුළින් ලැබුණා. මම ඉන් පස්සේ මේ ආපු සියලු දෙනාගේ ම සංගීතය මොන දිසාවටද ගමන් කරන්නේ කියලා නිර්ණය කළා. මට හොඳ කනක් තියෙනවා .මම ශාස්ත්‍රීය සංගීතයට දැඩි ලෙස ඇලුම් කරනවා. ජන සංගීතය මගේ ජීවිතේ කොටසක් බවට පත් වුණා. එය මම හදාරල තියෙනවා. ඒ නිසා මේ දේවල් තුළින් මට ඒ හඬවල තියෙන විශේෂතාවයන් හඳුනාගන්නට ලැබුණා. ඒ තුළින් වෙන්වෙන් වශයෙන් හඬ පරාසයන් වෙන්කර ගැනීමටත්, නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස මාත් අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා යන අපි ත්‍රිත්වයේ සහ නිෂ්පාදක කණ්ඩායමේ එකතුවෙන් ඒ ඒ හඬවලට සමාන හඬ කාගේද තියෙන්නේ කියලා නිරතුරුවම සොයා ගත්තා. ඒ සොයාගත්ත මිණිකැට ටික මම දිස්නේ දෙන්නට සැලැස්සුවා.

මේ සොයාගත් හතළිස් අටදෙනා ලංකාවේ නන් දෙසින් පැමිණි අයයි. ඔවුන් අතරින් දක්ෂයන් අති දක්ෂයන් සහ විශාරදයන් ද සිටිනවා. මේ තෝරාගත්ත දරුවන් වෙනුවෙන් මේ ස්ටුඩියෝ එකට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පිනිය ලතා වල්පොලයන් දුන්න සහතිකය ගැන මම හරියට සතුටු වෙනවා. ("මම මේ වෙලාවේ මේ ක්ෂේත්‍රය ආවා නම් මටත් හොඳ තරගයක් තියෙයි කියලා හිතෙනවා ") ඇයට දැක්වූ මේ උපහාරය මගේ මාධ්‍ය ජීවිතයේ මම ලබපු ලොකු සතුටක්. ඒ හඬට සම කළ හැකි හඬක් මේ වෙනකල් ලංකාවේ බිහි වුණේ නැහැ. ඒත් ඊළඟ පරම්පරාව ඔවුන්ගේ හඬවල් සහ ගීත මේ ක්ෂේත්‍රයට දායාද කරයි. ඔවුන් එවා ආරක්ෂා කරයි කියන එකයි එයින් ඇය පවසන්නට උත්සාහ කළේ. බණින දාහක් දෙනා අතරින් මෙවැනි අනන්‍යතාවක් සනිටුහන් කරන එක්කෙනෙක් මේ වැඩසටහන ගැන සලකුණක් තියෙනවා කියන එක මට හරි වටිනවා. සමහර අය මේ වැඩසටහනට හරිම කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ. සමහර දෙනා මේ වැඩසටහන ප්‍රතික්ෂේප කරනවා. නව පරම්පරාව මේ ගීත කියන්න ඕන නෑ කියලා විශ්වාස කරන පිරිසකුත් මේ තුළ බිහි වෙලා ඉන්නවා. සමහර අය ඔවුන්ගේ ගීත අයිතිය වෙනත් අයට පවරල තියන හින්දා මතුවෙන ප්‍රශ්න නිසා සහභාගි වෙන්න නැතිවත් ඉන්නවා. මේ තරුණ පරම්පරාවට සියලුදෙනා ම බණිනවා. මොකද ඔවුන් ලෝකයේ වෙනත් වෙනත් ප්‍රවණතාවලින් එන සංගීතයේ කෑලි අල්ලලා වෙනත් නිර්මාණ කරනවා. වෙනත් කාටවත් කියන්න බැරි විදිහට තනු සංකීර්ණය කරලා සංගීතය සංකීර්ණ කරලා ඔවුන් මේ වගේ නිර්මාණ කරන්නේ. අපි ඔවුන්ට දොස් කියලා පලක් ලැබෙන්නේ නෑ .මොකද අපි ඔවුන්ට හරි පාර කියාදීලා නැති නිසා. හැබැයි ඔවුන්ට අපි නිවැරැදි මාර්ගය පෙන්වා දුන්නොත් එයින් හොඳ මාර්ගයකට නව පරම්පරාව ගෙන යා හැකියි. ප්‍රවීණයන් ඒ ගීත වෙනුවෙන් කැපකිරීම් කරලා සතතාභ්‍යාස කරලා එම ගීත නොනැසී රඳා පවත්වා ගැනීමට උත්සාහ දරලා තියෙන්නේ. අපි ඒව ගැන පහදා දීලා නෑ. ඒ පිළිබඳව පහදා දීම තුළින් ඔවුන් හරි මාර්ගයට ගෙන යා හැකියි. ඒ හින්දා තමයි මෙවැනි වැඩසටහනකදී මම කරන්නේ ඔවුන්ට නිවැරදි මාර්ගය කියා දීලා හරි මාර්ගයට ගෙනයාම අවස්ථාව සලසලා තිබෙන්නේ. නව පරම්පරාව ගොඩක් දෙනා ප්‍රවාචයන් (ජධමඥප මඥපඵඪධද) තමයි කරන්නේ. හැබැයි මම සජ්ඣායනා වැඩසටහන දී කරන්නේ පැරණි ගීතය ම ඒ ආකාරයෙන්ම ඔවුන් ලවා ගායනා කිරීමයි. මේ දරුවන්ගේ හඬ මෙහෙයවන්නෙ මමයි. ඒ නිසා පැරැණි ගීතයේ අලංකාර ඒ ආකාරයෙන්ම ඔවුන් සියලු දෙනාම ගායනා කළා. ඒ ගීතයේ තිබෙන අලංකාර අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ ඒක තමයි මම දාලා තියන නීතිය. අතීතය ඔවුන් ඉතිරි කරල ගිය සලකුණ, රන් නිධානය අනාගත පරම්පරාවට පරිහරණය කරන්න දෙනවාට වඩා ස්පර්ශ කරන්නයි දෙන්න ඕන. අනාගත පරම්පරාව ඊට පස්සේ පටන් ගන්නේ නවත්තපු තැනෙනුයි. අපිට තියෙන්නෙ එතනින් ඉස්සරහට නව පරම්පරාව ගෙන යන්න ඕන සංගීතයකුයි. ඒ නිසා තමයි ඔවුන් එම ගීතවලට අලුත් නිර්මාණකරණයක් කරන්නෙ.

මේ වැඩසටහනට නිවේදිකාවක් හෝ නිවේදකයෙකු තෝරන අතරතුරේ මට හමුවුණ දක්ෂ දරුවෙක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියන්නේ. අනාගතය දිහා විවෘත මනසකින් හා හොඳ දැක්මක් තියෙන ඇයට භාෂා කීපයක් පුළුවන්. ඒත් සිංහල භාෂාව එතරම්ම හොඳට හැසිරවීමට ඒ තෝරා ගත් කාලේ ආදිත්‍යාට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් අභියෝගය භාර ගෙන මේ වැඩේ නියමෙටම කරන්න ආදිත්‍යා සමත් වුණා. වැඩසටහන ආලෝකවත් වුණා එයින්. මගේ ජීවිතේ මම පළවෙනි ප්‍රෝග්‍රෑම් එක කළේ හරිම බයෙන් ගොත ගගහා. හැබැයි මේ දරුවන් ඊට වැඩිය ඉස්සරහින් ඉන්නේ ඒ ගැන මට හරිම සතුටුයි. මේ සියලුම දෙනාම තමන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කරගන්න ඕනෙ. එහෙම නොවුණොත් මේ වැඩසටහනේදීවත් මේ ආයතනයේදිවත් ඔවුන්ට ඉඩකඩ ඉදිරියේදී සැලසෙන්නේ නැහැ. මේ සියලු දෙනාගේ භාෂා ඥානය, දැනුම සහ සංගීත ඥානය දියුණු කර ගැනීමටත් ආයතනය පැත්තෙන් කරන්න ඕන සියලුම අධ්‍යාපන කටයුතු සහ ප්‍රායෝගික පුහුණුවීම් එලෙසින්ම අපි ලබා දෙනවා.

මේ පුරාවෘත්ත වැනි ශිල්පීන් අපට දීලා ගිය දේවල් තව යුග ගණනාවක් පවතින්නට සලස්වන එකත්, දරුවන්ගේ ඊළඟ පිම්ම තියන්න ඉඩකඩ සලස්වන එක තමයි සජ්ඣායනා වැඩසටහනේ මූලික පරමාර්ථය ලෙස මම සලකන්නේ.

 

වැඩසටහන් අධ්‍යක්ෂ ධනේෂ් උපුල්

මෙහි සංකල්පය ගොඩනැඟෙන්නේ චන්දන සූරියබණ්ඩාර අපේ ප්‍රවීණ නිර්මාණ අධ්‍යක්ෂකවරයා තුළයි. ඔහුගේ හිත ඇතුළේ ඇඳුණු ලොකු චිත්‍රය තමයි මම මේ තුළ ක්‍රියාත්මක කරන්නේ. ඔහුට තිබුණේ මේ ළමයි හතළිස් අටදෙනකු මඟින් ඉදිරි ගායක පරම්පරාව ලෙස අනන්‍යතාවක් සනිටුහන් කරන්නයි .එතැනින් එහාටත් ඔවුන්ගෙ අධ්‍යාපනය හා ඔවුන්ගේ කුසලතාවයන් දිරිගන්වමින් ඔවුන්ගේ අනාගත අරමුණු කරා ගෙන යාමයි .මේ වැඩසටහන ගීත තේරීමේ සිට ළමයාට එම ගීතය තෝරා දෙන තැන සිට ආලෝකකරණය, පසුතල දර්ශනවලදි කැමරා ස්ථානගත කිරීම, සංගීතය සපයන  ආයු සංගීත කණ්ඩායම මේ සියල්ල ඔහුගේ දැක්ම තුළ තමයි මම ක්‍රියාත්මක කරන්නේ අධ්‍යක්ෂකවරයා ලෙස. එක පැත්තකින් මේ සජ්ඣායනා වැඩසටහන අපි සියලු දෙනාටම සතුටු වෙන්න කාරණාවක් තියෙනවා .ඒ තමයි ලංකාවේ දැනට ඉන්න දක්ෂතම නිර්මාණශීලීම අධ්‍යක්ෂකවරයකුගේ ගුරුහරුකම් මැද මෙවැනි වැඩසටහනක් කිරීමට අපට හැකි වීම. මෙහි පිටපත රචනා කරන්නේ සමන් ධම්මික ඔහුට ද මේකෙ විශාල වගකීමක් පවරලා තියෙනවා. අපි මේ වැඩසටහනට තෝරාගනු ලබන ජ්‍යෙෂ්ඨ ශිල්පියාගේ ජීවිත කතාව සිට ඔහුගේ නිර්මාණශීලීත්වය ගැන පසු විපරම් කරනවා. ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී අවස්ථාවන්වල කියවුණු ගීත, මේ තෝරා ගැනීමට ඇතුළත් වෙනවා. ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වුණු ප්‍රේක්ෂකයා හැමදාම ඉල්ලන ගීතත් මේ අතරට එකතු වෙනවා. මේ වනවිට වැඩසටහන් තිහකට වැඩි ප්‍රමාණයක් කරල තියෙනවා. ඉස්සල්ලා වැඩසටහන විකාශය වුණේ 7:30 බෙල්ට් එකට. දැන් වැඩසටහන විකාශය 8:30 බෙල්ට් එකට. සෙනසුරාදා සහ ඉරිදා දිනවල.මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයාගේ වැඩසටහනෙන් තමයි අපි මුලපිරුවේ සජ්ඣායනා වැඩසටහනට. එදා ඉඳන් අද වනවිට මේ කරපු සියලු වැඩසටහන් නරඹන සියලු දෙනාම සහ සමාජ මාධ්‍ය ජාලය ඉහළින්ම තැනකට පත් කරන්න සමත් වී හමාරයි. ලංකාවේ දැනට සංගීත ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනා මෙන්ම රූපවාහිනී ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු ලෙස මම හරි නිහතමානීව ඒ සතුට විඳීනවා. දැනට ජීවතුන් අතර ඉන්න පිරිසගෙන් මෙය රස විඳීමෙන් ඔවුන්ගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලා නිරතුරුවම අපට කතා කරන වාර අනන්තයි. අපි ඒ සියලු දෙනාටම අවස්ථාව උදා කරනවා. ඔවුන් හිටියොත් තමයි මේ වැඩසටහන මට දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ මගේ නිර්මාණශීලී අධ්‍යක්වරයාගේ අනුදැනුම ඇතිව. අනෙක මම ඔවුන් සියලු දෙනාටම හිස නමා ආචාර කරන්න කැමතියි අපේ වැඩසටහනට එන්න සිය කැමැත්තෙන් අපිට කතා කරපු එක ගැන. අපි වැඩසටහන් දෙකක් විතර දවසට නිෂ්පාදනය කරනවා. මේ තරුණ පිරිස හැසිරවීම මට ටිකක් බැරෑරුම් ප්‍රශ්නයකුත් වෙනවා. මොකද ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු දාහතරේ සිට අවුරුදු 20 දක්වා වගේ පරාසයක ජීවත් වන අය. ඔවුන් හැම වෙලේම ගනුදෙනු කරන්නේ නවීන ලෝකයත් සමඟ ඉතින් මෙවැනි අය අවනත කර ගැනීම හරිම අමාරුයි. නමුත් දැන් එයට හුරු වෙලා ඉන්නේ ඒ සියලු දෙනාම ඔවුන්ගේ කාර්යභාරය මැනවින් අධ්‍යක්ෂකවරයාට ඉටු කර දෙනවා. මේ වැඩසටහන අපි අරගෙන යන්නේ වොයිස් ටීම් එක හරහා ඉදිරියට ආපු දරුවන් හතළිස් පස් දෙනෙක් එකතු කරගනයි. නමුත් එළියේ වෙනත් නාලිකාවලින් එළියට ආපු තරුණ පිරිසුත් අපෙන් අහනවා. ඒ සියලු දෙනාට මෙහි ඉඩකඩ තියනවද කියලා කියන්න මට ටිකක් අමාරුයි. මොකද විද්වත් මණ්ඩලයක් මඟින් තමයි මේ සියලු දේවල් සිදුවෙන්නේ. සමහර විට ඉඩකඩ ඉදිරියට තියෙන්න පුළුවන්. මොනවා නැතත් දක්ෂයාට තැන දීම අපේ මූලිකම අරමුණ තමයි. වෙන දා මෙන් ම සජ්ඣායනා වැඩසටහනේ සුවය මිහිර විඳීන්න කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

වැඩසටහන් සමඅධ්‍යක්ෂ සමන් ධම්මික කුලසේන

මේ වැඩසටහනේ සියලුම සම්බන්ධීකරණ කටයුතු සහ තිර පිටපත ලියවෙන්නේ මගේ අතින්. මෙහි වගකීම ටිකක් බැරෑරුම්. ඒ වුණත් මේ වැඩසටහන ඉදිරි පරම්පරා වෙනුවෙන් අප ඉතිරි කළ යුතුයි. මගේ නිර්මාණ අධ්‍යක්ෂකවරයාගේ සහ අධ්‍යක්ෂකවරයාගේ අනුදැනුම ඇතිව මගේ කාර්යභාරය කරගෙන යන්නේ. පළවෙනි වැඩසටහන කළාට පස්සේ නන්දෙසින් දුරකථන ඇමතුම් ගලාගෙන එන්න ලැබුණා. වැඩිදෙනාගේ ඉල්ලීම වුණේ මේ වැඩසටහන දිගටම කරගෙන යන්න කියන එකයි. කුඩා දරුවාගේ සිට බුද්ධිමත් පිරිසක් එම වැඩසටහන රසවිඳීනවා. අපි යම් අරමුණක මෙම වැඩසටහන කළේ.

ඒ අරමුණ අපි සාර්ථක කර ගත්තා කියලා හිතෙනවා. නව පරම්පරාව මේකට යොදා ගැනීම ගැන සියලු දෙනාම කතා කරන්නෙ හරිම සතුටින්. ඒ සියලු දෙනාම කියන්නේ පැරණි පුරාවෘත්තවල සියලු දේවල් සංරක්ෂණය විය යුතුයි කියන එකයි. ඒකට මෙම වැඩසටහන මූලික පියවරක් තැබුවා ය කියන එක තමයි ඔවුන්ගේ එකම වචනය වෙන්නේ. අද වන විට දහම් පාසල් ළමයා සිට පාසල දක්වා මෙම වැඩසටහන නරඹන්න කියා භික්ෂූන් වහන්සේලා විදුහල්පතිවරු, ගුරුවරුන් දැනුම්වත් කරනවා. ඒ කියන්නේ මෙහි වැදගත්කම පිළිබඳ ඇති අවබෝධය සාර්ථකයි. අනිත් වැඩසටහන්වලට සාපේක්ෂව සජ්ඣායනා වැඩසටහන ඉන්නේ ඉදිරියෙන්. නැතිවී ගිය සියලුම සංගීතඥයන්ගේ, පද රචකයන්, තනු නිර්මාපකයන් සහ වර්තමානයේ ජීවත්වන සියලුම දෙනා මෙතැනට ගෙනෙනවා. අපි හැමවෙලේම හිතන්නේ හොඳ දෙයක් සමාජගත කිරීම පමණයි. තව එකක් තමයි නව පරම්පරාව පැරණි ගීත දන්නේ නෑ. ඔවුන් ඒවා රස විඳලා නෑ. හැබැයි ඔවුන්ට මේ ගීත ඇහෙන ඇහෙන මොහොතක් පාසා ඔවුන් දැන් ඒ පැරණි ගීත පමණයි අහන්න පුරුදු වෙන්නේ. තව පැත්තකින් රසවින්දනාත්මක ගීතයක් ඔවුන් විඳීනවා කියන්නේ සංගීතයේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරනවා කියන එකයි. සමහර දෙනා හිතන්නේ මේ සංගීත වැඩසටහන නරඹන්නේ තෝරාගත්ත කොටසක් පමණයි කියලා. මම එයින් බැහැර වෙනවා එවැනි අදහස් ප්‍රකාශ කරන අයගෙන්. එයට හේතුව තමයි ඕන කෙනෙක් විනෝදාස්වාදය කියන එකට කැමතියි. දවස පුරාම හිර වෙලා මිරිකිලා තද වෙලා ඉන්න මනසකට මෙවැනි වැඩසටහනක් රසවින්දනයක් වෙනවා. මේ ක්ෂේත්‍රය තුළ සේවයක් කළ සියලු දෙනා මෙතැනට අප ගෙන්නනවා. දැන් සමහර අය අපට කෝල් කරලා අපට දවසක් දෙන්නේ නැද්ද කියලා අහන තැනට පත්වෙලා ඉවරයි. සමහර වෙලාවට ප්‍රශ්න නැතුවත් නෑ .ඒ සියලු දෙනාටම යම් යම් ප්‍රශ්න තුළ ජීවත් වෙනකොට එන්න බැරි වෙනවා.පද රචනයට සංගීත ශිල්පියාට වෙන්න පුළුවන් තනු නිර්මාපකයාට වෙන්න පුළුවන් නීතිමය යම් ගැටලුකාරී ස්වභාවයක් ගීතවලට තියෙන විට එන්න බැරි අය ඉන්නවා. එහෙම එන්න බෑ කියන කිසිවෙකු සමඟ අපි තරහා වෙන්නේ නෑ. අපි දකින දෙකක් තමයි ගීතවලට ඒකාධිකාරියක් පවත්වාගෙන යන පිරිසක් ඉන්නවා. ඒ සමහර ගීතවල අයිතිය ඔවුන්ගේ නෙවෙයි. ඔවුන් බලෙන් එම ගීත ඔවුන්ගේ නමට ලියා ගෙන තියෙනවා. ඔබත් මමත් දන්න පිරිස් තමයි මේවා තුළ ජීවත් වෙන්නේ. ඒ කරන සියලු දෙනා පසුවට පසුතැවෙයි කියලා මම නම් හිතන්නේ. අපි මේ කරන්නේ ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අනන්‍යතාවය ගබඩා කිරීමක් පමණයි. මේ තරුණ ප්‍රජාව ක්ෂේත්‍රයට යම් අනන්‍යතාවයක් ඇති කරපු ශිල්පීන්ට කරන මෙහෙවර ගැන අගය කරන බහුතරය අතරින් මඩ ගහන පිරිසකුත් නැතුව නෙවෙයි.හැබැයි ඒ තරුණ ප්‍රජාව ඒ කිසිවක් ගණන් ගන්නැතුව ඔවුන්ගේ මේ නිර්මාණකරණයෙන් අපිට සහයෝගය දෙනවා. ඒක මේ වෙලාවේ සම අධ්‍යක්ෂවරයකු හැටියට මම අගය කරනවා. මෙයට දායක වෙලා ඉන්න නිෂ්පාදන අංශයේ සියලුම පිරිසගේ සහයෝගය නැත්නම් මෙච්චර දුර ගමනක් අපට එන්න හම්බ වෙන්නේ නෑ. ඉදිරියේ හොඳ දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.

 

වැඩසටහන් නිෂ්පාදක විරාජ් ජයමාන්න

මුලින්ම ළමයි එක්න ඉන්බොක්ස් නමින් වැඩසටහන් කළා. මේ කරපු වැඩසටහනෙන් අපි තේරුම් ගත්තා මේ ළමයි හරිම දක්ෂ ළමයි ටිකක් කියලා. ඒ නිසා ඔවුන් වෙනත් වැඩසටහනකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ යුතු බව සිතුවා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ සජ්ඣායනා වැඩසටහනයි. මේ ක්ෂේත්‍රය තුළ හැංගිච්ච පිරිසක් හිටියා. අපිට ඕන වුණා ඒ සියලු දෙනා ළමයින්ට හඳුන්වාදීම හා ප්‍රේක්ෂකයාට යළි මතක් කර දීමට. සමහර පිරිස් සිටියා මේ වගේ සින්දු තියෙනවද ? මේ වගේ අය හිටිය ද? කියලවත් දන්නෙ නැති. ඉන් පස්සෙ වුණේ මේ සියලු දෙනාම මේ කට්ටිය අඳුනා ගැනීම හා ඔවුන්ගේ ගීත රස විඳීන්නට පටන් ගැනීමයි. ඉන්පසු සිදු වුණේ තරුණ පිරිස් පැරණි ගීත රස වින්දනයට හුරු වුණා. ඔවුන් සියලු දෙනාම මෙහි රසවින්දනය සොයන්නට ගත්තා. දින වකවානු බැලුවේ නෑ. මේ ගයන ගීතවල මුල් ගීතය වෙනස් කරනවා නම් රචකයා හෝ ගායකයා සමඟ එකඟතාවකට ඇවිල්ල තමයි අපි ඒ දේ සිදු කරන්නේ. මේ ඉන්න සියලු දෙනාම ඉන්පස්සෙ මට හරි වදයක් වුණා. සින්දුවල තේරුම අහනවා ඔවුන් කවුද කියලා අහනවා. ඒ තරමට ඔවුන් මේ තුළ ගැබ්වුණා. මේ 48 දෙනා වෙනුවෙන් වෙන වෙනම වැඩ මුළු පැවැත්තුවා. ඉන්පස්සෙ කොටස් තුනකට ඔවුන්ගේ සංගීත නාද රටා රටාවන් අනුව අපි වෙන් කළා. මෙතන ඉන්න ඕනම කෙනෙකුට ඕන අලංකාරයක් එක්ක ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. අපි දැන් උත්සාහ කරන්නේ මෙතන ඉන්න ලෙවල් එකෙන් තව ලෙවල් එකක් උඩට යන්නයි. ඒක තමයි අපි සියලු සියලුදෙනාම දැනට හිතමින් සිටින්නේ. කෙටියෙන් කිව්වොත් මොවුන් අන්තර්ජාතික තලය දක්වා ගෙන යාම තමයි අපි සියලු දෙනාගේම අරමුණ.එහි පළමු අදියර ලෙස ඪදබඥප ථභඵඪජචත ඵඩධඹ එකක් පැවැත්වීම අරමුණු කරගෙන සිටිනවා. සජ්ඣායනා වැඩසටහනට සහභාගි වන ළමයින්ගේ දක්ෂතාවය තමයි මේ වැඩසටහන මෙච්චර ජනප්‍රිය වන්නට හේතු වුණේ. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා ප්‍රේක්ෂක සියලු දෙනාට මේ ළමයින්ව දිරිමත් කරවන්න කියලා මේ වැඩසටහන බලලා. මේ සියලු දෙනාගේ පළමු තැන සජ්ඣායනා යි. ඒ නිසා නිෂ්පාදකවරයා ලෙස මට කිසිම බිය විය යුතු කාරණාවක් දැනට නෑ.

සජ්ඣායනා ගායිකා සංගීත විශාරද එරන්දි හේශානි

අපිට වොයිස් ටීම් එකෙන් පස්සෙ හොඳ අවස්ථාවක් ලැබුණා චන්දන සර්ගෙන් මේ සජ්ඣායනා වැඩසටහනට තෝරාගැනීමේන්. දහසක් දෙනා අතරින් අපි 48 දෙනෙක් තෝරා ගැනීම කියන්නෙම පුදුමාකාර දෙයක්. අපේ පරණ ගායන ශිල්පීන්, පද රචකයන්, තනු නිර්මාපකයන්, ගොඩ නඟපු සංගීත ලෝකය අපිට ඉදිරියට ගෙන යන්න අපේ පරම්පරාවට අවස්ථාව දීම ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. දැනට ජීවත් වන හා ජීවත් නොවන සියලු දෙනාගේ ඥාතීන් ඉදිරියේ ඔවුන්ගේ ගීත අපි ගයන්නේ. අපිට හරි ශක්තියක් ඒ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය.

සන්දීප් ළමාසූරිය

පැරැණි ශිල්පීන්ගේ ගීත අපේ හැකියාවන් තුළින් එකතු කර ගැනීම අපි ලබපු ලොකු භාග්‍යයක් ලෙස මම දකිනවා. සංගීත ඉතිහාසයේ යටගියාව සහ ඔවුන්ගේ වැළලී ගිය සියලු දේවල් අපිට දැනගන්න ලැබීම නිසා අපි ඔවුන්ගේ වගතුග හොයන්නට මේ තුළින් පෙලඹුණා. සංගීතය හදාරන අපි සියලු දෙනාටම මේක සෑහෙන ප්‍රයෝජනවත් වැඩසටහනක් බවට පරිවර්තනය කළා. පැරැණි ගීතවලට කිසිදු හානියක් නොවන අයුරින් අපි මේ ගීත ගායනා කරන්නට ඕනේ ඒක අපි ලබන හොඳ අධ්‍යයනයක් ලෙස මම දකිනවා. එක පැත්තකින් එය අවදානම් ස්වභාවයකුත් ගන්නවා. ඒ අවදානම් ස්වභාවය අපි සියලු දෙනාම තේරුම් අරගෙන මෙම වැඩසටහනට සහභාගි වෙන්නේ. අපේ පරම්පරාව මේ වැඩසටහනට සම්බන්ධ කරගැනීම අපි සියලු දෙනාම හරි නිහතමානි ලෙස අගයනවා .

ශෙමිල් ක්ලින්සන්

දෙමළ තරුණයෙක් හැටියට වොයිස් ටීම් එකට සම්බන්ධ වෙන්නේ. මම එහිදී වැඩි හරියක් ගායනා කරන්නේ දෙමළ සින්දු යි.මම සිංහල ගීත අහල තිබ්බට ගායනා කරලා නෑ නමුත් මට අවස්ථාව හම්බ වෙන්නේ සජ්ඣායනා වැඩසටහන තුළින්. සිංහල ගීත ගැන මට පූර්ණ අවබෝධයක් හා එහි තියෙන බැරෑරුම් බව හා එහි තියෙන වටිනාකම සජ්ඣායනා වැඩසටහන් තුළින් මට දැනුණා. අද මම සිංහල සින්දු කියනවා. මටම හිතාගන්න බෑ මම අද සිංහල සින්දු කියන්නේ කොහොමද කියලා. අපි අද ගයන මේ ගීතවල පැරැණි ශිල්පීන් මේ ගීතවලට කොපමණ සාධාරණයක් කළාද කියලා අද තමයි මට තේරෙන්නේ. ඒ නිසා ඔවුන්ට සාධාරණයක් කරන්න හැමවෙලේම මට ලැබෙන ගීතයෙන් මම උපරිම උත්සාහයක් ගන්නවා. චන්දන සර් ඇතුළු මෙහි නිෂ්පාදක කණ්ඩායමෙන් මම මේ සඳහා පූර්ණ අවබෝධයක් ලබා ගන්නවා. මගේ යාළුවොත් මට සෑහෙන උදව් කරනවා මම දෙමළ තරුණයෙක් නිසා. මම හරිම ආශාවෙන් තමයි මේ සිංහල ගීත පැරැණි අයගේ ගීත ගායනා කරන්නේ.මට දැන් ඇත්තටම ආසාවක් තියෙන්නේ දෙමළ ගීතවලට වැඩිය සිංහල ගීතවලටයි. අද මට වැඩි හරියක් ප්‍රතිචාර ලැබෙන්නේ සිංහල අයගෙන්.

සියුමිණි ඔපයන්ගි

ජීවිතේ මම ලබපු ලොකුම සතුට සජ්ඣායනා කියලා කියන්න පුළුවන්. වොයිස් ටීම් එක හරහා මෙතැනට එන්න මඟ පෑදුණේ අපේ දක්ෂතාවයන් චන්දන සර් හඳුනා ගත්ත නිසයි.ජීවිතේ මම කවදාවත් අහලා නැති පැරණි ගීත අහන්න ලැබුණා. ඒ පැරණි ගායන ශිල්පීන්ගේ තොරතුරු සියලු දේවල් අපිට හොයාගන්න ලැබුණා. අපි මේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යනවා නම් අපි ඒවා දැනගන්න ඕන. ඒකට මේ සජ්ඣායනා වැඩසටහන අපිට හොඳ පිටිවහලක් වුණා. අපේ මතක පොතට අලුත් සින්දු ගොඩක් එකතු කරගත්තා. අපේ ජ්‍යෙෂ්ඨයන්ගේ පවුල්වල සියලු දෙනාම මේ වැඩසටහන සඳහා සහභාගි වෙනවා. ඔවුන් ඉදිරියේ ඔවුන්ගේ ගීත ගායනා කරනවා කියන්නේ අපිට හොඳ අවස්ථාවක්. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ පැරැණි ගීත ආරක්ෂා කරන්නයි. අපේ පරපුරෙන් ඒක ආරම්භ වෙයි කියලා මම හිතනවා. ඒකට මූලික අඩිතාලම සජ්ඣායනා වැඩසටහනයි. අපි මේ ජීවතුන් අතර ඉන්න කලා ශිල්පීන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීමටත් මඟ පෑදුවේ මේ සජ්ඣායනා වැඩසටහනයි. සමාජයේ හොඳ කෙනෙක් වෙන්න ඕන අපටත් කවදාහරි දවසක මෙ පුරාවෘත්ත වගේ තත්ත්වයක් උදා වෙන්නේ එතකොටයි. අද මම පාසලට ගියත් කොහේ ගියත් මට හරිම පිළිගැනීමක් ඇති වෙලා තියෙන්නෙ මේ වැඩසටහන නිසා. අපේ පරම්පරාවේ අය වෙනස්ම දෙයක් කිරීම තමයි මගේ නම් අරමුණ වෙන්නෙ.