තරුණ ජවය සමඟ අපි වෙනසක් කරනවා

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සෙනෙවිරත්න
ඔක්තෝබර් 20, 2022

 

කාව්‍ය කරණයෙන්, නව කතාවෙන්, කෙටි කතාවෙන් සාහිත්‍ය කරණයේ විවිධ වූ ඉසවු ස්පර්ශ කරන ඔහු කවදත් සිතුවේ පැතුවේ මානව හිතවාදී ගුණය ප්‍රකට කරන්නටය. සාහිත්‍ය කලාවේ උඩුගම් බලා පිහිනීමට කවදත් ප්‍රිය කළ මොහු තමන්ගේ සාහිත්‍ය කෘති ඔස්සේ ඒ අභියෝගයත් මල්ඵල ගන්වනු ලැබුවේ ග්‍රන්ථ කර්තෘවරයකු ලෙසින් ජීවිතයේ තවත් එක් පැති කඩක් ආලෝකවත් කරමිනි. මෙරට ටෙලි විෂන් කලාවේද වෙනසක් ඇති කළ අපුර්ව චරිතයක් වූ ඔහු අදත් ප්‍රේක්ෂක ආකර්ෂණයේ ඉහළින් වැජඹෙන චරණ ටී.වී. නාලිකාවේ නිර්මාතෘවරයාය. වෘත්තිමය වශයෙන් ඉලෙක්ට්‍රොනික් හා විදුලි සංදේශ ඉංජිනේරුවරයකු වන ඔහු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන කීපයක. විධායක ශ්‍රේණියේ තනතුරු දැරුවද එයින් කිසිදා හිස උදුම්වා ගත් පුද්ගලයකු නොවීය. මොහු කවදත් මානව හිතවාදී කලාවෙන් සාහිත්‍යයෙන් සුපෝෂිත වූ පුද්ගලයකු ලෙසින් කවදත් සමාජය පැත්තේ දෙපයින් සිටගනු ලැබුවේ තමන්ට කළහැකි පමණින් සමාජයේ ජීවත් වන්න ගේ ප්‍රඥ්ඥාව අවධි කරන්නටය.

මේ වන විට ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් භාරදූර තනතුරක කටයුතු කරන ඔහු නමින් අජන්ත සෙනෙවිරත්නය.

 

ඔබට ලැබී ඇති නව තනතුරත් සමඟ මොන වගේ කාර්ය භාර්යක් ද කරන්න බලාපොරොත්තුව?

රූපවාහිනී සංස්ථාවේ එහෙම නැත්තම් ජාතික රූපවාහිනියේ ප්‍රධාන අඩු පාඩුව විධියට මම දැක්කේ මේ තනතුර භාර ගැනීමත් සමඟ වැඩසටහන් වල තිබු විසිරුණු ස්වභාවය. මට හිතෙනවා ජනතාව එහෙම නැත්නම් අපේ රූපවාහිනි පේ‍්‍රක්ෂකයෝ ඒ ඒ කාල පරාසවල ඒ ඒ වයස් සීමාවන් ඉල්ලන ආකාරයේ වැඩසටහන් මාලාවක් අළුතින් ඉදිරිපත් කරන්න. ඒ තුළින් නැවත වතාවක් ජනතාවට සමීප වීමේ අවකාශ උදාවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඒ සඳහා මුල පිරිමක් කරල තියෙනවා. එහි ආරම්භයක් වශයෙන් පසුගිය පොහෝ දින කළ අපේ වැඩ සටහන ඒ අපි අපේක්ෂිත අරමුණු ඉටුකර ගන්න හොඳ ප්‍රවිෂ්ටයක් ලබාදුන්නා. ටෙලි විෂන් වැඩසටහන්වල තත්ත්වය පිළිබඳ අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.

ඉල්ලන දේට සැපයුම දෙන්න ජාතිත රූපවාහිනිය දැන් ලෑස්තියි කියලයි ඔබ කියන්නේ.රටේ ජාතික නාළිකාව විධියට ඉල්ලන දේට සැපයුම දීම ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද?මීට කලින් ජාතික නාළිකාව කිව්වේ අපිට ජාතික වගකීමක් තියෙනවා. ඉල්ලුමට සැපයුම නොදෙන්න කියා නොවේද?

මෙතැන දී මා ඉල්ලන දේ කියා අදහස් කළේ දවසේ වේලාවන් අනුව කාල පරාසයන් තුළ අපේ පේ‍්‍රක්ෂකයෝ කවුද කියල හඳුනාගැනීමත් අපි තුළ තියෙන්න ඕනේ. ඒ දැනුම ලබාගැනීමේ සමීක්ෂාවන් මේ වන විට අපි කරල ඉවරයි. ඒ ඒ කාලවල විවිධ වයස් සීමාවන් තුළ ඉන්න අය ගේ රුචි අරුචිකම් අපි හඳුනාගෙන තියෙනවා. ඒ රුචි අරුචි කම් හඳුනාගත් පමණින් අපි ඉල්ලන දේම දෙන්නෑ දෙන්න ඕනෙ විධිය අපි දැනගෙන ඉන්න ඕනෙ. විනෝදය ඕනෙ වෙලාවට විනෝදය පාඩම් කියාදෙන වෙලාවට ඒ දේ. විනෝදය වුණත් අර්ථවත් විධියට දෙන්න පුළුවන්. ඒකයි මම මෙතන දී අදහස් කළේ.

ටෙලි විෂන් කලාවේ විපර්යාසයක් සිදුකළ පුද්ගලයෙක් වශයෙන් අද ඔබ ජාතික රූපවාහිනිය තුළ එම කාර්ය කොයි ආකාරයෙන් ද සමාජ ගත කරන්න පෙළ ගස්වා තියෙන්නේ?

ගෙදර තියෙන ටෙලි විෂන් එක බලන කාල පරාසයක් තියෙනවා ඒ සඳහා හුරුවුණු පිරිස් ඒ හා එකතු වෙන කාලයක් තියෙනවා. මෙන්න මේ කාලපාරාස ගැන අපි දැන් සොයාගෙන අවසන්. ගෙදර ළමයි ගෙදර ගෘහණිය අම්මා තාත්තා වැඩිහිටි පිරිස් ටෙලි විෂනය හා එක්ව සිටින වෙලාවන් හා පොදුවේ ඔවුන් බලන වැඩසටහන් හඳුනාගෙන ඒවාට අවශ්‍ය වැඩසටහන් තමයි අපි ඉදිරිපත් කරන්නේ. අද කාලයේ ගත්තහම ටෙලි විෂනය වටා පැය ගණන් කල් මරන වකවානුවක් නොවෙයිනේ තියෙන්නේ ප්‍රේක්ෂකයෝ වුණත් කෙටියෙන් රසවිදින්න තමයි කැමති. ඉගෙන ගන්න දෙයක් වුණත් එහෙමයි. අද වෙනකොට දැන්විම් ආයතන පවා ජාතික රූපවාහිනියට උදව් කරන්න මාත් සමඟ පෞද්ගලිකව පවා එකඟතාව පළ කරල තියෙනවා. අපි ඒ උදව් ගන්න නම් වෙනසක් පෙන්විය යුතුයි අපේ වැඩසටහන් පැත්තෙන්. අන්න ඒ ගුණාත්මක වැඩසටහන් නිෂ්පාදනය ගැන තමයි මම අද වෙනකොට අවධානය යොමු කරල තියෙන්නේ.

චරණ ටී.වී. හරහා ඔබ ටෙලි විෂන් කලාවට නව ජවයක් එක්කළ පුද්ගලයෙක් ඒ ජවය ජාතික රූපවාහිනිය තුළත් සිටිමින් තවත් චරන නාලිකාවක් කිරීම ද ඔබේ අපේක්ෂාව.?

චරනට එහාගිය දෙයක් ජාතික නාළිකාවේ කිරීම තමයි මගේ අරමුණ. චරණට හිටියේ සීමිත පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක්. නමුත් ජාතික රූපවාහිනිය ඊට එහා ගිය ජාතික තලයේ වැඩක් කළ හැකි නාළිකාවක්. එක හින්දම තමයි මම ජාතික රූපවාහිනිය භාර ගත්තේ. අද මට ජාතික රූපවාහිනිය කියන දැවැන්ත අලියව යළිත් නැගිටවන්න ලොකු අභියෝගයක් වෙලා.

ඔබ ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර භාරගත් කෙටිකාලය තුළ ඒ අභියෝගය ජයගත හැකියි කියන විශ්වාසය දැනට ඇතිවෙලා තියෙනවාද?

ඔව්. මට මේ දැවැන්ත ආයතනය යළිත් තිබු පරිදි පේ‍්‍රක්ෂකයන්ගෙන් පුරවාලන්න පුළුවන් කියන හැඟීම මගේ ඇගට දැනිල ඉවරයි. බොහෝ අය හිතුවා මේ ආයතනය තුළ ඉන්න විශාල සේවාක ප්‍රජාව එකතු කරගෙන ගමනක් යන්න මට බැරිවෙයි කියලා. ඒත් මගේ මාසයක වැනි කෙටි කාලය තුළ මම දැක්ක දෙයක් තමයි අපිට අති දක්ෂ සේවක පිරිසක් ඉන්නවා. තවත් විශේෂයෙන් කියන්න ඕනේ කවුරුවත් මෙතෙක් නොදුටු තරුණ නිර්මාණ කරුවන් පිරිසක් මේ සේවක ප්‍රජාව තුළ සැඟවෙලා ඉන්නවා. මම අන්න ඒ තරුණ ජවය මේ වන කොට හඳුනාගෙන තියෙනවා. මට හිතෙනවා ඔවුන් මේ වන විටත් ස්වෙච්ඡාවෙන් වැඩ කටයුතු වල නියැළී ඉන්නවා. මම අපේක්ෂා කරන වෙනස ඇති කරන්න. ඒ නිසාම මම හිතෙනවා මේ ලොකු අභියෝගය ජයගන්න මට මේ තරුණ ප්‍රජාව යෝධ ශක්තියක් ඉදිරියට එක් කරයි කියලා. මෙතන මැජික් එකක් නෑ. කළ යුත්තේ අපි කල්පනාකාරීව පියවරින් පියවර යා යුතු ස්ටෙඩී ගමනක්. කවුරු හරි හිතනවා නම් මේ විපර්යාසය දවසින් දෙකින් කරන්න පුළුවන් කියල ඒක කවදාවත් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් කළ හැකි වන්නෙත් විශ්ම කර්මයෙකුට පමණයි.

චරන ටී.වී. බබළවපු ඔබට රූපවාහිනිය බබළවන්න කොපමණ කාලයක් යයි කියල ඔබේ අත්දැකිම් සමඟ කියන්න පුළුවන් ද?

මම හිතනවා අපි අපේක්ෂා කරන වෙනස ඇති කරන්න පුළුවන් වෙයි මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට කලින් කියලා. ඒක ලොකු අභියෝගයක් ඒක මම ජයගන්නවා. රූපවාහිනියේ අපිට ඒ දේ කරන්න පුුළුවන් පුළුවන්. මේ මාසය මගේ හැරවුම් මාසය. පසුගිය මාසය මම ගත කළා අධ්‍යයන කටයුතු සඳහාත් සේවක කණ්ඩායම් එක්ව එකතු කරගන්න වගේම මේ වැඩසටහන් මාලාව එක්ව පෙළගැස්සිම සඳහා සහයෝගය සේවකයන් තුළින්ම ලබාගන්න. ඒක මේ වන විටත් ලැබිල තියෙනවා දැනටත් අපේ ඉලක්කයේ ආරම්භය අපි පටන් අරන් ඒ ඉලක්කයේ හැරවුම් මාසය මේ ඔක්තෝබර් මාසය කිව්වත් වරදක් නෑ.

අජන්ත සෙනෙවිරත්න කියන්නේ සාහිත්‍යකරුවෙක්?

එහෙම කිව්වට මගේ අකමැත්තක් නෑ. මම මේ වන විට පොත්පත් දහනමයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අතරින් වැඩි පුරම ලියල තියෙන්නේ නවකතා. සංඛ්‍යාව 09ක් කෙටි කතා 03යි කාව්‍ය සංග්‍රහ 02යි. දෙමහුම් පාරිභෝගිකයා නමින් මම අලෙවිකරණය ගැන පොතක් ලිව්වා. සිත මනස සහ නොමියෙන මම නමින් බෞද්ධ විමර්ශන ග්‍රන්ථයක් කළා. පරිවර්තන කෘතියක් කළා.

ඔබ ලේඛන කලාවට පිසිසෙන්නේ නවකතා කරුවෙකු ලෙසින් ද?

මම ලේඛන කලාවට අත්පොත තබන්නේ පුවත්පත්වලට ලිපි සම්පාදනය කිරීමත් සම ඟ. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක්ව ඉන්න අවධියේ විවිධ මාතෘකා යටතේ මම පුවත්පත් සඳහා ලිපි ලිව්වා. බොහෝවිට දිවයින පුවත්පතට විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයකු ව ඉන්න අවධියේ, ජනමාධ්‍ය නිදහස, විදෙස් ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදී මාතෘකා ඔස්සේ ලිපි ලිව්වා. ඊට අමතරව විදුසර පුවත්පතට මම බොහෝවිට සම්බන්ධවෙලා ලිපි ලිව්වා. මගේ මුල්ම කෙටි කතාව පළ වුණේ විදුසර පුවත්පතේ විද්‍යා ප්‍රබන්ධයක් හැටියට. සිළුමිණ දිනමිණ පත්තරවලට කාව්‍ය රචනා කළා මෙහෙම තමයි මගේ ලේඛන කලාව ආරම්භ වුණේ.

කෙටි කතා නවකතා පරිවර්තන කෘති රචනා කරන ඔබ කාව්‍ය කරණයට පිවිසෙන්නේ කොයි ආකාරයෙන් ද?

සමහරු මට කියල තියෙනවා ඔබ එක ක්ෂේත්‍රයක් තෝරාගත්තා නම් හොඳයි කියලා ඒත් මගේ ජිවිතයේ පුරාවට තියෙන්නේ එකිනෙකට වෙනස් දේවල් පොදුවේ කිරීමේ ආශාවක් පුරුද්දක්. කොටින්ම කියනවා නම් ලිවීමට අමතරව කාලයක් මම චිත්‍ර ශිල්පයත් කළා. බොහොම ආශාවෙන් දැනුත් චිත්‍ර ශිල්පයට කැමැතියි. අද මම නවකතාවක් ලිව්වොත් ඊළඟට මම හිතන්නේ කෙටි කතාවක් හෝ කාව්‍ය සංග්‍රහයක් ලියන්නයි. මම කොටු වෙන්න අකමැති කෙනෙක් කාව්‍ය කියන දේ තුළ වුණත් මම සදැස්කවිවලට ගොඩක් පි‍්‍රය කරන පුද්ගලයෙක්. සරල කාව්‍යයට වඩා මම ගැඹුරක් ගැන හිතන කෙනෙක්. මට. කිවිපති සම්මානයත් 2019 වර්ෂයේදී ලැබුණේ. ඔය සදැස්කවි සඳහායි.

ග්‍රන්ථකරණයේ සුවිශේෂි වෙනසක් මීළඟ කෘතියෙන් ඔබ කරන්න අදහස් කරනවා නේද?

ඔව්. මගේ විසිවෙනි පොත විධියට මම ඉංගී‍්‍රසි භාෂා වෙන් පොතක් ලියන්න අදහස් කරලා තියෙනවා. පුත්පෙමින් නමින් ලිව්ව නව කතාව ඉංගී‍්‍රසියට පරිවර්තනය කරමින් තමයි මගේ විසිවෙනි කෘතිය විධියට ඉංගී‍්‍රසි පොතක් එළි දක්වන්නේ. මේ පොතේ බොහොම සංවේදී කරුණු කාරණා, බොහොමයක් තියෙනවා. ඒක නිසාම මම මේ දවස්වල මේ පොත ලියමින් යනවා ඉංගී‍්‍රසි පරිවර්තනයක් ලෙස අවුරුදු 15ක කාල පරාසයක් තුළ මා අතින් මේ වනවිට පොත්පත් විස්සක් ලියවිලා තියෙනවා.

ඉංජිනේරු අධ්‍යාපනය සඳහා වාසනාවන්ත වන ඔබ සාහිත්‍යයට මෙතරම් පෙම් කරන්නෙක් වන්නේ කෙසේද?

කුඩා කාලයේ පටන් මම සාහිත්‍යයට බොහොම ලැදියි. කවි ගායනා කරන්න රචනා ලිවීමට මට කුඩා කාලයේ ඉඳලා හොඳ හැකියාවක් තිබුණා. පාසල් කාලයේ මම බොහොම ආශාවෙන් කළ දෙයක් තමයි පොතපත කියවන එක. අපොස උසස්පෙළ සාමාන්‍ය පෙළ ඉවර වුණ කාලයේ මම පදිංචි වෙලා හිටිය අවට තිබුණු පුස්තකාලවල තිබුණු හැම පොතක්ම වගේ කියෙව්වා. ඔහොම ආපු ගමනක් තුළ මා තුළ සාහිත්‍යයට තිබු ආශාවේ වැඩිවීමක් මිසක් අඩුවීමක් තිබුණේ නෑ. මම ඉංජිනේරු ශිෂ්‍යයෙක් වුණත් මගේ සාහිත්‍ය ඇල්ම ඇගේ තිබුණා. ඒක අවශ්‍ය වෙලාවෙදි මතුවෙන්න ගත්තා.

ඔබ වෘත්තිකයෙක් මෙන්ම රංගශිල්පියෙක් නේද?

වැඩිදුර නොගිය රංග ශිල්පියෙක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේක මගේ පළමු හා අවසාන රංගනය. වේදිකාවේ මම නළුවෙක් වුණා. එක් අවස්ථාවකදී හයවන ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලයේ මම ජෝන් ද සිල්වා නාට්‍යයක රඟපෑවා උත්තර රාමායණය නම් වූ එම නාට්‍යයේ සීතා දේවියගේ පුතෙක් විධියට මම එහි රඟපෑවා. ඒ නාට්‍යයේ රඟපෑමත් සමඟ මගේ වඩාත් හිත ගියේ රඟපෑමට වඩා එහි තිර පිටපතට. ඒ වයසේ දී මට ඒක නැවුම් අත්දැකිමක්. ලොකු නාට්‍යයක තිර පිටපතක් කියවන්න ලැබීම, මට මතක හැටියට හයේ පන්තියේදිම මම නාට්‍ය පිටපතක් ලිව්වා. අදටත් මම ලිව්ව ඒ නාට්‍ය තිරපිටපත මා ළඟ සුරක්ෂිතව තියෙනවා. පාසලේ සිංහල මාස්ටර් මගේ තිරපිටපත කියවල සංතෝසයට මාස්ටර් පන්තියේ ළමයි එක්ක මේ පිටපතට නාට්‍යයක් පවා කෙරෙව්වා. හැබැයි බැරි වෙලාවත් මම රඟපෑමට ගියා නම් මේ ගමන මේ විධියට එන්න නොලැබෙන්නත් තිබුණා.

චරණ ටී.වී. ඔබේ සංකල්පයක්ද?

ඒ ගැන ආපසු හැරිල බැලුවොත් මටත් ඒක හීනයක්. මම පියෝ ටී.වී. එකේ සි.ඒ.ඕ. වෙලා ඉන්න කොට මට අවස්ථාවක් ලැබුණා සරසවිය පොත්හලේ පේ‍්‍රමසිරි මහතා සමඟ මීට අවුරුදු පහකට කලින් පොත් ප්‍රදර්ශනයේදී කතා බස් කරන්න. එහිදී එතුමා මගෙන් ඉල්ලා සිටියා දවස් දහයක සජීවී විකාශයක් කරන්න. මම ඒක චැනල් එකක් අරන් එක එක ලේඛකයන් ගෙන්වා පොත්පත් සම්බන්ධව බී.එම්.අයි.සී.එච්. එකේ ඇතුළත කාමරයක සාකච්ඡා පවත්වාගෙන ගියා. මෙහිදී මට හිතුණා අපේ රටේ රූපවාහිනි නාලිකා සාහිත්‍යයට සෞන්දර්යට දෙන ඉඩකඩ මදි කියලා. මමම පියෝ ටී.වී ප්‍රධානියා නිසාම තීරණයක් ගත්තා. චැනල් එකක් කරන්න. කිසිම පහසුකමක්වත් නැතුව අඩුම තරමින් කැමරාවක් ස්ටුඩියෝවක් නොමැතිව වැඩේ පටන් ගත්තා. නමුත් අපිට ඉලක්කයක් තිබුණා. කුමක් හෝ දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය අවශ්‍ය පහසුකනුත් ආයතනය හරහා ලැබුණා. පසුව ඒ නිසාම කෙටි කාලයක් තුළ අපිට සාර්ථක නාළිකාවක් ලෙස ගොඩනැගෙන්න පුළුවන්කම ලැබුණා.

චරණ ටී.වී. අන්තර්ගතය හැදෙන්නේ ඔබේම නිර්මාණශිලී දායකත්වයෙන්ද?

කවුරුන් තුළ වුණත් හැඟීම කියන දේ තිබුණා. මගේ සිතුවිල්ල තිබුණේ කලාව සංස්කෘතිය සාහිත්‍ය පැත්තට. කතාබහ කරනකොට කාගෙත් අදහස් ආවා පොඩි ටීම් එකක් විධියට සාමුහික අදහස් ඇතුව අපි ගොඩනැගුණා. විශේෂයෙන් කියන්න ඕනේ මගේ ඉලක්කයක් තිබුණා. කිසිම මාධ්‍ය ආයතනයකට සම්බන්ධ නැති පිරිසක් නිෂ්පාදකවරු වශයෙන් ගන්න. මම එහෙම කළේ වෙනසක් ඇති කරන්න. පිට ආයතනයක වැඩකළ කෙනෙක් ගත්ත නම් ඔහු හෝ ඇය වුණත් කලින් කළ දේ මෙතනටත් ගේන්න තිබුණා. මගේ තේරීම නිවැරදි වුණා. සමහරු අහවල් ප්‍රසන්ට මේ වැඩේට හොඳ නෑ කියද්දී මම මගේ තනි තීරණයට ඔහු හෝ ඇය ඒ වැඩේට යොදවල සාර්ථක ඵල නෙලා ගත්තා. මම දැක්කේ ප්‍රසන්ටර්ගේ ලස්සනවත් ඔහු කොච්චර මේ කාර්ය කරල තිබුණ ද කියන සංඛ්‍යා ලේඛන නොවෙයි. ඔහු හෝ ඇය ළඟ තිබුණු දැනුම තමයි මට වැදගත් වුණේ.

අද ඒ අභියෝගය ඔබට ජාතික රූපවාහිනයේ කරන්න බෑ නේද?

පුළුවන්. මෙතන තියන වාසිය මේ ඉන්න සේවකයෝ හරි දක්ෂයි. ඔවුන්ට හොඳ හැකියාවක් තියනවා. සමහරු ජාත්‍යන්තර සම්මාන දේශීය වශයෙන් සම්මාන ලැබු පිරිස් ඔවුනුත් දන්නවා මට ඕනේ මොකක්ද කියලා. නිසි මඟ පෙන්වීම යටතේ ඒ දේ මේ අයගෙන් කරගන්න පුළුවන් කියන සුබවාදී දැක්මේ මම ඉන්නවා. අසීමිත සම්පත් ප්‍රමාණයක් මේ ආයතනය තුළ තියෙනවා. අල්ප සම්පත් ප්‍රමාණයක ඉඳලා මම යමක් කළා නම් මෙතරම් සම්පත් ප්‍රමාණයක් ඇති තැනක ඒ දේ අතිසාර්ථකව කරන්න බැරි කමකුත් නෑ.

සාහිත්‍ය පැත්තට නැඹුරු වීම ඔබතුළ ඇතිකරන්න හේතු කාරණාවන්නේ පවුලේ පසුබිම ද නැතහොත් ඔබට ලැබෙන ගුරු ඇසුර ද?

සාහිත්‍යයට ඇලුම් කිරීමට මා වඩාත් පෙලඹෙන්නේ මගේ පියා ඒ පැත්තට දැක් වූ නැඹුරුව නිසා කියලයි මට හැගෙන්නේ. මගේ පියා විශාල වශයෙන් පොතපත කියෙව්වා. තාත්තාගේම කියල ගෙදර පොතපත සහිත ලයිබ්‍රියක් තිබුණා. ඒ පොත්පත් පවා මා සතුව අදටත් තියෙනවා. මම හිතනවා පියාගේ තිබු ඒ ආදර්ශය මටත් බලපාන්න ඇති කියලා.

ඔබට කුඩා අවධියේ ඉලක්කයක් තිබුණා. මම කවදාහරි අහවල් කෙනෙක් වෙනවා කියලා?

මම කුඩා කාලයේ තාත්තාගේ ලොකු උනන්දුවක් තිබුණා මාව ඉංජිනේරුවරයෙක් කරන්න. ඒක මගේ ඔළුවට කිදාබැහැලා තිබුණ දෙයක්. නමුත් මගේ කැමැත්ත තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. මගේ ඉලක්කයක් ජීවිතයේ තිබුණ නම් ඒ තමයි පුළුල් ලෙස ජාතික මෙහෙවරක යෙදෙන්න. ඒක පුළුල් සිහිනයක්. ඒ සිහිනය ඉටුකරගන්න මම රාජ්‍ය පරිපාලන විභාගය පවා ලිව්වා. ඉංජිනේරු උපාධිය අරගෙන එළියට ඇවිල්ල රාජ්‍ය පරිපාලන සේවයට එන්න තමයි මගේ වුවමනාව වුණේ. ඒකට තමයි මම පරිපාලන විභාගය ලිව්වේ. විභාගයෙන් පාස් වුණා. දක්ෂ ලෙස සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. ඒත් මාව තෝරාගත්තේ නෑ.

ජාතික මෙහෙරවක යෙදීමේ ඔබ තුළ තියන සිහිනය සැබෑ කරගන්නද ජාතික රූපවාහිනියේ බර කරටගත්තේ?

පෞද්ගලික ආයතන බොහොමයකින් මට ආරාධනා තිබියදීත් විශාල වැටුපකට මට සේවයට ආරාධනා කරද්දීද් මම අද මේ පාඩු ලබන ජාතික රූපවාහිනිය බොහොම කැමැත්තෙන් බාර ගත්තේ ඒ ජාතික මෙහෙවරට මගේ තිබුණු කැමැත්ත නිසා. සී.ඒ. එස්. පාස් වෙලා ජාතික මෙහෙවරක යෙදෙන්න අවස්ථාවක් නොලැබුණු මට මගේ ඒ හීනය සැබෑ කරගන්න මට ලැබුණු වරප්‍රසාදයක් තමයි ජාතික රූපවාහිනිය. මේකට මම ආවේ නැත්නම් පුළුල් ජාතික මෙහෙවරේ මට යෙදන්න බැරිවෙනවා. මුල්‍ය තත්ත්වයේ අගාධයේ තියෙන ජාතික රූපවාහිනිය මම නැගිට්ටවනවාමයි. නැගිටින හැටි මම කියලා දෙනවා. මේ තනතුර භාරගන්න කොට සමහරු කිව්වා මේක භාර ගන්න එපා කවදාවත් ගොඩගන්න බෑ කියලා. මුල්‍ය අතින් ශක්තිමත් ආයතනයක ලොකු පුටුවකට මට ඕනෙ හැටියට ගිහින් මම වැඩකාරයා කියල කියනවාට වඩා මේ වගේ වැටුණු ආයතනයක් ගොඩ අරන් ඒ තුළින් මහා ජාතික මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන එකම සතුටට.

ඔබගේ ක්‍රියා කලාපය කතාබහ මේ හැමදේකින්ම පේන දෙයක් තමයි ඔබ ප්‍රකට කරන මානවහිතවාදී ගුණය මේ සුවිශේෂි බවේ රහස මොකක්ද?

පොඩි කාලේ ඉඳන් මා තුළ තියන බෞද්ධ පරිසරය ඒකට හේතුවක් කියල මම හිතනවා. මම හිතනවා අපේ සිංහල සාහිත්‍යයට බද්ධ වෙච්ච ගුණාංගයක් තමයි මානව හිතවාදී ගුණය. අපි කැමති වුණත් අකමැති වුණත් බෞද්ධ සාහිත්‍යයත් එක්ක අපි බද්ධ වෙලා ඉන්නේ. අපේ අනෙකුත් සාහිත්‍ය කරුවන් ගත්තත් ඔවුන්ගේ නිර්මාණවල වුණත් මේ මානව හිතවාදී ගුණය දකින්න තියෙනවා. මම බොහෝ සේ බෞද්ධ පොතපත කියවල තියෙනවා. ත්‍රිපිටකය අටුවා ටිකා මේවා පවා මම පරිශිලනය කරල තියෙනවා. මේවා කියවීම තුළම මානව හිතවාදී ගුණය අපි තුළ නිරායාසයෙන් ඇතිවෙන දෙයක්.

ඔබ අතින් එළි දුටු පොතපතට පාදක වූ සිද්ධි මාලාවක් ඔබේම අත්දැකීම්ද?

පුද්ගලික අත්දැකිම් තියෙනවා මම නැහැ කියන්නේ නෑ. පරිසරයේ ජීවත්වෙන කොට දකින දේ පිළිබඳ වෙනත් කෝණයකින් මම බලන්න උත්සාහ ගන්න කෙනෙක්. අපේ සාහිත්‍යකරුවා කරන වැරැද්දක් විදියට මම දකින දෙයක් තියෙනවා. ඔහුත් හැම විටම උත්සාහ ගන්නවා අතීතය තමන්ගේ නිර්මාණයට එකතු කර ගන්න ගැමි පරිසරයක පිහිටවල තමයි ලියන කතාව රසවත් කරන්න හදන්නේ. ඒව තියෙන්න ඕනෙ ඒත් මම කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ සාහිත්‍ය එයින් එහාට ගෙනි යන්න. ඩිිජිටල් වර්තමානය ඩිජිටල් අනාගතය කරා කොහොමද අපේ සාහිත්‍ය රැගෙන යන්නේ. සමහරු හිතයි මම මෙහෙම කියන කොට මේවා විද්‍යා ප්‍රබන්ධ කියලා. විද්‍යාව කාන්දු වෙච්ච සාහිත්‍යයක් අනාගතයේ තියෙන්න ඕනේ. මම දකින්නේ අපේ ලේඛකයා සමාජයක් හැටියට ඉස්සරහට ගෙනියනවා වෙනුවට ඔවුන් කරන්නේ සමාජයක් හැටියට ආපස්සට ගෙනියනවා වගේ වැඩක්. මම හැමවිටම උත්සාහ ගන්නේ අනාගත වාදී දැක්මක් ඇතුව සාහිත්‍ය කරණයේ යෙදෙන්න. සාම්ප්‍රදායික සාහිත්‍ය කරණයෙන් ඔබ්බට ගිය සාහිත්‍ය දැක්මක් තමයි මා තුළ තියෙන්නේ.

ඔබ සාහිත්‍ය කරණයට එක්වන මුල්ම කෘතිය එන්නේ?

‘මම අවංකයි’ කෘතිය රචනා කිරීමත් සමඟ ඒක නවකතාවක්. ඊට පස්සේ රිදී හුය බින්දා දුහුල් සිත්, සිත මනස සහ නොමියෙන මම , අපි අපිම, රාහුල උපන්නා, අකාල පේ‍්‍රම, මම ද ලුවා ඇය නොකීවා, නොමියෙන පෙම්වතුන් ආදී වශයෙන් පොත පත බොහොමයක් මා අතින් ලියවෙනවා. මා අතින් ලියවුණු දිවි මඟ දිනන මඟ හා දෙමුහුම් පාරිභෝගිකයා, නොමියෙන පෙම්වතුන් කෘති තුන මගේ ග්‍රන්ථකරණයේ සංදිස්ථානයක් හැටියටයි මම දකින්නේ. නවකතා රචනයෙන් තමයි මම වඩාත් පාඨකයන් අතර ජනප්‍රිය වුණේ.

ඔබ ගතානුගතික සාහිත්‍යකරුවෙක් නොවෙයි නේද?

ඔව්. මම ඉංජිනේරුවෙක්. එවැනි වෘත්තිකයෙක් විධියට තමයි මම සාහිත්‍යකරණයට පිවිසෙන්නේ. මගේ සාහිත්‍ය තුළ තර්කානුකුල බව ගොඩනැගෙන්න ඕනේ. ඒ වගකීම මට තියෙනවා. ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරියෙක්. ව්‍යාපාර කළමනාකරණ ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වශයෙන් හිදිමින් තමයි මම සාහිත්‍යකරණයේ යෙදෙන්නේ.

චරණ ටී.වී ප්‍රේක්ෂකයා වෙත ආකර්ෂණය කරන්නට යොදාගත් විශේෂිත වැඩසටහන් මොනවාද?

පොතයි හිතයි, ලියසැරි පේ‍්‍රමය, කවි දහයයි ගී දහයයි, හාට් බ්ට්

වැඩසටහන්වල නම් පවා ඔබේ යෝජනා ද?

අපි යම් වැඩසටහනකට නමක් දැමීමේදී සියලු දෙනා සමඟම සාකච්ඡා කර ගන්න අවස්ථාත් තියෙනවා. සමහර නම් සාමුහික යෝජනා තුළින් ගත් අවස්ථාවන් තියෙනවා. මගේම තනි අදහසට දාපු නාමයනුත් තියෙනවා. මට මතකයි. චරණ ටී.වී. එකේ වැඩසටහනකට නමක් දාන්න. අපි සති 2 1/2ක් කල්ගත්තා. ප්‍රෝග්‍රෑම් එකක නම කියන දේ හරි වැදගත්. මට ටෙලි විෂන් එකේදී ප්‍රෙ‍්‍රීගෑම් එකේ ටේ‍්‍රලර් එක පවා වැදගත්. පාට වර්ග පැහැය හැඩය ශබ්දය දාන අකුරු මේ හැමදේ ගැනම මම සැලකිලිමත්. චරණ වල වගේම ජාතික රූපවාහිනියෙත් සන්නාමය කියන දේ හරි වැදගත් ඒක ගැන අපි සැලකිලිමත් නොවුණොත් මේ ගමන අතර මඟ

සාම්ප්‍රදායික ටෙලි විෂන් කලාවෙන් ඔබ්බට යන්න නේද ඔබ උත්සාහ කරන්නේ?

සාම්ප්‍රදායික යථාර්ථවාදී ටෙලි විෂන් කලාවක් තුළ රැදෙන්න තමයි මම කැමති. වැඩසටහන් කොපි කලාවට මම කැමති නෑ. එක ආයතනයක් කරන වැඩසටහන ජනපි‍්‍රය නම් ඒකම අපිත් කරන්න ඕනෙ කියන තැන මම නෑ. මට ඕනේ අපේම දෙයක් කියල අපිම කරන වැඩකින් ඔටුන්න දාගන්න.

ඔබේ ජීවිතේ මෙන්ම රාජකාරී ජීවිතය තුළත් ආපසු හැරිල බලනකොට අද මොකද හිතෙන්නේ?

මා මෙතෙක් පැමිණි ගමන් මඟ දෙස සතුටින් බලන්න පුළුවන් තෘප්තිමත් පුද්ගලයෙක් මම. ඒ නිසා මට කිසිවක් ළඟා කරගන්න බැරි වුණා කියන පසුතැවීම ඇත්තෙම නෑ. දවසක් කෙනෙක් මගෙන් ඇහුවා. ජීවිතයේ ආපසු හැරිල බලන කොට මොනයම් හෝ දෙයක් වෙනස් කරන්න තියනවද කියල මම කිව්වේ මට කිසිවක් වෙනස් කරන්න නෑ සියලු දේ හරි ආකාරව සිදුවුණ නිසා මේ ගමන මේ විධියට සාර්ථකව එන්න ලැබුණා කියලා. මම ලංකාවේ පාසල් පහකට විතර ගිය පුද්ගලයෙක්. මගේ පියා රජයේ සේවකයෙක්. මම ඉපදුණේ පැල්මඩුල්ලේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ක්වාටස් එකක. ඒ නිසාම රටට සේවය කරන්න ඕනෙ කියන සිතුවිල්ල මගේ උත්පත්තියේම තියන දෙයක්.

රාජ්‍ය මධ්‍ය ආයතනයක් නිසාවෙන් ඔබ අපේක්ෂිත ඉලක්කය සපුරාලන්නට එය බාධාවක් නොවෙයි කියා හිතනවාද?

මට තවම සභාපතිතුමාගෙන්වත් ඇමැතිතුමාගෙන්වත් අමාත්‍යංශ ලේකම් තුමාගෙන්වත් බලපෑමක් ඇවිත් නෑ. ඒ අයත් මේ ගරා වැටීම හොඳින් දන්න පිරිසක්. අපි රාජ්‍ය මාධ්‍ය හැටියට රජය විවේචනය කරන්නේ නෑ. නමුත් අපිට ජනමතය ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතන්නේ රටේ තියන වත්මන් දේශපාලනය ජාතික රූපවාහිනිය යළි නගා සිටවන්න හොඳ ආශිර්වාදයක් මම හඳුන්වා දුන් විනාඩි විස්ස ඒ සඳහා හොඳ ප්‍රවේශයක්.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න