දුක දිනා පැමිණි ගමනක්

ප්‍රකට රංගන ශිල්පී මහේෂ් ජයසිංහ
නොවැම්බර් 23, 2023

සිනහව හරියට ඔසුවක් හා සමයි. විඩාබර සිත් නිවාලන්නට සිනා කැන් සමත් වෙයි.

සිනහවෙන් සිත් සතන් ප්‍රබෝධවත් වෙනකොට ගතත් ඉබේම නිරෝගී වෙනවා.

උසස් කලා නිර්මාණයක් ජීවිතාවබෝධය ලබාදෙන්නේ මානසික සතුට කැන්දමින්ය.

ඉතිං මේ සිනහව අපේ මුවට නැඟෙන තරම් පහසු නැහැ. සිනහ ගන්වන එකනම් එදත් අදත් හාස්‍ය රසය මවමින් සිනහ ගන්වන රංගවේදීන් බොහොම අතළොස්සකි.

ඒ අතරින් කෙනෙක් පසුගිය දා ලේක්හවුස් මන්දිරයට පැමිණියා...

කඩියා ඇවිත් සරසවි දෙපාර්තමේන්තුම පුරා ඇසුණා. මේ කඩියා ඇවිත් තිබුණේ සම්මානයක් දෝත දරන්.

කොහොමද මහේෂ් අයියා?

හොඳින් ඉන්නවා. කලාවත් එක්ක ව්‍යාපාර කටයුතුවල නිරතවෙමින් ජිවිතේ ගලාගෙන යනවා.

එහෙම ජීවිතේ නිකන් ගලාගෙන යන බවක් නම් අපට පෙනෙන්නේ නෑ. මේ සම්මානයක් දෝත දරන් ඔබ ඇවිත් ඉන්නේ?

ඔව්. පසුගිය දා කලා භූෂණ සම්මානය මට ලැබුණා. ජනාධිපතිතුමා හා අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී සම්මාන උළෙල පැවැත්වුණා. ඒ සඳහා ඇප කැප වූ සියලු දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.

ඔබේ රංගන ජීවිතයේ අතීත මතකය අවධි කළොත්?

එදා එක්ටැම්ගේ චිත්‍රපටයේ තමයි මගේ කලා ජීවිතය ආරම්භ වුණේ. මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට 160 පමණ මා රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අතර නොම්මර 17, කම් ඕ ගෝ චිකාගෝ, නරලොව හොල්මන්, හොඳ හොඳ සෙල්ලම් වැනි චිත්‍රපටවල මා රඟපෑවා. විජය කුමාරතුංගයන් සමඟ මා රඟපෑවා. විකට ලොව රජු ෆ්‍රෙඩී සිල්වා විකට රංගනය හා කතා කරද්දි අමතක කරන්න බැහැ.

කඩියා කියන්නේ ඇයි?

නැව ගිලුණත් බෑන් චුන් චිත්‍රපටයේ මා රඟ පෑ චරිතය ‘කඩියා’ එය බෙහෙවින් ජනපි‍්‍රයත්වයකට පත්වුණා. ඒ නිසාම ඩ්.ඉ පෙරේරා මහත්තයා, කඩියා නමින් ගීතයක් රචනා කළා. ‘කඩියා’ නමින් හඳුන්වන්නේ එකයි.

ඔබේ නිවස රිදී තැල්ල වුණේ කොහොමද?

‘රිදි තෑල්ල’ ලස්සන වුණාත් ඒ පිටුපස තියෙන්නේ දුක්බර කතාවක්. නමුත් අද එය සතුටින් මට කියන්න පුළුවන් වුණේ ඒ ඇතිවුණු වේදිනාව මා විසින්ම සතුටක් බවට පත් කරගත් නිසයි.

80 දශකයේ දී සිරිකුලරත්න මහතා අධ්‍යක්ෂණය කළ රිදී තෑල්ල චිත්‍රපටයේ රූගත කිරීම් කළේ කුරුණෑගල ප්‍රදේශයේ.

මම එතනට යන විට මගේ කොටස රූගත කරලා අවසන්. මගේ ප්‍රමාදය නිසා වෙන කෙනෙක් ඒ සඳහා අරගෙන තිබුණා. මම මගේ දුක පෙන්නුවේ නැහැ. කඳුළු සඟවාගෙන මම ගෙදර ආවා.

ඉන්පසු දවසක මා මගේ නිවස ඉදිරිපිට පාර අයිනේ ඉන්නකොට මනුස්සයෙක් ඇවිත් ඉඩමකට යන පාරක් ඇහුවා. මම පාර කිවුවා. එයා ආපසු යන ගමන් මට කිව්වා ඒ ඉඩමට වඩා හොඳ එකක් හම්බ වුණොත් කියන්න කියලා. කොමිස් මුදලක් දෙන්නම් කිව්වා. මමත් හොයලා බැලුවා තැන් කිහිපයක් හමුවුණා. ඉන්පසු මම සොයපු ඉඩමක් ඒ මනුස්සයා මිලදී ගත්තා. ලක්ෂයකට වඩා වැඩි කොමිස් මුදලක් මට ලැබුණා.

එහෙම ඉඩම් විකුණලා ලැබුණු මුදල් වලින් මම නව නිවසක් හැදුවා. අතීතයේ මා නෙතට කඳුළක් වු සිදුවීම සිහිවෙන්න මා රිදී තැල්ල කියලා ඒ නිවසට නම තැබුවා. අද ර්.බ්. ට්පධභන නමින් මම මගේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා.

අපිට ආරංචියි වෙන්නප්පුව පන්සල් පල්ලි ඉඩම් හැර අනෙක් ඉඩම් සියල්ල ඔබ මේ වන විට විකුණලා අවසන් කියලා.

උත්සාහය අධිෂ්ඨානය ඇත්තම් කළ නොහැක්කක් නැහැ. මම රිය අනතුරකට මුහුණ දුන්නා. ඒත් මම සුවවුණු පසු කිහිලි කරුවෙන් ඉඩම් බලන්න ගිය අතිතයක් මට තියනවා.

ඔබේ ආදරණීය කැදැල්ල පිළිබඳ මතක් කරමුද?

මගේ ආදරණීය බිරිද ඉරේෂිකා ප්‍රනාන්දු සෙවණැල්ල සේ මගේත් දරුන්ගේත් ජීවිත සුන්දර කළේ ඇයයි. අපිට දරුවන් තිදෙනෙක් ඉන්නවා. දැන් ඔවුන් තිදෙනාත් අලුත් කැදැලි තනාගෙන අපේ කැදැල්ලෙන් පියඹා ගිහින්. පුතා ඉරාන් ජයසිංහ, දුවලා දෙදෙනා ඉෂායි ජයසිංහ හා ඉරෝවා ජයසිංහ

ඒ වගේම කලා ක්ෂේත්‍රයේ ඔබට තියෙන්නේ සුවිශේෂී අතීත සැමරැම නව පරම්පරාවක් ආදර්ශයක් වෙන්න අපි මතක් කරමුද?

මෙතෙක් ආ මඟ අද සුන්දරව සිහිපත් කළත් පහසු වුණේ නැහැ. අද වගේ පහසුකම් එදා තිබුණේ නැහැනේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්. පෙරේරා මහත්තයා වතුර කරත්තය චිත්‍රපටය කරන කාලේ මම කොළඹ ඉඳලා මා එතුමාට හමුවෙන්න පයින්ම නුගේගොඩ ගෙදර හොයාගෙන ගියා.

තිමති වීරරත්න මහතා හැදල විජය ස්ටුඩියෝ එකේ සංගීතා චිත්‍රපට රූගත කිරීම් කරන බවට තොරතුක් ලැබුණා. ගේට්ටුවේ සිටි පුද්ගලයා මට යන්න දුන්නේ නැහැ. නමුත් මා තාප්පයෙන් පැනලා එතැනට ගියා. ඒ තිබුණු ආශාව තමයි සිනමාවේ මෙතරම් දුරක් ආවේ. බොහෝ සම්මාන ලැබුණේ.

අලුත් පරම්පරාවේ දක්ෂ දරුවෝ ඉන්නවා. තමන් කරන දේ හොඳින් කළොත් එයට උපරීම සාධාරණයක් අපි ඉටු කළොත් කවදාවත් වරදින්නේ නැති බවයි කියන්න තියෙන්නේ.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]