ටෙලි නාට්‍යවලට කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න මං කැමැති නැහැ

කලා අධ්‍යක්ෂ ජානක ප්‍රසාද්
ජනවාරි 25, 2024

කිසියම් හෝ කලා නිර්මාණයක පසුතල නිර්මාණයේ සුවිශේෂි පුද්ගලයකු වනුයේ කලා අධ්‍යක්ෂවරයාය. තිරපිටපතට අනුව දර්ශන තලය හැඩකරනුයේ කලා අධ්‍යක්ෂවරයාගේ සුවිශේෂී හැකියාව තුළිනි. සැබැවින්ම ඔහු නිර්මාණ කාර්යට නැතුව බැරි පුද්ගලයෙකි. විටෙක ඔහු විජ්ජාකාරයෙක් කිව්වාට ද වරදක් නැත. ස්වාභාවික පරිසරය කෘත්‍රිමව නිර්මාණයේ සැබැවින්ම ඔහු විජ්ජාකාරයෙකි. අද අපේ කතානායකයා ද කලා නිර්මාණයන්හි සැබැවින්ම විජ්ජාකාරයෙකි. ඔහු නමින් ජානක ප්‍රසාද්ය. වෙළෙඳ දැන්වීම් නිර්මාණයේද සිනමා නිර්මාණයන්හි ද ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයකු වන ජානක ප්‍රසාද් හා අපි කතාබස් කරමු.

 

ඉතිං ජානක මේ දවස්වල කලානිර්මාණවලට දායක වුණේ නැද්ද?

මේ දවස්වල වැඩි වශයෙන් ටී.වී. කමර්ෂල් වලට තමයි වැඩියෙන් දායක වුණේ. චිත්‍රපට නම් ළඟදී කෙරුණේ නෑ. ඉදිරියේදී නම් කීපයක් සඳහා කතා කරල තියනවා. 2022 වසරේ සිංහබාහු චිත්‍රපටය කළාට පස්සේ 2023 වසරේ කිසිම චිත්‍රපටයක් වෙනුවෙන් දායක වෙන්න බැරි වුණා.

ඔබ නිර්මාණකරණයෙත් දායක වූ තවම තිරගත නොවු චිත්‍රපට එහෙමත් ඇති නේද?

ප්‍රසන්න ජයකොඩිගේ කොරෝනා කාලේ ආලේ, සේනක විජේසිංහගේ ආදරණීය අමන්දා, සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා.

වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ වැඩිමනක් කලා අධ්‍යක්ෂණයේ නියැළෙන ඔබ මේ වනවිට කොපමණ චිත්‍රපට ප්‍රමාණයක කලා අධ්‍යක්ෂණය කරල තියනවද?

මම වැඩිය කලා අධ්‍යක්ෂයෙන් චිත්‍රපට සඳහා දායක වෙලා නෑ. සුනාමි, සිංහබාහු, කොරෝනා කාලේ ආලේ, ආදරණීය අමන්දා චිත්‍රපට සඳහා කලා අධ්‍යක්ෂ ලෙසින් දායක වෙලා තියනවා. සේනක විජේසිංහගේ ආදරණීය අමන්දා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කරමින් තමයි මම චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයකු බවට මුලින්ම පත්වන්නේ. ඊට පෙර ටී.වී. කමර්ෂල් මියුසික් වීඩියෝ වල කලාඅධ්‍යක්ෂවරයෙක් වශයෙන් බොහෝ විට කටයුතු කරලා තිබුණා.

විවිධ කලා අධ්‍යක්ෂවරු යටතේ ඔබ ගුරුහරුකම් ලබන්න ඇති නේද?

ලාල් හරින්ද්‍රනාත්, නුවන් සනුරංග, අජන්ත අලහකෝන් මහත්වරුන් යටතේ මම සහය කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස කලක් වැඩ කළා. අසංක නීලවතුර තමයි මාව චිත්‍රපට සහය කලා අධ්‍යක්ෂණයට කැඳවාගෙන එන්නේ. ඒ කලා අධ්‍යක්ෂ ලාල් හරින්ද්‍රනාත් මහතාගේ නිර්මාණ වෙනුවෙන්. බොම්බේ වෙල්වට්, සංකාරා, ස්වරූප ආදී චිත්‍රපට බොහොමයක වගේම ටී.වී. කමර්ෂල් බොහොමයකත් මට සහය කලා අධ්‍යක්ෂ ලෙසින් වැඩ කරනවා ලාල් හරින්ද්‍රනාත් මහතා යටතේ.

කැමරා අධ්‍යක්ෂ ධම්මික රත්නායක ටී.වී. කමර්ෂල් සඳහා කලා අධ්‍යක්ෂණයටත් අධ්‍යක්ෂ අයේෂ් විජේරත්න මියුසික් වීඩියෝ සඳහා කලා අධ්‍යක්ෂණයටත් මට දොරටු විවර කළා මුලින්ම.

ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිනමා නිර්මාණ වෙත ඔබට සම්බන්ධවන්නට අවස්ථාව උදා වන්නේ කොයි ආකාරයෙන් ද?

සෝමරත්නයන් අධ්‍යක්ෂණය කළ සරිගම චිත්‍රපටයේ සම කලා අධ්‍යක්ෂ ලෙස වැඩ කළ අසංක නීලවතුර මගේ හැකියාවන් ගැන දන්නා නිසා මට දින කීපයකට ආරාධනා කරනවා. සරිගම චිත්‍රපටයේ සහාය කලා අධ්‍යක්ෂණ කටයුත්තකට. එහිදී මගේ හැකියාවන් දකින සෝමරත්න දිසානායකයන් එතුමාගේ සුනාමි චිත්‍රපටයේ සම කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න මට ආරාධනා කළා. ඊට පස්සේ එතුමාගේ සිංහබාහු චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ ලෙස වැඩ කරන්න මට අවකාශ උදාවෙනවා.

අප අත් විඳි සැබෑ සුනාමි, ව්‍යසනය ඔබ චිත්‍රපටය පුරාවට නැවත ප්‍රතිනිර්මාණය කළා. ඒ සුනාමි ව්‍යසනයේ සැබෑ ස්වරූපය අපට මතක් කරමින්?

සුනාමි චිත්‍රපටය විශාල වියදමක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ සුනාමි රැල්ලත් සමඟ විනාශ වෙන අපේ භෞතික සම්පත් වල විනාශය මම මේ චිත්‍රපටයට කෘත්‍රිමව නිර්මාණය කළා. ස්වාභාවික උවදුරට නොදෙවෙනි ලෙසින් චිත්‍රපටය බලපු කෙනෙක් හිතන්න පුළුවන් අපි ඇත්තම සුනාමියේ රූප මේකට ගන්න ඇති කියලා. නෑ කොහෙත්ම නෑ අපි සුනාමිය කෘත්‍රිමව හැදුවා විනාශය සැබෑවක් ලෙසින් පෙන්නුවා.

ඔබේ සිනමා කලා අධ්‍යක්ෂණය තුළ දැවැන්ත නිර්මාණයක විකාශය පෙන්වන්න වුණේ මොනවද?

සුනාමි චිත්‍රපටය වගේම සිංහබාහු චිත්‍රපටයත් ඒ සඳහා උදාහරණ. මේ චිත්‍රපට දෙක අතර වෙනස හැටියට මම දැක්කේ සුනාමි චිත්‍රපටයේ ඒ ඒ දර්ශන සඳහා අවශ්‍ය පරිසරය ගොඩනඟන්න අපිට අවශ්‍ය දෑ සොයාගන්න තිබුණා. නමුත් සිංහබාහු චිත්‍රපටය ඊට හාත්පසින්ම වෙනස් එහිදී අපිට සිංහබාහු වෙනුවෙන් හැමදෙයක්ම නිර්මාණය කරන්න සිද්ධවුණා.

නිර්මාණයේ සාර්ථකත්වයට ඔබ සිංහබාහු වෙනුවෙන් නිර්මාණය කළේ?

කොටින්ම කිව්වොත් මහ කළුගල් පවා අපි නිර්මාණය කළා. ස්වාභාවික වනාන්තරයක අපි මෙහි රූපගත කිරීම් කළත් නිර්මාණයේ අවශ්‍යතා පරිදි බොහෝ දේ අපි අතින් ස්වාභාවික පරිසරයක් කෘතිමව ගොඩනැඟුවා. සිංහබාහු චිත්‍රපටයේ සුප්පා කුමරිය සිංහබාහුට හමුවන දිය කඩිත්ත තුළදී ඇයට සිංහබාහුගේ අතේ එල්ලී ගොඩට එන්න පවා අපි දිය යට කළුගලෙන් පඩියක් පවා නිර්මාණය කළා. අපි එහෙම දෙයක් කරල තිබුණා ද කියලවත් අනෙක් අය දැන සිටියේ නෑ. මේ චිත්‍රපටයට භාවිත කළ දුනු පවා අපි හැදුවේ දුනු තාක්ෂණය භාවිත කරලා. ඒ සඳහා භාවිත කරන නූල්, ලී පදම් කරල අරන් සතුන්ගේ හම් වේලල අරන් තමයි හැදුවේ. කොටින්ම කිව්වොත් ඒ හදපු දුනු වලින් ඇත්තටම විදින්න පුළුවන් පුංචි පුංචි දේ පවා අපි සැලකිලිමත් වෙමින් තමයි හැමදෙයක්ම අපේ අතින් නිර්මාණය කළේ.

සිංහබාහු පුරාවට ඔබ මේ අභියෝගය ජයගත්තේ?

මට හොඳ පළපුරුදු දක්ෂ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමේ හැමෝම අභියෝග ජයගන්න උපන් හැකියාව ඇති සුපිරි වැඩේඩෝ මොනම දේකටවත් පස්සට ගියේ නෑ. ගියේ ඉස්සරහට. නෑ කිව්වේ නෑ බෑ කිව්වේ නෑ. මගේ ක්රෲ එකට එකතු වෙලා හිටිය හැමෝම ටැලන්ටට් කට්ටිය. මේ ඉන්ඩ්‍රස්ටියේ මම දන්න හොඳම වැඩ්ඩෝ තමයි මාත් එක්ක මේ සඳහා එකට හිිටියේ. මගේ කණ්ඩායමේ තිබුණු දක්ෂතා නිසාම මට පුදුම නිදහසක් ලැබුණා. මගේ අනෙක් කටයුතු සඳහා මේ කණ්ඩායම මගේ ඉදිරි නිර්මාණ කටයුතුවලත් එකට ඉදීවි මම ඔවුන් හැමෝටම ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. බර කරත්ත පවා අපි මේ නිර්මාණය වෙනුවෙන් හැදුවා. සුප්පා කුමාරි යන බර කරත්තය අපිට දිගට හදන්න ඕනේ වුණා. ඒ නිසා පසුතල සැලසුම් ශිල්පී ප්‍රසන්න වීරක්කොඩි අපිට ඇඳල දෙන චිත්‍රය අනුව අපි ඒ ඒ භාණ්ඩ හැදුවා. චිත්‍රපටයට ඕනෙ වුණ වාද්‍ය භාණ්ඩ පවා අපි හැදුවා.

සිංහබාහු චිත්‍රපටය පුරාවට ඔබ අතින් නිර්මාණය වූ දෑ කීපයක් හෝ මතක් කළොත්?

සෝමරත්න දිසානායකයන්ට ඕනෙ කළා. මහ වනාන්තරයේ පුස්වැල් නිර්මාණයක්. මම ඒ වෙනුවෙන් කඹ භාවිත කළේ නෑ. ඒ හැම කඹයක්ම ගෙතුවේ පට්ටාවලින්. තොටිල්ලක් හැදුවා කොටයක් හාරල අරන් ඔය චිත්‍රපටයේ දර්ශනයකට අවශ්‍ය මහ කොටසක් අපි වතුරේ පා කරගෙන යන්න පහසු වෙන්න. ඒකොටස මැද හාරලා ට්‍රැක්ටර් ටියුබ් ඇතුළට බස්සල හුළං අඩු වැඩි වශයෙන් පුරවලා කොටය පෙරළෙනවට. ඒකට විශාල අතු බද්ද කරල අපුරු වැඩ ගොඩක් කළා. හැබැයි අපි මොන ආටිෆිෂල් වැඩ කළත් චිත්‍රපටය බලන අයට දශමයකින්වත් හොයන්න බෑ අපි කරපු එක ජිල්මාට් එකක්වත් දකින කෙනා දකින්නෙම ඒක ස්වාභාවික දෙයක් නැත්තම් ඇත්තම දෙයක් විදියට. වතුර බින්දුවක් වැටෙන එක පවා අපි අතින් නිර්මාණය කළා. හරිම තාත්වික විධියට. අපි නිර්මාණය කළ සමහරු වැල්, කළුගල් ඇත්තම ඒ වයින් වෙන්කර හඳුනාගන්න බැරිව ප්‍රඩක්ෂන් ටීම් එක කැලේ දාල ආපු ඒවත් ඔය අතරේ තිබුණා.

නිෂ්පාදන පිරිවැයත් සමඟ ඔබේ සිතැඟි ආකාරයේ නිර්මාණ කටයුත්තකට චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් සහයෝගයක් ලැබුණාද?

ඔව්.. එහෙම නොවන්න. අධ්‍යක්ෂවරයට ඕනෙ කරන රූප රාමුවේ පසුතල නිර්මාණය කොහෙත්ම කරන්න ලැබෙන්නේ නෑ. මේ චිත්‍රපටයේ නිෂ්පාදිකා රේණුකා බාලසුරිය මහත්මිය අපිට ඕනෙ හැම දෙයක්ම ලබා දුන්නා. ඇය කවදත් වියදම ගැන නොවෙයි බැලුවේ. නිර්මාණයේ ගුණාත්මකභාවය තමන්ගේ ප්‍රේක්ෂකයාට හොඳ දෙයක් ඉහළම ගුණයෙන් දෙන්න. එතුමිය අපිට පුදුම නිදහසක් ලබාදුන්නා. අපේ නිර්මාණ චිත්‍රපටයට එකතු කරන්න. ආට් ඩිපාට්මන්ට් එකෙන් වෙන්න ඕනේ දේ අපි ඉහළින්ම ඇයට ඉටු කරල දුන්නා. ලංකාවේ මම වැඩක් කළ හැමතැනකින්ම මම හඳුනාගත්ත නම්බවන් ටීම් එකක්තමයි මාත් එක්ක වැඩ කළේ. මගේ ටීම් එකට හැකි වුණා සෝමරත්නයන් සියයට සීයක් අපේක්ෂා කළ දර්ශන තලය. ඒ අයුරින්ම ලබාදෙන්න. ඒ ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්.

ජානක ප්‍රසාද් කියන කලා අධ්‍යක්ෂවරයා බිහි වන්නේ කොහොමද කියල මම ඇහුවොත්?

ලාල් හරින්ද්‍රනාත් මහත්තයා තමයි මගේ ගුරුවරයා වන්නේ. එතුමාගෙන් තමයි මම කලා අධ්‍යක්ෂණය ඉගෙන ගන්නේ. එතුමා ළඟට එනකොට මට නිර්මාණ හැකියාව තිබුණා. ඒ හැකියාව නිසාම තමයි. එතුමා ළඟ මට දීර්ඝ කාලයක් සිටින්නටත් හේතු වුණේ. මම එතුමා ළඟට එනකොට සෑබෑ ලෝකයේ නිර්මාණ අතර හිටියේ එතුමා ළඟට ඇවිත් තමයි සිනමා ලෝකය දැනගත්තේ ඒ දෙක අතර වෙනස හඳුනා ගත්තේ ලාල් හරේන්ද්‍රනාත් සර්ගෙන්. එතුමා ගොඩක් අත්දැකීම් තියන පුද්ගලයෙක්. එතුමාගේ දැනුම අපිට දුන්නා. මමත් මට ඇතිවෙන ගැටලු වලදී එතුමාන්ගෙන් අසා බොහෝ දේ දැනගත්තා.

ඔබ සිනමාවට වෙළෙඳ දැන්වීම්වලට පමණක් සීමාවන කලා අධ්‍යක්ෂවරයෙක් ද? වේදිකාව පුංචි තිරය ඔබ බැහැර කරල ද?

මම ටෙලි නාට්‍යවල වැඩකරල නැතිතරම් ටිකිරි රත්තනායක මහත්තයාගේ ටෙලි නාට්‍යයක කටු මැටි පැළක් මම හදල දීල තියනවා ඇරෙන්න. වෙන දෙයක් නැති තරම් වැඩෙත් මම කළේ මගේ ගෙවල් ආසන්නයේ එහි රූපගත කිරීම් කරපු නිසා සෙට් එකක් හදල දීමක් පමණයි මම කළේ. මට ආරාධනා ආව නමුත් මම භාර ගත්තේ නෑ. ටෙලි නාට්‍යයක නිර්මාණ නිදහස තියනවද කියල මට ප්‍රශ්නයක් තියනවා. සමස්තය ගැන නොවෙයි මම කියන්නේ මට ලැබුණ නිර්මාණ ගැන කතා කිරීම මත මට එහෙම දැනුණු අවස්ථා තිබුණා. ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යයේ නම් සෙට් හැදුවා. ලාල් හරේන්ද්‍රනාත් සර් එක්ක නමුත් මම තනියෙන් වේදිකා නාට්‍යයක පසුතල නිර්මාණය කරල නෑ. මම ආසයි වේදිකාවට පසුතල නිර්මාණය කරන්න. වේදිකාවට කැමති වුණත් ටෙලි නාට්‍යවටල නම් කොහෙත්ම කැමති නෑ. කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න.

කලා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් නිර්මාණ ගොඩ වැඩි කරගන්න. ඔබේ උත්සාහයක් නැද්ද?

කොහෙත්ම නෑ. නිර්මාණකරුවෙක් වශයෙන් මට නිර්මාණයක් කිරීමේදී සම්පුර්ණ නිදහසක් තියෙන්න ඕනේ ඒ නිර්මාණයේ අවසානය දක්වා. එතකොට තමයි මට ඒ ගැන සතුටක් අත්විඳින්න පුළුවන්. මුදල් කියලවත් තවත් වැඩක් කියලවත් මම භාර ගත්ත දේ ඉවර නොකර දෙයක් භාරගන්නේ නෑ. මම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. මට නිර්මාණ ගොඩක් අරන් වැඩිය මුදලක් හොයන්න අවශ්‍ය නෑ. කරන වැඩේ ඒකනම් ඒක ඉවර කරල තව එකක් භාරගන්නවා ඇරෙන්න. එකක් කරමින් තව එකක් කරන කෙනෙක් නොවෙයි මේ ජානක ප්‍රසාද්. අහස උසට ලොකු බලාපොරෝතු මට නෑ.

සරල ජීවිතය තුළ ඔබ විවාහයත් අමතක කරල ද?

මගෙන් ඉටු වෙන්න ඕනෙ යුතුකම් මම දෙමාපියන්ට ඉටු කරනවා. මට බඳින්න සුදුසු කෙනෙක් හම්බ වුණොත් අනිවාර්යෙන්ම විවාහ වෙනවා.

මේ වෙනකොට ඔබ සම්මානනීය ඇගැයුමට ලක්වුණාද?

නෑ. හැබැයි නොමිනේට් වුණා. දෙපාරක් සුනාමි චිත්‍රපටය සම්මාන උලෙළ දෙකක් නියෝජනය කළා. සිග්නීස් සිනමා සම්මාන උලෙළත් ජනාධිපති සිනමා සම්මාන උලෙළත් සුනාමි චිත්‍රපටයේ හොඳම කලා අධ්‍යක්ෂ ලෙස නිර්දේශ ලැයිස්තුවට ඇතුළත් වෙලා තිබුණා.

සිංහබාහු දර්ශන තලයේදී ඔබට අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියල ආරංචියිි?

ඔව්. ඔව්. ගොනෙක් පයින් ගැහුවා අඩි හයක් විතර ඈතට විසිවෙන්න. මේ චිත්‍රපටයේ සුප්පා කුමරිය ගමන් කරන කරත්තය සරසවමින් ඉන්න ගමන් තමයි මේ දේ වුණේ. මේ දර්ශනයට ගෙනත් හිටිය ගොන්නු දේවාල කරත්තවල බඳින සත්තු අවුරුද්දට සැරයක් තමයි ඒ සත්තු කරත්තේ බදින්නේ. ලොකු බරක් කෝවිල්වල ඇදගෙන යන සත්තුන්ට මේ කරත්තය අපිට ලොකු වුණාට සතාට ඒක පොඩි බරක්. අපි දර්ශනයට අරන් තිබුණු වෙන කිසිම ගොනෙක්ගෙන් කරදරයක් වුණේ නෑ. ගෙජ්ජි කරට දාලා අපි ඔවුන් එකිනෙකා සැරසුවා. සුප්පා කුමාරි යන කරත්තයේ බැඳල හිටිය ගොන්නු දෙන්නාගේ අගවල් පාට කරල තිබුණ නිසා අපි ඒක වෙනස් කරන අතරේ ගොන්නුන්ට ඇඳුම් අන්දවන්න ගියා. ඔවුන් මුරණ්ඩු වෙලා ඉන්නේ කියල අපි දැනන් හිටියා. නමුත් කරත්තේ බැඳල නිසා ඒ මුරණ්ඩුකමින් ප්‍රශ්නයක් නෑ කියා අපි අවබෝධ කරන් හිටියා. හරකා පස්සට පයින් ගහයි කියන එක අප දැන සිටියත් මම හරකාගේ බඩහරියේ හිටියේ. එහෙම හිටිය ට පයින් ගැහුවා අඩි හයක් විතර ඈතට විසිවෙන්න. එතකොට මම හිටියේ කළුදිය පොකුණේ දර්ශන තලයේ. මුලින්ම ගියේ සතාගේ පහර දීමෙන් දඹුල්ල රෝහලට නමුත් එතනින් මාව නිෂ්පාදක අංශය කැබ් එකක් එවල කුරුණෑගල රෝහලට එක්කන් ගියා. වෛද්‍ය විශේෂඥයෙකුට පෙන්වලා වෛද්‍ය උපදෙස් මත ට්‍රීට්මන්ට් කළා. නමුත් මගෙ අස්ථිබීඳිමක් වෙලා තිබුණේ නැති නිසා මම රෝහලේ නේවාසික ප්‍රතිකාර නොගෙන පිටව ගියා. මගේ කලිසමේ සාක්කුවේ සෙල්ෆෝන් තුනක් තිබුණා. ඒ තුනම සාක්කුව ඇතුළේම කුඩු පට්ටම් වෙලා තිබුණා. දවස් කීපයක් රෙස්ට් කළා. ක්ලචස් වලිනුත් ගියා. නමුත් නැවත මට අමාරු වෙලා අනුරාධපුර රෝහලට ගියා. එහිදී මට වෛද්‍ය උපදෙස් ලැබුණා ක්ලචස් නැතුව අමාරුවෙන් හරි ඇවිදින්න කියලා. ගොනාගේ පහර දිමෙන් දින කීපයක් සෙට් එකෙන් අයින්වෙලා හිටියත් අමාරුකම හිතින් දරාගෙන නිර්මාණයේ ඉදිරි කටයුතු වෙනුවෙන් දායක වීම නොඅඩුව සිද්ධ කළා.

සම්මාන දීම වගේම එහි විනිශ්චයන් පිළිබඳවත් ඔබ සම්මතයක් දරන කෙනෙක්ද?

කිසියම් හෝ නිර්මාණයක විනිශ්චයක් සිදුකරන්නේ නම් ඒ නිර්මාණයේ අපි තිරයේ දකින රූප රාමු පසුබිම කොයි ආකාරයෙන් නිර්මාණය වුවක් ද කියා අධ්‍යක්ෂවරයාගෙන් විමසා දැනගත යුතුයි. කලා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කර තිබෙන දේවල් මොනවාද ස්වාභාවික පරිසරයේ නිර්මාණයක් වූ දේ මොනවද කොම්පියුටර් ග්‍රැෆික් වලින් නිර්මාණය වූ දේ මොකක්ද කියන දේ පිළිබඳ කලින් විමසීමක් කරනවා නම් හොඳයි කියල මම යෝජනා කරනවා. සිනමා කෘතියක් නැරඹීම තුළ ඒක කෘතිම හදල තියන දෙයක් ද කියල හරි වැටහීමක් ගන්න බෑ. අපි හදන දේ හොයන්න බැරිවෙන්න කරන්නේ එහෙම වෙලාවක තීරණ ගැනීමේදී. ගැටලු සහගත වෙනවා චිත්‍රපට ෆේ‍්‍රම් එක බලල කලා අධ්‍යක්ෂණයේ තීන්දු තීරණ ගැනීමේදී එහි කලා අධ්‍යක්ෂණයේ සිදු වූ කාර්ය ගැන සොයා බැලීමක් කරන්නේ නම් ලැබෙන ඇගැයුම නිවැරදි වෙන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]